Saturday, October 11, 2025

ලේලි - 4

 ලේලි - 4





දේම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. මොන එකකටද මන්දා වෙනදාට වඩා කණ්ණාඩිය ඉස්සරහ කාලයක් ගෙව්වේ. කොළ පාට කොළ පසුබිමේ තියෙන රෝස පාට මල් ඉහිරුණ සාරිය ඇන්දේ පළමු වතාවට. මට ඇත්තටම සාරි ඇඳිල්ල වහ කදුරු වගේ මුල් දවස් වල. දැන් විනාඩි පහට අඳින්න පුළුවන්. ඒත් ගුරුවරියකට පහසු ඇඳුමක් තියේ නම් හොඳයි කියලා හැමදාම හිතුණා. නම්යශීලී විදියට වැඩ කරන්න පුළුවන්. ගමන බිමනටත් පහසුයි. ආරක්ෂාවටත් හොඳයි.
මං හැමදාම ළාවට දාගන්න මේක් අප් එකට අද ටිකක් වැඩිපුර වෙලාව ගියා. ඔය හිටියේ රෝස කැළේ රතු කැකුළී වගේ ලස්සනට... නැතුව නිකම්මයැ බලන්න ආපු මනමාලයෝ වැඩි ගණනක්ම කැමති වෙන්න ඇත්තේ?
"සුරංගි උඹ ගණන් උස්සපු එක හොඳයි."
කණ්ණාඩියේ හිටපු නැට්ටිච්චි ( නෑ නෑ වැරදුනා ගුරුතරුව) මට කිව්වා. මං එයාට විරිත්තුවා.
"සුදු මැණිකේ... අද වෑන් එක නැති බව මතක නැද්ද?"
පන්සලේ ඝණ්ඨාරයට දෙවෙනි නොවෙන්න අම්මගේ ඝණ්ඨාර නාදය ගේ පුරා විහිදුණා.
"ඇයි අම්මා?"
"මොනවා කරනවද අන්න තාත්තා කාරෙකටත් ගිහින්..." මං හිතන්නේ අම්මා සද්දේ දැම්මේ කුස්සියේ ඉඳන් වෙන්න ඕන.
එදා මං ඉස්කෝලෙ යන වෑන් එක තිබුණෙ නැති බව එතකොටයි මතක් වුණේ. මොන එකක්ද මේ මට වෙලා තියෙන්නේ? මොකක්වත් නෙවේ මනමාල පිස්සුව...මං මටම හිනා වුණා.
"මේ එනවා අම්මා"
" අද තාත්තට උසාවි යන්න කලින් තව වැඩක් තියෙනවා කිව්වා නේද?"
.... මං අඩියට දෙකට හෑන්ඩ් බෑග් එකයි.... අම්මා හදලා මගේ මේසෙ උඩ තියලා තිබුණු කෑම බීම ටිකයි අරගෙන කාරෙකට දුවගෙන යන්න ගියේ ඒ වෙනකොට මගේ කාමරයටම ආපු අම්මට යන්තම් පහත් වෙලා වැඳලා. ෂූ රැක් එකෙන් අරගෙන ෂූස් දානකම් එහෙන් සාරියත් බිම ගෑවෙනවා.
ඒත් එක්කම තමයි මං කෑම මේසය පැත්ත බැලුවේ.
මොන මෙන්න තාත්තා කෑම මේසේ ඒ වෙනකොටත් පාතරාසය අනුභව කරමින් වසන්තයේ හෙමින් හෙමින් පායගෙන එන ඉර වගේ සැහැල්ලුවෙන් ඉන්නවා.
"මේ අම්මට නම් හැම දේටම පුදුම හදිස්සියක් නේ තියෙන්නේ?"
උදේම අපේ වලිය ආරම්භ වුණේ විස්සයි විස්ස මැච් එකකටත් වඩා උද්යෝගයෙන්.
