Thursday, February 27, 2025

සාරිය කාරියට වඩා ලොකු වීම

 සාරිය කාරියට වඩා ලොකු වීම


ට අපොස උසස්පෙළ උත්තර පත්ර බැලීමට මුල්වරට අවස්ථාව ලැබුණේ 1981 අගෝස්තු මාසේ. මට මුල්ම පත්වීම ලැබුණේ ඒ අවුරුද්දේ මැයි මාසේ. ඉතින් විදුහල්පති මා උත්තරපත්ර බලන්න නිර්දේශ කර ඇරලා තිබුණා. මට උත්තර පත්ර බැලීමට එන්න කියලා ගෙදරට ටෙලිග්රෑම් එකක් එද්දී උදේ දහයට විතර ඇති. ඒ කාලේ ෆෝන් නෑ.
මං ඉතින් මට ඒ දවස් වල තිබුණ සාමාන්ය ගවුම් කොටයක් ඇඳගෙන බස් එකේ නැගලා ඩී. එස් සේනානායක විදුහලට ගියා. ගේට්ටුවෙන් මගේ ටෙලිග්රෑම් එක බලලා ඇතුළට යැව්වා. විභාග දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීයාට ටෙලිග්රෑම් එක දුන්නම මේ ඔයාමද කියලා උඩ ඉඳන් පහළට බැලුවා. මොකද මං ඒ දවස් වල ඉස්කෝලේ OL පන්තියක ළමයෙක් විතර ඇති. ඉතින් උන්නැහේ මගේ හැඳුනුම්පතත් බලලා සැකහැරගෙන මං පුරප්පාඩු තිබුණු පැනල් එකට යැව්වා. ඒ වතාවේ මුළු ලංකාවේම උද්භිද විද්යා උත්තර පත්ර බැලුවේ ඒ විද්යාලයේ පිහිටවූ ඇගයීම් මධ්යස්ථානයේ. මං හිතන්නේ ඊට පස්සේ එහෙම එක එක විෂය එකම තැනක බලන එක කළේ නෑ. එහෙම වුණහම පිටස්තර බලපෑම් එන්න තියෙන ඉඩ වැඩි නිසා ඒ ක්රමය අභාවයට ගියා.
ඉතින් ඔන්න මං හාපුරා කියලා උත්තරපත්ර පරීක්ෂක වරියක් වුණා. පැනල් එකේ අතිරේක ප්රධාන පරීක්ෂක හිටි සනත් සර් තමයි මට මේ කාර්යය A to Z කියලා දුන්නේ. මට සනත් සර් අමතක වෙන්නේ නෑ. ඒ තරම් කාරුණික ඒ වගේම රාජකාරිය හරියටම කරන චරිතයක්. තව මට අමතක නොවන චරිතයක් තමයි ලක්ෂ්මා.... පළපුරුදු ගුරුවරියක්. පසුව මගේ මිතුරියක්.
ඔහොම පටන් ගත් ඒ රාජකාරිය 2014 දක්වා කළා. අතර මැද ඇතැම් වසර වල මගේ දරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටි නිසා හා එක්වරක් අපි ඇගයීම් කටයුතු වලින් ඉවත්වී වැඩ වර්ජනය කළ නිසා ඒ කටයුත්ත නොකර හිටියා. අපි මේ රාජකාරියට යනවිට හැමදාම වගේ ඇන්දේ පහසු ඇඳුම්. කාටවත් ඒක අමුත්තක් වුණේ නෑ. අන්තිමට අතිරේක ප්රධාන පරීක්ෂක විදියටත් එහෙම තමයි ඇන්දේ. කොළඹ එක බාලිකා පාසලක විදුහල්පතිනියට අපේ ඇඳුම ගැන ඇම්මක් ආවත් ඒක පත්තු බඳින්නේ නැතුවම ලත් තැනම සුව වුණා.
ඊයේ පෙරේදා සිදු වීම නිසයි මේ කතාව ආයෙම ලියන්න හිතුණේ. ඒකෙදී මට තියෙන පුදුමේ තමයි කොමසාරිස්ට තීරණයක් ගන්න බැරි වීම.

