Friday, February 11, 2022

දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - දෙවන දිග හැරුම

 


දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - දෙවන දිග හැරුම

 

අවුරුදු තුන පහුවෙන්න කලින් ඔයාට අකුරු කියවීමේ උත්සවය තිබ්බා.  අකුරු කියෙව්වේ ලොකු මාමා. එදායින් පස්සේ ඔයා දවසට දෙකට පොත් පත් වල තියෙන දේවල් අඳුර ගන්න දක්ෂ වුණේ අපි පුදුමයට පත් කරමින්. ආච්චි කියන ගාථා එක සැරයක් දෙසැරයක් ඇහුවහම ඔයාට කට පාඩම් වුණා. අවුරුදු හතර වෙද්දී තුන් සුත්රය, නරසීහ ගාථා, ජයමංගල ගාථා ඔයා ගායනා කළේ අහන් ඉන්න ආස හිතෙන විදියට. අවුරුදු හතරයි මාස පහක් වෙද්දී ඔයා ඉස්කෝලෙකට දාන්න තාත්තට ලොකු උනන්දුවක් තිබුණානගරයේ කන්යාරාමය, සවුත්ලන්ඩ් බාලිකාව හා සංඝමිත්තාව කියන තුනටම ඔයාව දාන්න පුළුවන් කම තිබුණ කියල තාත්ත කිව්වා. අන්තිමේ තාත්තගේ හිත ගියේ සංඝමිත්තාවට. ඉතින් ඔයා ඒකට ඇතුල් කළා. පහළ බලාංශයට තමයි මුලින් ඇතුල් කළේ. මුල් දවස්වල මාත් ඔයා එක්ක පාසලට ගියා. උඩ පන්තිවල ළමයි විවේක කාලෙට ඔයාගේ පන්තියට එනවා 'සුදු බබා ' බලල යන්න. ඔයා හිනාවෙන්නේ ඇස් වලින් කියල ගොල්ලෝ කිව්වේ ඔයා හිනාවෙන කොට ඇස් දෙක හීන් ඉරි දෙකක් වගේ වෙන හින්ද වෙන්න ඇති. ඔයාගේ ඇස් වල සුදු ඉංගිරියාව ළා නිල්  පාටක් ගත්තා. කළු බෝලය හරිම තීව්රයි. තොල් දෙක ලස්සන රෝස පාටයිහම හිම කුමාරිගේ වගේ. ඔයා හුඟක් දවස්වල පාසල් එක්ක ගියේ මාමාසමහර කාලවල මාමගේ යාළුවෙකුගේ මෝටර් රථයෙන් යැව්වා

 

පහළ බාලාංශයෙන් ඉහළ බාලාංශයට ඊළඟට දෙක පන්තියට, තුන පන්තියට ඔයා සමත් වුණා. ලස්සන බෝල අකුරු ලිව්වා.   කාලෙ පන්ති පොත්, නිල ඇඳුම් කිසි දෙයක් රජයෙන් දුන්නේ නම් නැහැඅවුරුද්ද අවසානේ දෙන පොත් ලැයිස්තුවට පොත් ටික අරන් දෙනකම් ඔයාට ඉස්පාසුවක් තිබුණෙ නැහැතාන් සුවඳ හමන පොත් ටික ලොකු මාමා තමයි හැමදාම අරන් දුන්නේ. ඔයා පොත් ටික ඔක්කොම දෙසැම්බර් නිවාඩුව ඉවර වෙන්න කලින්ම කියවල ඉවර කළාපොත් කියවන්න ඔයාට තිබුණේ පුදුම ආශාවක්. දවස්වල දැන් වගේ රුපවාහිනිය තිබුණේ නැහැනේ. ගෙදර රේඩියෝවක් තිබුණා. ඔයා ඒකෙ යන ගීත ලස්සනට ගායනා කළා.  ඒකෙ යන නාට් තනියම රඟපෑවා

 

දෙකේ පන්තියේ ඉඳන් ඔයා තනියම බස් එකේ ඉස්කෝලේ ගියා. කාලෙ තිබුණේ ලංගම බස් විතරයි.  ටික දෙනෙකුට තමයි තමන්ට කියල පුද්ගලික වාහන තිබුණේපොඩි මාමට හැමදාමත් වාහනයක් තිබුණාඒත් එයා වෛද්යවරයෙක් විදියට වැඩ කළේ දුරබැහැර පැත්තකඉතින් වාහනයේ අපි ගමන් ගියේ කලාතුරකින් තමයි.  අපිට විශේෂ ගමනක් යන්න තියෙනකොට කුලී මෝටර් රථයක් යොදා ගත්තා. කාලේ කුලියට හයර් යන මෝටර් රථ වගේම ටැක්සි සේවයකුත් නගරවල තිබුණා.  ත්රී රෝද රථ ආවේ මේ මෑතක නේ.  පාරවල් වල අද වගේ මහා කලබලයක් තිබුණේ නැහැබස් එකේ කොන්දොස්තර මාමගේ ඉඳල මග තොටේ නොදන්නා නාඳුනන අය වුණත් කාගේ දරුවෙක් වුණත් ආරක්ෂා කරගන්න ඕන කියන යහපත් සිතුවිල්ලේ හිටියා. බයක් තිබුණ නම් තිබුණේ කරවල වාඩි වලටය කියල පිරිමි ළමයි අරන් යනව කියන එක තමයි. එහෙම නැතුව අතන මෙතැන අපයෝජන, දුෂණ ගැන අහන්න නොලැබුණු තරම්එවැනි දේවල් කිහිපයක් හුදකලාව වෙන්නත් ඇතිඒත් අද වගේ කැමරා උස්සගෙන දුවල අඬන වැලපෙන දර්ශන එක්ක සිදුවීම් අත්ශයෝක්තියෙන් පෙන්නලා තොරතුරු විකුණගෙන කාල ජීවත්වෙන නරක පුරුද්දක් තිබුණේ නැහැප්රසිද්ධ අපරාදයක් වුණ වෙලාවල් වල කවි කොලය කියල එකක් නම් විකිණිලා ගියාහාර ලක්ශේ මං කොල්ලේ, ඇඩ්ලින් විතාරණ මිනී මැරුම මට මතක ඒවා දෙකක්.  1959දී බණ්ඩාරනායක අගමැති තුමාගේ ඝාතනය රටම කැලඹීමට පත්කරාඒවා ඔයාලට මතක නැහැ.  1960 දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්රථම අගමැතිනිය බවට පත්වුණා. මේ කාලයේ රටේ තිබුණේ යහපත් වාතාවරනයක් .  නීතියේ ආධිපත් රැකිලා තිබුණා. රජයේ රැකියා වලට ගැනීමේදී දේශපාලනය බලපෑම් කළේ නැහැ.  හුඟක් පුද්ගලික අංශයේ දේවල් ජනසතු වුණා. තෙල් ආනයනයේදී සිදුවූ වෙනස කැපී පෙනෙන එකක්.  අධ්යාපනය සම්පුර්ණයෙන්ම රජයට ගත්තා. මං මේ දේවල් කියන්නේ ඔයා අපි එක්ක හිටිය නිදහස් වකවානුව ගැන මේ කතාව කියවන අයට යම් අවබෝධයක් ඇති වෙන්න.  අද තියෙන්නේ හාත්පසින් වෙනස් වාතාවරණයක් නිසා.  ජීවන වියදමත් බොහොම අඩුයි. බස් ගාස්තුව සත පහ, දහය වගේ ගණන්.  දැන් ඉන්න තරුණ අයට මෙහෙම තත්වයක් ගැන හිතා ගන්නවත් බැහැඔයාට බස් එකේ බාගෙ ටිකට් එකට යන ශත තුන වියදම් කරලා මොනවා හරි කඩ චෝරු කකා යාළුවොත් එක්ක ගොඩ පාරවල්වලින් පයින්ම ගෙදර එන වෙලාවල් තිබුණාඅපිට ඒවාට තරවටු කරන්න ඕන කමක් තිබුණේ නැහැ.  මහමග කියන්න තරම් අතුරු ආන්තරාවක් ගැන බයක් තිබුණෙ නැහැ.

 

දවස් වල පොත් දාගෙන යන්න අද වගේ කරේ එල්ලන් යන බෑග් තිබුණෙ නැහැපොඩි සූට් කේස් එකක තමයි ළමයි හැමෝම වගේ පොත් අරන් ගියේඔයාල බස් හෝල්ට් එකේ බස් එක එනකම් සුට්කේස් එක උඩ කකුල් දෙපැත්තට දාල වාඩිවෙලා ඉන්නවාඒවා ලේසියෙන් කැඩෙන්නේ නැහැ. අන්තිමට හම ගියාට පස්සේ තමයි විසිකරලා දාන්නේ. කාලේ විවේකයට කන්න පාසලෙන් බනිස් දෙනවාඒවායේ හරියට ගුල්ලෝ හිටියලුපාන් පිටිවල ඉන්න ගුල්ලෝ අහක් කරන්නේ නැහැනේ පිටි අනද්දී. ඉතින් ඔයාලා බනිස් වල ගුල්ලෝ කෑලි ගලවල එක එක්කෙනා ගහ ගන්නවලුගෙදරින් බටර්, ජෑම් පාන් අරගෙන යන ඒවා විවේකෙට කලින් සුට්කේස් එකට හොරෙන් අත දාගෙන සුට්කේස් පියනෙන් මූණ වහගෙන මැඩම්ට නොපෙනෙන්න කනවලුමැඩම් දැක්කොත් පොඩි තරවටුවක් මිසක් ලොකු දඬුවම් නම් ඉස්කෝලේ කවදාවත් දුන්නේ නැහැ.

 

ආච්චි (ඇත්තම කිව්වොත් කාලෙ අපේ පැත්තේ ආච්චි කියන වචනය මිත්තණිය හඳුන්වන්න යෙදුවේ නැහැ. ආත්තම්මා කියල තමයි ඔයාල කියව්වේ.) හැම පසළොස්වකට වගේම සිල් සමාදන් වෙන්න පන්සල් යනවාඔයත් පුරුදු වුණා එක්කම යන්න කාලෙ පන්සල් යන්න අමුතුවෙන් ළමා සාරි මහන්න ඕන වුණේ නැහැපාසල් නිල ඇඳුම උඩින් දාගන්න මම ඔයාට පුංචි උතුරු සළුවක් හදල දුන්නසිල් සමාදන් වෙලා උදේ දානෙට ආපහු ගෙදර එනවා කාලෙ පන්සලේ උපාසක දාන දීමක් නැහැමම ඔය දෙන්න එනකොට හීල් දානෙ ලෑස්ති කරලා තියෙනවාඔයාට හිටපු ගමන් 'උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං ' අමතක වෙලා පුටු උඩ ඉඳ ගන්නවා. ආච්චි මතක් කරහම ආයෙ පැදුරට එනවාතව ටිකකින් සිල් අමතක වෙලා නංගි, මල්ලි එක්ක සෙල්ලම් කරනවාකොහොම හරි අමාරුවෙන් හවස හතර විතර වෙනකම් ඉඳල ඔයා සිල් පවාරණය කරනවා. ආච්චි නම් හැමදාම පහුවදා උදේ තමයි පවාරණය වෙන්නේ. එක දවසක් ආච්චිට පෝය දවසේ ඇහැරෙන්න පමා වෙලා සිල් ගන්න යන්නෙ නැතුව ඉන්නයි හැදල තියෙන්නේඔයා එකහෙළාම යන්නම ඕන කියල අඬලඉතින් ඔයාවත් අන්දවා ගෙන ආච්චි පන්සල් ගිහින්මම කාලෙ තාත්තගේ වත්තෙ ගෙදර ගිහින් හිටියේඑහෙම කාල තිබුණා. එතකොට ඔයා ආච්චි, සීය හා මාමල එක්ක තමයි හිටියේසමහර දවස්වලට මම නංගි හා මල්ලී එක්ක කුලී මෝටර් රියට නගින කොට ඔයා අඬනවා වුණාට ටොෆි, චොකොලට් මොනවා හරි දීල ආච්චි ඔයා නළව ගන්නවා.

Tuesday, January 11, 2022

සිතුවිලි

 








සිතුවිලි

 

ගෙවෙන්නේ මේ සඳෑ යාමයි

අහස දම් පාටට හුරුයි

අර වලාකුළු හරි බරයි

බිම වැටෙන පිණි බිඳු හඬයි!

 

කුරුල්ලෝ පියඹමින්

යති කැදලි වෙත ඉක්මණින්

දරු පැටව් ඇති මග බලන්

පුංචි කටපොඩි ඇරන්!

 

කිමද මේ පද්මයෝ

මුව පියුම් පෙති තද කරන්

බිම බලන් තම දුක කියන්

හෙට හිරු නැගෙයි නොම හඬන්!

 

අද ඉවර වූවත් කෙමෙන්

හෙට නව දිනක් පෙර දිගින්

ඇවිත් ලොව අස් වසන්

යළි සිනාසෙන හැටි බලන්!

 

හමන මදනළ සෙමින්

ගෙනෙන සත්සර නදින්

නළවමින් තුරුපත් ළඳුන්

ඇස මදින් මද පියවමින්!

 

කුමට විදුලිය පහන්

සඳ බසියි බටහිර දෙසින්

සිතුවිලි  ගඟක් තුළ කිමිදෙමින්

කවි පද ගොතමි මම සිතින්!

Thanks  Daisy S for the image on Unsplash


Wednesday, January 5, 2022

වචන මොකටද ජීවිතයට ?

 












වචන මොකටද ජීවිතයට ?


කවදාහරි, වචන කියල දෙයක් 

හැදුවේ කවුද? මොන එකකටද ?

වචන ඕනම නැහැ ජීවත්වෙන්න.

කිරිල්ලියක් වගේ සුන්දර ගීයක් 

මටත් ගයන්න තිබුණා...

ඔබත් පිළිතුරු ගීයක් 

ඈත ඉඳන් ගයන්න තිබුණා.

ඒත් මට කිරිල්ලියක් වෙන්න බැරි වුණා.  

වචන මොනවට තියෙනවද? 

කියල හිතෙනවා හැඟීම් පිට කරන්න 

වෙන මොකක් හරි තනුවක් මිහිරි 

තිබුණා නම් ඒ තනුව වයන්න තිබුණා 

ඔබේ කණට මිහිරි මී පැණි වගේ 

එය දැනෙන්න තිබුණා... 

එතකොට මොන කෙහෙල්මලක් ද? 

මේ කන් කරච්චලේ කියල 

ඔබ නොකියන්න තිබුණා!

© 2021maliniganewatta

(Thanks to Tom Bradley  for the image on Unsplash)


Friday, December 24, 2021

නත්තල් අසිරිය - කාලය මැවූ වෙනස

 





නත්තල් අසිරිය - කාලය මැවූ වෙනස 


අද නත්තල් උදාව මං ඉන්න රටට උදා වෙන්න තව පැයක් තියෙනවා.  රූපවාහිනියේ නත්තල් සීයා අරන් එන නා නා ප්‍රකාර සෙල්ලම් බඩු පෙන්වනවා. එදා අපි පුංචි කාලේ ගත කලේ අදට වඩා හාත්පසින් වෙනස් ලෝකයක් තුළ කියල නිකම් ඉන්න වෙලාවට කල්පනා වෙනවා. සෙල්ලම් බඩුවක් දකින්න, ගන්න කොච්චර ආස වුණා ද? ජපන් රටේ උපත ලබා ලංකාවට එනවා කිව්ව බෝනික්ක ගැන කොච්චර සිහින මැව්වද ?  ඒ බෝනික්ක ඇස් නටවා බලන හැටි දකින්න කොච්චර ආස වුණා ? ඒ වුණාට ඉඳ හිට ලැබුණේ රබර් බෝනික්කෙක් විතරයි. එයාල කවදාවත් ඇස් නටවා බැලුවේ නැහැ. හැමදාම එක විදියට ඇස් ඇරගෙන ඔහේ බලන් හිටිය. 

ඉතින් ඒ අඩුව පිරිමහන්න මම රෙදි බෝනික්කෝ හැදුව.  එක එක විදියේ මූණු තියෙන, ලොකු අය, පොඩි අය.  ඒ ගොල්ලන්ගේ ඇඳුම් වෛවාරන්න විදියට මැහුවා. ඒ සිතුවිළි සිතේ මැවුණේ ඒ තිබුණු පරිසර වටපිටාවත් එක්ක. අද එහෙමද? පොඩි අයට හිතන්න කිසි දෙයක් ඉතුරු කරලා නැහැ.  බෝනික්කෝ වර්ග වැහි වැහැල.  වෙළඳ පොළට යන්න ඕනත් නැහැ. අන්තර් ජාලයෙන් ඇණවුම් කළහම දොරකොඩටම එනවා.  අපේ රෙදි බෝනික්කන්ට ගමන් යන්න වාහන තිබුණේ නැහැ.  පරණ සපත්තු වාහන විදියට ගන්න සිතුවිල්ලක් ආවේ කොහොමද?  අද  සෙල්ලම් වාහන වාහන වර්ග දැක්කම අපේ රෙදි බෝනික්කෝ ගැන දුක හිතෙනවා. මේව තිබුණ නම් කොච්චර ලස්සනට ඉඳ ගෙන ගමන් යන්න තිබුණද?

බෝනිකි පවුල් වලට ඉන්න සෙල්ලම් ගෙවල් අපි හැදුවේ ලී කැබලි, කාඩ්බෝඩ්, මැටි වගේ අමු ද්‍රව්‍ය යොදාගෙන.  පොල් අතු වගේ පොඩි අතු තියෙන ගස් වල අතු වලින් පොල් අතු විව්වා, වහලෙ හෙවිල්ලන්න. ගෙදර බඩු මුට්ටු, අල්මාරි, පුටු ලැබෙන ලැබෙන දේවල් වලින් නිර්මාණය කළ අපූරුව පුදුම හිතෙනවා. අද වෙළද පළේ තියෙන බ්ලුවී හවුස්, පෙපා පිග් හවුස් දැක්කම බෝනිකි පැටව් දුකසේ හිටි හැටි මතක් වෙනවා. ඒ කාලය සුන්දර ද? අද ඊට වඩා සුන්දරද? මේ කාල තරණය කරපු අපිට විතරක් හිතෙන දේවල් වෙන්න ඕන.

ඒත් අනිත් අතට හිතෙනවා එදා අපිට තිබුණු ඒ නිර්මාණශීලී හැකියාව කොච්චර අගේද කියල. මේ විකුණන සෙල්ලම් භාණ්ඩ සේරම කාගෙ හරි වැඩිහිටියෙකුගේ නිර්මාණ වෙන්න ඕන.  පොඩි ළමයි හිතල නිර්මාණය කරන ඒවත් ඇද්ද? කොහොම වුණත් ළමා වැඩිහිටි කවුරුත් අද භාණ්ඩ අතර අතරමං වෙලා කියල මට හිතෙනවා. සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා !!!

Thanks to Jamie Street  for the image on Unsplash.

Friday, December 17, 2021

ශරත් ඍතුව

 









ශරත් ඍතුව

හරිත පැහැයෙන් බරව
හිරු කිරණ උරාගෙන
රැස් කළා අවැසි දේ
මල් ඵල දකිනු රිසින
මල් පිපී, ඵල හැදී
එ් කාල රේඛාව
එක දිගට ගලා ගොස්
ශරත් ඍතුව එලඔ
පත්ර වල කොළ පැහැය
ටිකෙන් ටික වියැකිලා
කහ පාට, රතු පාට
දැන් අැත්තෙ ගුරු පාට
සියුම් සුළඟක් වුව ද
අැති වේවී ගිලිහෙන්න
එතෙක් ඉවසා ඉතින්
ඉඳිමි බිම සිපගන්න!