සාරිය කාරියට වඩා ලොකු වීම
මට අපොස උසස්පෙළ උත්තර පත්ර බැලීමට මුල්වරට අවස්ථාව ලැබුණේ 1981 අගෝස්තු මාසේ. මට මුල්ම පත්වීම ලැබුණේ ඒ අවුරුද්දේ මැයි මාසේ. ඉතින් විදුහල්පති මා උත්තරපත්ර බලන්න නිර්දේශ කර ඇරලා තිබුණා. මට උත්තර පත්ර බැලීමට එන්න කියලා ගෙදරට ටෙලිග්රෑම් එකක් එද්දී උදේ දහයට විතර ඇති. ඒ කාලේ ෆෝන් නෑ.
මං ඉතින් මට ඒ දවස් වල තිබුණ සාමාන්ය ගවුම් කොටයක් ඇඳගෙන බස් එකේ නැගලා ඩී. එස් සේනානායක විදුහලට ගියා. ගේට්ටුවෙන් මගේ ටෙලිග්රෑම් එක බලලා ඇතුළට යැව්වා. විභාග දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීයාට ටෙලිග්රෑම් එක දුන්නම මේ ඔයාමද කියලා උඩ ඉඳන් පහළට බැලුවා. මොකද මං ඒ දවස් වල ඉස්කෝලේ OL පන්තියක ළමයෙක් විතර ඇති. ඉතින් උන්නැහේ මගේ හැඳුනුම්පතත් බලලා සැකහැරගෙන මං පුරප්පාඩු තිබුණු පැනල් එකට යැව්වා. ඒ වතාවේ මුළු ලංකාවේම උද්භිද විද්යා උත්තර පත්ර බැලුවේ ඒ විද්යාලයේ පිහිටවූ ඇගයීම් මධ්යස්ථානයේ. මං හිතන්නේ ඊට පස්සේ එහෙම එක එක විෂය එකම තැනක බලන එක කළේ නෑ. එහෙම වුණහම පිටස්තර බලපෑම් එන්න තියෙන ඉඩ වැඩි නිසා ඒ ක්රමය අභාවයට ගියා.
ඉතින් ඔන්න මං හාපුරා කියලා උත්තරපත්ර පරීක්ෂක වරියක් වුණා. පැනල් එකේ අතිරේක ප්රධාන පරීක්ෂක හිටි සනත් සර් තමයි මට මේ කාර්යය A to Z කියලා දුන්නේ. මට සනත් සර් අමතක වෙන්නේ නෑ. ඒ තරම් කාරුණික ඒ වගේම රාජකාරිය හරියටම කරන චරිතයක්. තව මට අමතක නොවන චරිතයක් තමයි ලක්ෂ්මා.... පළපුරුදු ගුරුවරියක්. පසුව මගේ මිතුරියක්.
ඔහොම පටන් ගත් ඒ රාජකාරිය 2014 දක්වා කළා. අතර මැද ඇතැම් වසර වල මගේ දරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටි නිසා හා එක්වරක් අපි ඇගයීම් කටයුතු වලින් ඉවත්වී වැඩ වර්ජනය කළ නිසා ඒ කටයුත්ත නොකර හිටියා. අපි මේ රාජකාරියට යනවිට හැමදාම වගේ ඇන්දේ පහසු ඇඳුම්. කාටවත් ඒක අමුත්තක් වුණේ නෑ. අන්තිමට අතිරේක ප්රධාන පරීක්ෂක විදියටත් එහෙම තමයි ඇන්දේ. කොළඹ එක බාලිකා පාසලක විදුහල්පතිනියට අපේ ඇඳුම ගැන ඇම්මක් ආවත් ඒක පත්තු බඳින්නේ නැතුවම ලත් තැනම සුව වුණා.
ඊයේ පෙරේදා සිදු වීම නිසයි මේ කතාව ආයෙම ලියන්න හිතුණේ. ඒකෙදී මට තියෙන පුදුමේ තමයි කොමසාරිස්ට තීරණයක් ගන්න බැරි වීම.
ඒ තාලේ පාසැල්වල අද වාගේ දරඳඩු නීතිරීති පද්ධතියක් තිබුනේ නෑ. පාසල විතරක් නෙමෙයි අද ආගමික ස්ථාන දෙස බලන්න කොතරම් නීතිරීති තියනවද කියලා.
ReplyDelete