Tuesday, February 18, 2025

අපි දැන් කල් ඉකුත් වූ අබලි කැබලිය

 අපි දැන් කල් ඉකුත් වූ අබලි කැබලිය

























ලියුම් කියුම් මුතු ඇට අකුරු වැලකිනී
සියුම් සිත්තමක රේඛා හරි කෙලිනී
මැවුම් කරු වුණත් හරියට සිතු බැවිනී
සිතුම් පැතුම් තිබුණේ උස් කඳු ලෙසිනී
ඉවුම් පිහුම් සේදුම් හනි හනිකටය
මැහුම් ගෙතුම් පෙනුමට හැඩ වැඩටමය
ගමන් බිමන් සිතු විට සිතු විදියටය
එවන් කලක් තිබුණෙත් අප අපටමය
කාලය අඳුරු සළුවකි දිග ඇදී ගිය
ලීලය නොපෙන්වා සැම හිස් වසා ගිය
තාලය වෙනස් විය ගැයුමද වෙනස් විය
මාලය කුමට මුතු ඇට ටික දුරස් විය
එදවස මගට බට විට කසිලි බිසිලිය
දුර අඩි තබා යන විට සැලුණි මිහිලිය
අඩියක් තබන්නේ දැන් පැකිලි පැකිලිය
අපි දැන් කල් ඉකුත්වූ අබලි කැබලිය

Saturday, February 8, 2025

'පවුල' තව දුරටත් තියේවිද?

 'පවුල' තව දුරටත් තියේවිද?



වුල කියන්නේ අඩුම වශයෙන් පුද්ගලයන් දෙන්නෙකුගේ එකතුවක්. එක්තරා කාලයක පවුල වුණේ අත්තම්මා සීයා ඇතුළු දූ දරුවන් හා මුණුපුරු මිනිපිරියත් ඔක්කොම එකතුව..... මේකට තව අත්තම්මා සීයාගේ සහෝදර පරම්පරා පවා එකතු වෙලා මහා විශාල විස්තීර්ණ පවුලක් ඇති වුණා. මේකේ ආදරය කරුණාව වගේම දේපල නිසා වෙන ආරවුල් ද තිබුණා. මේ වගේ පවුලක දරුවෙකු කුඩා කාලයේ සිය මව හෝ පියා අහිමි වුණත් අනික් අයගේ ආදරය කරුණාව මැද ඒ දරුවන් හැදුණු තැන් බොහොමයි. මං එවැනි අත්දැකීම් ලද කෙනෙක්. තාත්තා නැතිවෙන විට මට අවුරුදු නවයයි. ඒත් මට අම්මාගෙන් ද ලැබුණාට වඩා ආදරය ලැබුණේ සීයා ආත්තම්මා හා මාමලාගෙන්. ඒ නිසා මගේ ජීවිතේ තාත්තා නැතිවීම තුළ ලොකු රික්තයක් ඇතිවුණේ නෑ.
මෙහෙම නොවුණු තැන් ද ඕන තරම්. විස්තීර්ණ පවුල විසින් මව පියා අහිමි දරුවන් පීඩනයට පත් කළ තැන් ඕන තරම් ඇති.
පසු කාලයේ ඒ කියන්නේ අද වනවිට 'පවුල' අම්මා තාත්තා හා දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් වශයෙන් සීමිත පුද්ගලයන් සංඛ්යාවක න්යෂ්ටික පවුලක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම තනි වෙන්වූ ඒකක බවට පත්වී තිබෙනවා. මෙන්න මෙතනදී මව පියා දික්කසාද වීම හෝ දෙමාපියන් දෙදෙනාම හෝ එක අයෙකු හෝ මියයාම දරුවන් කායික මානසික අඳුරු අගාධයකට ඇද දමනවා. ඒ දරුවන්ට රැකවරණයක් ලෙස පේන්නේ තම මව හා පියා විතරයි. වෙන්වූ දෙමාපියන් නැවත විවාහයකට යාමේදී මේ අසරණ දරුවන් අධික ලෙස පීඩාවට පත් වෙනවා.
