Friday, November 29, 2024

රැජින අලුත් මාලිගයක් සොයා යන ගමන

 

රැජින අලුත් මාලිගයක් සොයා යන ගමන

 


මහර රජ ගෙවල්වල වුණත් ඉඩ මදිවෙන වෙලාවල් තියෙනවා. මී මැසි රැජින ගේ වැඩේ බිත්තර දමන එකනේ. ඔන්න කාලයක් එනවා රැජිනට බිත්තර දාන්න මී වදයේ ඉඩ නැතිවෙන. එච්චරටම මී මැසි ගහනය වැඩිවෙන්න ගන්නවා. මෙන්න මේ වෙලාවේ පරණ රැජින වෙන මාලිගයක් සොයා යන්න ලැස්ති වෙනවා. ඒ යන්නේ තනියම නෙවේ මී වදයේ ඉන්න පිරිසෙන් බාගයකුත් අරන්. මී මැස්සන්ගේ මේ චර්යාවට කියන්නේ සමූහ සරණය (swarming) කියලා. සාමාන්‍යයෙන් සම ශීතොෂ්ණ රටවල සමූහසරණය මැයි මාසේ මැද ඉඳලා ජුනි මාසේ අග දක්වා වෙනවා. මේ පිටවීමට කලින් මී වදයේ ලොකු ලක ලෑස්තියක් වෙනවා. මී මැසි ගහණය ශීග්‍රයෙන් වැඩි වෙනවා. වසන්තයේ මල් අධිකව පිපෙනවා. ඉතින් මි මැස්සන්ට මල් පැණි ඇතිවෙන්න ලැබෙනවා. ඉතින් රැජින සති ගණනක් තිස්සේ බිත්තර දාලා මි මැස්සෝ වැඩි කරලා මුලින්ම ඒ එකතුවන මී පැණි වලට උන් ලෑස්ති කරනවා.

අන්තිමේ මී පැණි පිරිලා රැජිනට බිත්තර දාන්න කුටි නැති වෙනවා.

මී වදයේ සෙනග පිරුණහම රැජිනගේ පෙරමෝන විසිරී යාම අඩු වෙනවා. මේකෙන් වැඩකාර මැස්සියන් දැනගන්නවා අලුත් රාජ කුමාරිකාවන් ටිකක් ඇති දැඩි කරන්න ඕන බව. ඉතින් අර කුටිවල ඉන්න ගැහැනු කීටයන්ට රෝයල් ජෙලි කවන්න පටන් ගන්නවා. මේ රාජ කුමරියන් වැඩෙන අතරේ වැඩකාරියෝ පරණ රැජිනට කෑම දෙන එක නවත්තලා ඩයට් එකකට යවනවා. ඒ මොකද දන්නවා ද? මේ රැජිනියෝ හරිම කම්මැලි තරබාරු අය. ඉතින් සාමුහසරණයේ දී පියාඹන්න බැහැ. ඒකට සුදානම කරන්න කෙට්ටු කරන්න තමයි ඩයට් කරවන්නේ. වැඩකාරියෝ නම් මී පැණි වලට කෑදර නිසා  හොඳට ශක්තිමත් වගේම පියාඹන්නත් දක්ෂයි.

ඔන්න රැජිනත් ගානට කෙට්ටු වෙලා දැන් කට්ටිය සමූහසරණයට සූදානම්, ඔක්කොමලා එක පාරටම වදයෙන් එළියට ඇවිත් පියාඹන්න ගන්නවා. ම් ම් .....ගාලා සද්දෙකුත් එක්ක වලාකුළක් පාවෙනවා වගේ පේනවා. සේරම එකම දිශාවකට පියාඹනවා . මුල් මි වදයෙන් මීටර් සීයක් විතර පහු වුණහම මැස්සෝ කොහේහරි ගසක කඳක් වගේ තැනක වහන්න පටන් ගන්නවා. මුලින්ම වහන්නේ රැජින. ඊට පස්සේ ඊට පස්සේ සේරම ලැගලා බෝලයක් වගේ වෙනවා. ඒක ෆුට් බෝලයක් විතර ලොකුයි. එහෙම වහලා පැයකට වැඩි කාලයක් ඉන්නවා. සමහර විට එතනින් ඉගිලිලා ආයෙත් කිලෝ මීටරයක් විතර පියඹලා ආයෙත් බෝලය හදා ගන්නවා. මේ බෝලයේ ඉඳලා ස්කවුට්ස් (Scouts)මැස්සියෝ දස අතේ පියඹලා වෙන මාලිගාවක් සොයන වැඩේ කරනවා. එක්කෙනෙකුට එහෙම තැනක් හමු වුණොත් එයා ආයෙත් බෝලය සොයාගෙන එනවා. ඒක අනික් සාමජිකයන්ට දන්වන්නේ වැගල් (Waggle dancing)නැටුම නම් විශේෂ හැසිරීමකින්. ඊට පස්සේ එයා තව සහෝදරියෝ කීප දෙනෙක් එතැනට යවනවා. එතැන හොඳයි කියලා එයාලටත් හිතුණොත් ආපහු ඇවිත් වැගල් නැටුම් දක්වනවා. කවුරුත් එකඟ වුණොත් බෝලයම අලුත් මාලිගාවට යනවා. ඒ තැන හුඟක් වෙලාවට ගස් බෙනයක්.

මී මැස්සන් ඇති කරන අයට මේ වගේ බෝලයක් දැක්කොත් මි මැසි පෙට්ටියක් අරන් බෝලය ඒකට දාගන්න පුළුවන්. මේ මි මැස්සන් සමූහසරණයට පෙර හොඳට බඩවල් පුරවාගෙන ඉන්නේ. ඒ වගේම අනාරක්ෂිත අනාථයෝ පිරිසක්. ඒ නිසා ඒ තරම් සැර නෑ. විදින්නේ නෑ. හුඟක් දුරට සෞම්‍යයයි. රැජින මි මැසි පෙට්ටියට ගිය හැටිය අනික් සේරම මැස්සෝ ඒකට ඇතුළු වෙනවා.

දැන් අර පරණ මාලිගාවේ ඉතුරු අය අර කලින් ලිපියේ කිව්ව විදියට අලුත් රැජිනක් ඇති කරගෙන අලුතෙන් වැඩ පටන් ගන්නවා.

Image from Unsplash 

Tuesday, October 22, 2024

මේ තරම් බත් කන්න ඕනද?


 මේ තරම් බත් කන්න ඕනද?  



