Monday, July 1, 2019

The Little Spirits Garden -අහිමි දරුවන්ගේ සොඳුරු නවාතැන


The Little Spirits Garden - අහිමි දරුවන්ගේ සොඳුරු නවාතැන


අත්දැකීම් නැතිතාක් අප එතරම් සංවේදී නොවන නමුත් අසනවිට හදවත කම්පා වන  දුක්බර කතන්දර අප සමාජයන්හි කොතෙකුත් ඇත.

මේ කැනඩාවේ ඩෙබී බාලිනෝ අපිට කියන්නේත් එවන් දුක්බර කතාවකි. ඇයට හා ඇගේ සැමියාට ප්‍රථම දරුවා ලෙස දියණියක් උපදිනවා. ඔවුන් ගේ ජීවිතයේ සිහිනයක් වුයේ දරුවන් රැසක් සිටින ලොකු පවුලක් ඇති කර ගැනීම. නමුත් ඔවුන්ගේ දෙවන දියණිය පවුලට එක්වෙන්න සිටියදී ගැටලුව පැන නගිනවා. "2013 දී සති 21ක්වූ මගේ Victoria මට නැති වෙනවා". ඩෙබී මතකය අළුත් කරනවා  . එය ඇගේ ප්‍රථම ස්වභාවික ගබ්සා වීම. ඊළඟ අවුරුදු 5 ඇතුළත ඈ තවත් එවැනි තත්වයන් 8 කට මුහුණ දෙනවා.

"මට මොනවා වුණාදැයි කියන්න බැහැ... ඒක පුදුම දුකක්." වෛද්‍යවරුන්ටත් ඇගේ මේ තත්වයට හේතුවක් දක්වන්න පුළුවන් වුනේ නැහැ. කැනේඩියානු කාන්තාවන් 3000ක් පමණ වසරකට මළ දරු උපත් ඇති කරනවා. පිළිසිඳ ගැනීම් වලින් 15-20% අතර ප්‍රමාණයක් ස්වභාවික ගබ්සාවට ලක්වෙනවා. නමුත් එක දිගට එවැනි 9කට මුහුණ දෙන්න සිදුවීම ස්විශේෂී දෙයක්. ඇගේ දරුවන් 5ක් මුල් ත්‍රයි මාසිකය තුළත් 4ක් දෙවන ත්‍රයි මාසිකය තුළත් නැති වෙනවා. මෙසේ ඛේදවාචකයන්ට මුහුණ දෙන ඇගේ පවුලේ අයට හිතට එන ගැටළුවක් තිබෙනවා.
"එසේ මළ දරුවෙකුගේ සිරුරට කරන්නේ කුමක් ද? ඔවුන් පැවතුණු බව ස්මරණය කරන්නේ කෙසේද?
අවමංගල උත්සවයක් තියන්න තරම් ඔවුන් වැඩී නැහැ. නමුත් ඔවුන් පැවතුණේ නැතැයි කියා නොසළකා ඉන්නත් බැහැ. වික්ටෝරියා ට කුමක් කළ යුතු දැයි අපිට වැටහීමක් තිබුණෙ නැහැ. අපි ඈ රෝහලේ දමා ගියා. ඔවුන් ඈ 'ජිව අපද්‍රව්‍ය' ලෙසයි ඇත්තටම හැඳින්වූවේ. එයින් මගේ හදවත කඩා වැටුන."

නමුත් සති 16කින් දෙවන දරුවා විලියම් ගේ නැතිවීමත් එක්ක ඔවුන්ට දෙයක් දැන ගන්න ලැබුණා. වෛද්‍යවරයෙක් ඩෙබීට පැවසුවා The Little Spirits Garden  ගැන.  The Little Spirits Garden කියන්නේ උපතට පෙර/උපතේදී  මියගිය දරුවන් සිහිපත් කිරීම සඳහා භුමි අලංකරණය කර නිර්මාණය කරලා තියෙන උද්‍යානයක්. එය බ්‍රිටිෂ් කොලොම්බියා ,වික්ටෝරියා හි  රෝයල් ඕක් සුසාන භූමිය තුළ පිහිටා තිබෙන අතර වැඩ නිම කර ඇත්තේ 2012 වසරේයි.

ඵහි කොන්ක්‍රීට් කුළුණු පෙළක් මත කුඩා අළු පාට ගෙවල් නිර්මාණය කර තිබෙනවා. ඒවා ආත්මයන්ගේ ගෙවල් "spirit houses" ලෙසයි හඳුන්වන්නේ. ඒ එකක් නැතිවුණු එක දරුවෙක් නියෝජනය කරනවා. දැනට එවැනි ගෙවල් 400ක් ඇති අතර 3000ක් දක්වා සෑදීමට ඉඩ තිබෙනවා. දුකට පත් දෙමව්පියන්ට මෙහි සේවය නොමිලේ වන අතර මේ උද්‍යානය ආධාර මත පවත්වාගෙන යන්නක්. දරුවා ආදාහනය කළේ නම් අළු තැන්පත් කිරීමේ හෝ විසුරුවා හැරීමේ කොටසක් තිබෙනවා. අළු නැතත් සිරුර මෙහි මිහිදන් කළත් නැතත් "spirit house"එකක් හැම මළ දරුවෙකු වෙනුවෙන්  ලබා ගන්න පුළුවන්.