අපි හිතනවා දරුවන්ට මවගේ පියාගේ ආදරය අත්යවශ්ය දෙයක් ලෙස. දරුවන් ඇත්තටම සොයන්නේ ආදරය කියන වචනයෙන් හඳුන්වන නමුත් එහි යටි අර්ථය වශයෙන් ගත්විට ආරක්ෂාවමයි.
අනාගතයේ පවුලක් වීම යනු නිරර්ථක දෙයක් වන බවට ලකුණු ඕන තරම් තියෙනවා. දෙන්නාට දෙන්නා පෙම්වතුන් වී හිඳ හෝ යෝජනාවක් අනුව කැමති වී දෙන්නෙක් විවාහ වුණත් විවාහ ජීවිතය රෝසමල් යහනාවක් වෙන්නේ නෑ. කලකදී නොයෙකුත් ගැටලු නිසා ඔවුන් දුරස් වෙනවා විතරක් නෙවේ ඔවුන් අතර මත ගැටුම් මෙන්ම විවිධ බෙදීම් ඇතිවෙනවා. මේවා දරුවන් දකිනවා. ඒවා පහර දීමේ සිට මි.. නී මැරුම් දක්වා දුර දිග යනවා. අකමැති දෙන්නෙක් ගහ ම.. රා ගනිමින් තව දුරටත් එක වහලක් යට ඉඳීම පල රහිතයි. ඉතින් බොහෝ අය දික්කසාද වෙනවා. එතකොට අර දරුවන් අසරණ වෙනවා. වෙන්වූ අය දෙවැනි විවාහයකට ගිහින් තම තමන්ගේ සිතැඟි ඉටු කරගන්න පුළුවන්. නමුත් දරුවන්ට ඇති පිළිසරණ කුමක් ද? මේ තත්ත්වය මත දරුවන් භීතියට පත් වෙනවා. මොකද ඔවුන් ගේ සියලුම හැඟීම් කරකැවෙන්නේ අර අම්මා තාත්තා මත.
මෙහෙම ගිහින් පවුලේ අනාගතය කුමක් වේවි කියලද ඔබ හිතන්නේ?
තවත් අවුරුදු ගණනාවක් මේ ගැටුම් මැද පවුල තියේවි. ඊළඟට වෙනත් විකල්පයක් ඒවි. මෙන්න මේ තත්ත්වයේ දී පවුලේ අනාගතය මෙහෙම වේවි කියලා මට හිතලුවක් තියෙනවා. එනම් මනුෂ්ය සම්බන්ධතා ලිහිල් වේවි. දරුවන් ඇති කිරීම නොකිරීම ගැන ඔවුන් වග බලා ගනීවි. හැබැයි එහෙම හැදෙන දරුවන් හදා වඩා ගන්නට වෙන්නේ වෙනම. හැබැයි ඒ අද තියෙන අනාථ නිවාස ආකාරයෙන් නෙවේ. අනාථ/නාථ කියලා කවුරුවත් නෑනේ.
එනම් දරුවන් මල් පාත්ති වගේ. ඔවුන්ට ආදරය මෙන්ම රැකවරණය මල් පාත්ති බලාගන්නට ඉන්න අය විසින් කරනවා. පෝෂණය කරනවා. අධ්යාපනය දෙනවා. ශාරීරික හා මානසික සෞඛ්ය ගැන බලනවා. එවන් පසුබිමක ඒ දරුවන් දන්නේ නෑ අම්මා තාත්තා කියලා වෙනම ආදරය දෙන පුද්ගලයන් වර්ගයක් ඉන්නවා කියලා. නොපවතින දෙයක් ගැන බලාපොරොත්තු ද නෑ.
ඒ වන විට 'පවුල' කියන එක නැති වෙලා. කැමති යුවලවල් එක්ව ඉඳීවි. අවශ්ය නෑ කියලා හිතුණ විට වෙන් වේවි. තනියම ඉන්න කැමති අය එහෙම ඉඳීවි. ගැටුම් අවම වේවි...දේපල ගැන ආරවුල් නැති වේවි. තමා යම් දේපලකට උරුම කම් කියනවා නම් ඒක තම දරුවෙකුට දෙන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුලුවන්. දරුවන් ගේ අනාගතය සමාජ වග කීමක් වේවි.