ද ලංකාවේ හාල් මිල ගැන ලොකු කතාබහ යනවා පේනවා. අපි ඉස්සර පුරුදු වෙලා හිටියේ බත් ගොඩක් කන්න. පිඟාන මැද බත් හා මාළු කෑල්ලක්, එළවළු දෙක තුනක් වටේට දාගෙන තමයි කන්නේ. කොච්චර බත් කනවද කිව්වොත් සමහර රස දෙයක් තිබුණොත් බත් මරන්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවා. උදාහරණයක් විදිහට "ෂා නියම අඹ මාළුව. බත් මරන්න පුළුවන්".
අමුත්තෙක් ආවත් අපේ අම්මලා ආත්තම්මා ඒ අමුත්තගේ පිඟානට එපා කියද්දි තව බත් මාළු එළවළු බෙදනවා. ඒ ඔවුන්ගේ ආගන්තුක සත්කාර විදිය.
මං ඒ ක්රමය කළේ නෑ. තව ඕන නම් කන්න කියලා ආරාධනා කළා. ඒත් බෙදන්න ගියේ නෑ. ඒක මගේ ආගන්තුක සත්කාරයේ අඩුවක් කියලා හිතපු අයත් ඇති.
ඇත්තටම උස්මුරුත්තාවට එනකම් කන එක සෞඛ්ය සම්පන්න නෑ. ආහාර වෙලේ කාබෝහයිඩ්රේට් ප්රමාණය අඩු කිරීම ක්රමයෙන් කරගන්න පුළුවන්. එක පාරට බෑ. එහෙම කරලා දැන් මං බත් හැන්දකට වඩා කන්නේ නෑ. මස් කැබැල්ලක්, මාළු හෝ ඉස්සෝ වගේ ප්රෝටීන දෙයක් එළවළු සලාද පළතූරු තියේ නම් ඒවා එක්ක තමයි දැන් මං කන්නේ. එයින් ලැබෙන සැහැල්ලු බව සිතට වගේම ගතට සහනයක්.
සමහරු හිතන්නේ සීනි විතරයි නරක කියලා. සීනි ලුණු පිටි (sugar, salt, starch) තුනම නරකයි. අපි කන අලබතල බත් ඇට වර්ග සේරගෙම තියෙන පිටි ඇඟේ දී අන්තිමට සීනි වෙනවා. සීනි ඇඟෙන් ඉවත් කරන්න ඉන්සියුලින් වලට ලොකු බරක් එනවා. ඒක අන්තිමට දරන්නට බැරි වෙනවා. තරබාරු වීම දියවැඩියාව ඊළඟ පෝලිමේ එනවා.
සමබර ආහාර පිඟානක් ඉල්ලුවම මට Meta AI දුන්න එක රූපයේ පෙන්වා තිබෙනවා. නමුත් මට නම් මෙයින් බාගයක් වත් කන්න බෑ. මේ වගේ පිඟානක් ලැස්ති කරන්න ලංකාවේ වැඩිමනත් ජනතාවකට බෑ. නමුත් තියෙන සම්පත් එක්ක රටට ප්රදේශයට ගැළපෙන විදියට කර ගන්න උනන්දුව ඇති නම් බැරි කමකුත් නැතැයි හිතනවා.

Saturday, October 19, 2024

උණුසුම්ය ඒ හිම කිරම

 උණුසුම්ය ඒ හිම කිරම











හිම කිරම තොල ගාමින්

අපි එකට ළංවී ඉඳගෙන හිටිය

නගරය කෙළවර අවන්හලේ

දකූණු මුල්ලේ අසුන් දෙක

තියෙනවද තාම එතනම

හිම කිරම තොලගෑවිට දැනුණු

ලොමුඩැහැ ගැන්වුණු සීතල

මතකයෙන් ගියත් හුඟක් ඈතට

ඔබේ දෙතොල් පළවැනි වතාවට

ඒ වගේම අන්තිම වතාවට

මගේ කම්මුලේ තැබුව

උණුසුම මට දැනේ තාම!

Saturday, October 5, 2024

ලෝක ගුරු දිනය වෙනුවෙන් මතකය තුළ සැරි සරමි.

 ලෝක ගුරු දිනය වෙනුවෙන් මතකය තුළ සැරි සරමි.



