Sunday, October 27, 2019

Bokul


Bokul


වසර මුලදී මං හිතන්නේ මාර්තු මාසෙ දිනක  කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ චිත්‍රපට දෙකක් බැලුව. කෙටි චිත්‍රපටයක් හා වෘත්තාන්ත චිත්‍රපටියක් බැලුව. එයින් කෙටි චිත්‍රපටිය ජීවිතයේ පසුකාලයක අමතක වීමේ රෝගයට ගොදුරුවූ කාන්තාවකගේ. එය ශෝකය දනවන චිත්‍රපටියක්. මා මෙහි අදහස් දක්වන්නේ  වෘත්තාන්ත චිත්‍රපටිය බෝකුල් ගැන. එයින් කියවෙන්නේ ඇසෑමයේ කතාවක් වුවත් අපේ රටේ තත්වයට බොහෝ දුරට සමානත්වයක්  එයින් පිළිබිඹු වෙනවා.

සමාජ ආර්ථික හා දේශපාලනික තත්වයන් ස්පර්ශ කරමින් ඇසැමයේ සමාජය පිලිබඳ විචිත්‍රවත් කෙරෙන චිත්‍රපටයක් ලෙස බෝකුල් හඳුන්වන්න පුළුවන්. රීමා බෝරා විසින් අධ්‍යක්ෂණය කරන ලද බෝකුල් MAMI, Mumbai film festival එකේ ‘India Story’ කොටස විසින් තෝරා ගෙන තිබෙනවා.

කතාවේ රට්කිම් කියල වයස අවුරුදු 30ක තරුණයෙක් තම සොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට, වසර ගණනාවකට පස්සේ තම උපන් ගම වන බ්‍රහ්මපුත්‍ර නිම්නයට එනවා. ඔහුට ඔහුගේ නගරයේ පාරම්පරිකව තිබුණු තත්වයන්වල වටිනාකම් වල සිදුවී ඇති වෙනස් වීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔහු දැන හඳුනාගෙන සිටි අය පවා වෙනස් වෙලා.

ඔහුගේ පැරණි සංගීත ගුරුවරයා ඒ වනවිට කොහි සිටීදැයි නොදත් නිසා  ඔහු ඒ ගුරුවරයා සොයා  ස්කූටරයේ නැගී නගරය වටා සැරිසරද්දී සුවිශේෂී චරිත තුනක කතන්දර දැන ගැනීමට ලැබෙනවා. තරුණ රික්ෂෝ කාරයා,දුවෙක් සමග තනිවී සිටින තරුණවිය ගෙවීයමින් සිටින ස්ත්‍රියක්,තම පුත්‍රයා නැතිවූ සොවින් තැවෙන මහලු ධීවරයෙක් යන තුන්දෙනා තමයි ඒ. ඒ තුන්දෙනාගේම නම අහම්බෙන් වෙන වෙනම 'බොකුල්'.

කලින් නගර වැසියෙක් වුවත් අද වසර ගණනාවකට පසු පිටස්තරයෙක් වන රට්කිම්ට  සමාජ යථාර්ථයේ වෙනස් වීම, මිනිස් වටිනාකම් විතැන් වීම ඔවුන් තම කතන්දර තුළින් ඉදිරිපත් කරනවා. තරුණ ස්ත්‍රී බොකුල් තම ජීවිතය ගෙන යාමට කඩයක් කරනවා. එහිදී ඇයට මුහුණ දීමට සිදුවෙන කරදර,ගැහැට ,අවලාද සියල්ල අපේ සමාජයේ තනිවූ ස්ත්‍රියක් මුහණ දෙන ආකාරයේ ඒවාමයි. ඔබ දන්නවා එවැනි තත්වයක් යටතේ ස්ත්‍රියකට තනිව පැවැත්මේ අසීරු කම. තරුණ රික්ෂෝ බොකුල් මුහුණ දෙන්නේ පොදුවේ අපේ වගේ රටවල තරුණ පරපුර අත්විඳින ඛේදවාචකය.

භාෂාව නොදැන වුවද තේරුම් ගත හැකි පරිදි මනා ලෙස හසුරුවන තිර රචනයක් ඔස්සේ දිගහැරෙන චිත්‍රපටියේ රගපෑම් ද ඉතා විශිෂ්ඨ මට්ටමේ තිබෙනවා. කැමරාව සන්දීප් පටිල් ගේ. රට්කිම් ලෙස උදයන් දුවාරා  ද , බෝකුල් නම් කාන්තාව ලෙස උර්මිලා මහන්තා ද  , රික්ෂෝ බෝකුල් ලෙස කෞශික් ශර්මා ද  ,ධීවර බෝකුල් ලෙස නිරාබ් දාස් ද අනර්ඝ රඟ පෑමක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සුවිශේෂී චිත්‍රපටිය නරඹන්න කියා මා ඔබට ආරාධනා කරනවා.