Tuesday, February 4, 2025

Niluka Brandon ගේ 'චිත්‍රාල්' කියවූවෙමි

 Niluka Brandon ගේ 'චිත්රාල්' කියවූවෙමි



2025 වසරේ කියවූ පළමු නවකතා පොත ලෙස චිත්රාල් හා මධාරා ප්රධාන චරිත වූ නිලූකා බ්රැන්ඩන් ගේ 'චිත්රාල්' නවකතාව දින තුනක් ගතවෙද්දී කියවා අවසාන කළෙමි. එය කියවද්දී මගේ සිත් ගත් තැන් කීපයක් ලකුණු කර ගතිමි.
එවන් සුන්දර ස්ථාන තුනක් මෙහි බහා ලමි.
චිත්ත රූප මොනවට මවන මේ කොටස බලන්න.
1. - කැහැටු , කළු තරුණියක වූ ඇය තමා සමග සසඳනා කල්හි නන්ද කුමාරයා දුටු නවදැලි හේනේ දා ගිය වැඳිරිය වැනි යයි සිතූ නෙරංජලා තරුණියගේ දෑසේ වූ මනහර බව හෝ දෙතොල කෙළවර සුලලිත රේඛා හෝ නොදැක්කා ය.- පිටුව
45
2. මේ ලේඛිකාව කාලයේ ගලා යාම කියන විචිත්රවත් ආකාරයයි
- මෙතෙක් කල් චිත්රාල් කුඩාවෙකැයි සිතාගෙන සිටි මාගරට් නෝනාට එකවරම තමා මහලු ගිය බවත්, චිත්රාල් තරුණයෙකු වී ඇති බවත් දැනුණේය. - පිටුව 113
3. කතුවරිය ස්ත්රී පුරුෂ සම්බන්ධතාවල සුන්දරත්වය ලෙස කියාපාන්නේ මෙසේය.
-විදුලියක් වැනිවූ, හුනුව දියව යාමක් වැනිවූ සුරතාන්තයන්ට එකම මොහොතේ ළඟාවූ කල්හී ඔවුන් දෙදෙනා නිවුණෝය. එය සුළි කුණාටුවකට පසුව නිසංසල වන ගැඹුරු මුහුදු පතුළ මෙන් ශාන්තය. "මට මගේ ජීවිතේ හම්බ වුණා "චිත්රාල් සිතුවේය." මට මගේ ජීවිතේ හම්බවුණා "රෝජා ද සිතුවාය. - පිටුව 170
මම ප්රවීණ ලේඛකයෙකු හෝ විචාරකයෙකු නම් නොවෙමි. නමුත් මේ නව කතාව ගැන මගේ අදහස් කීපයක් මෙසේ සටහන් කිරීමට සිතුවෙමි.
නවකතාවේ ප්රධාන චරිතය වන චිත්රාල් සොඳුරු යයි කිවහැකි ළමා කාලයකට උරුමකම් කියූ හා යහපත් දෙමාපියන් ලද මානවකයෙකි. ඔහුගේ බිරිඳ වූ මධාරා මිල මුදල් අතින් කිසිඳු අඩුපාඩුවක් නැති මුත් චිත්රාල්ට වඩා හාත්පසින්ම වෙනස් ළමා කාලයක් ගතකළ හා අයහපත් දෙමාපියන් යටතේ හැදී වැඩුණු දැරියකි. එහි ප්රථිපලයක් ලෙස මානසික ව්යාධියකට පත්වන ඈ චිත්රාල් තම ගොදුර කරගන්නේ සිය පියා සම්බන්ධ කලකිරීම් හමුවේ සියළුම පිරිමින්ගෙන් පලිගැනීමේ සිය කුරිරු චේතනාව ඉටු කර ගනු පිණිස බව චිත්රාල් නොදත්තේය. එබැවින් චූදිතයෙකු නොවීම චිත්රාල් දඬුවමට පාත්ර විය.
කතාව ප්රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියවී තිබේ. චිත්රාල් හා මධාරා වටා කැරකෙන එකිනෙකට වෙනස් චර්යාවන් හා පෞරුෂයන් වලට හිමිකම් කියන විශාල සංඛ්යාවක් වූ අනිත් පාත්රවර්ගයා හැසිරෙන ආකාරය ලේඛිකාව විසින් ගොඩ නගන්නේ ඊළඟට කුමක් සිදුවේද යනුවෙන් පාඨකයා ඇද බැඳ තබා ගැනීමට හැකිවන අයුරිනි. එය ඇගේ දක්ෂකමක් බව කිව යුතුය. එසේ කුතුහලය දනවන ලෙස ලිවීමේදී ඉදිරියේ සිදුවන්නේ පාඨකයා බලාපොරොත්තු වන දෙයම නොවේ. ජීවිතය එසේය. එසේ වුවද ඉදිරියට සිදුවන දේ පිළිබඳ ඉඟියක් නැකත් කරුවෙකුගේ ප්රකාශයක් පරිද්දෙන් හෝ කෑරලෙකු හැඬීම වැනි පාරිසරික සංසිද්ධියකින් හෝ පාඨකයා වෙත ලබා දීමට ලේඛිකාව වග බලා ගනියි. එයින් ඉදිරියට යහපතක් වේද නොවේද යන්න කියාපායි.