මේ උපහාරය ගුරු මවුනි ඔබටය!
ගුරුවරු පහන් ටැඹක් සේ ඍජු ලෙස සිට ගනිමින් සිසුන්ට ඉදිරි මග පෙන්වති. අපේ ජීවිතයේදී හමුවූ ගුරුවරුන් අතරින් අපේ මතකයේ විවිධ ස්වරූප වලින් සටහන් වූ ගුරුවරු ඇත්තාහ. එයින්ද අමතක නොවන විචිත්ර මතකයක් සටහන්ව ඇත්තේ ඒ ගුරුවරුන් අතරෙන් අතළොස්සකගේ පමණි. පාසල් ජීවිතයේදී මා කිසි දිනක ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන නැත. සියල්ලෝම ගුරුවරියෝ වූහ. ( එක්තරා අවස්ථාවක උසස් පෙළ සමත් මහින්දයේ අය්යා කෙනෙක් රසායන විද්යාව ටික දිනක් ඉගැන්වූ බව මතකයේ තිබේ.) මේ ගුරුමවුන් අතරෙන් මගේ මතකයේ නොමැකෙන සටහනක් තැබූ කිහිප දෙනෙකුට උපහාරය පිණිස මේ සටහන තබමි.
මා බාලාංශ පන්තියට බාර ගත්තේ සෙනෙවිරත්න ගුරුතුමියයි. මා අඬ අඬා තාත්තා හෝ අම්මා පසුපස ගෙදර දුවන්න හදන විට එතුමිය වේවැල පෙන්වූවා මතකය. එහෙත් ඒ වේවැල කිසිදා හැඬවුනේ නම් නැත. එතුමිය සිසුන්ට තම දරුවන්ට මෙන්ම ආදරය කළා ය. සෙනෙවිරත්න ගුරුතුමිය අකුරු ඉගැන්වූ හැටි ගැන නම් මට මතකයක් නැත. එහෙත් මිදුලේ මහදැනමුත්තා රඟපෑ හැටි මතකයේ තිබේ. ගෝලයෝ රොත්ත හා මහා දැනමුත්තා අපි අතරෙන් තෝරා ගනු ලැබිණ. පද්මිණි හැමවිටම පුවක් බඩිල්ලා වූවාය. මම ඉඳිකටු පැංචා මිස වෙන කෙනෙක් නොවීමි. එළුවා මුට්ටිය ඔළුවේ හිරවී ඇවිදින හැටි ගුරුතුමිය රඟ දක්වා පෙන්වූවාය. එතුමියගේ පුත්රයාද අපේ පන්තියේම ඉගෙන ගත් සිසුවෙකු විය. එදා බාලිකා පාසලේ බාලාංශ පන්තියේ පිරිමි ළමයි දෙදෙනෙක් වූහ. ගුරුතුමියගේ පුතා හා විදුහල් පති තුමියගේ පුතා ඒ දෙදෙනායි. හැබැයි ඒ දෙදෙනා නම් අප බුලි කළෝය. මගේ කකුල් වල වූ තුවාල වලට පුළුන් අලවාගෙන ගිය බැවින් ඔවුන්ට මා 'පුළුන් බබා' විය. සෙනෙවිරත්න ගුරුතුමියගේ ස්වාමි පුරුෂයා අපේ පවුලේ හිතවතෙකු වූ නිසා එතුමිය වරක් හෝ දෙවරක් අපේ ගෙදර පැමිණි බවත් මතකය. එතුමිය ගැන මට ඇති අවසාන මතකය ඉතා දුක්බර සංවේදී එකකි. එවිට මා හත්වන ශ්රේණියේ ඉගෙනුම ලැබුවෙමි. හදිසියේ පාසලින් අප අවමංගල උත්සවයකට සහභාගී කරවනු ලැබිණ. මිය ගොස් සිටියේ මගේ පළමු ගුරුතුමිය සෙනෙවිරත්න මිස් වීම ඇදහිය නොහැකි විය. ඇය සුදෝ සුදු ඇඳුමින් සැරසී පෙට්ටියක උඩුකුරුව වැතිර සිටියාය. මට ඇතිවුයේ මහත් ශෝකයකි.
මීළඟට මට නොමැකෙන මතකයක් එන්නේ හත්වන ශ්රේණියේදී සිංහල විෂය ඉගැන්වූ බ්රැන්ඩිගම්පොළ ගුරුතුමියයි. ඇය සිංහල කාව්ය රසාස්වාදය ඉගැන්වූ ආකාරය මගේ සිංහල දැනුම වර්ධනයට පමණක් නොව කියවීමේ පිපාසාව ඇති කිරීමටත් මේ ලිවීමේ හැකියාවටත් ඉමහත් බලපෑමක් කර ඇති බව මට අද වඩාත් තේරුම් යයි. එතුමිය ගුරු මේසය කොණක ඉඳගෙන රඟ දක්වමින් කවි කියා දුන්නාය. " නිකට ගෙන සිඹ " කියා ජූතක බමුණා ගැන කියන අවස්ථාවේ සිසුවියකගේ නිකට අල්ලා රංගනයක යෙදෙමින් එය අපට කාවැද්දු හැටි ඉතා රසවත්ය. මා ගුරු ජීවිතය ගෙවද්දී ඇතැම් පන්තියක් ලඟින් යන විට පුටුවේ ඔහේ නිදිබරව ඉඳගෙන උගන්වන ඇතැම් ගුරුවරියක් දකින විට අද එවැනි ගුරුවරු නැත්දෝයි ඒ ඉගෙන ගන්නා සිසුන් ගැන මට මහත් දුකක් ඇති විය. ඇතැම් විට මා වැරදි වන්නත් ඇත. ඒ වෙලේ ඉගැන්වූ ගුරුවරියට යම් අපහසුතාවයක් තිබුණා වන්නටත් පුළුවන. කෙසේ නමුත් මගේ දයාබර බ්රැන්ඩිගම්පොළ ගුරුතුමියද මහරගම දී සිදුවූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගිය බව මම පුවත්පත් මගින් දැන ගතිමි.
මී ළඟ මතකය මගේ සාමාන්ය පෙළ ජීව විද්යා ගුරුතුමිය වන දේවේන්ද්ර මැතිනියයි. එකල අපි විද්යා විෂය ධාරාවට තෝරා ගනු ලබන්නේ අටවෙනි ශ්රේණි විභාගයෙනි. නමවන ශ්රේණියේ සිට ජීව විද්යාව ඇතුළු විද්යා විෂයයන් ඉගෙනීම ආරම්භ විය. මා සිත් ගත්තේ ජීව විද්යාවයි. දේවේන්ද්ර ගුරුතුමිය හරිම සුන්දරය. ඈ තනි පාට සාරියට මල් මල් හැට්ටයක් ඇන්දාය. මල් මල් සාරියට ගැළපෙන තනි වර්ණ හැට්ට ඇන්දාය. ඇගේ හැට්ටය කෙතරම් එකම පතොරමකට සකස් කර තිබුණේ ද යත් ස්වල්පයක් හෝ එහෙ මෙහෙ වූවොත් ඇගේ සුදු පැහැති පිටෙහි අව්වට පිළිස්සී ගිය තීරුවක, මද දුඹුරු පැහැයක් පෙනීමෙන් ඒ වෙනස අපට කියා පායි. හිසකේ එකම විදියට සීරුවට පීරා පිටුපසට කර සරළ කොණ්ඩ මෝස්තරයක් දැම්මාය. ඇගේ වචන සුමටය, තීව්රය. ඉංග්රීසි බසිනුත් ඉඳ හිට උගන්වයි. මම ගුරුතුමියට මෙන්ම ජීව විද්යාවට ද එකසේ ඇලුම් කළෙමි. මගේ මාසික පරීක්ෂණ ලකුණු අනුව එතුමිය මගේ දක්ෂතා අඳුනා ගත්තාය. ප්රයෝගික වැඩට ගෙදරින් ගෙන යා යුතු දේ මම වහාම සුදානම් කර රැගෙන ගියෙමි. වරක් විවිධ පස් වර්ග ගෙන යාමට නියම විය. මා ඒ සියල්ල මනාසේ අහුරාගෙන රැගෙන ගියෙමි. ඇය මැටි පස් වල සියුම් බව දැක," මේ වගේ ළමයි ඉන්නවා නම් උගන්නන ආස හිතෙනවා " කීවාය. මම පස් වනක් ප්රීතියෙන් පිනා ගියෙමි. ඒ අවුරුදු දෙකේම ජීව විද්යා පන්ති ත්යාගය මා සතු විය. පාසලින් අස්වූ පසු දෙවරක් එතුමිය දැක ගැනීමට හැකි විය. එක වරක් මගේ නැන්දනියකගේ අව මංගල උත්සවයක දීය. ඒ නැන්දා එතුමියගේ මිතුරියකි. දෙවන වර ආදී ශිෂ්යා සංගමයේ ආරාධනයකට එතුමිය පැමිණි වෙලේය. දැන් එතුමිය තම දරුවන් සමග විප්රවාසයේ ඉන්නා බව දැන ගතිමි.
මී ළඟ මතකය දහනායක ගුරුතුමිය ගැනයි. ඇය මට ආදරය කළ තරමට මා ඇයට ආදරය නොකළා යයි මට පසු තැවීමක් තිබේ. එතුමිය මට ඉගැන්වූ ඉංග්රීසි විෂය කලින් එම විෂය ඉගැන්වූ ගුණවර්ධන මියගේ ඉගැන්වීම තරම් මට ඇල්ලුවේ නැත. ඒ නිසා මම දිනක් ඉංග්රීසි විෂය වෙලාවේ පැරණි ගුරුතුමිය සොයා ගියෙමි. මා එහි ඉඳගෙන සිටින විට දහනායක ගුරුතුමිය පැමිණ " පැදුරටත් නොකිය ආව නේද ?" කියා දුකෙන් පවසා ගුණවර්ධන ගුරුතුමියට කියා මා නැවත කැඳවා ගෙන ගියාය. එදා සිට මා ඇගෙන්ම ඉංග්රීසි ඉගෙන ගතිමි. නිවාසාන්තර ක්රීඩා තරගයේදී එතුමිය මා ජපන් ළදැරියක ලෙස සරසා විවිධ ජාතීන් නියෝජනය කරන තරගයට ඉදිරිපත් කළාය. ඇත්තෙන්ම මම ඇයට ආදරය කළෙමි. ඇයද වරක් මට අගනුවර සරසවියේදී හමු වූවාය. මා සරසවි ඒම ගැන සතුටු වූවාය.
චිත්ර ගුරුතුමිය වූ මිස් රූබි අමතක කරන්න කොහෙත්ම බැරිය. ඇගේ මුදු ගැසුණු හිස කෙස් හා සුන්දර මුහුණත් පිළිවෙළට අඳින සාරිත් මිහිරි මතක්යව සිත තුළ අදටත් තැන්පත්ව තිබේ. බුදුගේ ළඟ කොරිඩෝවේ චිත්ර පන්තියේ අපි ඇයගෙන් චිත්ර ඉගෙන ගත්තෙමු. දිය සායම් වර්ණ ඉංග්රීසියෙන් හඳුන්වන හැටි ඉගැන්වුයේ ඇයයි. මම චිත්ර වලට දක්ෂ වූ නිසා ඇගේ ආදරය නොමඳව මට හිමි විය. සාමාන්ය චිත්ර ඇඳීමෙන් ඔබ්බට ගොස් විවිධ උත්සව, තරග ආදිය සඳහා ද අපි චිත්ර ඇන්දෙමු. රූබි මිස් මට කිහිප වරක්ම අගනුවර දී හමු විය. අවසානයේ ඇයට අවසන් සමු දීමට මොරටුවේ ඇගේ නිවසට ගියෙමි.
පාසල් වියේදී මා ලියූ කවි පන්ති තරග වලට ඉදිරපත් කිරීමට පෙර අඩුපාඩු සකසා ගැනීමට උපදෙස් දුන් සමරසිංහ ගුරු තුමිය මගේ මතකයේ කොනකට වී සදාකල්ම ජීවත් වන්නිය. ඒ උපදෙස් අනුව ඉදිරිපත් කරන ලද කවි පන්ති වලට සමස්ත ලංකා ජයග්රහණ හිමිවීම පාසලටම ගෞරවයක් වීම සතුටට කරුණකි. අදටත් කවියක් ලියද්දී ඒ කියූ වදන් මතකයට ගනිමි.
තවත් ගුරු මවු වරුන් කිහිප දෙනෙක් පිලිබඳ සොඳුරු මතක ඡායාවන් නැත්තේ නොවේ. ඒවා මිහිර අමිහිර දෙකම මිශ්ර වූ ඒවාය. මගේ පාසල් ගුරුවරුන් පිලිබඳ මිහිරි මතක සටහන මෙතෙකින් නිම වන්නේය.
Image from the Internet

