Monday, June 24, 2024

විසල් අහසක් යට 1

 විසල් අහසක් යට 1

(ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර සිට බටහිරට රට හරහා සංචාරය)




හස විසල් එකක් කියලා මුලින්ම තේරුම් ගියේ අපි කොට්ටාවේ කුලී ගෙදර ඉඳලා පන්නිපිටිය බාගෙට හදපු ගෙදර පදිංචි වුණ දවසේ. බාගෙට හදපු නෙවේ ඇත්තටම කිව්ව නම් වඩා හොඳ කාලට හදපු ගෙදර කියන එක හරි. මොකද නිදන කාමරය කුස්සිය විතරයි ඉන්න පුළුවන් තත්වයක තිබුණෙ. ප්රදේශයේ උසම තැන තිබුණ ඒ ගෙදර ස්ලැබ් එකේ ඉඳන් අහස බැලුවම මහා විසාල අහසක් මට පෙනුණා. එතකම් හිටිය කොහේවත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ කියලා එදා මට හිතුණා.
එයින් පස්සෙ අහස ගැන අපූරු හැඟීමක් මට ඇති වුණෙ පසු ගිය ඉරිදා. පහුගිය ඉරිදා උදේ නමයට විතර අපි එදා පන්නිපිටියේ ගෙදරට පෙනුණ අහසට වඩා හුඟක් විසාල අහසක් යටින් මිනිත්තුවෙන් මිනිත්තුවට පොළෝ තලයේ ලක්ෂ්යයෙන් ලක්ෂ්ය පහු කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ පැත්තේ ඉඳන් බටහිර වෙරළ පැත්තට අපේ සැතපුම් තුන්දාහක සංචාරය පටන් ගත්තා.
වෙනදා මේ ගමන යන්නේ අභ්යන්තර ගුවන් ගමනක් විදියට. එක අතර මැද මාරුවීමක් එක්ක ඒ ගුවන් ගමනට පැය දහයක් විතර ගත වෙනවා. මෙවර අපි මෝටර් රථයෙන් තමයි ගමන ආවේ. අපි පටන් ගත්තේ දකුණු කැරොලිනා ප්රාන්තයෙන්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ප්රාන්ත පනහකින් හැදුන ප්රාන්ත රාජ්යයක් බව ඔබ දන්නවා. අපි ප්රාන්ත කීයක් පහු කළාද, මොන පාරවල්වල ආවද නතර වුණේ කොහේද දැක්කේ මොනවද කියන කතාව තමයි මේ පටන් ගන්නේ. ඒක අපූරු අත්දැකීමක්. මට ඉඩ ලැබෙන විදියට ඔයාලට ඒ සංචාර ඒ සංචාර සටහන අරන් එන්නම්.
Image from Unsplash