Tuesday, July 7, 2020

බෝනිකි ගෙවල් 9 - සරස්වතිගේ දෙවෙනි ගමන



















එදා සරස්වතිගේ මගුල් ගෙදර ගිහින් ඇවිත් තාම මහන්සිය ඉවර වුණෙත් නැහැ. දවස් තුනකින් දෙවෙනි ගමනට යන්න ලෑස්ති වෙන්න සිද්ධ වුණානේ. බෝනිකි නෝනලා මේ ගමනත් සැලසුම් කරලා තමයි එදා ගමන ගියේ. ඇඳුම් පැළඳුම් අලුතෙන්ම ගත්තේ නම් නැහැ. නෑදැයෝ නොවන යාළුවන්ගේ මගුල් ගෙවල් වලට ඇඳපු ඇඳුම් අඳින්න තමයි ලෑස්ති කළේ.

සුජාතා - ඒක නෙවෙයි රෝස් මගේ මේ සාරිය සරස්වතිලා දැක්කේ නැතුව ඇතිනේ. මට මතක විදියට මං මේක ඇන්දේ මිස්ට පතිරණලගේ මගුල් ගෙදරට විතරයි.
රෝස් - ඔයාටත් පිස්සු...අනේ ..මිස්ට පතිරණලගේ කවුරුවත් සරස්වතී අඳුරන්නේ නැහැනේ. අනික ඔය සාරිය හරි හැඩයි ..සුජා 
සුජාතා - චම්පිකා අර බතික් ඔසරිය අඳිනවා කිව්වා. ඒකත් හරිම ලස්සනයි. ඔයා මොකද්ද රෝස් අඳින්නේ? 
රෝස් - අර පී කොක් බ්ලු පාට බෙනාරිස් සාරිය ..
සුජාතා - ෂා ..මරුනේ ..චන්දන නම් ඔහේ කැෂුවල් යනවා කිව්වා. මට මොකෝ 

ඔන්න ඉතින් ඒ දවසේ කට්ටිය කාර් වලින් ගාල්ලට ගිහින් බලන් හිටිය වැලිගම කාන්ඩේ  එනකම්. ඒ ගොල්ලෝ ආවයින් පස්සේ ඔක්කොම එකතු වෙලා කාර් පේලිය මූද අයින දිගේ ඇදෙන ගාලු පාර දිගේ කළුතරට යන්න පිටත් වුණා🚗🚗🚗. ළමයි ටික මූද පැත්තේ සීට් අයිති කර ගන්න පොරේ. අන්තිමට පිණියි අශික්කියි තරහත් වුණා. නවය  වෙද්දී බෙන්තර හොටෙල් එකක නැවැත්තුව. ඒ එතන උදේ තේ ලෑස්ති කරලා තිබුණ නිසා. අලුත් ජෝඩුවත් එතන තමයි කලින් දවසේ ඉඳල තියෙන්නේ. සුජාතාට කතා කරලා වැලිගම ලොකු අම්ම කිව්වා මනමාලි ඒ කියන්නේ සරස්වතී ඉන්න තැනට යන්න එන්න කියල. 

'චන්දන මං ලොකු අම්මත් එක්ක සරසි බලන්න ගිහින් එන්නම්. ඔයා ළමයි බලා ගන්න. මේ ගොල්ලෝ මුහුද පැත්තේ යයි ද දන්නේ නැහැ. ඔයාට කම්මැලි නම් ළමයි චම්පිකාට හරි විශාකට හරි බාර දෙන්න.' කියාගෙන සුජාත ලොකු අම්ම එක්ක ගියා. 

මේ පවුල් වල වැඩ එහෙම තමයි. සුජාතා,චම්පිකා, විශාකා හා රෝස් කියන බෝනිකි නෝනලට කොයි පවුලේ දරුවෝ වුණත් එකයි. එක අම්මගේ දරුවෝ වගේ තමයි ඒ දරුවොත්. ඒ කාලේ ඇත්ත සමාජේ වුණත් ඒ විදියයි නේ. බස් එකේ කොන්දොස්තර මාම වුණත් දරුවෝ ගැන හොඳින් බලනවා. අහළ පහල ගෙවල්වල අම්මල, අත්තම්මල වුණත් කොයි දරුවා ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ.

