'පවුල' තව දුරටත් තියේවිද?
පවුල කියන්නේ අඩුම වශයෙන් පුද්ගලයන් දෙන්නෙකුගේ එකතුවක්. එක්තරා කාලයක පවුල වුණේ අත්තම්මා සීයා ඇතුළු දූ දරුවන් හා මුණුපුරු මිනිපිරියත් ඔක්කොම එකතුව..... මේකට තව අත්තම්මා සීයාගේ සහෝදර පරම්පරා පවා එකතු වෙලා මහා විශාල විස්තීර්ණ පවුලක් ඇති වුණා. මේකේ ආදරය කරුණාව වගේම දේපල නිසා වෙන ආරවුල් ද තිබුණා. මේ වගේ පවුලක දරුවෙකු කුඩා කාලයේ සිය මව හෝ පියා අහිමි වුණත් අනික් අයගේ ආදරය කරුණාව මැද ඒ දරුවන් හැදුණු තැන් බොහොමයි. මං එවැනි අත්දැකීම් ලද කෙනෙක්. තාත්තා නැතිවෙන විට මට අවුරුදු නවයයි. ඒත් මට අම්මාගෙන් ද ලැබුණාට වඩා ආදරය ලැබුණේ සීයා ආත්තම්මා හා මාමලාගෙන්. ඒ නිසා මගේ ජීවිතේ තාත්තා නැතිවීම තුළ ලොකු රික්තයක් ඇතිවුණේ නෑ.
මෙහෙම නොවුණු තැන් ද ඕන තරම්. විස්තීර්ණ පවුල විසින් මව පියා අහිමි දරුවන් පීඩනයට පත් කළ තැන් ඕන තරම් ඇති.
පසු කාලයේ ඒ කියන්නේ අද වනවිට 'පවුල' අම්මා තාත්තා හා දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් වශයෙන් සීමිත පුද්ගලයන් සංඛ්යාවක න්යෂ්ටික පවුලක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම තනි වෙන්වූ ඒකක බවට පත්වී තිබෙනවා. මෙන්න මෙතනදී මව පියා දික්කසාද වීම හෝ දෙමාපියන් දෙදෙනාම හෝ එක අයෙකු හෝ මියයාම දරුවන් කායික මානසික අඳුරු අගාධයකට ඇද දමනවා. ඒ දරුවන්ට රැකවරණයක් ලෙස පේන්නේ තම මව හා පියා විතරයි. වෙන්වූ දෙමාපියන් නැවත විවාහයකට යාමේදී මේ අසරණ දරුවන් අධික ලෙස පීඩාවට පත් වෙනවා.
අපි හිතනවා දරුවන්ට මවගේ පියාගේ ආදරය අත්යවශ්ය දෙයක් ලෙස. දරුවන් ඇත්තටම සොයන්නේ ආදරය කියන වචනයෙන් හඳුන්වන නමුත් එහි යටි අර්ථය වශයෙන් ගත්විට ආරක්ෂාවමයි.
අනාගතයේ පවුලක් වීම යනු නිරර්ථක දෙයක් වන බවට ලකුණු ඕන තරම් තියෙනවා. දෙන්නාට දෙන්නා පෙම්වතුන් වී හිඳ හෝ යෝජනාවක් අනුව කැමති වී දෙන්නෙක් විවාහ වුණත් විවාහ ජීවිතය රෝසමල් යහනාවක් වෙන්නේ නෑ. කලකදී නොයෙකුත් ගැටලු නිසා ඔවුන් දුරස් වෙනවා විතරක් නෙවේ ඔවුන් අතර මත ගැටුම් මෙන්ම විවිධ බෙදීම් ඇතිවෙනවා. මේවා දරුවන් දකිනවා. ඒවා පහර දීමේ සිට මි.. නී මැරුම් දක්වා දුර දිග යනවා. අකමැති දෙන්නෙක් ගහ ම.. රා ගනිමින් තව දුරටත් එක වහලක් යට ඉඳීම පල රහිතයි. ඉතින් බොහෝ අය දික්කසාද වෙනවා. එතකොට අර දරුවන් අසරණ වෙනවා. වෙන්වූ අය දෙවැනි විවාහයකට ගිහින් තම තමන්ගේ සිතැඟි ඉටු කරගන්න පුළුවන්. නමුත් දරුවන්ට ඇති පිළිසරණ කුමක් ද? මේ තත්ත්වය මත දරුවන් භීතියට පත් වෙනවා. මොකද ඔවුන් ගේ සියලුම හැඟීම් කරකැවෙන්නේ අර අම්මා තාත්තා මත.