මේ කතාවේ පාත්ර වර්ගයාගේ හැසිරීම සංකීර්ණය.
ඔවුන් වටා චලනය වන සමාජ සංස්කෘතික හා මානසික ඝට්ටනයන් හමුවේ ඔවුහූ ක්රියා කරති. කුලය, බලය, ධනය, ස්ත්රී පුරුෂ භාවය, දේශසීමා ආදී දහසකුත් එකක් සීමා මායිම් හමුවේ ඔවුහූ ඇඹරෙති, පෙළෙති. නිදසුනක් වශයෙන් වෙනත් රටක උගෙනුම සඳහා යන මිළ මුදල් අතින් හීන සාමාන්ය පන්තියේ දරුවන් ජීවන අරගලයට මුහුණදෙන ආකාරය කතාවේ මනාව විස්තර කර තිබේ.
චිත්රාල් මෙන් අති සංකීර්ණව නොවුණත් තම බිරින්දෑවරුන් අතින් බැටකන ස්වාමිපුරුෂයන් මා දැක ඇත. මධාරා තරම් පැටලිලි සහිත නොවූවත් තම සැමියන් කෙරෙහි එවැනි ආකාරයෙන් කටයුතු කරන බිරින්දෑවරුන් ද මා දැක ඇත. නමුත් වැඩිපුරම දකින්නට ලැබෙන්නේ පුරුෂයන් විසින් තලා පෙලා සිරකර දමනු ලබන බිරින්දෑවරුන් ය. කුමන අතින් බැලුවත් අඹු සැමි, දෙමාපිය, සහෝදර ආදී හැම සබඳතාවයකම අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අඩු පාඩු බිඳ වැටීම් මෙන්ම ආදරණීය බවද චිත්රාල් කතාවෙන් කියා පෑමට කතුවරිය දස්කම් දක්වන්නීය.
අප අප වුවත් ඇතැම් අවස්ථාවල ක්රියා කරන්නේ හා වචන භාවිත කරන්නේ අනිකාට රිදෙන බව නොදැන වන්නටත් ඉඩ තිබේ. වුවමනාවෙන් උපක්රමශීලීව එසේ කරනවා වන්නට ද පුළුවන. නැතිනම් අප තුළ අපටත් නොදැනීම පවතින විවිධ සින්ඩ්රෝම නිසා වීමටද ඉඩකඩ තිබේ. ඒ අපේ හැසිරීම් වලට හේතු සාධක අපේ අතීත අත්දැකීම් වල ප්රතිඵල විය හැකිය (PSTD - Post Traumatic Stress Disorder). තවත් නානා ප්රකාර මානසික තත්ත්වයන් විය හැකිය.
කතාවේ ඇතැම් තැන් සැබෑ ජීවිතයේ දී මෙසේ විය හැකිද යන ගැටලුව මගේ සිතට නාවා නොවේ. ආසාවරීගේ මරණය මිනීමැරුමක් බව යටපත්ව යාම ඉන් එකකි.
මධාරා යන නම තව ගැටලුවකි. මලක නමක් ඉන් අදහස් වන බවක් කතාවේ ගම්ය වේ. එම මල් වර්ගය මදාරා මිස මධාරා නොවේ.
ඒ හැර ඇතැම් තැන්හී අතලොස්සක් ව්යාකරණ දෝෂ, මුද්රණ දෝෂ හා අක්ෂර වින්යාසයේ අඩුපාඩු දුටුවෙමි.
නිදසුන් :
1.ඔවුන්.... වූවෝය. - පිටුව 35
2. අපිව, ඔවුන්ව ආදීයේ ව කාරය වැරදි යෙදුමක් යයි සිතේ.
මේ හැර ප්රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියැවෙන කතාවේදී වරින් වර ලියන්නිය ඉස්මතුවීම මා සිත් නොගනී.
නිදසුන
- මිනිසුන්ගේ ස්වභාවය එයයි. ලෝකයේ ලෙඩ-රෝග, දුක්-කරදර, අතුරු-අන්තරා, අපරාධ දූෂණ, අපයෝජන ඇති බව නොදන්නා අයෙක් නැති තරම් ය. නමුත් අපි කිසිවෙක් මේ එවැන්නක් අප වෙත පැමිණ අපිව වනසනා තෙක්ම 'අපිටත් කරදරයක් වෙවි' කියා සිතන්නට මැලි වන්නෙමු. අපි ආදරය කරන අයෙකුට මානසික රෝගයක් තිබේය යන්න මිනිසුන්ට ඇස්පනා පිට පෙනුණත් පිළිගන්නට මැලිවන ප්රධානම දේවල් අතරින් එකකි. - පිටුව 16
මේවා පාත්ර වර්ගයාගෙන් කෙනෙකු ලවාම කියවීම සිදුවී ලේඛකයා ඉස්මතුවීම වළක්වා ගැනීම හැකි හැමවිටම වීම වඩා උචිත බව මගේ අදහසයි.
නිලූකා, 'චිත්රාල්' ගැන මේ මගේ එතරම් පොහොසත් නොවන අදහස් කීපය ඔබේ අනාගත ලේඛන දිවිය ප්රභාමත් කිරීමට බිඳකින් හෝ දායක වනු ඇතැයි සිතමි. ඔබට ජය පතමි.