ඒ වගේම තමයි ගම්වල ආගන්තුකයෙකුට ලේසියෙන් හැසිරෙන්න බැහැ. කවුරුත් වගේ ඇහැ ගහගෙන ඉන්නවා කවුද අහවල් තැනට ආවේ ගියේ කියල. මේකේ හොඳ නරක දෙකම තියෙනවා. ගමේ කෙනෙකුට නරකක් වීමේ ඉඩ කඩ ඇහිරෙන එක හොඳක්. මගුල් කටයුත්තක් වගේ එකකදී ඒ මගුල කැඩිලා යන විදියේ කේලම් පාවෙන්නෙත් ඔය ගම්මුන්ගෙන්ම තමයි. මොකද ඕන එකටයි එපා එකටයි හැම දේටම හොට දානවනේ. ඉරිසියාව කියන එක එදා ඉඳන් අද වෙනකම් මේ ශ්‍රී ලංකාවේ තියෙන සුව කළ නොහැකි රෝගයක්. මට හිතෙන්නේ හැම තිස්සෙම බණ කියන කොට 'අනුන්ට ඉර්ශ්‍යා කරන්න එපා පින්වතුනි !' කියල හාමුදුරුවරු මේක මතක් කර දීමත් එක හේතුවක් මේක සුව නොවෙන්න කියල. මං දැන් මේ බෝනිකි කතාවෙන් පිට පැනල මේ ටික කිව්වේ මේ බෝනිකි සිතුම් පැතුම් කෙරෙහි බල පෑවෙත් එකල ඒ තිබුණු වට පිටාව කියන එක ඔබට තේරුම් කරලා දෙන්න.

සුජාතල යනකොට සරස්වතිට අන්දවලා ඉවරයි. ලස්සන ඕගන්දී  රතුපාට ගවුම බිම දිගේ ඇදෙන තරම් දිගයි. කොණ්ඩෙත් අමුතුම හැඩේකට සරසල තිබුණා. ඒ කොණ්ඩ මොස්තරේ ඉගෙන ගන්න ඕනේ කියල සුජාතා හිතෙන් හිතුවා. මල් පොකුර රතු රෝස. ඔක්කොම ආභරණත් හරිම හැඩයි කියල සුජාත හිතුව. කොහොම වුණත් මනමාලය නම් සල්ලිකාරයෙක් වගෙයි කියලත් සුජාතට හිතුණා. 

'ලස්සනයි නංගියෝ ' කියල සුජාත කටපුරා කිව්වා. 
'අනේ අක්කේ මෙන්න මේ ලිප්ස්ටික් එක තව චුට්ටක් හදනවා ද ? ' සරස්වතී යාප්පු වුණා. සුජාතා මැකී ගිහින් තිබුණ පාට ආයෙත් තොල් වලට ආලේප කළා. 

'දැන් නැකත ලඟයි. නුවර අය්යියන්ඩි  මගින් මගට කිව්වා නැකත් වෙලාවල් වරද්දන්න එපා කියල' ලොකු අම්ම මතක් කළා.
 
ඒ අස්සේ කලබලෙන් දුවගෙන ආපු මාතර නැන්දම්මා ' දුවේ රෙදි නැන්ද කෝ ? උන්දැට කතා කරන්න මේවා එකලාසයක් කරන්න කියල' කියාගෙන නැන්දම්මා පහළට ගියා.