Tuesday, October 1, 2024

කැලිෆෝනියාවේ කඳුවල බඩගාමී

 

කැලිෆෝනියාවේ කඳුවල බඩගාමී

 














කාලයේ මතකය ගෙන අතගාමී

සිහරාජයේ සිසිලස අරගෙන නාමී

ගිම්හානයේ උණුසුම ඉන් පිස දාමී

කැලිෆෝනියාවේ කඳුවල බඩගාමී

 

දිව ගිලගෙනම එක වැහි බිඳකුදු නැතුව

ගහකොළ සිටින හැටි කිසි වගකුත් නැතුව

තණකොළ මොහොතකින් ඇවිළෙන්නට පැතුව

බල බල නගිමු කන්දට වෙහෙසින් යුතුව

 

ගින්නක් ඇති වුණොත් රැකවරණෙට මත්තේ

වියලුණු බිමේ ගිනි පටි කපලා ඇත්තේ

මව්රට සොඳුරුබව මතකෙට පැන ගත්තේ

නිල්ලෙන් වැහුණු වන බිම් නේ හැම පැත්තේ

 

සුළං කෝඩ දිව විත් අඩුවක් නැතුව

ඇදන් දුවන තරමට වී බලගතුව

අරන් නැගුණු දූවිලි ඉහළට මතුව

බලන් ඉන්න සිදුවුණි කඳුලින් යුතුව

 

ගිම්හානයේ සරතැස දුක දරාගෙන

වස්සානයක් ළඟ නැති මුත් එබීගෙන

සිත්මානයේ සිතුවම් නෙක මවාගෙන

ඇස් මානයේ වනපස මල් පිපීගෙන

 

වමාරා කකා ඔහෙ කම්මැලි කමට

හරකුන් හිටියෙ කරවී කට්ට අව්වට

චිප් එල්ලා ඇතත් උන් හැමගෙ කන් යට

හණ ගැහු අකුරු මොකටද මන්ද උන් පිට

 

මුදුනට නැගී ඇස් යොමු කළා රවුමට

කුදු බව දැනුණි ඈතින් පෙනෙන රට තොට

හඳුනණ කිසිත් නැත එක වගේ වටපිට

කඳුයනු කිසිත් නොව පාඩම්ය අපහට

 

Thursday, September 26, 2024

නොස්ටල්ජික් කතා 6 - ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම

 නොස්ටල්ජික් කතා 6

ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම






ත්තටම අපි පොඩි කාලේ හොල්මන් කතා, භූත කතා අහන්න හරිම ආසයි. හොල්මන් හරි භූතයො හරි කොහේ හරි ඇති කියලා නේ අපි හිතුවේ. මොකද ඒවා කියන අය ඇත්තටම දැක්ක වගේ අතේ පැළවෙන බොරු දෙසාබානවා නේ. ජන කතාවලත් බණ කතා වලත් ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂයෝ, පිසාචයෝ ඉන්නවනේ.

