Wednesday, June 19, 2019

පෝෂණය

























කුඩා දරුවෙක් මන්දපෝෂණය නිසා මියගියාය කියන පුවතත් එක්ක, පෝෂණය ගැන මේ දවස් වල හරියට කතා වෙනවා. නිසි පෝෂණය ලැබීම කියන්නේ මොකක්ද?  ඒ කියන්නේ නියමිත පෝෂ්‍ය කොටස් නියමිත ප්‍රමාණයෙන් ලැබීමෙන් පුද්ගලයෙක් වයසට සරිලන උසෙන් හා බරෙන් යුක්තව සෞඛ්‍ය සම්පන්නව සිටීමනේ. දරුවෙක් නම් නිසි පරිදි වැඩෙන්නත් ඕන. ඉතින් මේ අදාළ පෝෂණය නොලැබීම අපි හඳුන්වනවා දුෂ්පෝෂණය කියලා.

දුෂ්පොෂණයේ ආකාර දෙකක් තියෙනවා.

1. මන්දපෝෂණය
2. අධි පෝෂණය

මන්දපෝෂණය  - මෙහිදී වෙන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට නොලැබීම නිසා වර්ධනය බාලවීම, ශරීරය වැහැරී යාම, බර අඩුවීම, විටමින හා ඛනිජ වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතා රෝගී තත්ත්ව ඇතිවීම ආදී පුළුල් පරාසයක විහිදෙන තත්වයන් ක්‍රමයෙන් ඇතිවීම.
අධිපෝෂණය - දේහ බර වැඩිවීම,ස්ථුලතාවය, ආහාරයට නෑකම්දක්වන හෘදයාබාධ,ආඝාතය,
දියවැඩියාව,පිළිකා වැනි  බෝනොවන රෝගී තත්ත්ව ඇතිවීම වැනි පුළුල් පරාසයකට අයත් තත්වයන් මේ යටතේ හඳුනා ගන්න පුළුවන්.

දුප්පත් කම නිසා ලැබෙන දෙයක් කන්නට වීම වෙනම ගැටළුවක් තමයි. නමුත් යම් පමණ ආර්ථිකයක් ඇති හෝ ඉහළ පන්තියේ අය වුවත් නිසි පෝෂණය ලබනවා ද යන්න ප්‍රශ්නයක්. ආහාරයට ගන්නා ද්‍රව්‍ය සංයුතියෙයි ප්‍රශ්නය තියෙන්නේ.

ඇත්තවශයෙන්ම මේ දුෂ්පොෂණ තත්වයන් අපේ රටේ බොහෝ දරුවන්ට හා වැඩිහිටියන්ට කුමන ආකාරයකින් හෝ තියෙනවා. ආර්ථික වශයෙන් මධ්‍යම හා පහළ මට්ටමේ අයට ඇත්තේ මන්ද පෝෂිත ආකාරය. කෑම නැති නිසාම නෙවෙයි කන විදිය අනුවයි වැඩිපුරම මෙය ඇතිවන්නේ. ඒ කියන්නේ පිෂ්ට ආහාර අධිකව ගන්නවා. තෙල් සහිත ආහාරත් ගන්නවා. එළවළු ,පළතුරු අඩුවෙන් ගන්නේ.  අපේ ජනතාව මස් මාළු බිත්තර ආදිය ගන්නේ ඉතාම අඩුවෙන්. සමහරවිට නිර්මාංශ ව ඉන්නවා. අමුවෙන් එළවලු ආහාරයට ගැනීම අඩුයි. පන්සල් වලින් දානයට වඩමවන සාමනේර හිමිවරුන් ඇතුළු බොහෝ හාමුදුවරුත් අමු එළවලු සලාදය බොහෝ විට ප්‍රතික්ෂේප කරනු මා අත්දැක තිබෙනවා. කොළ වර්ග අධික කාලයක් රත්කරලයි ගන්නේ. මේ නිසා ඇතැම් පෝෂක කොටස් නොලැබී යනවා.