ඔය දෙවෙනි ගමන සිද්ධියේ යථාර්තය මොකද්ද කියල මේ අක්කලවත් ඒ කාලේ දැන ගෙන හිටියේ නැහැ. එක දවසක් ලොකු අක්ක (👩සුදු නෝනා) අත්තම්මයි මාමණ්ඩියි එක්ක මාතර මගුල් ගෙදරක ගියා. ඒ කියන්නේ දෙවෙනි ගමනක්. ඔන්න එදා මනමාලි ආවට පස්සේ එක කාමරයකට ගියා. රෙදි නැන්දත් ඒ කාමරයට ගියා. ඊට පස්සේ ලොකු අය එක එක්කෙනා මේ කාමරයට රිංගනවා. ආපහු එනවා. පොඩි ළමයි හොඳ මීටර් නේ. පොඩ්ඩක් දොර රෙද්දෙන් ඇතුළට එබුණා. ඇඳ උඩ තියෙන මොකක් හරි තමයි මේ නැන්දලා, අත්තම්මල බලන්නේ. ඊට වැඩිය කිසිම දෙයක් එදා මීටරේට වැටුණේ නම් නෑ. පස්සේ ගොඩක් ලොකු වුණාට පස්සේ තමයි  මොකක්ද මේ සැන්තෑසිය කියල  දැන ගත්තේ. 

දැන් කවුරුත් පාතරාසය සම්පුර්ණ කරලා ඉවරයි. හැමෝම ලොබියේ හිටියේ. 

'කොහෙද මහත්තය ලොරිය?'  කියල එක පාරටම යමක් මතක් වෙලා වැලිගම ලොකු අම්ම ලොකු තාත්ත ව ඇමතු ව.
'ඔව් හාමිනේ ..ඒවා වෙලාවට කෙරනවා. ඔන්න දැන් ඩ්‍රයිවර් උන්නැහෙයි උදව් කාරයයි තේ බීල ලොරියට ගියා'. මේ කතාව කණ වැටිච්ච එතනම හිටිය පිණීට කුකුසක් ආව මොකද්ද මේ වයසක ජෝඩුව කතා කරණ 'ලොරිය' කියල. ඒත් ඒ ගැන ප්‍රශ්න කළේ චම්පිකා ගෙන්. 

"මොකක්ද චම්පි නැන්ද ඒ ලොරියක් ගැන අත්තම්ම ඔය තරම් වද වෙන්නේ." 
චම්පිකා පිණිට ඒ ගැන පැහැදිළි කරලා දුන්න. 
'ඒ තමයි පිණී සරසිගේ දෑවැද්ද පටවපු ලොරිය'
'දෑවැද්ද ? ඒ මොකක්ද අප්පේ ?'
'ගෑණු ළමයෙක් දීගේ දෙනකොට එයාගේ දෙමව්පියෝ දෙන තෑගි '
'තෑගී ? මොනවගේ දේවල් ද නැන්ද ?' පිණී ඉතින් ප්‍රශ්න පෙට්ටියක් නේ ...
'ඉඳි කට්ටේ ඉඳන් අල්මාරි පෙට්ටගම් ඉඳල සල්ලි, ඉඩම් ඔක්කොම තමයි.'
'ඒ ඔක්කොමද ලොරියේ පටවල තියෙන්නේ?'
'වෙන්න ඇති.' 
එදා තමන්ගේ මගුල් දවසේ කෑම පෙට්ටි බැඳලා ගෙනාපු වෙලේ තඩි කරවලයෙකුගේ නැට්ට රිබන් එකක් ගැට ගහල සරසල එළියට පෙන්න තිබුණ හැටි චම්පිකාගේ හිතේ ඇඳිලා ගිහින් මුණට හිනාවක් මතු වුණා. 
'ඇයි චම්පි නැන්ද හිනාවෙන්නේ ?' පිණී ඇහැව්වා. 
චම්පිකා කතාව කිව්වා. දෙන්නම කැකිරි පැලෙන්න හිනා වුණා.
'මොකෝ මේ දෙන්නගේ සිරික්කිය?' සුජාතා එතෙන්ට සේන්දු වුණා. පිණී කතාව කිව්වා. 
ගෝරිං, දමිත්, රෝස්,උදන්, නීල්, චන්දන ඔක්කොම කට්ටිය මේ හිනාව මොකද්ද බලන්න එතෙන්ට එකතු වුණා. පිණිට කීප සැරයක් පරණ තැටිය ප්ලේ කරන්න වුණා. කට්ටිය ඇතිවෙන්න හිනා වුණා.
'මං කරවල නැට්ට බලන්න ඕන ලොරියෙන් බඩු බාන කොට " ගෝරිං කිව්වා.