Saturday, October 19, 2019

මගුල් විසිතුරු වැනුම




තාලයට මහහඬින් හඬ නැගෙන අෂ්ටකය
ටිෂූ කඩදහි එකින් එක පෙඟෙන කඳුළැලිය
කෝල ලෙස විළිබරව යුවළ පෝරුව මතය
බිඳී ඒ සැනින්  වීසි වී යන පොල්ගෙඩිය

සැරසිලිය හැමතැනම නෙක වර්ණ විසිතුරුය
අත වළලු ගෙලේ  බැඳී තැලී මාල දිලිසේය
හිසේ සැරසිල්ල බිම වැටෙන්නට ළඟ වගෙය
ළඳුන්ගේ වත ටිකක් ඒ නිසා විමසිලිය

මේසයෙන් මේසයට රවුම් වල පිරිසමය
සිනාසෙන උන් මුහුණු  ඇති තරම් පින් බරය
ඒ වුණත් මේ බිමේ කතා නම් අසීරුය
සංගීතයය විසුල කන් අඩිය පලා ගිය

ටාං ටිං වීදුරු ද  බෝතල් ද දෙන  හඬය 
බඩ මහත තඩි පිරිමි තෙරපෙමින් එහි ගොඩය 
කතා බස් ටිකෙන් ටික වැඩි වේවි එන හැඩය  
කෑම ගන්නට වගක් සිතක් වත් නැති වගය 

කුසගින්න බුර බුරා ටිකින් ටික නැග ඒය 
බුෆේ පෝලිමේ දිග සැතපුමකටත් වැඩිය  
බෙදාගත් කෑම ටික අරන් මෙහි  එන විදිය 
විසාලම සටනකිය පටලගෙන යාර හය

මත් වෙවී හිටිය උන් ඉදිරියට පැමිණේය
යුවල දැන් උන් අතින් අහසටම විසිවේය
ඊළඟට පොකුණු වල ගැඹුරටම කිමිදේය
නිදිමරන් සරසවපු සායම් ද දියවේය

සංගීතෙ වෙනස් වී බයිලයට පෙරළේය
නැටුමක්ලු බෙරේ නම් පලුවකුත් නැතිවේය
ටිකින් ටික කාලයත් අවරටම බර වේය
නව යුවල පිටත්වන නැකත දැන් එළඹේය

මාස ගණනක වෙහෙස දැන් ඉතින් අහවරය 
මාස ගණනකි තවත් ඉදිරියට  ගෙවන ණය
දිස්නෙ දුන් සබන් බුබුලක් බිඳී යන  වගය
නූතනේ මගුල් විසිතුරු වැනුම මේ ලෙසය 

Photo by Orlova Maria on Unsplash © 2019 Malini Ganewatta All rights reserved. 

Tuesday, October 15, 2019

මා මළ පසු සොහොන් කොතේ ඔබට නොහැකිය දුක් ගී ලියන්නට



මා මළ පසු සොහොන් කොතේ
ඔබට නොහැකිය දුක් ගී ලියන්නට
මන්ද මෙදියත සොහොන් කොතක්
මා වෙනුවෙන් ඉඳි නොවන බැවින

මම යන්නටම යන්න යමි නික්ම
මා නිසල සිරුර ශේෂ කරන
සියළු අංශුන්  පස් කැට අතරට
එක්ව එකට මුසුවණු ඇත.