මේ තත්වය නිසා ඇතිවූ සංකුලතා පාසල් ශිෂ්‍යන් තුළ තිබෙනු අත්දැකීමෙන් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් කම්මැලියි, උනන්දුවක් නැහැ,නිදිමත ගතියෙන් ඉන්නවා. ධාරණ ශක්තිය, වටහා ගැනීමේ ශක්තිය අඩුයි. උදෑසන ආහාරය නිසිලෙස ගන්නේ නැහැ. සමහර විට එය මගහැරිලම යනවා. දිවා විවේකයට කෙටි කෑම ගන්නවා. පාසලින් පසු කෑම ගත්තා හෝ නොගත්තා යන්න නොසළකා සවස උපකාරක පන්ති කරා ඇදෙනවා.
සමහර දරුවන් අධික ලෙස ස්ථුලතාව පෙන්වනවා. ඔවුන්ට ඒ හා සම්බන්ධ වෙනත් සංකුලතා ද තිබෙනවා. ඔවුන්ට සමාන වයස් කාණ්ඩයේ දරුවන් අතර උසුළු විසුළු වලට මුහුණ දෙන්න පවා සිදුවෙනවා. ඔවුන් සිටින්නේත් තම ස්වරූපය ගැන දුක් වෙමින්. ඒ නිසා ඔවුන්ගේ ඉගෙනීමටත් බාධා වෙනවා.

හැබැයි මේ තත්වය අලුතෙන් සමාජයේ ඇතිවූ එකක් නෙවෙයි. අපේ ජනතාවගේ අදහසක් තියෙනවා ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ හැම දේම හොඳට තිබුණය, හොඳ කෑම ලැබුණය,පරම ආයුෂ ගෙවුවය කියල. නමුත් අපේ වැඩිහිටියෝ අපිට කියාදීල තියෙනවා ඒ කාලේ දරුවෝ වගේම වැඩිහිටියෝ මාන්දමෙන්, පණු රෝගවලින්, උණ සන්නිපාතයෙන්  පෙළුණු හැටි, මැරුණු හැටි. දෙවන ලෝක යුද්ධය කාලේ පාන් පිටි විතරක්ම කාල ඇඟවල් ඉදිමුණ හැටි. තව ගෙදර වත්තේ හැදෙන පැපොල් ගෙඩිය අගුණයි කියල ඒකවත් කන්න නොදී ඇස්වල කොරපොතු සහිත දරුවෝ හිටිය බව. (ඒ කියන්නේ විටමින් A ඌනතාව.) ඇතැම් දරුවෝ අන්ධ බවටත් පත් වූ බව.

මේ විදියට බැලුවහම එදා වලක්වන්න බැරි සමහර තත්ත්ව යටතේත් අද වළක්වන්න උත්සාහ නොගන්නා (අධික දරිද්‍රතාව) ඇතැම් තත්ත්ව හා බොහෝවිට අධ්‍යාපනයක් ලැබූ දෙමව්පියන් සිටිද්දී වළක්වන්න පුළුවන් කම තියෙද්දිත් අපි අපේ දරු පරපුර ගැන සැළකිලිමත් වෙනවා මදි යයි හිතෙනවා. මේ ගැන පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කාරණයක්. නැතිනම් ඉදිරියට ඇතිවන්නේ රෝගී පරපුරක්.

(Thanks to Anna Pelzer for this lovely image on Unsplash)




2 comments:

  1. ඉතා හොඳ කාලීන ලිපියක්. මේ ආරම්භය විතරක් නේද? තව විස්තර ඊළඟ ලිපි වලි එනවා ඇති නේද?
    මා හිතන ආකාරයට දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් වල පවා පෝෂණ උනතා තිබෙන්නේ බොහෝවිට නොදැනුවත්කම නිසා. සමතුලිත ආහාරයක් දිනපතාම සකස් කර ගැනීමට නොහැකි අයට පවා පලාවර්ග වලින් සහ පහසුවෙන් ලබාගතහැකි පලතුරු වලින් සාමාන්‍ය පෝෂණයක් ලබාගත හැකිනේ. කුඩා දරුවන් පලාවර්ග ප්‍රතික්ෂේප කරන්නේ අප ඒවා පිසගන්නා ආකාරයේ දෝෂ නිසාද? ගොටුකොල, මුකුනුවැන්න, කංකුන් වැනි පලා වර්ග තවමත් සුලභයි. මේ එකිනෙකෙහි පෝෂණ පදාර්ථ ගැන සහ දළ වශයෙන් සමබර ආහාරයක් ගැන තව විස්තර දුන්නොත් වැඩි අවධානයක් යොමු වේයයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට සර් . ඔබ නිතරම මා දිරිමත් කිරීම අගය කරමි. පෝෂණය ගැන කීමට බොහෝ කරුණු ඇත. අපේ ජීව විද්‍යා දැනුමත් පාරම්පරික දැනුමත් සමග. පෝෂණ වේදය පුළුල් විෂයක්. එහි ප්‍රවීනයන් වඩාත් දැනුවත් ඇති. ඒ ක්ෂේත්‍රය ගැන කියවා තවත් දැනුම වැඩිකර ගැනීමට අවශ්‍යයි.

      Delete