Thursday, December 31, 2020

මේ තමයි සබඳ සුබ මොහොත

 




සබඳ, කිම මේ මුතු කඳුළු, 

ඔබේ නෙත් කෙවෙණි යට? 

දැන් අඬන්න එපා දුක්බරව,

 ඊයේ දවස මියගොස්ය, 

අවසන් කටයුතුද අවසන්ය .


නූපන් හෙට විළි ලායි, 

අඳුරේ තිඹිරි ගෙය තුළ, 

උපදින්න ඉන්න හෙට ගැන, 

කුමට පුරවන්නේද ඔබ හීන මල්, 

ඔය තරම් ලොකු පැතුම් මළුවල,

මල්  හරි මොළකැටියි, 

පරවේවි හරි ඉක්මණට .


මේ තමයි සබඳ ඔබේ හෝරාව, 

ජීවත් වෙන්න තියෙන එකම එක මොහොත, 

හුස්මක් ගන්න පපුව පුරාම, 

හිතන්න සිතුවිල්ලක් හිත පුරාම, 

මේ තමයි සබඳ ඒ මොහොත ,

මේ ජීවන විල මත අපි ජීවත්වන. 



 



 




Tuesday, December 29, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය -අමතර ගමන් 1

 














22දා අපි තැන් දෙකක් නරඹන්න ඇවිදින්න ගියා. එයින් එකක් තමයි Chimney Rock State Park.  කුපර් සුරතලාත් අපි සමග ගියා. මෙය උතුරු කැරොලයිනා රදර්ෆඩ් කවුන්ටි වල සුන්දර දසුන් මවන එක තැනක්. විවිධ මට්ටම්වල අයට ගැළපෙන විදියට මෙහි hiking මං පෙත් රැසක් තිබෙනවා. අක්කර 8014 භුමි භාගයක පිහිටි මෙය North Carolina, Ashville සිට 25km දුරින් පිහිටි North Carolina State රජය මගින් පාලනය වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ උතුරු කැරොලයිනා වල චිම්නි රොක් කියන ගමේ. මෙය අඩි 315ක් උස ග්‍රැනයිට් මොනොලිත් වලින් නිර්මිත චිමිනියක හැඩය ගත් ගලක් ආශ්‍රිතව පිහිටා තිබෙන උද්‍යානයක්. අපි සෙමෙන් සෙමෙන් ගල මුදුනට පඩි පෙළ දිගේ නැග්ගා.

එහි අධික වේගෙන් සුළං හමනවා. මුදුනට උද්‍යානයත් අවට ගම්මානයත් මනරම් ලෙස දර්ශනය වුණා. මේ ප්‍රදේශය දුර්ලභ සතුන් හා ශාක. මේ උද්යානය දුර්ලභ මල් වර්ග ඇතුළු සත්ව හා ශාක ප්රජාවන් රැසකට නිවහන් සපයනවා. වඳවීමේ අවදානමට ලක්වූ ඒක දේශික වවුල් විශේෂ, සලමන්දර විශේෂ, පක්ෂීන්, ගුහා ආශ්රිතව ජීවත්වන අපෘෂ්ට වංශීන් පමණක් නොව සංචාරක පක්ෂීන් මේ සතුන් අතර වෙනවා. අපි අතරමග නැවතී කෝපි කෝප්පයක රස වින්දා.  අපි කෝපි රස විඳි ස්ථානය හරහා ගත සිත සීතලෙන් කුල්මත් කරමින් තද සුළං හමා ගියා.





 




















අපි එදා ගිය අනික් තැන තමයි High Falls, DuPont State Forest.   මෙය පිහිටා තිබෙන්නේ උතුරු කැරොලයිනා , Blue Ridge Mountain  එකේ DuPont State Forest වල. අඩි 125ක් උස මේ දිය ඇල්ල Transylvania County එකේ Little River ආශ්‍රිතව තමයි තිබෙන්නේ. මෙය මේ ගඟ ආශ්‍රිතව තිබෙන දියඇලි 4රෙන් එකක්. පළල් දිය ඇල්ලක් වන මෙය ග්‍රැනයිට් පාෂාණයක් මතින් කඩා හැලෙනවා. මේ චාරිකාව අවසන් වනවිට රාත්‍රිය උදා වෙමින් තිබුණා. අපි ආපසු නිවෙස බලා පැමිණියා.