එයින් සරුවන මේ දෙරණ මත
කිණිති විදහා වැවෙන මල් ගස්
පුබුදාවි සිය කැකුළු දිනයක
ඔබට හැකිවේවි ඒ මල් නෙලන්නට

මා අන්තිමට හෙළු හුස්ම බිඳ
මා ගත ශේෂයන් පිට කරන
සියලු වායුන් හා සමගින් එක්ව
මුසුවණු ඇත මේ විසල් වා තලයට

මා අසිරිමත්  සිරුර හිරුගෙන්
උරාගත් සියළු ශක්තින්
විසුරවමි මම ඉමක් කොණක් නැති
මේ මහා අනන්ත විශ්වයට

නැත මා කියා කෙනෙක් ඉන් ඉදිරියට
ඉතින් සබඳ මට සමුදෙන්න
නැවත කිසිදා හමුවීමක් නොවන
ඒ දිගු ගමන යන්න

මා මළ පසු සොහොන් කොතේ
ඔබට නොහැකිය දුක් ගී ලියන්නට
මන්ද මෙදියත සොහොන් කොතක්
මා වෙනුවෙන්  ඉඳි නොවන බැවින

ඉතින් ඒ ගමන නික්මෙන්න පෙර
මා පණ ගැහෙන මේ තත්පරය තුළ
සප්ත ස්වරයම  එකට කැටිකර
සොඳුරු ගීයක් ගයන්න ඔබ

ඔබේ මිහිරි ගීතය මේ දැන් අසන්නට
නොඉවසිල්ලෙන් පෙරමග බලා හිඳිමි මම
මා මළ පසු ගයන දුක් ගී අසන්නට
කිසිවෙකුත් නැති වේවි මේ දෙරණත

© 2019 Malini Ganewatta All rights reserved. 





Saturday, October 5, 2019

ලියුකේමියාව සෑදෙන්නේ වැඩි පිරිසිදු කම නිසා ද ?





මහාචාර්ය මෙල් ග්රිව්ස් (Sir Melvyn Francis Greaves )  හට සිය ජීවිතයේ සරල ඉලක්කයක් විය. ඔහු දරුවන්ට ලියුකීමියා රෝගය වැළැක්වීම සඳහා බීමට යෝගට් වර්ගයක් පිළියෙළ කිරීමට උත්සාහ ගනිමින් සිටියේය. මෙය කුමන අදහසක් දැයි ඔබට සිතේවි. පිළිකා එතරම් පහසුවෙන් පරාජය කළ නොහැකි නමුත් මහාචාර්ය ග්රීව්ස් විශ්වාසයෙන් යුතුව ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍රයට  දෙමින් සිටි අතර අනෙකුත් පර්යේෂකයෝද මෙය බරපතල කොට සිතූහ. ලන්ඩනයේ Institute of Cancer Research) ආයතනයේදී ග්රීව්ස් ළමා වියේ ලියුකීමියා රෝගය පිළිබඳව දශක තුනක කාලයක් අධ්‍යනය කළේය. පසුගිය දිනක ඔහුට ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවයට ගෞරව කිරීම සඳහා නයිට් පදවියක් පිරිනැමීමට තීරණය කර තිබුණි.

'දරුවන්ට ලියුකේමියා හැදෙන්නේ ඇයි කියන එක ගැන මම අවුරුදු 30ක් තිස්සේ උමතුවෙන් සිටියේ.' ඔහු පවසයි. ' දැන් ප්‍රථම වරට අපට එයට පිළිතුරක් ලැබී තිබෙනවා.' ' ඒ කියන්නේ දැන් අපට එය ඇතිවීම වළක්වා ලීමේ මං සොයා යන්න පුළුවන්. මගේ අදහස මේ පානය පිළිබඳවයි.''

1950දී බ්‍රිතාන්‍යයේ දරුවන් 2000ක් පමණ රෝගයට ගොදුරු විය. එකල මෙය මාරාන්තික රෝගයක් ද විය. අද වන විට රෝගීන්ගෙන් 90%ක් පමණ සුවය ලබති. නමුත් ප්‍රතිකාර විෂ සහිත වනවා පමණක් නොව අතුරු ආබාධ රැසක් ද සහිතය. ඇතිවන සංඛ්‍යාවත් දැන් වැඩි වෙමින් තිබේ.. බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ 1% ප්‍රතිශතයකින් වැඩිවේ. මේ තත්වය දකින්නට ලැබෙන්නේ දියුණු රටවල් වලය. දියුණු වෙමින් පවතින ඒවායේ නොවේ. රෝගය සම්පත් වැඩිවීම සමග ගමන් කරයි. 

රෝගය අනුයාත ජීවවිද්යත්මක සිද්ධි මාලාවක් සමග ඇතිවේ. එහි මුල්ම ක්ෂණික ආරම්භය දරුවන් 1/20 කට ජාන විකෘතියක් ලෙස ඇතිවේ. 'මේ විකෘතිය හදිසියේ මවගේ ගර්භාෂය තුළදීයි ඇතිවෙන්නේ. එය පරම්පරාගත දෙයක් නෙමෙයි.නමුත් මෙය දරුවා ජීවිතයේ පසු කාලයකදී ලියුකේමිය රෝගය වැළඳීමේ අවදානමකට පත් කරනවා.' ග්රීව්ස් කියයි.