ඔහොම ඉන්න අතරේ අපේ ලොකු මුත්තණ්ඩි මැරුණා. උන්දලාගෙ ගේ තිබුණෙ අපේ වත්තට අල්ලපු වත්තක. නිතරම අපේ ගෙදර එනවා ඒ දවස් වල. ඇවිත් බුලත් විට එහෙම කකා අපේ මුත්තණ්ඩි එක්ක කතාව දාගෙන ඉන්නවා. ඒ දෙන්නා එක කුස උපන් අයියා මලෝ නේ.

මේ සිද්ධිය වෙද්දී උන්දෑ මැරිලා මාස ගණනක් ගිහින් වගේ තමයි මතක.

එක දවසක් හැන්දෑවේ අපි කට්ටිය ඒ කියන්නේ නංගිලා මල්ලිලා ඇරුණම පැට්ටා කියලා අපි හඳුන්වපු අල්ලපු ගෙදර අයියා කෙනෙකුත් හිටියා. එයාගේ හරි නම නීල්. ගෙදරට පැටි මහත්තයා. අපට පැට්ටා.

මට මතක විදියට අවුරුදු දවස් වගේ. ආත්තම්මා තෙල් ලිප තියලා කැවුම් කොකිස් එහෙමත් හදනව නේ. මේ තෙල් කෑම අපි කෑවොත් වතුර නොබී එළියට යන්න තහනම්. මොකද පෙරේතයෝ බැල්ම හෙලනවා. අපේ පහේ පොතේ ඔහොම කතාවක් තිබුණා. කතාවේ නම රොමාගේ වාසනාව. රොටියක් කකා රොමා සොහොනට ගිහින් ඉන්නකොට රොමාගෙ රොටිය සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටි යකෙක් උදුරා ගන්නවා. අන්තිමට යකා හිරෙන් පැනපු හිර කාරයෙක්.

ඉතින් අපේ ගෙදර හදන අර කැවිලි එළියට ගෙනියනවා නම් ආත්තම්මා ඒවා සමග යකඩ ඇණයක් තියලා තමයි අහුරන්නේ. යකඩ ඇණේට යක්කු බයයිලු.

මට වැල්වටාරම් නැතුව කතාව කියන්න බෑ වගේ නේද? ඔන්න අපි එදා ඉස්තෝප්පුවේ ඉඳගෙන තමයි සෙල්ලම් කළේ. එතන මිටි තාප්පයයෙන් ඔබ්බේ ගෙදරට එන පාර හොඳට පේනවා. ඒ වෙලාවේ හොඳටම කළුවර වැටිලා. සාලයේ පෙට්රොමැක්ස් ලාම්පුව පත්තු වුණාට පාරට එළිය එන්නේ නෑ නේ. ඉස්තෝප්පුවේ ටී පෝව උඩ තිබුණේ ග්ලෝබ් චිමිනිය දාපු ලාම්පුව විතරයි. ඒකේ එළිය එච්චර ප්‍රභල නෑ.

ඔන්න පැට්ටා එක පාරට පාර දිහා විමසුම් බැල්මක් හෙලනවා. එයාගේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ එළියට නෙරලා.  මූණත් සුදුමැලි වෙලා.  ඒත් එක්කම මහා භයානක හඬකින් කියනවා,

"අර අර සුදු නෝනා, හිච්චි නෝනා අර බලන්න. රාළහාමි නේද එන්නේ?"

රාළහාමි කියන්නේ අපේ අර මැරුණු ලොකු මුත්තණ්ඩි.

මාත් එතන හිටි අනික් අයත් බය බිරාන්ත වෙලා ඒ පැත්ත බැලුවා.

අම්මෝ! ඇත්ත නේන්නම් ලොකු මුත්තණ්ඩි හොඳට ට්වීඩ් රෙද්ද ඇඳලා කෝට් එක උඩින් දාලා බස්තමත් අතේ අරන් අපේ ගෙදර පැත්තට එනවා. ඇත්තටම ලොකු මුත්තණ්ඩිම තමයි. කිසිම වෙනසක් නෑ. පිටි පස්සට කොණ්ඩේ පීරලා ඒ විදියමයි. පස්සට බැඳපු කොණ්ඩ පුරුච්චිය පෙනුණේ නෑ. උන්දෑ අපේ දිහාවටනේ ආවේ.

හැබැයි පොඩි වෙලාවයි එහෙම පෙනුණේ. එක පාරට උන්දෑ නැතුව ගියා.

අපි බයවෙච්ච පාර කට්ටියම එකට බදාගෙන ගේ ඇතුළේ තමයි නැවතුණේ. හැබැයි ඒ වෙලාවේ ලොකු අයට මේ කතාව කිව්වේ නෑ. පස්සේ අම්මාට මේ කතාව කිව්වම අම්මා කිව්වේ ලොකු  මේ ඉඩකඩම් වලට ආසාව හින්දා පෙරේතයෙක් වෙලා ඇවිත් වෙන්න ඇති කියලයි. ඊට පස්සේ වුණත් ආයේ කළුවරේ සෙල්ලම් කරන එක නැවතුනෙත් නෑ. අපට හොල්මනක් තියා මොකා ආවත් ගාණක් නෑ වගේ. පෙරේතයෝ භූතයෝ කොහෙද අපිත් එක්ක එයාලගේ සෙල්ලම් දාන්නේ? ඒක පුදුම ළමා කාලයක් කියන්නේ ඒ නිසා.