"මේ ළමයට අද මොනවා වෙලාද? වෙනදා වෙලාවට ලෑස්ති වෙනවනේ අගේට"
"වෙලා තීයෙන එක තව ටික දවසකින් පෙනේවි"
"අනේ! අනේ! හරි හරි එහෙම වෙන්නත් එපැයි"
අම්මාත් ඉදිලා බෙරි වෙලා පැලිච්ච සීනි කැකිරි ගෙඩියක මදය වගේ කවදාවත් නැති විදියේ මනමාල හිනාවක් දැම්මා. මං අම්මගේ බෙල්ල වටේ අමාරුවෙන් මගේ නිදහස් අත දාලා මූණ ඉම්බා.
" ඔන්න ඔහොම හිනාවෙලා ඉන්න අම්මා."
මං මොහොතකට වලියට තිත් කොමාවක් දැම්මා.
"දුවේ" ඒ තාත්තා.
" ඇයි තාත්තා?"
"උදේට කන්නේ නැද්ද දරුවා?"
"නෑ තාත්තා මං උදේම කිරි එක විතරයි නේ බොන්නේ. ඉන්ටවල් එකට නේ කන්නේ? "
"අහ් ... මට ඒකත් අමතක වුණා. ඒක නෙමේ පුතේ!" තාත්තා වැදගත් දේකට වගේ හඬ ගැඹුරු කළා. උසාවියේ පුරුද්ද වගේ.
"මොකක්ද තාත්තා?"
"හෙමිහිට අර ළමයා ගැන අදහස කියන්න. මං දැනටමත් සේරම දේවල් දන්නවා... ගේ දොර නෑදෑයෝ දේපළ එහෙම ගැන. ඒ වුණත් අපි එහේ ගිහින් එන්න ඕනනේ චාලිත්තරේ හැටියට. "
" ඔව් තාත්තා... මං අද හැන්දෑවට එයාට කතා කරන්නම් කෝ.... මං කැමතී නම් එයා ආයේ මෙහේ ආයේ ඇවිත් යනවා කිව්වා."
"ඒ කියන්නේ මෙයා කැමතී.... බටහිරෙන් ඉර පායයි වගේ..". අම්මට මොහොතක් ඉන්න බෑ කට දාන්නේ නැතුව.
" අනේ අම්මේ ඔයාට මොනවත් නොකිය ඉන්නම බැරිද මේ උදේම තොරතෝංචියක් නැතුව පටන් ගත්තා. මං තාම කැමතී කියලා නෑ. "
" එහෙම නෙවේ පුතේ. ඔයා කැමති නම් ඒ දරුවා ආයේ එන්න කලින් අපි එහේ යන්න ඕන." ඒ තාත්තා.
" ඔව් ඔව් ඒකත් ඇත්ත .... ඒ යද්දී මාත් යන්න ඕන."
"ඒ මොන චාරිත්තරයක් ද? මනමාලි යනවයැ ඒ ගමන?"
"යනවා යනවා දැන් එහෙම තමයි.... එහෙම නොවුණත් මං යන්න ඕන. මොකද මං නේ ඒ ගෙදර පදිංචියට යන්නේ.... ඉතින් මගේ අනාගත මාලිගාව බලාකියාගන්නේ නැතුව කොහොමද? ඇයි ඔයා ගියේ නැද්ද තාත්තලයි ගෙදර?"
" ඒව වෙනයි.. මේව වෙනයි."
" ඒ තියරි එක මොකක්ද අම්මා?"
" මේවා යෝජිත විවාහ " අම්මා අමුතු හඬකින් කිව්වා.
" යෝජිත හරි නැතුව හරි ගෑනියෙකුයි මිනිහෙකුයි නේ.... ඇයි අනේ අම්මට නැති දෙවල් ද මට තියෙන්නේ? නැත්නම් මට නැති දේවල් ද අම්මට තිබුණේ? "
" හරි සුදු මැණිකේ දැන් මට උසාවියට යන්න කලින් වැඩ වගයක් තියෙනවා. ඊට කලින් ඔයා ඉස්කෝලෙ ගාවින් දාන්න ඕන."