'එවැනි දරුවෙකුට රෝගය ඇතිනොවීමට  නම් දරුවාගේ  ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව ශක්තිමත් වීමට අවශ්‍ය වෙනවා.   ඒ සඳහා  පළමු වර්ෂයේදී ආසාදනයක් ඇතිවීම අවශ්‍යයි 'ග්රීව්ස් කියයි. එසේ නොමැති වුවහොත් එම පද්ධතියේ   ප්‍රථමකරණය  මග හැරෙන (left unprimed  )අතර හොඳින් ක්‍රියා නොකරයි. මේ අර්බුධය කරදරකාරී ලෙස උග්‍ර වෙමින් පවතී. දෙමාපියෝ  තම දරුවන් හදාවඩා ගැනීමේදී විෂබීජ නාශක සහිත පිසදමන තුවා,සබන්,පොළොව පිසදමන ද්‍රව්‍ය, විශාල ලෙස යොදා ගනිති. කුණු දූවිලි බිඳක් නැති පරිසරයක් පිළියෙළ කිරීමට පෙළඹෙති. මව් කිරි දීමත් අඩු කරති. මේ දරුවන්ගේ සමාජ සම්බන්ධතාත් අඩු නිසා වෙනත් දරුවන් හා ගැටීමත් අඩුයි. ඒ නිසා මේ දරුවන් විෂබීජ සමග ගැටීම අඩු වේ. මෙහි වාසිය දරුවන් කුඩා කළ රෝගී නොවීමයි. නමුත් මෙහි අතුරු අබාධ ඇත. අද දරුවන් මැසි මදුරුවන් ගේ දෂ්ට කිරීම් වලටද නිරාවරණය නොවන නිසා, මෙහිදී දරුවන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය නිසිපරිදි ප්‍රථමකරණය වන්නේ නැත.

 'එවැනි දරුවෙක් අවසානයේ ආසාදන වලට නිරාවරණය වුවොත් ඔහුගේ/ඇයගේ ප්‍රථමකරණයනොවූ ප්‍රතිශක්ති පද්ධතිය අසාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා දක්වනවා. . එය අධි ක්‍රියාකාරීව නිදන්ගත ප්‍රදාහය ඇති කරනවා' ග්රීව්ස්  පැහැදිළි කරයි. මේ ප්‍රදාහය වර්ධනය වීමෙන් රුධිරයට සයිටෝකයින් නම් රසායනිකයක් නිදහස් කෙරේ. මේ රසායනික පළමු ලියුකීමියා විකෘතිය දරණ දරුවන්ගේ දෙවන විකෘතියක් ද ක්‍රියාරම්භ ( trigger  ) කරයි. නවීන  සුපිරි පිරිසිදු නිවාස වල ජීවත් වන මුලින් සඳහන් කළ විකෘතිය දරණ එනම් ලියුකීමියාවට නැඹුරුතාව දක්වන දරුවෝ  සම්පුර්ණ ලියුකීමියා  රෝගී තත්වයට පත්වෙති.

මේ අනුව සැලකු විට පෙර අදහස් කළ ආකාරයට අධි බලැති විදුලි රැහැන් හෝ න්‍යෂ්ටික බලාගාර හෝ මේ රෝගය ඇති වීමට හේතු නොවේ. එය ඇති වන්නේ උපතට පෙර හා උපතට පසු පරිසරවල සිදුවන වෙනසක් නිසා ඇතිවන ද්විත්ව ක්‍රියාකාරිත්වයකින් බව ග්රීව්ස් 2018 වසර මුලදී  Nature Reviews Cancer  ජර්නලයට ප්‍රකාශ කළේය. මේ නව දැක්ම විද්‍යාඥයන්ට  මූලිකව ලියුකීමියාව වළක්වන්නේ කෙසේද යන්න කෙරෙහිද අවධානය යොමු කිරීමට ද හේතු වෙතැයි ග්රීව්ස් කියයි. ' මවගේ ගර්භාෂය තුළදී සිදුවන විකෘතිය වලක්වන්න තවම අපිට බැහැ .නමුත් දෙවන ප්‍රදාහ අවස්ථාව ඇතිවීම වැළැක්වීම ගැන අපට හිතන්න පුළුවන්.' ඔහු කියයි.

