Wednesday, June 5, 2019

'මා හුස්ම ගන්නා වාතය'


'මා හුස්ම ගන්නා වාතය'


ලෝකයේ පරිසරය,රටේ පරිසරය හා අප ආසන්න වටපිටාව ගැන සිතීමට තවත් පරිසර දිනයක් එළඹ තිබෙනවා.

ඔව් 2019 ජුනි මාසයේ 5ස් වෙනිදා ජගත් පරිසර දිනය. ඔව් සිතමු කුමක් ද? 'මා හුස්ම ගන්නා වාතය'

මෙවර ජගත් පරිසර සැමරීම සිදු වෙන්නේ චීනයේ. මෙවර තේමාව 'වායු දූෂණය' අපිට හුස්ම ගැනීම නතර කරන්න බැහැ , නමුත් අපි හුස්ම ගන්නා වාතයේ ගුණාත්මක බව වැඩිකරන්න යමක් කරන්න පුළුවන්.

ආසන්න වශයෙන් ලෝකය පුරා මිලියන 7ක් මිනිස් ප්‍රාණීන් පරිණත වෙන්න කලින්ම වායු දූෂණය හේතුවෙන් මිය යනවා. ඔව්, මෙයින් මිලියන 4ක් ම ආසියා - පැසිෆික් ප්‍රදේශ වලින්. ඉතින් 2019 ජගත් පරසර දිනය, ලෝකය පුරා රජයන්ගෙන් බැගෑපත්ව අයැද සිටින්නේ කර්මාන්ත,ප්‍රජාවන් හා තනි තනි පුද්ගලයන් වශයෙන් එක්වී ගවේෂණය කරන්න,කුමක් ද නගර සහ ප්‍රදේශ වල වායු තත්වය වැඩි දියුණු කරන්න, හැකිතාක් පුනර්ජනනීය බලශක්තිය හා හරිත තාක්ෂණය කෙරෙහි යොමු වන්න කියලයි.

ලෝක ජනගහනයෙන් 92%ක් පිරිසිදු වාතය හුස්ම ගන්නේ නෑ කියල ඔබ දන්නවා ද ?
වායු දුෂණයේ විපාකවල සුභ සාධනය උදෙසා ලෝක ආර්ථිකයෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 5ක් වැයවෙන බව ඔබ දන්නවා ද ?


මොකක් ද වායු දුෂණය කියන්නේ ?

වාතයේ සාමාන්‍ය ප්‍රතිශතයේ තියෙනවට වඩා වායු වර්ග වැඩිවීම, ඝන ද්‍රව්‍ය වල කුඩා අංශු විශේෂයෙන්ම කාබනික අංශු වාතයේ බහුල වීම. මේ ඇතැම් ඒවා ඉතා විෂ සහිතයි. මේවා හුස්ම ගැනීමෙන් කුඩා දරුවන්ගේ හා වයස් ගත අයගේ ශ්වසන පද්ධතියට වගේම හෘදයට හානි සිදු වෙනවා. පිළිකා ඇති වීමටද හේතු කාරක වෙනවා.

මහා පරිමාණයෙන් සිදුවෙන කර්මාන්ත ආදිය සම්බන්ධ වායු දුෂණ තත්වයන්ට ඔබට මට තනියම විසඳුම් දෙන්න බැරි බව ඇත්ත. නමුත් පුංචි පුංචි මට්ටමේ සිදුවන අහිතකර දෑ වාතයට එකතු වෙන එක වළක්වන්න අපිට පිළිවන් නේ ද ? ඒත් අපි හුස්ම ගැනීම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. අපි කන බොන දේ ගැන හුගක් කතා කරනවා. හොඳ ඒවා තෝරනවා. කාබනික වගාවන් ගැන විමසිලිමත් වෙනවා. කෑම වල වස විස තිබෙනවා ,ඒවා නිසා අපි ලෙඩ වෙනවා කියල හිතනවා. ඒත් අහිතකර දේ සහිත වාතය හුස්ම ගැනීම ඊටත් වඩා නරකයි කියල අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි පොලිතින් ප්ලාස්ටික්,කෘත්‍රිම රෙදී ඇතුළු අහිතකර බොහෝ දේ  විවෘත පරිසරයේ පුළුස්සනවා. බුදු කුටි තුළ හඳුන් කූරු දල්වනවා, වැසුණු කාමර තුළ මදුරු දඟර දල්වනවා. කුඩා දරුවන් ළඟ තබාගෙන දුම් පානය කරනවා. ගුහා වල් වගේ වැහුණු කුස්සිවල දර වලින් කෑම උයනවා. ගෘහාශ්‍රිත තැන්වල වාහන ස්ප්‍රේ පේන්ට් කරනවා. මේවයේදී පිටවෙන දුම් හා අංශු  සහිත වාතය අපි හුස්ම ගන්නවා. අපි,අපේ දරුවෝ ලෙඩ වෙනවා.

මේ අහිතකර තත්වයන් වළක්වා ගැනීමට අපිට යම් තරමකින් වත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද්?

තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි හැකි හැම විටකම ගස් කොළන් හිටවලා ඒවා හොඳින් රැක බලා ගැනීම. ගස් වලින් වාතයේ වැඩිවී තිබෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා. ඒ වගේම ඇතැම් පැළෑටි වාතයේ ඇති විෂ ද්‍රව්‍ය පවා උරාගෙන වාතය පිරිසිදු කරන බව කියවෙනවා.

ඔව්, අද පටන්වත් අපි අපේ ආසන්න වටපිටාවේ වාතය දුෂණය වෙන එක වළක්වා ගන්න ක්‍රියාත්මක වෙමු.


No comments:

Post a Comment