තාත්තා ද්විපාර්ශ්වික සංහිඳියාවට ඉදිරිපත් වුණේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වගේ.
" යමු තාත්තා....තාම මං මෙහේ රැවුල ගිනි අරන් හිතනවා... අම්මා සුරුට්ටු පත්තු කරනවා . "
තාත්තා ගරාජ් එකෙන් කාරෙක ගන්නකම් මම මිදුලට බැස්සා. මගේ බේබි රෝස ගහේ ළා තැඹිලි පාට මල් පොකුරක මල් පොඩි දරු පැටව් ටිකක් වගේ හිනැහීගෙන පිපෙමින් තිබුණා. මං පහත් වෙලා මල් පොකුර ඉම්බා. හම්මේ සුවඳ... අවට ගස්වල කුරුල්ලන් උදෑසන කිචි බිචි ගීතය ගයන්නට පටන්ගෙන තිබුණා. සේරම ලස්සනයි. මගේ ජීවිතයත් ලස්සන වේවි නේද කියලා හිතුණා. ඇත්තටම අපි ජීවිතය ලස්සන කර ගන්න ඕන නේද කීයන එක හිතට ආවා.
මං ස්ටාෆ් රූම් එකට ගියා විතරයි සඳමාලියි අනීෂයි කට මැදගෙන විස්තර අහන්න තියාගත්තේ නැතැයි.
පින්තූරේ මං කලින් උන්ට පෙන්නලා තිබුණේ. උන් ඒ දවස් වලම කිව්වේ සමන්ත මට ගැළපෙනවා කියලයි.
"කෙල්ල අද මනමාල පාටයි."ඒ අනීෂා... ඒකි බැඳලා දැන් මාස ගණනක්. ඒකිගෙ ජීවිතේ දැනට සිනිඳු සුසිනිඳු විදියට ගලා යනවා කියලා තමයි කිව්වේ.
"ඔව් ඔව් මේ සැරේ නම් වැඩේ හරි" ඒ සඳා
"අනිත් අයට ඇහේවි යකුනේ."
"ඉතින් උඹ හඳපානේ යන්නේ නෑ නේ?"
බුදු අම්මේ! අනීෂා ඒක කිව්ව සද්දෙට ස්ටාෆ් රූම් එකේ වාඩිවෙලා පාතරාසය වළඳමින් හිටිය වැඩිහිටි ගුරුවරියෝ දෙන්නෙක් එයාලගේ අති ප්රබල ඇන්ටෙනා අපේ පැත්තට හැරෙව්වේ චන්ද්රිකා මධ්යස්ථානයටත් වඩා වේගයෙන්. කොහොමත් ඔය අම්මණ්ඩිලාට තරුණ අපිත් එක්ක හෙන ඇරියස් නේ තියෙන්නේ.
අපි ඇන්දත් වැරදී. පොඩ්ඩක් වැඩිපුර බඩ පෙනුණත් වැරදී. එයාලගේ එළියට නෙරපු ටයර් ගැන වගේ වගක් නෑ. ඒ විතරක් යැ අපි උගන්නන්න දන්නේ නෑ කියලාත් හිතනවා. අපට ළමයි ආදරේ එකටත් ඉරිසියාව පර්සියාවටත් ටිකක් එහා. අපරාදේ කියන්න බෑ අපේ අංශ ප්රධාන මිසිස් ගුණවර්ධන නම් අපි එක්ක තකට තක. ඒ වගේම හරිම මව්වත් නියම ගුරුතුමියක්. මං ඇගෙන් ගුරුකමේ දේවල් විතරක් නෙවේ ජීවිතේත් ඉගෙන ගනිමින් හිටියා.