මේ සඳහා ග්රීව්ස් හා ඔහුගේ කණ්ඩායම මානව ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා හා වයිරස් ගැන අධ්‍යනය කිරීම ආරම්භ කර ඇත. මේවා අපේ ආහාර ජීර්නයෙදී උපකාරී වන අතර ජීවිතයේදී අපට හමුවන විෂබීජ ගැනද අදහසක් ලබා දෙයි. සංවර්ධිත රටවල මිනිසුන්ගේ ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා විශේෂ සංඛ්‍යාව අඩු බව සොයා ගෙන ඇත. එයට හේතුව ඔවුන් ගත කරන අතිපිරිසිදු වාතාවරණය තුළ ඔවුන්ගේ ළදරු අවදියේදී නිරාවරණය වන බැක්ටීරියා විශේෂ සංඛ්‍යාව අඩු වීමයි.

' අපි ඔවුන්ගේ ක්ෂුද්‍රජීවීන් ප්‍රතිව්‍යුහ ගත කරන්න ක්‍රම සොයන්න අවශ්‍ය වෙනවා. දරුවන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රථම කරණය කරන්න වඩා වැදගත් වන්නේ කුමන බැක්ටීරියා වර්ග ද කියා අධ්‍යනය කරනවා. දැනට ග්රීව්ස් මීයන් යොදාගෙන පර්යේෂණ කරන අතර ඉලක්කය වන්නේ ඉදිරි වසර දෙක තුන තුළ මිනිසුන්ට අත්හදා බැලීමයි. ' අපේ ඉලක්කය දරුවන්ගේ    එක සෞඛ්‍ය සම්පන්න තත්වයට ගේන්න පුළුවන් විශේෂ 6-10ත් අතර සංඛ්‍යාවක් සොයා ගැනීම .' ඔවුහු පවසති. මේ ක්ෂුද්‍ර ජීවී සලාදය පෙත්තක් වශයෙන් නොව බාල වයස් දරුවන්ට පානය කළ හැකි යෝගට් පානයක් වැනි දෙයක් වීමට ඉඩ ඇත.
මේ පානය ළමා ලියුකීමියාවට දරුවන් ගොදුරු වීම වැළැක්වීමට පමණක් හේතු වන්නේ නැත. අද බටහිර රටවල   හා අසාත්මිකතා ද වැඩි වෙමින් පවතී. මෙයටද හේතුව දරුවන් විෂබීජ වලට නිරාවරණය අඩුවීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රථමකරණය නොවීමයි. මේ නිසා පානය මෙවැනි තත්වයන් කිහිපයකටම පිළිතුරක් වනු ඇත.

'මං හිතන්නේ අපේක්ෂාව විශ්වාස කරන්න බැරි තරම් චමත්කරජනකයි. අපි ලියුකීමියාව වළක්වනවා පමණක් නොවේ. තවත් සංකුලතා ගණනාවක් ම වළක්වනවා.'ග්රීව්ස් අපේක්ෂාව දල්වයි.

ලියුකීමියාව යනු කුමක් ද?

අපේ  රුධිරාණු නිපදවෙන්නේ ඇටමිදුළු තුලයි. රතු රුධිරාණු ශරීරය පුරා ඔක්සිජන් ගෙනයාමේ කාර්ය කිරීමටත්, සුදු රුධිරාණු ආසාදන හා සටන් කිරීමටත්, පට්ටිකා රුධිර ගැලීම වැළැක්වීමටත් වශයෙන් මේවා ශරීරයට අවශ්‍ය අවස්ථාවල නිපදවේ. පුද්ගලයෙකුට ලියුකීමියාව වැළඳුනු විට අසාමාන්‍ය අන්දමින් සුදු රුධිරාණු නිදහස් වෙයි. මේ තත්වය පුද්ගලයාගේ ඇටමිදුළු වර්ධනයට බාධා කරයි.එවිට සියළුම රුධිර සෛල වර්ග අඩු වීමට පටන් ගනියි. පුද්ගලයා රෝගී තත්වයට් පත්වෙයි. ලියුකීමියා ප්‍රභේද ගණනාවක් ඇති අතර දරුවන් අතර ප්‍රමුඛව ඇත්තේ Acute Lymphoblastic Leukaemia සහ  Acute Mayeloid Leukaemia යන ප්‍රභේද දෙකයි

The Guardian ඇසුරිනි.


Photo by Aditya Romansa on Unsplash