Thursday, March 5, 2020

'වයිරස් වයිරස්'



                                                                  Corona Virus

'වයිරස්, වයිරස් 'කිව්වාට මේ දේ ගැන බොහෝ දෙනෙකුට හරි වැටහීමක් නැහැ කියල හිතෙනවා. ඉතින් මේ ගැන යම් අදහක් දෙන්නයි මේ සුදානම. ලෝකයේ ජීවීන් හා අජීවී දේවල් තිබෙන බව ඔබ දන්නවා. ජීවී හා අජීවී අතර තියෙන දෙයක් තමයි වයිරස්.

1. ජීවීන් හැදිලා තියෙන්නේ සෛල කියන කුඩා ඒකක වලින්.
2.ජීවීන්ට ආහාර , වාතය ,ජලය අවශ්‍ය වෙනවා.
3. ජීවීන් හුස්ම ගන්නවා.
4. බහිශ්‍රාවය කරනවා.
5. පැටවුන් බෝ කරනවා, හෙවත් ප්‍රජනනය කරනවා.
6. ජීවී සෛලවල DNA ,RNA දෙකම තියෙනවා.
7. ඒ DNA/RNA  වෙනස්වීම නැත්නම් විකෘති ඇතිවීම සිදු වෙනවා.

හැබැයි වෛරස් වල සෛල කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෛරස් අංශු. වෛරස වල හුස්ම ගැනීමක්, ආහාර ,ජලය ගැනීමක් නැහැ. තිබෙන්නේ එක්කෝ DNA  නැත්නම් RNA .

වයිරස් අංශුව මැද මේ DNA  හෝ RNA  අණුවකුත් ඒ වටා ප්‍රෝටීන කොපුවකුත් තිබෙනවා. සමහර වයිරස් අංශු වලට අමතර ලිපිඩ හා ප්‍රෝටීන වලින් හැදුණු කවරයක් තිබෙනවා. නව කොරෝනා  වලත් ඒ අමතර කවරය තිබෙනවා.

ඉතින් මෙහෙම බැලුවොත් වයිරස් අජීවී. නමුත් වයිරස් වලට ජීවීන්ට තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා.

1. පැටවුන් හදනවා.
2. DNA   හෝ  RNA වල විකෘති ඇතිවෙනවා.

මෙන්න මේ නිසා වෛරස් ජීවී අජීවී අතර ඉන්න සුවිශේෂී දෙයක්.


වයිරස් විනාශ කරන්න පුළුවන් ද ?

ඔව්, වයිරස් අධික තාපයේදීත්, ඇතැම් රසායනික ද්‍රව්‍ය වලිනුත්, සුර්ය විකිරනයෙනුත් විනාශ වෙනවා. හැබැයි ඇත්තටම වයිරස් 'මරනවා' කියල දෙයක්  තියෙන්න බැහැ . ඇයි?මැරෙන්න නම් ජීවත් වෙන්න ඕන.  ඉතින් වයිරස් ජීවත් වෙන්නේ නැහැ නේ ? විනාශ වීමකදී වෙන්නේ ඒවායේ DNA හෝ RNA   විකෘති වීම හා ප්‍රෝටීන් විනාශ වීම පමණයි. 


වයිරස් අපට ලෙඩ හදන්නේ ඇයි ?

වයිරස් තම පැටවූ හදන්න නම් ජීවී සෛලයක උදව් ඕන කරනවා. ජීවී සෛලවලට වයිරස් ඇතුල් වෙනවා. ඒ සඳහා හැකියාව ඒවාට තිබෙනවා. එහෙම ඇතුල් වෙලා ඒ ජීවී සෛලයේ හැම දෙයම අයිති කරගෙන පරපෝෂිතයෙක් වෙනවා. එවිට වෛරසයට පුළුවන් තම පැටව් සිය ගණනක් හදන්න. එහෙම හැදුවට පස්සේ අර ජීවී සෛල විනාශකර ගෙන හැදුණු පැටව් විසිරෙනවා. අර ජීවී සෛලය හෝ සෛල අයිති අය රෝගී වෙනවා. සෛල විනාශ වීම නිසා. අර පැටව් තව අලුත් ජීවීන් ලෙඩ කරනවා. ඉතින් ලෙඩ පැතිරෙනවා.

වයිරස් හරිම කුඩායි. ඒවා මනින්නේ නැනෝ මීටර් වලින්. නැනෝ මීටරයක් සමානයි මීටර් 0.000000001කට. වයිරස් සාමාන්‍යයෙන් නැනෝ මීටර් 20 ත් 400ත් අතර වෙනවා.

වයිරස් වර්ග රැසකුත් වයිරස් රෝග රැසකුත් තියෙනවා. අතීතයේ තිබු භයානක වයිරස් රෝගයක් තමයි වසුරිය. ඒ රෝගය එන්නත් මගින් ලෝකයෙන් තුරන් කෙරුණා 1980 දී. එදායින් තමයි එන්නත් කිරීම නතර කෙරුණේ. මා ඇතුළු ඊට පෙර ඉපදුණු අයගේ බාහුවේ ඉහළ කෙළවරේ මේ එන්නත් ලකුණ තියෙනවා. 