" යමං බං එළියට...."මං සඳාගේ අතින් ඇදන් එළියට ආවා
කොහොමත් ඊළඟ විනාඩි පහේ අපි පන්තිවලට යා යුතුව තීබුණ නිසා ඒ කතාව ඉවර වුණා.
පන්තියට ගියත් හරි.... එක පාරට තම තමන්ගේ තැන්වලට ගිය ළමයි ඔක්කොම මං දිහා එක එල්ලේ බැලුවා කියමුකෝ.
"ගුඩ් මෝනින් මිස්"
"ගුඩ් මෝනින් චිල්ඩ්රන්"
ඒ එක්කම "වාව් අද මිස් හරීම ලස්සනයි."කියපි කසුන් කොලුවා. ඇත්තටම හිතේ ප්රබෝධය මූණෙන් පරාවර්තනය වෙනවා කියන එක බොරුවක් නෙවේ වෙන්න ඇති.
" සාරියද කසුන් ලස්සන?"
"ටීච නිසා සාරිය ලස්සන වෙලා" අප්පට සිරි මූ විද්යාව කළාට සාහිත්ය චක්රවර්ති වෙලා එක පොටකට ඇවිත්නේ..
"තැන්ක්ස් කසුන්... ... දැන් කවුරුත් ලෑස්ති වෙන්න ආගමික වතාවත් වලට"
මං කතාවට වෘත්තීය බවක් මුහු කරලා ඇස් බැල්ම ස්නයිපර් එකක් කරලා පන්තියටම එල්ල කරලා ටිකක් ගැඹුරු හඬක් ආරූඪ කරගෙන කියලා දාලා මාතෘකාව වෙනස් කළා. ගුරුකම කියන්නේ ඒකනේ. නැත්නම් මේ කරදඬු උස් මහත් වෙච්ච කොල්ලොත් එක්ක ලේසි නෑ නේ.
උදේ පීරියඩ් තුනක් වැඩ ඉවරවෙලා ළමයින්ගේ ප්රැක්ටිකල් පොත් කීපයක් බලන්න කියලා වාඩි වුණා ලැබ් එකේ. සඳාටත් ඒ වෙලාව ඕෆ් පීරියඩ් එකක් වුණ නිසා එයත් ඉවසුමක් නැතුව දුවගෙන ආවේ මඟුල් වට මේස සාකච්ඡාවට.....
"තාත්තා කියනවා අපි සමන්තලගේ ගෙදර යන්න ඕන කියලා. මගේ වචනේ තමයි ලු ඕන."
"ඔන්න ඔහේ පලයං බං. මොකද අල්ලලා බැඳ ගන්නවායැ? රතු කොඩි ආවොත් පෝරුවට නඟින්න අඩිය තිබ්බත් ආයේ කකුල ආපස්සට ගන්න බැරි නෑනේ " සඳාට ජීවිතය ගැන තියෙන දැක්මට ඇත්තටම මං ආස වුණා. කොයි දෙයක් වත් ලොකුවට ගණන් ගන්නේ නෑ.
"ඒකත් ඇත්ත නේ සඳා. ගියා කියලා කසාදෙ කරගන්නම ඕන නෑනේ."
" දෙතුන් සැරේ හම්බ වෙලා නෙමේ බං ජීවිතේ භාගයක් ගියත් මිනිස්සු තේරුම් ගන්න බෑ සුරංගී.... එහෙම උත්සාහ කරන එකත් බොරුවක්. උඹට ගලපගන්න යමක් තියෙනවා නම් නරකම දේවල් නැත්නම් තීරණයක් ගනින්."
"මාත් එහෙම තමයි හිතන්නේ."
"ඔව් උඹට ඒ මොළේ තියෙන බව මං දන්නවා"
ඒ සාකච්ඡාව සාර්ථකව අවසන් වෙලා තීරණයක් අරන් මං එදා ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර ආවා. ©

No comments:

Post a Comment