ලේලී - 9
සැමීගෙයි මගෙයි කතාබහ දිගට දිගට ඇදී ගියේ A 26 නුවර මහියංගනය මාර්ගයේ ගමන වගේ. හැම වංගුවම ගහලා මං මට හිතෙන හැම දේම වගේ ඇහුවා. මං ඇවිත් ඒ ගෙදර ඉඳීම ගැන. මට ලැබෙන වගකීම් ගැන. එයා දුන්නු උත්තර ටිකක් විතර අවුල් කියලා නොහිතුණා නෙවේ.
මේ ප්රශ්න මං ඉතින් කතා කළේ සඳයි, අනීෂායි මිසිස් ගුණවර්ධනයි එක්ක තමයි.
"මේ සමන්ත මමාට ඇලිලා වැඩි නැද්ද?" අනීෂා සැක මතු කළා.
"ඒ ළමයාට පර්සැනලිටි තියෙනවා නම්...
පවුලක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියෙනවා නම් ඔය ප්රශ්නය විසඳා ගන්න සුරංගීට බැරි වෙන්නේ නෑ" මිසිස් ගුණවර්ධන කිව්වේ තව මාසයකින් විතර නිරිත දිග මෝසම එන තරම්ම විශ්වාසයකින්.
සමන්ත ඊළඟ ඉරිදා එනවා කිව්වා. හැව්ලොක් සිටි මෝල් එකේ මූවී එකකට යමු කියලා එයා යෝජනා කළා. ඇත්තටම එයා එක්ක තනියම ළං වෙලා ටිකක් කතා කරන්න මටත් ලොකු ගායක් තිබුණා. .
මං ඒ ගමන ගැන අම්මට කිව්වා.
"අම්මා මං ඉරිදා සැමී එක්ක එළියට යනවා."
ලෝකයේ අටවැනි පුදුමය දැක්ක පළවෙනි ගෑනු මනුස්සයා වගේ අම්මගේ මූණෙ විමතිය ඇඳුණේ AI වල නවතම වේගයටත් වඩා ඉක්මනින්.
"මොකෝ මේ බය බිරාන්ත වෙලා?"
මං අම්මගේ බෙල්ල වටේ අත දාලා ඇහුවා.
" නෑ මං.... හිතුවේ.... "අම්මා ගොත ගැහුවා.
" ඔව් මොනවද හිතුවේ.... අර ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලො වගේ කොහේ හරි රිංගන්න යයි කියලා හිතුවද?"
අම්මට ලැජ්ජා හිතුණා මයෙ හිතේ
" ඇත්තටම කොහෙද ඔයාල යන්නේ... ෂොපිං ද?" කියලා මාතෘකාව වෙනතකට හැරෙව්වා.
"නෑ මූවී එකක් බලන්න. පස්සේ ෂොපිනුත් යන්න බැරියැ"
"සමන්ත පුතා එනවද ඔයා එක්ක යන්න? "
" ඔව් එයා එනවා කිව්වා."
"තාත්තට කිව්ව ද?"
"තාම නෑ"
අනේ මන්දා අම්මලට තාම මං ඇබිත්ති එකියක් වගේ නේ.....මට ඕන තරම් අවස්ථා තිබුණනේ එහෙම එහෙ මෙහෙ යන්න. යම් විදියකින් මං සංඛ එක්ක යාළු වුණා නම් එහෙම යනවා නේ. මට කෙනෙක් හිටියේ නැති නිසා මං එහෙම කළේ නැතුවට. ඒකට සඳාලා.... අනීෂා, නිෂාදිලා.... පුදුම නිදහසක් නේ විඳින්නේ. සඳා සුරත් ගේ ඒ කියන්නේ එයාගේ පෙම්වතා ගේ එපාට්මන්ට් එකක ඒ වෙද්දී නැවතිලත් ඉන්නවා.
මටත් මේ බලකොටුවෙන් නිදහස් වෙන්න ඕන කියලයි මට හිතුණේ.
තාත්තා නම් ගමන ගැන කිසිම දෙයක් ඇහුවේ නෑ.තාත්තට ලෝකෙ රටේ දේවල් ගැන තේරුමක් ඇති. අම්මා මොනවද සුටු සුටු ගානවා ඇහිලා
"ඒ ළමයිත් තම තමන් දැන අඳුණගෙන ඉන්න එපායැ. ඔය ගමනක් බිමනක් ගියාට ඒකේ වරදක් නෑ" තාත්තා කියනවා ඇහුණා.
තාත්තා නැකැත් හදන්න තේවිස් ගුරාට දුන්න බව කිව්වා. ඒ අනුව අගෝස්තු මාසයේ තමයි මඟුල ගන්න බලාපොරොත්තුව. මටත් නිවාඩු කාලය. සැමීගේ අම්මටත් නිවාඩු කාලය.