මේ හැර අපට පුරුදු වයිරස් රෝග තමයි පැපොල, සරම්ප, කම්මුල් ගාය, ජර්මන් සරම්ප, පෝලියෝ ,  AIDS වගේ ඒවා.   AIDS ඇර මෙහි කියූ අනික් ඒවාට එන්නත් තියෙනවා.

වයිරස් රෝග දෙවියන්ගේ ලෙඩ ද?

පැපොල ,සරම්ප වගේ රෝග හැදිලා ටික දිනකින් ඉබේ හොඳ වෙනවා. ඉතින් මිනිස්සු හිතුවා ඒවා දෙවියන් කෝප වීමෙන් හැදෙනවා කියලා.

වයිරස් රෝග ඉබේ හොඳ වෙන්නේ ඇයි ?

රෝග කාරක වයිරසය ශරීර ගත වුනහම ක්‍රමයෙන් එය විනාශ කිරීමට දායක වන ප්‍රතිදේහ ශරීරයේ හැදෙනවා. ඒ මගින් රෝගය සුව වෙනවා. මේ වන විට ප්‍රති වයිරස ඖෂධ වර්ග ( Antiviral drugs like Interferon) ද තිබෙනවා. නමුත් ප්‍රතිජීවක වයිරස සඳහා ක්‍රියාත්මක වන්නේ නැහැ. ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ බැක්ටීරියා හා දිලීර රෝග වලට පමණයි.

මෙසේ ඒ ඒ වයිරස් රෝග හැදුනහම ශරීරයේ සෑදෙන ප්‍රතිදේහ සමහර විට මුළු ජීවිත කාලයේම පවතිමින් දෙවෙනි වර එම රෝග සෑදීම වළක්වනවා. එන්නත් මගින් කරන්නේ රෝගය නොහැදීම ශරීරයේ ප්‍රතිදේහ ඇති කරවීම. සමහර වයිරස රෝග වලට නිමි ප්‍රතිදේහම එන්නත් කරන අවස්ථා තියෙනවා. ජලභීතිකාව සහිත සතෙක් සපා කෑ විට හෝ පිටගැස්ම සෑදීගෙන එනවිට එසේ කරනවා.

එන්නතක් නිපදවීමට කාලයක් පර්යේෂණ කරන්න වෙනවා. වයිරස්වල වෙනස් වන සුළු බව නිසා ඇතැම් වයිරස් රෝග සඳහා එන්නත් නිපදවීම අපහසුයි. AIDS හා ඩෙංගු එවැනි රෝග. අද ඇතිවී තිබෙන නව කොරෝනා සඳහාත් එන්නතක් නිපදවීමට මේ වන විට ලොව පුරා පර්යේෂණ දියත් වෙමින් තියෙනවා.





6 comments:

  1. තේරුම් ගැනීමට අමාරු විෂයය කොටසක් හොඳින් පැහැදිලි කර තිබෙනවා. දැනට ලෝකයේ රටවල් රාශියක ව්‍යාප්ත වී පවතින Corona වයිරසය පිළිබඳව ලොව පුරා විද්‍යාඥයින් පර්යේෂණ කරන බව දැනගන්නට ලැබෙනවා. මේ සඳහා වයිරසයේ ප්‍රභේද නම් කර තිබෙන ජාත්‍යන්තර වර්ගීකරණය පිළිබඳවත් යමක් මේ ලිපියට එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල කළා. අපිට කිව්වා මතකයි නැනෝ මීටරය කියන දෙය තේරුම් ගැනීම සිසුන්ට ද පහසු නොවන බව. ඔබ කියූ වර්ගීකරණය එකතු කරන්නම්.

      Delete
    2. What might make coronavirus so contagious
      A protein on the surface of the SARS-CoV-2 coronavirus might explain why it infects human cells so readily. Coronaviruses use a ‘spike’ protein to infect cells. A handful of genetic and structural analyses suggest SARS-CoV-2’s spike protein is activated by an enzyme found in lots of human tissues, including the lungs, liver and small intestines. That means that the virus has the potential to attack multiple organs, and it could explain some of the symptoms of the infection. Other research has shown that the spike protein binds to a particular receptor on human cells — angiotensin-converting enzyme 2 (ACE2). Both results, although early, hint at places where a treatment might target the virus. (Nature | 5 min read)

      Delete
    3. Thank you for the valuable information.

      Delete
  2. අදයි මේ පැත්තට ගොඩවුනේ... මගෙ බ්ලොග් රෝලට ඇතුලු කරගත්තා... වටින සටහනක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මිතිල පුතා, කොමෙන්ටුවට හා මා බ්ලොග් රෝලට එකතු කර ගැනීමට. ඔබේ ලිපි මා නිතර කියවනවා, මුහුණු පොත හරහා. අද තමයි වාසිතය බ්ලොග් එක පැත්තේ ගියේ. හෙමිහිට කියවන්න ඕන.

      Delete