Wednesday, April 19, 2023

ජීවිතය

 ජීවිතය



මේ ටිකේ මේ වේදිකාවේ දකින දේවල් ගැන හිතලයි මේ ටික ලියන්නේ. මේ දකින ඇතැම් දේවල්වල සුලමුල හරියට දන්නේ නැති නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වලට යන්නේ නෑ. අපි පරණ මිනිස්සු. ජීවිතේ අගිස්සේ ඉන්නේ. ගතකළ ජීවිතයේ හමුවුණ විපර්යාස අනන්තයි අපරිමාණයි. වැරදීම් ඕනතරම් වෙලා තියෙනවා. ඒ ඒ වෙලාවට හරි කියලා ගත්ත තීරණ පසුව වැරදි බව වැටහෙනවා. මීට අවුරුදු දහයකට කලින් ඊටත් කලින් විතරක් නෙවේ ඊයෙ ගත්ත ඇතැම් තීරණ වුණත් අද හරි නැති විදියට පේනවා. අපට පාලනය කළ නොහැකි අහිමිවීම් වෙලා තියෙනවා. ඒවා එහෙම වුණා කියලා ජීවිතේ නැවතුණෙ නෑ. ජීවිතේ අයාලේ යන්න ඉඩ දුන්නෙත් නෑ.
ජීවිතේ සිදුවුණ අමිහිරි සිදුවීම්, අහිමි වීම් ගඩොල් බදාම විදියට අරන් තමන්ගෙ ඉදිරි ගමනට බාධකයක් තාප්පයක් නිර්මාණය කරගෙන ඒ මත පසුතැවෙන දරුවන්ට, මගෙ සිසුන්ට මමම උදාහරණයට අරන් මං අවවාද කරලා තියෙනවා. මං එහෙම තාප්ප බැඳ ගත්තා නම් අද මේ විදියට ඉන්න බැරි බව කියලා තියෙනවා.
ජීවිතය කියන එක අපිට ලැබෙන්නේ එක වතාවයි. ඊළඟ එකක් වඩා හොඳට තියෙනවා හෝ තියෙන්න පුළුවන් කියලා හිත රවටා ගන්න එපා. වැරදුනා නම් දැන් හරි පැත්තට හැරෙන්න. ඔබ ප්රමාද නෑ. කොහෙත්ම ප්රමාද නෑ. තරුණ ඔබට කාලය තියෙනවා. තාක්ෂණය නිවැරදිව හසුරුවා ගන්න. පහුගිය කාලේ දෙමාපියන් වැඩිහිටියන් ඇතුළු සමාජය වැඩක් නැති පුහු ඉලක්ක කීපයක් හඹා යන්න ඔබ තල්ලු කරලා තියෙනවා. ඒවා සම්පූර්ණ වුණා කියලා සියල්ල හරි යන්නේ නැති බව දැන් ඔවුන්ට පෙනී යනවා ඇති. නැතුවත් ඇති. තාමත් ඔවුන් ඒ හීන ලෝකවල වෙන්නත් ඇති. කොච්චර ද්රව්ය තිබුණත්, කොච්චර සහතික සුදුසුකම් තිබුණත් ජීවිතය ඒවට අහුවෙන්න නෑ. ජීවිතය ඊට එහායින් තියෙන දෙයක්. සමාජය අමිහිරි තැනක් වුණා නම් ඒක හරි පැත්තට ගන්න අංශු මාත්රයක් හරි හරි පැත්තට ගන්න කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන.
ජීවිතය ඇඟිලි අතරින් ගිලිහෙන්න තමන්ගේ හිතෙන් එක පොඩි බුරුල් වීමක් ඇති. එවැනි සැබෑවූ අවස්ථා වගේම නූලෙන් ගිලිහුණු අවස්ථා අත්දැකලා තියෙනවා. එහෙම හැඟීම් දැනෙනවා නම් කල් නොයවා ඒ කියන්නේ තම පාලනයේ දුරස්ථ පාලකය තමන්ගේ අතින් ගිලිහෙන්න කලින් අවශ්ය සුදුසු තැනකට යොමුවෙන්න බලන්න. එහෙම ආයතන රාජ්ය වගේම රාජ්ය නොවන ඒවා තියෙනවා. මෙතන නම් සඳහන් කිරීම කරන්න බෑ. සම වයස් මිතුරන් හොඳයි. නමුත් අත්දැකීම් බහුල අයගෙ අදහසුත් ගන්න.
ආයෙත් මතකයට ගන්න මේ ජීවිතය අපට ලැබී තියෙනවා. ඒක නැති වුණත් ලෝකය නවතින්නේ නෑ. ලෝකය එදා වගේම හෙටත් ඉදිරියට යනවා. ඒක ලැබෙන්නේ එක වරයි. ඒ වාරය සතුටෙන් ගතකරන්න. සතුට තමන්ම හදාගන්න. ඒක කාටවත් දෙන්න බෑ. ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් සතුටවල් තියෙනවා. නමුත් ඒක අන් අයට කරදරයක් නොවෙන විදියට තියාගන්න එක ඔබේ සමාජ වගකීම.
ඔබ සැමට යහපතක්ම පතනවා!
Thanks to Birmingham Meusem Trust for the image on Unsplash

2 comments:

  1. මේ අදහස් ටික හිතට දාගන්න වුවමනාව තියෙනවා. ඒත් තවම ගිහිල්ලා නෑ😪

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නවීන්. උත්සාහ කරන්න. ජීවිතය එක පාරයි ලැබෙන්නේ.

      Delete