ඇත්තටම හොල්මන් ගැන මගේ මුල්ම අත්දැකීම නම් ඒක. හුඟක් වෙලාවට ඒක පැට්ටා එහෙම දැකලා හෝ නැතුව හෝ අපේ මනස ඒ විදියට හැඩ ගැහුව නිසා අපටත් එහෙම පෙනුණා වෙන්න ඇති කියලයි අද මට හිතෙන්නේ. මොකද අඳුරේ වැනෙන කෙසෙල් කොළයක් වුණත් මිනිහෙක් වගේ හිතට පේනවා නේ. හොල් + මන = හෙලවෙන මනස.

 

Friday, September 6, 2024

නොස්ටැල්ජික් කතා 5 මුත්තණ්ඩි ගේ පූසන් වළදැමීම

 නොස්ටැල්ජික් කතා 5

 මුත්තණ්ඩි ගේ  පූසන් වළදැමීම

 


හ පූසී අපේ ගෙදරට ආවේ කොහේ ඉඳලා ද කියලවත්   කවදාද  කියලවත් අපට නම් මතකයක් නැහැ. හැබැයි මතක ගොඩක් අපට දීලා අනේක දුක් මෙන්ම සැප විඳලා අවුරුදු 15ක් අවසානයේ ඈ අපේ ඉස්සරහම අවසන් හුස්ම පොද වාතයට එකතු කළේ ටිකක් කල් ලෙඩ වෙලා ඉඳීමෙන් පස්සෙයි. අත්තම්මා කෑම බිමෙන් නම් සතුන්ට කිසි අඩුවක් කරන්නේ නෑ. ඒක ඇගේ කරුණාව වගේම අභිමානයේත් එකතුවෙන් වුණු දෙයක්.

"බල්ලගේ ඉරනම් කටු පේනවා. මිනිස්සු හිතයි අපි කන්න දෙන්නේ නෑ කියලා" ගෙදර බල්ලා පොඩ්ඩක් කෙට්ටු වුණහම ඈ කිව්වා.

කොහොම කන්න දුන්නත් පූසෝ ගෙදරම ඉන්නේ නැහැනේ. ඉතින් මහපුසී අහලපහල ගෙවල්වල සංචාරේ ගියා. අන්න එහෙම ගිය වෙලාවල්වල සමහර නපුරු මිනිස්සු ගල් වලින් ගහලා ද දන්නේ නැහැ ඇගේ එක ඇහැක් රතුවෙලා ඉදිමිලා එළියට පැනලා වගේ වුණා. අත්තම්මා ඇස් වෙදහාමිනේ නොවැ. අර බුද්ධදාස  රජ්ජුරුවෝ නයාටත් බෙහෙත් කළා වගේ ආත්තම්මා පුසගේ ඇහැටත් බෙහෙත් කරලා හොඳ කළා.

මහ පූසීට තිබුණේ  පොල් සම්බල් පාට, කළු පාට හා සුදු පාට කියන පාට තුනේ ලෝම ගොඩක්. එහෙම පාට තුන තියෙන හැම පුසන්ම ගැහැනු සතුන් නිසා ඈත් ගැහැනු සතෙක් වුණා. ඒ කාලේ පූසන් වන්ද්‍යාකරණය කියලා දෙයක් තිබුණේ නැහැනේ. ඉතින් මහ පුසිගේ බඩ වරින් වර ලොකු වුණා . ටික දවසකින් මඩුවේ හරි, ගෙයි කුස්සි කොටසේ  ගබඩා කාමරයේ හරි, ආත්තම්මාගේ කාමරයේ හරි ඒ බඩ නිදහස් කරලා පුළුන් බෝල ටිකක් අපට දකින්න සැලැස්සුවා. එයාලා ඇස් අරිනකම් වගේම ඇස් ඇරියට පස්සෙත් මහ පුසීගේ වැඩේ පුළුන් බෝල කටින් ඩැහැගෙන රට වටේ ඇවිදිනවා. ඒක පූස් අම්මලාගේ රාජකාරියක් නේ.

මේ මහ පුසිටයි පැටවුන්ටයි අපේ මුත්තණ්ඩි  නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ . අපි පූසෝ අතපත ගානවට වඩා ගන්නවට ආස වුණේ නැහැ. මේකට හේතුව හැටියට මුත්තණ්ඩි කියන්නේ

දරුවෝ බල්ලලු අල්ලන්න එපා. ඔය මවිල් පපුවට යනවා.

මේක හැර උන්දැ අකමැතිම තව එකක් තිබුණා . ඒ අපේ බුලත් කෑම. උන්දැ නම් බුලත්,පුවක්, හුණු, දුම්කොළ පදමට දාලා බුලත් විට කෑවා. හැබැයි ගෙදර බුලත් වැලෙන් හරි  කොළයක් හරි අපි කනවා දැක්කොත් දෝස්මුරේ දැම්මා.

ළමයිනේ බුලත් කෑවහම ඉංගිරිසි කතා කරන්න බැරි වෙනවා.

මාමලා එහෙම හොඳට ඉංග්‍රීසි කතා කළේ බුලත් නොකාපු නිසා වෙන්න ඇති. හැබැයි අපි නම් ඉතින් හොරෙන් හරි බුලත් නම් කෑවා. බුලත් විතරක් නෙමේ ගස්වල කඳන් දිගේ උඩට බඩ ගාන වැම්මල් කියන බුලත් වර්ගයේ කොළත් කෑවා. ඇත්තටම ඒවා කෑවහම කම්මුල් ඇතුළු පැත්ත තාවකාලිකව ගොරෝසු වුණා. ඉංගිරිසිත් යන්තම් කතා කර ගත්තා කියමුකෝ.

ඔන්න ඉතින් අපේ මහ පුසී සැරයක් පැටවූ තුන් දෙනෙක් දැම්මා. සුදු පාට දෙන්නයි, පොල් සම්බෝලයයි. සුදු පාට දෙන්නා කවුරු නමුත් අරන් ගියා. පොල් සම්බලයා ඉතුරු වුණා. අපි එයාට හරිම ආදරය වුණා. ඉමබා ,වඩා ගත්තා , ඇඳන්වල නිදි කෙරුවා.    මුත්තණ්ඩිට තරහ යන හැම දේම කළා.