දැන් කවුරුත් වාහන කරා සේන්දු වුණා. සුදු කාරෙකක් ලස්සනට රතු මල් වලින්, රිබන් වලින් සරසල තිබුණ අලුත් ජෝඩුවට. මෙදා දෙවෙනි මනමාලියෝ හා මල් කුමරියෝ චාම් ගවුම් වලින් සැරසිලයි හිටියේ. ජෝඩුව පිටිපස්සේ ... ඒත්  ඉස්සරහ සීට් එකේ යන්න නීල්ට කතා කළා. පොලිස් ලොක්කනේ එයා. ඒ ගොල්ලන්ගේ කාර් එක රෝස් එලෙව්වා. ඔන්න කාර් පේළියයි පිටිපස්සේ තඩි ලොරියයි බෙන්තරින් පිටත් වෙලා එකොළහට ලං වෙද්දී කළුතරට ආවා. 
කළුතර ටවුමට කලින් දකුණට හැරිලා හුඟක් දුර ආව. පිටිසර පැත්තක්. පාරවල් පටුයි. 

'බස් එකක් වත් යන පාරක් වෙන්න බෑ ' සුජාතා චන්දනට කිව්වා. 
මනමාලිගේත් මුණ බෙරි වෙලයි තිබුණේ. මේ පළවෙනි පාර නේ තමන් මින් ඉදිරියට ඉන්න යන්නේ කොහෙද කියන එක දකින ....අනිත් අයනේ ගෙවල් දොරවල් බලල සියළුම  තීරණ ගත්තේ. සරස්වතී මගුලට කලින් හතර පස් වතාවයි මනමාලය එක්ක කතා කලෙත්. 
'සරස්වතිට මේ පිටිසර අල්ලන එකක් නැහැ ' මාතර අත්තම්ම චම්පිකාට කිව්වම චම්පිකාට පුදුමයි අම්මලත් වෙනස් වෙච්ච තරම කියල හිතල. 

කොහොම හරි ළමයින්ට නින්දත් ගිහින් තිබිල එක සැරේටම ඇහැරුණේ රතිඥ්ඥා සද්දෙට ......ඒ ගමට ඇතුල් වෙච්ච තැන පිළිගැනීමක්. පිරිසට බහින්න වුණා. විශාල ගෙයක් ඉස්සරහ එතන පාරේ රතිඥ්ඥ පත්තුකරලා පිළිගැනීම කළා . ඔරේන්ජ් බාර්ලි වලින් සංග්‍රහයක් තිබුණ. ගෝරිං ඇතුළු ළමයින්ට නම් ඒක හරිම අගේ ඇති දෙයක් වුණා . මේකට කියන්නේ 'ආදරය' තියනවා  කියල. සමහර ජෝඩු වලට දෙතුන් පළක 'ආදරය' තියනවා කියල ඇත්ත අම්ම කිව්වා.  

ඊළගට තව ටික දුරක් ගිහින් මගුල් ගේ ලඟට ඇවිත්..... කට්ටිය බැහැල අලුත් ජෝඩුව ඉස්සර කරගෙන පෙළ හැදුණා. ඊළඟට ඉස්සරහට ඇදුනා. වත්තට ඇතුල්වෙන තැන ලොකු ගේට්ටුවක් තිබුණා. ඒකෙ දෙපැත්තේ තාප්පේ කණු උඩ රෞද්‍ර පෙනුම තියෙන සිංහයෝ දෙන්නෙක්ගේ රූප අඹල තිබුණා. 