මෙහෙම ගිහින් පවුලේ අනාගතය කුමක් වේවි කියලද ඔබ හිතන්නේ?
තවත් අවුරුදු ගණනාවක් මේ ගැටුම් මැද පවුල තියේවි. ඊළඟට වෙනත් විකල්පයක් ඒවි. මෙන්න මේ තත්ත්වයේ දී පවුලේ අනාගතය මෙහෙම වේවි කියලා මට හිතලුවක් තියෙනවා. එනම් මනුෂ්ය සම්බන්ධතා ලිහිල් වේවි. දරුවන් ඇති කිරීම නොකිරීම ගැන ඔවුන් වග බලා ගනීවි. හැබැයි එහෙම හැදෙන දරුවන් හදා වඩා ගන්නට වෙන්නේ වෙනම. හැබැයි ඒ අද තියෙන අනාථ නිවාස ආකාරයෙන් නෙවේ. අනාථ/නාථ කියලා කවුරුවත් නෑනේ.
එනම් දරුවන් මල් පාත්ති වගේ. ඔවුන්ට ආදරය මෙන්ම රැකවරණය මල් පාත්ති බලාගන්නට ඉන්න අය විසින් කරනවා. පෝෂණය කරනවා. අධ්යාපනය දෙනවා. ශාරීරික හා මානසික සෞඛ්ය ගැන බලනවා. එවන් පසුබිමක ඒ දරුවන් දන්නේ නෑ අම්මා තාත්තා කියලා වෙනම ආදරය දෙන පුද්ගලයන් වර්ගයක් ඉන්නවා කියලා. නොපවතින දෙයක් ගැන බලාපොරොත්තු ද නෑ.
ඒ වන විට 'පවුල' කියන එක නැති වෙලා. කැමති යුවලවල් එක්ව ඉඳීවි. අවශ්ය නෑ කියලා හිතුණ විට වෙන් වේවි. තනියම ඉන්න කැමති අය එහෙම ඉඳීවි. ගැටුම් අවම වේවි...දේපල ගැන ආරවුල් නැති වේවි. තමා යම් දේපලකට උරුම කම් කියනවා නම් ඒක තම දරුවෙකුට දෙන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුලුවන්. දරුවන් ගේ අනාගතය සමාජ වග කීමක් වේවි.
මා සිතන ආකාරයට අනාගතයේදී "පවුල" නමැති සංකල්පය මීටත් වඩා හැකුලුනු එකක් විය හැකියි . විශේෂයෙන්ම මධ්‍යම පන්ති සමාජයේ මෙය අදටත් දකින්නට ලැබෙනවා . පවුලේ ගැහැණු දරුවෝ විවාහ වූ පසු කොහොමත් දෙමාපියන්ගෙන් ඈත් වෙනවා . අධ්‍යාපනයක් ලබා රැකියාවක යෙදෙන පිරිමි දරුවෝද බොහෝවිට නගරබදව හෝ රැකියා ස්ථානයට කිට්ටුව පදිංචිව විවාහවී හෝ නොවී වෙනම ජිවත් වෙනවා . බොහෝවිට ඔවුන් සීමිත ඉඩ කඩම් ගැනත් බලාපොරොත්තුවක් නැහැ . ඉඳහිට දෙමාපියන් බලන්නට යන අයත් සිටිනවා . ඒ කෙසේ වෙතත් අවසානයේදී දෙමාපියන් තනි වෙනවා . පවුලෙන් වෙන් වන අයත් විවිධ හේතු නිසා දරුවන් සංඛ්‍යාව ඉතාමත් සීමිත කර ගන්නවා . තව පරම්පරා දෙක තුනකට පසුව 'දරු ශුන්‍ය' පවුල් සම්ප්‍රදායක් ඇතිවීමටත් බොහෝ ඉඩකඩ තිබෙනවා . අප හැදුණේ වැඩුණේත් "පුංචි පවුල රත්තරන්" යන උපදෙස ඒ කාලේ තිබුණු හාල් සලාක පොතෙනුත් හුවා දක්වන කාලයක නේද ?
ReplyDeleteස්තූතියි සර් කමෙන්ට් එකට. පවුල පිළිබඳ ඔබ කියන දේ ඉදිරියට වීමේ ලකුණු දැනටමත් පහළ වී තියෙනවා. බොහෝ අලුත් ජෝඩු දරුවන් හදන්නට කැමති නෑ.
Delete