එක දවසක් පොල් සම්බලයා නැති වුණා. ගෙදර වගේම වත්ත පුරායි, පාරවල් වලයි බැලුවා. පොල් සම්බලයා නෑ. අපිට හරිම දුකයි. ආත්තම්මාත් දුක් වුණා. හැන්දෑවේ හයට විතර අපි වත්ත පහළට ගියා තව ටිකක් බලන්න. පොල් ගහක් යටින් පුස් පැටියෙක් අඬනවා ඇහුණා. පොල් ගහ යට තිබුණු රොඩු බොඩු අහක් කරලා පොඩ්ඩක් හාරලා බැලින් නම් අනේ මැටි මුට්ටියක් ඇතුළේ පොල් සම්බලයා ගුලි වෙලා හිටියා. ඌට උණ ගැනිලා ඇඟ වගේ රත්වෙලා තිබුණා. අපි මුට්ටියත් එක්කම ඌව අරගෙන ගෙදර ගිහින් ආත්තම්මාට කිව්වා.

මෙහෙමත් මනුස්සයෙක් ! පණ පිටින් සත්තු වළලනව ද?  කරපු පව් මදිද? "ආත්තම්මා පරල වුණා. සාමාන්‍යයෙන් ආත්තම්මා ඔය වගේ දේවල් වලදී එහෙම තමයි. මුත්තණ්ඩි  ම්හු නැහැ. උන්දැ තමයි එකත් එකටම වැඩේ කරලා තිබුණේ. හැබැයි බාගෙට වළ දැම්මේ මැරෙන්නේ නැතිවෙන්න වෙන්න ඕන. රෑ වෙද්දී කාට හරි ගිහින් දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්. මොකද ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වෙච්චි, ඒ වගේම් ආත්තම්මා එක්ක ඉඳහිට සිල් සමාදන් වෙන්නත් ගිය සැදැහැති උපාසක මහත්තයෙකුත් නොවැ.

පොල් සම්බලයා අපි එක්ක ඉඳලා පස්සේ කවුරුහරි අරන් ගියා මගේ මතකේ හැටියට. 

Thursday, August 22, 2024

කුහුඹුවනි තොප!

 කුහුඹුවනි තොප!



කුහුඹුවනි තොප
හිස්ව ගිය කුස්
පුරව ගන්නට
පැණි බිඳකට ඉව අල්ලමින්
අනවරත ගමනක යන
කුහුඹුවනි තොප
ඒ විඩාබර ගමන අතර
පාවහන් වලට
තැලි තැලී
පොඩි වෙවී
මැරි මැරී යන
මැරුණත් කිසිවකුටත්
වගේ වගකුත් නොවන
බලන්න අවට දෙනෙත ඇර
මේ එළඹ ඇති
සොඳුරු සුයාමය
යළිත් කිසිදා නොඑන
නෙක වර්ණයෙන්
වර්ණවත් කළ
සීනි දියකළ බඳුන්
ගෙන ඒවි උන් නුඹට
රැවටී බී මත් නොවුණ මැන
එවිට ලේසියි උන්ට
මත්වූ තොප
චප්ප කර දමන්නට
කුහුඹුවනි තොප
එකාමෙන් රොඳ බැඳගෙන
පාවහන් යටින්
එළියට විත් නොනිමි
නිදහස ලබා ගනු මැන!
සොඳුරු සුයාමයකි මේ
එය නැවත නොඑළඹෙන!

Tuesday, August 13, 2024

මාර්ග අනතුරු

 මාර්ග අනතුරු



FB පෝස්ට් එකක් viral යනවා ගැබිනි කාන්තාවක් මාර්ග අනතුරකින් මිය ගිය බව දැක්වෙන. ඈ අනතුරට ලක්වෙලා විනාඩි 45ක් විතර එතනම හිටියලු. කවුරුවත් මැදිහත් වුණේ නෑලු රෝහලට ගෙනියන්න. මිනිස්සු ඒකට බනිනවා. මනුස්සකම නැති වෙලා කියලා කියනවා.
විය යුත්තේ හදිසි ආපදා තත්ත්වයකට ක්ෂණිකව ක්රියාත්මකවන සේවා ජාලයක් රටපුරා ක්රියාත්මක වීම. එහෙම රටක් හදාගන්න පුළුවන් ජනතාවට ම තමයි. ජනතාව කිව්වට පුරවැසි වගකීම දන්නා ජනතාවට.
එතකොට එවැනි අවස්ථාවලදී දෙවිවරු වගේ මිනිස්සු කියන ජාතියක් ඕන නැ. මොකද ඒක අනිකුත් සේවා වගේ සේවයක්. මේ රටවල් වල එහෙම තියෙනවා. හැබැයි පසුව මුදල් අවශ්ය වෙනවා. ඒවා සඳහා රක්ෂණය වීම අවශ්යයි. මුදල් නැති වුණා කියලා කවුරුවත් පාරවල්වල මැරෙන්නේ නෑ. ඒවටත් රාජ්ය මැදිහත්වන රක්ෂණය තියෙනවා.
රූපයේ තියෙන්නේ එවැනි ආපදා සේවයක් ක්රියාත්මක වන ආකාරය.
Image from Unsplash free images

Sunday, August 4, 2024

විසල් අහසක් යට 9

 

විසල් අහසක් යට 9

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)

සුවදා උදෑසන ලක ලැහැස්ති වී Mandalay Bay වලින් පිටතට යන්න ආ අපට දැක ගන්න ලැබුණේ වෙරළ ඇඳුමින් සැරසී වෙරළ ක්‍රීඩා වලට අවශ්‍ය කරන භාණ්ඩ අතින් කටින් උස්සගෙන හෝටලයේ කෘත්‍රීම වෙරළ කරා ඇදෙන ගැහැනුන්,මිනිසුන් හා ළමයින් කඩිමුඩියේ ඒ දෙසට ඇදෙන දසුනයි. සැබෑ වෙරළක් කරා යන්න සැතපුම් සිය ගණනක් යන්න ඕන නිසා ඔවුන් මේ විදියට සතුටු වෙනවා වෙන්න ඇති.




දිවා ආහාරය මෙක්සිකන් අවන්හලකින් ගන්නවා. අපි ඒ වෙද්දී දිගටම යන්නේ ගෙයක් දොරක් පෙන්න නැති කාන්තර භූමියක් හරහා. ගස් කොලන්වත් නැහැ. කෑමෙන් පස්සේ වාහනේ එලවද්දී නිදිමතක් දැනුණු නිසා අපි ටික දුරක් ගිහින් මනුස්ස වාසයක් හමු වෙලා  එතැන වාහනය නතර කරනවා. එතැන පුදුමයකට වගේ ලොකු ගස් තුන හතරක් තියෙනවා. ඒවායේ මුල්වලට බිංදු ජල සැපයුම කරලා තියෙන බව අපි දකිනවා. ඒ නිසා මුල අවට වතුර ටිකක් පිරිලා. කුරුල්ලෝ ඒ වතුරෙන් නානවා. වතුර බොනවා.


