ගොරකා මද කාපු අතීතය

අපි ඉතින් යක්කුන්ටවත් බය නැති කෙල්ලො නේ ඒ දවස්වල. ගොරකා ඉදුනම පහත අතුවල ඒවා කඩාගන්නවා. පිට ලෙල්ල අයින් කළහම රතුම රතු පාට ගොරක මදය... ම්... ම්..
රසම රසයි.
ගොරකා ඉදිලා වැටෙන්න පටන් ගන්න කොට හැන්ඩි මාමා ගහට නග්ගවලා ආත්තම්මා ගොරකා කඩවනවා. ඒවා සේරගේම මද නම් අපට කාලා ඉවර කරගන්න බෑ. ඇති වෙනකම් කනවා. ඔය ගොරක ඇටවල කහපාට කොහොල්ලෑ වගේ දෙයක් තියෙනවා(රෙසීනමය ගම් වර්ගයක්) . ඒවා දත්වල බැඳෙනවා. ටිකක් අමාරුයි ඉවත් කරන්න.
ආත්තම්මා ගෙදර කුලුවල පිට පැත්තේ ගොරකා මද ගාලා ඊට උඩින් රෙද්දක් අලවනවා. එතකොට කුල්ලේ තියෙන හිල් වැහෙනවා. පොලනකොට පොඩි හාල් ඇට කෑලි ඒ හිල්වලින් වැටෙන එක නවත්තන්න වෙන්න ඕන එහෙම කළේ.
ගොරකා ලෙලි බික් ගලවනවා. ලීවලින් හදපු මැස්සවල් වල උඩ අමු පොල් අතු වියපුවා දාලා ඒ උඩ ගොරකා බික් අතුරනවා. ටිකක් අව්වේ වේලෙනවා. ඊට පස්සේ යටින් දර පොල්කටු පත්තු කරලා දුම් ගහනවා.
මේවා තව දුරටත් ගෙදර කුස්සියේ දුම්මැස්සේ වේලෙනවා. අන්තිමට මුට්ටිවල දාලා කටවල් වහලා දුමේ ගබඩා කරනවා. මේවා මිලට ගන්න වෙළෙන්දන් එනවා මට මතකයි.
ගොරකා (old Botanical name - Garcinia cambogia, new botanical name Garcinia gummi - gutta ) වලට Goraka කියන නම වගේම Malabar tamarind, brindle berry, gambooge යන නම්වලිනුත් හඳුන්වනවා.
ගොරකා ආහාරයට ගැනීමේ හොඳ වගේම නරකත් ගැන සඳහන් වෙනවා. එක නරකක් තමයි සුලබ නොවන නමුත් අක්මාවට අහිතකර වීම.
මේ ගොරක පින්තූර ටික මගේ ආදරණීය ශිෂ්යාව Thushari Walpita ගෙන්. ඒක ලැබුණම තමයි හිතේ තිබුණ කතාවට පණ දුන්නේ. ස්තූතියි තුෂාරී!