ඉරිදා හවස මං අලුත් නිල් පාට ටොප් එකකට සුදුපාට කලිසමක් ඇඳලා කොණ්ඩය සුපුරුදු විදියට පිටුපසට කඩා දාලා... සැමී තෑගි දුන්න මාලෙත් දාලා ලෑස්ති වෙලා හිටියා.
වෙලාවට කාර් එක දොරකඩට ආවා. මං දනි පනි ගාගෙන දුවගෙන ආවේ ඉස්සරහ සීට් එක බලාගෙන. මෙන්න නැන්දම්මා ඒකෙ දපලා ඉන්නවා.
සැමී ගේ මූණ මං දැක්කම වෙනස් වුණා. නිකම් තද අව්වේ බාගෙට වේලිච්ච දුම්කොළයක් මතක් වුණා ඒ මූණ දැකලා. වෙනදා කොච්චර මනමාල හිනාවක් ද ඒකේ මං දැක්කම මතු වෙන්නේ!
"අම්මටත් ආසයි ලු ඒ මූවී එක බලන්න." බාගෙට වතුර පිරුණු කළයකින් එන හඬක් වගේ සැමීගේ කටහඬ මතු වුණා.
මේක හරිම සෙල්ලමක් නේ. මූවී යන්නේ අපි දෙන්නා නෙවේද? මේ අංගනාවගේ වල්ලභයා එතකොට? මගේ මූණ ඉදිච්ච රබ්බඩයක් වගේ බරි වෙනවා එයා දකින්න ඇති. අපේ අම්මත් ඉස්සරහට ආවා.
"ආ ලලිතත් යනවද? ඒක හොඳයි." අම්මා නැන්දම්මට මුල් නමෙන් කතා කරනවා මං ඇහුවේ පළවෙනි වතාවට.
මොකක්ද ඒකෙ හොඳේ. එයාට මේ වෙලාවෙම යන්න ඕනද? අපේ අම්මටත් කට පියාගෙන ඉන්න බැරි හැටි.
"එන්න අක්කා මොනවා හරි බීලා යං" ඒ පාර අක්කා වෙලා. නෑ කමකුත් ඇවිත්. අපූරුයි. අපූරුයි. තකට තක.
එයාට නෙවේ මටයි බොන්න වෙන්නේ මං හිතුවා. මේ ප්රශ්නය මහෞෂධ පඬිතුමාට දාන්න වෙයි වගේ. නිෂාදි කිව්වත් වගේ තාම මෙයා පෙකණි වැල කපලා නැතුව වත්ද?
ඒත් මට සැමී ඕන....කියලමයි මගේ හිත මොර දුන්නේ. සැමීගේ සුවඳ මගේ ජීවන සුවඳ වෙලා ඉවරයි.
"බෑ නංගී දැන්... මෙහෙමම යන්නම්." උන්දෑ බැස්සේ නැති එකමයි හොඳ. මගේ ඉවසීම අංශක අනූ නවයේ තිබුණේ. මං ඉතින් කාර් එකේ පිටිපස්සෙන් නැග්ගා. වෙන දෙයක් වුණා වේ කියලා හිත හදා ගත්තා.
මං පිටිපස්සේ නිසා වැඩි කතා බහක් වුණෙත් නෑ.
"තාත්තා නැකැත් හදන්න දුන්නා කියලා මට නාලිකා කිව්වා දුවේ " නැන්දම්මා පටන් ගත්තා. නාලිකා කියන්නේ අපේ අම්මා. ඒ කියන්නේ දැන් මෙයාලා දෙන්නා කතා කරනවා.
"හ්ම් දුන්නලු" මං කෙටි උත්තර දුන්නා.
"නැකැත් ගේන දවසක් දාගන්න වෙයි."
"හ්ම්"
අපි හැව්ලොක් මෝල් එකට එද්දී මූවී එකට වෙලාව ළඟයි. කාර් එකෙන් බැහැලා යද්දී නැන්දම්මා ගේ උකුසු බැල්ම මගේ කරට යොමු වුණා.
ආ... මාලේ හැඩයි නේද? මං පුතාට කිව්වේ ඔය වගේ එකක් දූට ගැළපෙයි කියලා" එයා මගේ මාලේ අතගාලා බැලුවා.
ඒකත් එහෙනම් මේ මහතැනගේ අවසරයෙන් කරපු වැඩක් එහෙනම්. මං හෙමිහිට සැමීගේ අත කෙනිත්තුවා. එයාට මගේ ඉඟිය තේරුණා මයෙ හිතේ.
" මං රාජා ජුවෙලර්ස් එකේ කැටලොග් එක අම්මා එක්ක බැලුවා " එයා නිදහසට කරුණු ඉදිරිපත් කළා. ඒ වෙද්දී අපි සිනමාව ළඟට ඇවිත් තිබුණා.