මේ ගෙවල් පදම් කළ කොන්ක්‍රීට් වලින් එකම විදියට හදල තියෙනවා. ඒ තුළ ගර්භාෂයක හැඩය කොටා තිබෙනවා. මේවායේ කැටයම් ඇති නිසා කලක් යන විට පාසි බැඳෙනවා. පවුල් කැමති විදියට මේවා සැලසුම් කරන්න හෝ නම පමණක් ප්‍රදර්ශනය කර මූලික නිමැවුම තියෙන්න අරින්නත් පුළුවන්.

ඩෙබීට මේ භුමියේ  "spirit houses"  9ක් තියෙනවා.

ඩෙබී මේ තම දරුවන්ගේ "spirit houses" වලින් තම සිත සනසා ගන්නවා . සෑම එළඹෙන වසරකම දරුවන් ලැබීමට නියමිතව තිබු දින, ඔවුන් බිහිවූ දින, මිය ගිය දින ඈ එහි යන්නීය. එපමණක් නොව  මව් වරුන්ගේ දින, පියවරුන්ගේ දින,පාස්කු දින, වැලන්ටයින් දින ආදී ඔවුන් ජීවත්ව සිටියේ නම් ඔවුන් සමග ප්‍රීතිමත්වන දිනවල සිය සැමියාත් සමග එහි යන්නීය. ඔබට අවශ්‍ය යමක් විඳ ගැනීමටත් ඔබට අවශ්‍ය තරම් වැළපීමටත් මේ උද්‍යානය හැම අතින්ම නිදහස් තැනක් වන බව ඇය කියනවා.

කැනේඩියානු භුමි සැකසුම් වාස්තුවිද්‍යාඥන් වන  Bill Pachet හා Joseph Daly  යන දෙදෙනා මෙහි නිර්මාණකරුවන් වෙනවා. . Bill ජපානයේ සිටියදී එහි Jizo බෞද්ධ සම්ප්‍රදයානුකුල ක්‍රියාවක් දැකීමෙන් මේ සඳහා පෙළඹවීම ඇතිවූ බව ඔහු දක්වනවා.  Jizo  සම්ප්‍රදාය අනුව මියගිය දරුවන් සැමරීම වෙනුවෙන් කුඩා ස්මාරක පිළිම නෙළනු ලැබේ. සුසාන භුමි යාව ඇති පන්සල්වල මේවා තැන්පත්කර තැබේ. උත්සව අවස්ථාවල දෙමව්පියන් විසින් සකසන ලද ඇඳුම් හා ගොතන ලද තොප්පි වලින් මේවා සරසා පෙරහරක් ලෙස එකතු කෙරේ. එවිට පොදුවේ සමාජයේ යම් අහිමිවීමක් සනිටුහන් කරන මෙවැනි අවස්ථාවක් දැකීමෙන් කැනඩාවේත් මෙයට සමාන දෙයක් නිර්මාණය කිරීමට ඔහු පෙළඹවී ඇත.  ඔහු එය එක ආගමකට,විශ්වාසයකට සීමා නොවී කැනඩාව වැනි බහුත්වවාදී රටකට ගැලපෙන එකක් විය යුතු බව කල්පනා කර ජනතා අදහස් විමසා මෙය නිර්මාණය ආරම්භ කරනවා . මුලින් කිතුණු විරෝධයක් පැන නැගුණු නමුත් පසුව සැම දෙනාම එක අදහසකට පැමිණීමෙන් උද්‍යානය යථාර්තයක් බවට පත්වෙනවා .

උද්‍යානයේ අවුරුදු 5ක් වැඩ කරන සුසන් කියන පරිදි 1950ස් ගණන් වල මෙසේ දරුවන් මියගිය අය පවා මේ උද්‍යානයේ "spirit house"  එකක්  ඉල්ලා පැමිණ ඇත. දෙමාපිය දු දරු සබඳතාව මේ තරම් ශක්තිමත් ලෙස  ඇත්තේ ආසියාතික අපේ වැනි රටවල පමණකැයි සිතීම කොතරම් වැරදිද යන්න මෙය කියවූ මට ඇතිවූ අදහසයි.සුසන් ද  තමාට 1960 දී එසේ අහිමි වූ සහෝදරයකු වෙනුවෙන්ද 1991 දී තමාට ගැබේදීම අහිමිවූ පුතු වෙනුවෙන් ද නිවාස දෙකක් ලබාගෙන ඇත.

අපේ කතා නායිකාව වන ඩෙබී තම දියණිය සමග මෙහි එන්නීය.

තම තනිය මැකීමට පැමිණේ යයි බලාගෙන සිටි තම සහෝදරයා හෝ සහෝදරිය කිසි දිනක නොපැමිණීම නිසා සුන්වූ බලාපොරොත්තු මේ පුංචි දියණියට ද තිබේ. දැන් ඇයට අවුරුදු අටකි. ඈ අවුරුදු තුනේ සිටම මෙහි පැමිණ ඇත. ඇය මෙහි පැමිණ සෙල්ලම් කරයි,නටයි. සිය සොයුරු සොයුරියන්ට කතා කරයි.සිංදු කියයි. ඔවුන්ට කෑම ගෙනෙයි. "මං දැන් පාසල් යනවා" "මං හැලෝවීන් වලට මෙහෙමයි  ඇන්දේ" වැනි දේවල් කියයි.

ඉතින් මේ උද්‍යානය සොඳුරු තැනක් නොවේදැයි මම ඔබෙන් අසමි.  

BBC Stories ඇසුරිනි.
මගේ මිණිපිරිය චමත්කා මේ කතාව ගැන පින්තූර බලා නිර්මාණය කරණ  ලද Spirit house එකක චිත්‍රයකි. 
ජපානයේ Jizo බෞද්ධ සම්ප්‍රදාය 

No comments:

Post a Comment