ඊට පිටින් යෝධ තොරණක්, සම්පුර්ණයෙන්ම දේශීය අමු ද්‍රව්‍ය වලින් හදල තිබුණ. කොහොමත් දැන් වගේ රිජිෆෝම්, පොලිතින් නැහැනේ. ඒ තොරණේ උඩ 'නව යුවළ සාදරයෙන් පිළිගනිමු ' කියල පොල් මල් වලින් අකුරු හදල අමුණලා තිබුණා. ඇත්ත අම්ම මේ තොරණ ගැන අපූරු කතාවක් කියල තිබුණ මේ අක්කලට මතක් වුණා. ඔන්න ඔය විදියට අලුත් ජෝඩුවක් පිළිගන්න හදපු තොරණක ජෝඩුව ඇතුළු පිරිස එන වෙලාවේ 'පිළිගනිමු' කියන එකේ පියන්නේ ඉස්පිල්ල තිබිල නැහැ. එතන ගිණි  විජ්ජුම්බරයක් වුනාලු. තරහ කාරයෙක් ඉස්පිල්ල අයින් කරලා කියල තමයි කියන්නේ.  

හෙමින් හෙමින් හෙමින්  කට්ටිය නුහුරු බවට ටිකෙන් ටික අනුවර්තනය වෙමින් පෝටිකෝව යටට ගියා. මහා විසාල වත්තක් මැද පරණ ඒත් ගරු ගාම්භීර පෙනුමක් තියෙන වලව්වට චම්පිකාගේ හිත ගියා. සරස්වතිගේ නැන්දම්මා මිල්ලෙගොඩ කුමාරිහාමි වතුර වීදුරුව අරන් ඉස්සරහට ආවා. මනමාලිගේ හා තම පුතාගේ හිස ඉඹල පිළිගත්තා. වතුර උගුර ගානෙ පෙව්වා. 'මේ මනමාලය නම් අම්ම කියන තාලෙටම ඉන්න කෙනෙක් වගේ.... ' විශාකාගේ ගුරු නුවනට වැටහුණේ බොහෝ දුරට නිහඬ මනමාලයා දැක්ක වෙලේ ඉඳන්මයි. ජෝඩුව අම්මට වැන්ද. දොරකොඩ ළමා සාරි ඇඳ ගත්ත දැරිවියෝ පස් දෙනෙක් මිහිරි හඬින් ජය මංගල ගාථා කිව්වා. වයසක මාම කෙනෙක් සර්පිනාව වාදනය කළා . ඊට පස්සේ 'සරස්වතී අපෙ පුංචි කුමාරි ...ලස්සන මනමාලි සීදේවි සීදේවි .....' කියල පිළිගැනීමේ ගීතයකුත් කිව්වා. 

මිල්ලේගොඩ කුමාරිහාමි සහ ඇගේ වල්ලභය එකතුවෙලා ඔක්කොම නෑයෝ ආයුබෝවන් කියල පළිගත්ත. 
මිදුලේ විසාල මගුල් මඩු දෙකක් ගොක්කොළ, කෙසෙල් කැන්, කිතුල් මල් වළින් සරසල මගුල් මේස හා පුටු වලින් පුරවල තිබුණ. 
අවතේව කාරයෝ හිටියේ එක විදියේ ඇඳුම් ඇඳලා,රතු පාට කෝට් එකකුයි සුදු කලිසමකුයි.  කෝට් එකේ රිදී පාට බොත්තම් වැලක් තිබුණා.  සංග්‍රහය හෝටලයකින් තමයි පිළියෙළ කරලා තිබුණේ. මුළින්ම බීම සංග්‍රහයක් ලැබුණා. ඒ වෙනකොට ගේ ඇතුළේ ලොකු ගැහැණු උදවිය රාජකාරි වල යෙදුණ. ඒවා එකල දන්නේ නැති දේවල් නිසා ඇත්තටම තේරුමක් ඇතුව කළේ නැහැ. රබන් වාදනය වුණා. ඊට පස්සේ තමයි දවල් කෑමට වතුර ඇල්ලුවේ. ඒක විතරක් මිල්ලෙගොඩ කුමාරිහාමි කළා. ඒත් අර එකවිදියේ රතු කෝට් ඇඳපු ආවතේව කාරයෙක් පිටිපස්සෙන් ගීයා. අනික් හැම දෙයක්ම හොයා බැලුවේ ඒ ආවතේව කාරයෝ. 

'බලන්න දුවේ මේ හෝටල් කෙරුවාවත් නරක නෑ නේද? අපිට මහන්සි වෙන්න දෙයක් නෑනේ.' කියලා වැලිගම ලොකුඅම්මා සුජාතට විතරක් ඇහෙන්න කිව්වේ 'අපරාදේ එදා මං මහන්සි වුණේ' කියන  එක වගේ. 

'ඔව් ලොකු අම්ම දැන් සමහරු මගුල් ගන්නෙත් හෝටල් වල' සුජාතා කිව්වා. 
'අපොයි එතකොට ගෙවල් පාළුයි.....මගුලක් තිබුණ කියල මිනිස්සු දන්නෙත් නැහැ.' ලොකු අම්ම විස්සෝප වුණා. 
දිවා භෝජනය බුක්ති විඳින්න පැයක් හමාරක් විතරයි ගත වුණේ. විසාල මගුල් මේස ලොකු පිරිසකට එකවර කෑම ගැනීමට ඉඩකඩ සැලසුවා. 

අර ලොකු දොස්තර නෝනා ඇවිත් හිටියා. බලනකොට චම්පිකාගේ කැම්පස් එකේම උඩ බැච් එකක එක්කෙනෙක් විතරක් නෙවෙයි එංගලන්තේ ඉගෙන ගන්න කාලෙත් එකට ඉඳපු කෙනෙක්. දෙන්නා හුඟක් වෙලා ආගිය තොරතුරු ඉංග්‍රීසියෙන්ම කතා කරනවා වයසක බවලත්තු කට ඇරන් බලන් හිටිය. 

මේ වෙද්දී ලොරියේ බඩු බිමට බාල තිබුණා. කළුවර ලීයෙන් මල් කැටයම් කළ දොරතුනේ තේක්ක අල්මාරිය, විශාල පබලියන් ඇඳ, තේක්ක, කුෂන් කරපු පුටු සෙට් එක, අල්මාරිය විදියටම මල් කම් කළ පෙට්ටගම, සිංගර් මැසිම, මේසය හා පුටු  හය, හිරමණ, වං ගෙඩි, කොසු ඉදල්, කොට්ට මෙට්ට මෙකි නොකී දෑ අව්වේ දිළිසෙමින් තියෙනවා පෙනුණා. බවලත්තු ඒවා දිහා වරින් වර ඇහැ යවල බැලුව. කෑම පෙට්ටි බෑවත් කරවල නැට්ට පෙන්න තිබුණෙ නෑ කියල ගෝරිං පිණිට වාර්තා කළා. පිණී සද්දේ ඇහෙනවට කට තද කර ගෙන හිනා වුණා. 

කෑමෙන් පස්සේ මංගල සභාව පවත්තන්න යෙදුණ. මනමාලයාගේ පැත්තේ කතාව එදා කතා කළ ලොකු ඉස්කෝලේ මහත්තයම කළා. වලව්වේ වර්ණනාව කයිප්පු දාල හැඩ කරලා කිව්වා. 
' ඔය වර්ණනා කළාට සරස්වතී මේන් කියල මේ පිටිසර ඉඳියි' කියල සුජාතා චම්පිකාට කිව්වා. 
'ඔව් ...ඉතින් එයා කොළඹ නේ වැඩකරන්නේ. මෙහෙට මාරුවක් ගන්න වෙයි' චම්පිකා කිව්වා. 

