සව් ඇට එන්නේ කොහොමද?
සව් කැඳ බොන්න කවුද අකමැති නේද? ඒත් සව් ඇට කොහොමද හැදෙන්නෙ? ගහක හැදෙනවද? අපි ටිකක් ඒ ගැන කතා කරමු.
ඔන්න මැලේසියාව, ඉන්දුනීසියාව හා නිව් ගිනියාවල වනමය වගුරුබිම් වල වවන ශාකයක් තියෙනවා සේගු පාම් කියලා. එහි උද්භිද විද්යාත්මක නාමය Metoxylon sagu. මේක පාමේ කුලයේ (Family - Palmae) ශාකයක්. අපි තාල වර්ගයේ ගස් කියලා කියන්නේ. මේක වියලි බිම්වලත් හැදෙනවා. ලෝකයේ සමහර ප්රදේශවල ජනයාට ප්රධාන ආහාරය සපයන්නේ මේ ශාකය.
දැන් ඔයාල හිතනවා ඇති මේ ශාකයේ සව් ඇට හැදෙනවා කියලා. නෑ නෑ. දැන් මං ඒ ගැන කියන්නම්.
මේ ශාකය පරිණත වෙද්දී අඩි මීටර් 15ක් විතර උසට හැදෙනවා. කඳ සෘජුයි, මහත හා අතුනොබෙදුන එකක්. කඳ මුදුනේ පාණිවත් විශාල පත්ර කිරුලක් දරනවා. මුල් අතු නොබෙදී පොළවේ ගැඹුරට ගමන් කරනවා. මේ ගස් ඉක්මනින් වැඩෙනවා. පැතිරෙනවා. ඒ මව් ගස වටා පැනනගින අංකුර වලින්.
ගහට අවුරුදු 12 - 15 ක් පමණ වනවිට ලිංගික පරිණතිය එළඹෙනවා. එය ජීවිත කාලයටම මල් දරන්නේ එකම එක වතාවයි.
ඉන්පසු ගහ මැරෙනවා. මල් කෘමීන් මගින් පරාගණය වෙලා ගෙඩි හැදෙන්න වසර 11/2ක් විතර යනවා. ඒ ගෙඩිවල හැදෙන ඇට සව් ඇටද? නෑ
මේ ගහේ කඳේ බඩයේ පිෂ්ටය විශාල වශයෙන් තැන්පත් වෙනවා. එය උපරිමයට එන්නේ මල් පිපෙන්න කලින්. අන්න ඒ වෙලාවේ ගහ කපනවා. කපලා බඩය තලලා මිරිකලා යූෂය ගන්නවා. හරියට අපි කිතුල් බඩයෙන් කිතුල් පිටි ගන්න විදියටයි ඒක කරන්නේ. ඊට පස්සේ ඒ දියරය පෙරලා වතුර වාෂ්ප කරලා පිටි නැත්නම් සේගො ගන්නවා. එක ගහකින් සේගො 150-300 kg පමණ ගන්නවා. වී වගාවට වඩා බොහෝ කාර්යක්ෂම දෙයක්.
සේගො නැගෙනහිර ආසියාවේ රටවල් වල ප්රධාන ආහාරයක්. ඒ වගේම විවිධ ආහාර හදන්න මෙය යොදා ගන්නවා. සේගෝ පිටි හොඳින් වියළුවහම ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්.
සේගෝ වල ප්රයෝජන ගොඩයි. මෙය මොනො සෝඩියම් ග්ලූටමේට් හදන්න ගන්නවා. ජෛව වියෝජනය වන ප්ලාස්ටික් හදන්න ගන්නවා. රෙදි වලට කැඳ දාන්න ගන්නවා. එතනෝල් හා සිට්රික් ඇසිඩ් හදන්න ගන්නවා. පහසුවෙන් දිරවන නිසා සත්ව ආහාර හදන්න ගන්නවා.
මේ ශාකයේ පත්ර ද ආර්ථික වශයෙන් වැදගත්. ඒවායින් බෑග්, බාස්කට්, කූඩු වගේ ඒවා හදනවා. මේවායේ දිග කෙඳි තියෙනවා. ඒවා කඩදාසි හදන්න ගන්නවා.
සේගෝ පාම් ගසේ කඳ සිදුරු කරන පළිබෝධයා Sago Beetle. මේ සතාගේ පිළවු රසවත් ආහාරයක් ලෙස සකස් කරනවා.
කෝ එතකොට සව් ඇට?
සේගෝ පිටිවලින් හදන ඇට වර්ගයක් තමයි සව් ඇට (Sago pearl). මේවා කෙලින්ම ජලය හා මිශ්රකර රත් කර කාබෝහයිඩ්රේට ආහාරයක් ලෙස ගන්න පුළුවන්. නැත්නම් අපි හදනවා වගේ පොල්කිරි හෝ එළකිරි දාලා තලප හෝ කැඳ ලෙස හදන්න පුළුවන්. ඒ වගේම සව් ඇට හදද්දී හාල්පිටි, ඉරිඟු පිටි, අර්තාපල් පිටි හෝ මඤ්ඤොක්කා පිටි සේගෝ වලට මිශ්ර කරන්න පුළුවන්.
නියම සව් ඇට සම්ප්රදායික ක්රමයකට හදන බව සඳහන් වෙනවා. ඒ ඇට ඒකාකාරී නෑ. කැඩෙන සුළුයි. ඒ වගේම රිෆයින් කරන්නේ නැතිනිසා දුඹුරු පාටයි. ඉක්මනින් තැම්බෙනවා. නියම සව් තායිලන්තයේ තියෙන බව සඳහන් වෙනවා.
ආදේශක සුදු පාට ඇට. රිෆයින් කළ පිටි වර්ගවලින් හදන්නේ.
පසු කාලීනව සව් ඇට හැදීම යන්ත්රානුසාරයෙන් කරනවා. . අතීතයේ අතින් ක්රියාත්මක වූ යන්ත්ර අද වන විට ස්වයංක්රීය දියුණු මට්ටමේ ඒවා.
ඔන්න සව් ඇටේ කතාව.
තව false sago palm කියලා ගහක් තියෙනවා. ඒ කියන්නේ මඩු. අර ඉහත කී ශාකයට සහමුලින්ම වෙනස් විවෘත බීජක ශාකයක්. උද්භිද විද්යාත්මක නමින් Cycas circinalis, Cycas rumphii හා Cycas revoluta. මේවායේ ඇට හා කඳෙන් ද පිටි ලබාගන්න පුළුවන්. ඒවාත් වෙනත් පිටි එක්ක සව් ඇට හදන්න ගන්නවා.
සියළුම රූප ඔබේ දැනුම උදෙසා අන්තර්ජාලයෙනි.
මදෑ මෙච්චරකල් බීවට... සව්ඇට එන්නෙ කොයින්ද කියල දැනන් හිටියෙ නෑ නෙව. අද ඒකත් දැනගත්ත. ස්තූතියි!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දකුත් වේවා හිට!
DeleteThank you Namiya! Happy New Year!
Delete