සැමී ආසන වෙන් කරලා තිබුණු නිසා අපි ඒවයේ ඉඳ ගත්තා.
නැන්දම්මා, සැමී, මම.
ශාලාව අඳුරු කරන කම් සැමී මගේ අතවත් ඇල්ලුවේ නෑ. එදා අපේ ගෙදරදී එයා මට උම්මා දෙනවා අපේ අම්මා දැක්කට මොකද කියලා පුරසාරම් දෙඩුවට මෙයා එයාගේ අම්මට බය නේ.
හැබැයි පස්සේ සැමී දිගටම මගේ අතින් අල්ලාගෙ හිටියා. මැදදී වගේ නළලට උම්මා එකක් දුන්නා. ඒත් ඉතින් අනික් පැත්තේ නැන්දම්මා නිසා හිතට සහනයක් තිබුණේ නම් නෑ.
"ලස්සන කතාව" නැන්දම්මා විවේකයේදී කිව්වා.
"හ්ම්" මං බකමූණූ බස විතරයි.
අපි පොප් කෝන් කාලා කූල් කොකා කෝලා බිව්වා.
එද්දී අපි ෂොප්ස් පැත්තේ පොඩ්ඩක් ඇවිද්දා. නැන්දම්මා ඉස්සරහින් වින්ඩෝ ෂොපීං කරමින් යනකොට සැමී මගේ කනට කරලා
"තරහද?" ඇහුවා.
මං එයා දැවී අළුවී යන බැල්මක් දැම්මා. හොඳ වෙලාවට එහෙම දෙයක් වුණේ නෑ. නැත්නම් මට අළු ටික එකතු කරන්න නේ වෙන්නේ ර්. හැබැයි මිනිහා සරෙන්ඩර් වෙලා සමාව අයදින විදියට
"හැමදාම නෙවේ නේ සුරා... අපි පස්සේ ආයේ දවසක එමු." කියලා කිව්වා.
"ඔයා යන හැම තැනම අම්මත් එනවද? අම්මයි තාත්තයි එකට නෙවේද යන්නේ?"
"එයාලා එහෙම යනවා අඩුයි."
"ඇයි ඒ?"
"ඒක මං දන්නේ නෑ සුරා"
"ඒ දෙන්නා කාමර දෙකක නේද නිදාගන්නේ?"
"තාත්තා පොත්පත් ලියන හින්දා රෑ තිස්සේ වැඩනේ. ඒකයි එහෙම කරන්නේ. "
" ඒකට ඒ කියන්නේ ලියන එකට වෙන කාමරයක් තියාගන්න පුළුවන් නේ? "
" ඕන වෙලාවට අම්මා තාත්තාගේ කාමරයට යනවා ඇති" කීයලා සැමී සුපුරුදු මනමාල හිනාව දැම්මා.
එද්දිත් නැන්දම්මා කාරෙකේ ඉස්සරහ සීට් එකේ පත බෑවුණා. හිතන් ඇති මට කාර් නෑ කියලා. අපේ තාත්තටත් තියෙන්නේ ඉස්තරම් වර්ගයේ කාරෙකක්. ඒ විතරක්යෑ. තාත්තා මටම දෙන්න කාරෙකක් අරගෙනත් ඉවරයි. ඒක පරක්කු වුණේ රටේ අර්බුද නිසා. නැත්නම් මට පත්වීම ලැබෙද්දීම කාරෙකක් අරන් දෙන්න තාත්තාට ඕන වෙලා තිබුණේ. අපට වත්කම් නැති වුණා නම් මේ අංගනාව කොහොම සළකයිද කියලා මට හිතුණා.
මං එදා රෑ සෑහෙන වෙලාවක් කල්පනා කළා. මේ මඟුල මට හරියනවද කියලා. ඒත් මට සැමී නැතුව බෑ. මං කොහොල්ලෑ ගුලියකද ඇලිලා තියෙන්නේ...... සැමීටත් මං නැතුව බෑ කියලා කිව්වා. එහෙනම් ඉතින් නැන්දම්මාට කුද ගහගන්න කියලා අපි බඳිනවා..... අපේ අම්මට වුණත් මේ දේවල් ගැන එච්චර තේරුමක් නෑ නේ. ඒ අතින් මිසිස් ගුණවර්ධන හුඟක් ඉදිරියෙන්. සඳා හා අනීෂා වුණත් රෙඩ් ෆ්ලෑග් අවදානම ගැන නැවත කිව්වා. කොහොමවුණත් නැන්දම්මා ටැකල් කරන විදියක් හොයන එක තමයි නුවණට හුරු. කැත්තට පොල්ල න්යාය හරියන්නේ නෑ මගේ හිත කිව්වා.
©මාලිනීගනේවත්ත2025