'එයාට මොන රස්සාවල්ද මේ තියෙන්නේ සාගරයක් වගේ දේපළ' මාතර හාමිනේගේ කටහඬේ පොඩි ඊර්ෂ්‍යාවක් රැඳිල තිබුණ. තමන්ගේ මේ තරම් උගත් දරුවොන්ට වත් මෙච්චර ලොකු කටයුත්තක් කෙරුණෙ නෑනේ කියන පස්චත්තාපෙත් එක්ක.  

මෙදා නුවර මාමණ්ඩි ආවේ නැති නිසා චම්පිකාගේ තාත්තා මාතර රාළහාමි මංගල සභාවේ කතා කළා. ඒ කතාව නම් රසවත්....ජෝඩුවට ඉදිරි ජීවිතේ හොඳින් ගෙවන්න ඕන කරන උපදෙස් ටිකක් දුන්න. 

ඊට පස්සේ වැලිගමින් ආපු මාම කෙනෙක් ලොකු අම්ම එක්ක සරස්වතීගේ දායාද පිරිනැමුවා. 

'ඕවා අපට මොකටද නංගි ..අපිට ඕන ශීලාචාර ගෑණු දරුවෙක් විතරයි නේ ..මේ තියෙන සබ්බ සකල මනාව පුතාට තමයි. මොකෝ අපිට කියල මහා ගොඩක් ඉන්නවයි.' මිල්ලෙගොඩ ඇත්තී වැලිගම ලොකුඅම්මගේ වැලමිටෙන් ඇල්ලුවා.

'මං මගේ යුතුකම් ඉහටත් උඩින් ඉෂ්ට සිද්ධ කරන කෙනෙක් අක්ක..' කියල වැලිගම ලොකු අම්ම ඇස් කොණ පිහිදැම්ම. 

මංගල සභාව අතරේම කේක් හා අයිස් කෝපි ලැබුණා. දැන් සේරම කටයුතු ඉවරයි....කට්ටියට පිටත්වෙන්න කාලය උදා වුණා. සරස්වතී අම්ම තාත්ත ඉස්සරහ වැඳ වැටුණහම වැලිගම ලොකු අම්ම වැලහින්නක් වගේ අඬන්න ගත්ත. සරස්වතිත් ඇතිවෙන්න ඇඩුව. 
සුජාතා ලොකු අම්මව සැනසුවා.
'දැන් එන සතියේ නංගි   අම්මල බලන්න එනවනේ ..අඬන්න එපා ලොකුඅම්මා...'
එකපාරටම කවුරුත් කඳුළු ඉවරවෙලා වගේ අඬන එක නැවැත්තුව . මේ ඇඩිල්ලත් සමහර මළ ගෙවල්වල ඇඩිල්ල වගේම බොරු එකක් නේද කියල නදුන් ඉද්දමල්ගොඩ හිතුව. මළ ගෙවල් වලට කුලියට අඬන අය මීගමුවේ ඉන්නවා කියල ඇත්ත අම්ම කියල තිබුණ. කොහොමින් කොහොම හරි දෙවෙනි ගමන කටයුතුත් සාර්ථකව ඉවර වුණා. සරස්වතිට සමුදීල නෑදැයෝ විසිරිලා ගියා. 





      


2 comments:

  1. බෝනික්කන් සමග සෙල්ලම් කරන කුඩා අවදියේදී දරුවෝ තේරුම් නොගන්නා සිදුවීමක් "ඇඟට නොදැනී" විස්තර කර තිබීම අගෙයි. මීළඟ පියවර ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් අගය කිරීමට. මං ඇත්තටම දෙවෙනි ගමන ලියන්න කියල හිතන් හිටියේ නැහැ. සර් ඊ ලඟට දෙවෙනි ගමන ගැන බලන් ඉන්නවා කියල සරස්වතිගේ මගුල් ගෙදර post එකට comment කරපු නිසා ඒක ලියන්න ගත්ත. අතීත මතක ටිකක් ආවර්ජනය කරමින් ලියාගෙන ගිය. පටන් ගත්තම ලියවෙනවා.

      Delete