 ඒ වගේම එතැන දැක්ක විශේෂ දෙයක් තමයි ඒ ගස්වල හැම අත්තකම වගේ තියෙන ගේ කුරුළු කූඩු. එයාලා ගෙවල් නැති නිසාද කොහෙද ගස්වල කූඩු හදලා. අපි ටික වෙලාවක් ඒ ගේ කුරුල්ලන්ගේ හැසිරීම් බලාගෙන ඉන්නවා. ඒ ඒ කූඩුවේ අම්මලා තාත්තලා මාරුවෙන් මාරුවට කූඩුවටයනවා, කිචි බිචි ගානවා. ඇතුළේ දරුපැටව් ඇති. එතැන් සිට අපි තෝරාගත් මාර්ගය Sierra Nevada කඳු පන්තිය පාමුලින් ඇදෙන සොබා සොඳුරු බවෙන් අනූන එකක් වෙනවා. 

ගමනේ පැය කීපයක් යද්දී වැසි අඳුරක් ද අහසේ ඇඳී යනවා. තවම අපි නෙවාඩා ප්‍රාන්තයේ ඉන්නේ. දිගින් දිගටම ෆ්ලෑෂ් ෆ්ලඩ් අනතුරු සංඥා එනවා. වහින වෙලාවට තැන්නේ එක්වරම කඳුවලින් ඇදී එන වැහි වතුර කන්දරාව වාහන පවා ගසාගෙන යන්න සමත් වෙනවා ඇති. හොඳ වෙලාවට වැස්සේ නැහැ. සුළඟ ඉතාම අධිකයි. විශාල ට්‍රක් රථ පාලනය කරගන්න බැහැ. ඒවා පාරේ ඒ මේ අත වැනෙනවා. එකවරම විශාල ට්‍රැෆික් එකක් එනවා. පොලිස් වාහනයක් සයිරන් හඬවමින් නොපෙනෙන වේගයෙන් ඉදිරියට යනවා. අපි තව ඉදිරියට එද්දී දකිනවා අර ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තියෙන හැටි හා ඒ වටා පොලිසිය හා ගිලන් රථ එක්රැස් වී ඇති බව. මෙහෙ අනතුරකදී ක්ෂණිකව ක්‍රියාත්මකවන හදිසි අපදා සේවයක් මුළු රට පුරාම ඇති නිසා මගියන්ට හා අනිකුත් කිසි කෙනෙකුට ඒවාට මැදිහත් වෙන්න වුමනාවක් සාමාන්‍යයෙන් නැහැ. අපට ඉදිරියෙන් යන ට්‍රක් රථයක් පාරේ එහාට මෙහාට වැනෙනවා අපට පෙන්නේ හිතට බයක් ද ඇති කරමින්.  ටික දුරක් එද්දී තවත් ට්‍රක් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලී ඇති බව. එතැනත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

අපි එතැන පසුකර Walker Lake කරා එනවා. එතැන ටිකකට බහින්නේ වට පිටාවේ සුන්දරත්වය විදින්න. ඒත් සුළඟ අපට බාධා කරනවා. අපි සුළු වෙලාවක් එතැන ඉඳලා පින්තුර අරගෙන නැවත ගමන් අරඹනවා.

සමහර කාන්තාර දේශගුණයේ වැවෙන පැළෑටිවල මුලින් උඩකොටස ගැලවී  බෝල වගේ කොටසක් බවට පත්වී සුළං සමග තොග ගණනින් පාර හරහා හුළඟට යනවා. Tumbleweed කියලා හඳුන්වන ඒවායේ බීජ හා ඵල විසිරීමට මේ පාවී යන ගමන උපකාරී වෙනවා. ඒවා ගමන් කරන රථවල ගැටෙනවා. අපි යන පාර හරහා මේවා සිය ගණන් පාවී යනවා අපට පේනවා. සමහර ඒවා රථයේ හැපෙනවා. නිම්නය පසු කළ විට අපේ මාර්ගය වැටී තියෙන්නේ කඳු පන්තිය අතරින්. සමහර කඳු මුදුන් හිරු එළියෙන් නැහැවිලා. සමහර ඒවා අඳුරේ. හරිම සුන්දර දසුන් අපේ නෙත ගැටෙනවා. අපට ඉතා වේගයෙන් ගලාබසින දිය පාරක් හමු වෙනවා. අපි එතැන වාහනය නතර කරලා ටික වෙලාවක් එහි සුන්දරත්වය විඳිනවා.


                                                           Tumbleweed

බටහිර අහස රත් පැහැයෙන් විචිත්‍රවත් කරගෙන ඉර බැසයන වෙලාව වෙද්දී අපි කැලිෆෝනියා දේශසීමාව පහු කරනවා. ඒ වෙලාවේ හරියට අප කැලිෆෝනියාවට ආදරයෙන් පිළිගන්න වගේ අහසේ දේදුන්නක් මතුවෙන්න පටන් ගන්නවා. ගවයන් වෙල්වල නිදහසේ තණ කකා ඉන්නවා. වහු පැටවූ මව් දෙනුන්ගෙන් කිරි බිබී ඉන්නවා. මේ දසුන් අපට අපේ රට මතක් කරදෙනවා. මොකද මෙහෙදී මේ වගේ දසුනක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. මේ විදියට සතුන් ඇති කිරීම එක ක්‍රමයක්. මේ වෙල් යායවල් පහුකරගෙන අපි කඳු පෙදෙසකට අවතීර්ණ වෙනවා. ඒ Lake Tahoe පැත්ත.   Lake Tahoe කියන්නේ සියරා නෙවාඩා කඳුවල තියෙන විශාල මිරිදිය ජලාශයක්. සීත ඍතුවට මේ හරිය අඩි ගණනාවක් හිමෙන් යට වෙනවා. අපේ ගමන යෙදෙන්නේ ගිම්හානයේ නේ. එතකොට හිම ටිකක් තියෙන්නේ උස් කඳු මුදුන්වල විතරයි. ඒවා ඈතට සුදට පෙනෙනවා. දැන් ඉතින් ටිකෙන් ටික කළුවර වැටෙනවා. අපි ක්‍රමයෙන් අපේ ගමනාන්තයට ළඟා වෙන්නේ දින පහක දිග සංචාරය නිමා කරමින්. විසල් අහසක් යට මගේ සංචාර සටහන මෙයින් නිමා වෙනවා. කියවූ ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා.