Wednesday, June 19, 2019

පෝෂණය

























කුඩා දරුවෙක් මන්දපෝෂණය නිසා මියගියාය කියන පුවතත් එක්ක, පෝෂණය ගැන මේ දවස් වල හරියට කතා වෙනවා. නිසි පෝෂණය ලැබීම කියන්නේ මොකක්ද?  ඒ කියන්නේ නියමිත පෝෂ්‍ය කොටස් නියමිත ප්‍රමාණයෙන් ලැබීමෙන් පුද්ගලයෙක් වයසට සරිලන උසෙන් හා බරෙන් යුක්තව සෞඛ්‍ය සම්පන්නව සිටීමනේ. දරුවෙක් නම් නිසි පරිදි වැඩෙන්නත් ඕන. ඉතින් මේ අදාළ පෝෂණය නොලැබීම අපි හඳුන්වනවා දුෂ්පෝෂණය කියලා.

දුෂ්පොෂණයේ ආකාර දෙකක් තියෙනවා.

1. මන්දපෝෂණය
2. අධි පෝෂණය

මන්දපෝෂණය  - මෙහිදී වෙන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට නොලැබීම නිසා වර්ධනය බාලවීම, ශරීරය වැහැරී යාම, බර අඩුවීම, විටමින හා ඛනිජ වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතා රෝගී තත්ත්ව ඇතිවීම ආදී පුළුල් පරාසයක විහිදෙන තත්වයන් ක්‍රමයෙන් ඇතිවීම.
අධිපෝෂණය - දේහ බර වැඩිවීම,ස්ථුලතාවය, ආහාරයට නෑකම්දක්වන හෘදයාබාධ,ආඝාතය,
දියවැඩියාව,පිළිකා වැනි  බෝනොවන රෝගී තත්ත්ව ඇතිවීම වැනි පුළුල් පරාසයකට අයත් තත්වයන් මේ යටතේ හඳුනා ගන්න පුළුවන්.

දුප්පත් කම නිසා ලැබෙන දෙයක් කන්නට වීම වෙනම ගැටළුවක් තමයි. නමුත් යම් පමණ ආර්ථිකයක් ඇති හෝ ඉහළ පන්තියේ අය වුවත් නිසි පෝෂණය ලබනවා ද යන්න ප්‍රශ්නයක්. ආහාරයට ගන්නා ද්‍රව්‍ය සංයුතියෙයි ප්‍රශ්නය තියෙන්නේ.

ඇත්තවශයෙන්ම මේ දුෂ්පොෂණ තත්වයන් අපේ රටේ බොහෝ දරුවන්ට හා වැඩිහිටියන්ට කුමන ආකාරයකින් හෝ තියෙනවා. ආර්ථික වශයෙන් මධ්‍යම හා පහළ මට්ටමේ අයට ඇත්තේ මන්ද පෝෂිත ආකාරය. කෑම නැති නිසාම නෙවෙයි කන විදිය අනුවයි වැඩිපුරම මෙය ඇතිවන්නේ. ඒ කියන්නේ පිෂ්ට ආහාර අධිකව ගන්නවා. තෙල් සහිත ආහාරත් ගන්නවා. එළවළු ,පළතුරු අඩුවෙන් ගන්නේ.  අපේ ජනතාව මස් මාළු බිත්තර ආදිය ගන්නේ ඉතාම අඩුවෙන්. සමහරවිට නිර්මාංශ ව ඉන්නවා. අමුවෙන් එළවලු ආහාරයට ගැනීම අඩුයි. පන්සල් වලින් දානයට වඩමවන සාමනේර හිමිවරුන් ඇතුළු බොහෝ හාමුදුවරුත් අමු එළවලු සලාදය බොහෝ විට ප්‍රතික්ෂේප කරනු මා අත්දැක තිබෙනවා. කොළ වර්ග අධික කාලයක් රත්කරලයි ගන්නේ. මේ නිසා ඇතැම් පෝෂක කොටස් නොලැබී යනවා.

මේ තත්වය නිසා ඇතිවූ සංකුලතා පාසල් ශිෂ්‍යන් තුළ තිබෙනු අත්දැකීමෙන් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් කම්මැලියි, උනන්දුවක් නැහැ,නිදිමත ගතියෙන් ඉන්නවා. ධාරණ ශක්තිය, වටහා ගැනීමේ ශක්තිය අඩුයි. උදෑසන ආහාරය නිසිලෙස ගන්නේ නැහැ. සමහර විට එය මගහැරිලම යනවා. දිවා විවේකයට කෙටි කෑම ගන්නවා. පාසලින් පසු කෑම ගත්තා හෝ නොගත්තා යන්න නොසළකා සවස උපකාරක පන්ති කරා ඇදෙනවා.
සමහර දරුවන් අධික ලෙස ස්ථුලතාව පෙන්වනවා. ඔවුන්ට ඒ හා සම්බන්ධ වෙනත් සංකුලතා ද තිබෙනවා. ඔවුන්ට සමාන වයස් කාණ්ඩයේ දරුවන් අතර උසුළු විසුළු වලට මුහුණ දෙන්න පවා සිදුවෙනවා. ඔවුන් සිටින්නේත් තම ස්වරූපය ගැන දුක් වෙමින්. ඒ නිසා ඔවුන්ගේ ඉගෙනීමටත් බාධා වෙනවා.

හැබැයි මේ තත්වය අලුතෙන් සමාජයේ ඇතිවූ එකක් නෙවෙයි. අපේ ජනතාවගේ අදහසක් තියෙනවා ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ හැම දේම හොඳට තිබුණය, හොඳ කෑම ලැබුණය,පරම ආයුෂ ගෙවුවය කියල. නමුත් අපේ වැඩිහිටියෝ අපිට කියාදීල තියෙනවා ඒ කාලේ දරුවෝ වගේම වැඩිහිටියෝ මාන්දමෙන්, පණු රෝගවලින්, උණ සන්නිපාතයෙන්  පෙළුණු හැටි, මැරුණු හැටි. දෙවන ලෝක යුද්ධය කාලේ පාන් පිටි විතරක්ම කාල ඇඟවල් ඉදිමුණ හැටි. තව ගෙදර වත්තේ හැදෙන පැපොල් ගෙඩිය අගුණයි කියල ඒකවත් කන්න නොදී ඇස්වල කොරපොතු සහිත දරුවෝ හිටිය බව. (ඒ කියන්නේ විටමින් A ඌනතාව.) ඇතැම් දරුවෝ අන්ධ බවටත් පත් වූ බව.

මේ විදියට බැලුවහම එදා වලක්වන්න බැරි සමහර තත්ත්ව යටතේත් අද වළක්වන්න උත්සාහ නොගන්නා (අධික දරිද්‍රතාව) ඇතැම් තත්ත්ව හා බොහෝවිට අධ්‍යාපනයක් ලැබූ දෙමව්පියන් සිටිද්දී වළක්වන්න පුළුවන් කම තියෙද්දිත් අපි අපේ දරු පරපුර ගැන සැළකිලිමත් වෙනවා මදි යයි හිතෙනවා. මේ ගැන පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කාරණයක්. නැතිනම් ඉදිරියට ඇතිවන්නේ රෝගී පරපුරක්.

(Thanks to Anna Pelzer for this lovely image on Unsplash)




Sunday, June 16, 2019

සෛලය The Cell


සෛලය The Cell


ලෝකයේ ඇති ලොකුම අරුමය
සොබා දම් මවු තුරුළෙ  විස්මය
පුදුම අතරෙත්  මහා පුදුමය 
වෙන කිසිත් නොව එයයි සෛලය

හිරුගෙ උණුසුම ලබා මිහි කුස
ඈත දිනකදී උපන් සෛලය
එදා සිට මේ මොහොත වෙනකම්
හුස්ම ගනිමින් ඉන්න මහිමය

ඒ උපන් ප්‍රාණියා ආයෙත්
මිය ගියේ නැහැ කවමදාවත්
විස්මයක් මේ තුන් ලොවේ වත්
අසා දැක නැත මිතුර තාමත්

සෛලයක් තුළ කෙරෙන විස්කම්
තාම හරියට දන්නෙ නැත්  නම්
කාටවත් තව මවනු බැරිනම් 
ඊට වැඩි මෙවලමක් නැතිනම්

මමයි  ජගතා සිතන  මනු සත
තම තමා ගැන වහසි බස් නෙක
කොතෙක් කිව්වත් කිසිත් පල නැත
සැමට ඉහළින් සෛලයම ඇත

මනු සෛල තුළ මනු ගුණම මිස
සෛලයට උස් පහත් කම් නැත
සෛලයේ වැඩ බැරිව ගිය  දින
ආදේශ නැත තැබෙනු ඇත තිත

අකුරටම හසුරවා  තොරතුරු
සෑම සියුමැලි දෙයම නිරතුරු
සොයා බලමින් මවයි විසිතුරු
සෛල සැකසුම දෙයකි ගරුසරු

ලොවට හිරු සඳු පායනා තුරු
දියත දිය බිඳු සුරකිනා තුරු
සොබා දම් මව පවතිනා තුරු
සැරද සෛලය සැරද නිරතුරු

Wednesday, June 5, 2019

'මා හුස්ම ගන්නා වාතය'


'මා හුස්ම ගන්නා වාතය'


ලෝකයේ පරිසරය,රටේ පරිසරය හා අප ආසන්න වටපිටාව ගැන සිතීමට තවත් පරිසර දිනයක් එළඹ තිබෙනවා.

ඔව් 2019 ජුනි මාසයේ 5ස් වෙනිදා ජගත් පරිසර දිනය. ඔව් සිතමු කුමක් ද? 'මා හුස්ම ගන්නා වාතය'

මෙවර ජගත් පරිසර සැමරීම සිදු වෙන්නේ චීනයේ. මෙවර තේමාව 'වායු දූෂණය' අපිට හුස්ම ගැනීම නතර කරන්න බැහැ , නමුත් අපි හුස්ම ගන්නා වාතයේ ගුණාත්මක බව වැඩිකරන්න යමක් කරන්න පුළුවන්.

ආසන්න වශයෙන් ලෝකය පුරා මිලියන 7ක් මිනිස් ප්‍රාණීන් පරිණත වෙන්න කලින්ම වායු දූෂණය හේතුවෙන් මිය යනවා. ඔව්, මෙයින් මිලියන 4ක් ම ආසියා - පැසිෆික් ප්‍රදේශ වලින්. ඉතින් 2019 ජගත් පරසර දිනය, ලෝකය පුරා රජයන්ගෙන් බැගෑපත්ව අයැද සිටින්නේ කර්මාන්ත,ප්‍රජාවන් හා තනි තනි පුද්ගලයන් වශයෙන් එක්වී ගවේෂණය කරන්න,කුමක් ද නගර සහ ප්‍රදේශ වල වායු තත්වය වැඩි දියුණු කරන්න, හැකිතාක් පුනර්ජනනීය බලශක්තිය හා හරිත තාක්ෂණය කෙරෙහි යොමු වන්න කියලයි.

ලෝක ජනගහනයෙන් 92%ක් පිරිසිදු වාතය හුස්ම ගන්නේ නෑ කියල ඔබ දන්නවා ද ?
වායු දුෂණයේ විපාකවල සුභ සාධනය උදෙසා ලෝක ආර්ථිකයෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 5ක් වැයවෙන බව ඔබ දන්නවා ද ?


මොකක් ද වායු දුෂණය කියන්නේ ?

වාතයේ සාමාන්‍ය ප්‍රතිශතයේ තියෙනවට වඩා වායු වර්ග වැඩිවීම, ඝන ද්‍රව්‍ය වල කුඩා අංශු විශේෂයෙන්ම කාබනික අංශු වාතයේ බහුල වීම. මේ ඇතැම් ඒවා ඉතා විෂ සහිතයි. මේවා හුස්ම ගැනීමෙන් කුඩා දරුවන්ගේ හා වයස් ගත අයගේ ශ්වසන පද්ධතියට වගේම හෘදයට හානි සිදු වෙනවා. පිළිකා ඇති වීමටද හේතු කාරක වෙනවා.

මහා පරිමාණයෙන් සිදුවෙන කර්මාන්ත ආදිය සම්බන්ධ වායු දුෂණ තත්වයන්ට ඔබට මට තනියම විසඳුම් දෙන්න බැරි බව ඇත්ත. නමුත් පුංචි පුංචි මට්ටමේ සිදුවන අහිතකර දෑ වාතයට එකතු වෙන එක වළක්වන්න අපිට පිළිවන් නේ ද ? ඒත් අපි හුස්ම ගැනීම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. අපි කන බොන දේ ගැන හුගක් කතා කරනවා. හොඳ ඒවා තෝරනවා. කාබනික වගාවන් ගැන විමසිලිමත් වෙනවා. කෑම වල වස විස තිබෙනවා ,ඒවා නිසා අපි ලෙඩ වෙනවා කියල හිතනවා. ඒත් අහිතකර දේ සහිත වාතය හුස්ම ගැනීම ඊටත් වඩා නරකයි කියල අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි පොලිතින් ප්ලාස්ටික්,කෘත්‍රිම රෙදී ඇතුළු අහිතකර බොහෝ දේ  විවෘත පරිසරයේ පුළුස්සනවා. බුදු කුටි තුළ හඳුන් කූරු දල්වනවා, වැසුණු කාමර තුළ මදුරු දඟර දල්වනවා. කුඩා දරුවන් ළඟ තබාගෙන දුම් පානය කරනවා. ගුහා වල් වගේ වැහුණු කුස්සිවල දර වලින් කෑම උයනවා. ගෘහාශ්‍රිත තැන්වල වාහන ස්ප්‍රේ පේන්ට් කරනවා. මේවයේදී පිටවෙන දුම් හා අංශු  සහිත වාතය අපි හුස්ම ගන්නවා. අපි,අපේ දරුවෝ ලෙඩ වෙනවා.

මේ අහිතකර තත්වයන් වළක්වා ගැනීමට අපිට යම් තරමකින් වත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද්?

තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි හැකි හැම විටකම ගස් කොළන් හිටවලා ඒවා හොඳින් රැක බලා ගැනීම. ගස් වලින් වාතයේ වැඩිවී තිබෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා. ඒ වගේම ඇතැම් පැළෑටි වාතයේ ඇති විෂ ද්‍රව්‍ය පවා උරාගෙන වාතය පිරිසිදු කරන බව කියවෙනවා.

ඔව්, අද පටන්වත් අපි අපේ ආසන්න වටපිටාවේ වාතය දුෂණය වෙන එක වළක්වා ගන්න ක්‍රියාත්මක වෙමු.


Sunday, June 2, 2019

මාළු ලෑල්ලේ පාඩම



මාළු ලෑල්ලේ පාඩම 

අලුත්  පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව
මාළු විශේෂ හඳුනා ගනිමු  අපි අද
බඩ වත දිගට අන්වායාමව
අඳුරු ඉරි තුන තියෙන්නෙ  බලයට

කහ පාට වරලිති කෙලවල්ලාගේ
වරලිති කලුයි බලයාගේ
ටෝපිඩෝ හැඩ ගත් ඇඟ කාගේ
වෙන කාගෙද ඉතින් ගොඩයාගේ

වරුතක රළු කොරල
වලිගෙ ළඟ ඒ අසල
මේ මාළුවා පැතලි
පරා පැටියෙක් විපුල

ටීච ඔහෙ කිව්වාට
තේරෙන්නෙ නෑ අපිට 
ඉඳ හිට දවසක මාළු කෑල්ලක් 
අපේ පිඟානෙත් තිබුණාට 

එහෙම නම් යන් යන්න 
කොහේ  යන්නද ටීච 
පේළියක් හැදිල දැන් 
නෝට්‌ පොතකුත් ගන්න 

යනවා ගේට්ටුවෙන් එලියට 
පාර දිගේ මාළු ලෑල්ලට 
මේ ඉන්නෙ මාළු දිගට හරහට 
'ළමයි මේ අද මාළු ගන්නද? '

මුදලාලි මේ දරුවන්ට 
මාළුන්ගේ හැටි බලා ගන්ට 
ආවෙ නම් නැහැ මාළු ගන්ට 
දෙන්න ඔතනින් පොඩි ඉඩක් මට 

'ආ ආ එන්න ළමයින් මෙහෙට'
ළමයි ටික සීරුවට වටේට 
අලුත් ගුරු පත්වීමක් ඒ මොහොතට 
සහායට දෙවෙනියත් එතැනට 

පාඩම යයි නොනැවතීම
පාට,කොරළ,වලිග හැම එකක් ගැන 
බෙල්ල දිගු කරන් එබීගෙන  
පසුපසින් දැන් මං අධීක්ෂක