 


Sunday, December 20, 2020

පිය සමර

 










පිය සමර

 

පාසල් නිවාඩුව ආරම්භ වෙයි. එකල  මාසයක නිවාඩුවක් යනු ඇත්තෙන්ම වචනයේ පරිසමාප්ත අරුතෙන්ම නිවාඩුවකි.  අමතර පන්ති කියා දෙයක් අසන්නටවත් නොවීය. නිවාඩු කාලයේ ගෙදර වැඩ කියා දෙයක් නැත. මා ඉස්කෝලේ  ගියේ මව්පස මිත්තණිය හා මුත්තණුවන්  බාරයේ සිටය. නිවාඩුව ආරම්භයේ තාත්තා ගමේ සිට බයිසිකලයෙන් එහි පැමිණෙයි . බයිසිකලයේ පිටිපස ලගේජයේ මගේ ඇඳුම් සහිත බෑගය කලින්ම තැන්පත් කර එය ගැට ගැසීම තාත්තා විසින් කරනු ලැබේ.. ඊළඟට කොට්ටය බයිසිකලයේ මැද පොල්ල මත තබා එය ගැට ගසනු ලබයි. මට ඉඳගෙන යාමටය. මට තිබු ගවුම් කීපයෙන් එකක් ඇඳ ඉස්කෝලේ දමන සපත්තු දෙකම දමාගෙන තාත්තා බයිසිකලයට නැග්ග පසු මම කොට්ටය මත ඉඳ ගනිමි. අත්තම්ම්ලාට සමු දී පිටත්වන අපි හෙමින් හෙමින් ගම දෙසට ගාළු පාර දිගේ ඇදී යමු. වෙල් යායවල්, පාසල් පන්සල් පසු කරගෙන යන ගමන වයස දැරියකට ඉතා ප්රීතිමත් සුන්දර අවස්ථාවකි. බද්දේගම දී ගඟබඩ බේකරියේ ඉදිරිපස බයිසිකලය නැවැත්වේ. තාත්තා මට රස කැවිලි හා තේ අරන් දෙයි. නංගිලාටත් බනිස් වැනි දෙයක් මිලදී ගනියි. එක දවසක් මෙසේ යන විට පොද වැස්සක් වැටුණි. තාත්තා පාර අයිනේ වූ සෙවනක බයිසිකලය නතර කර මා ඉන් බැස්ස වීය. එතැන කම්මලකි. තාත්තා කම්මල්කරුත් සමග කතා කරන අතර මම ඔහු ගිනි දල්වමින් මයින හම අදින අයුරු බලා සිටියෙමි. කලක් යන තෙක්ම කම්මල තිබෙනු එහි තිබෙනු ගමට යනවිට මා දැක ඇත. එතැන පසු කරගෙන යන හැම වාරයේම මට තාත්තා මතක් වේ. සමහරවිට වන විට එහි කම්මල්කරු දෙවන පරම්පරාවේ කෙනෙක් විය යුතු යයි මම සිතමි. කිම්ද යත් කාලය පියාසර කර ඇත්තේ ඉමහත් වේගයකින් බැවිනි. අදටත් කම්මල තිබේ දැයි නොදනිමි.

පාසල් නිවාඩුව ඉවර වෙයි. නැවත ආපසු යා යුතුය. එදාට උදේ සිටම ලැහැස්ති වෙමු. තාත්තා දවල් කෑමට බිත්තර ඔම්ලට් එකක් සාදයි. අම්මා බිත්තර සාදන වැඩට එතරම් මනාපයක් නැත. තාත්තා ළුණු ,සුදු ළුණු , කරපිංචා යහමින් දමා හදන ඔම්ලට් එකේ සුවඳ දසත පැතිරෙයි. සුවඳ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් තවම දැනී දැනී නැතිවී යයි. ඔම්ලට් එකත් තව හොද්දකුත් සමග කැකුළු හාලේ බත් කෑමෙන් පසු බයිසිකලය ලැහැස්ති වේ. ඇඳුම් පෙට්ටියට අමතරව බෙලි, අඹ හා හාල් ආදී දේ පිරවූ පෙට්ටියකුත් ලගේජ් එකට එකතුවේ. සවස් වරුවේ අපි පිටත්  වෙමු. නැවත ගාල්ල දෙසට බයිසිකලය  පැද වේ. අද සිතන විට සැතපුම් දහසයක් ලොකු දුරකි. තාත්තාට වෙහෙසක්‌  දැනුණා දැයි මම නොදනිමි. නැත්නම් එය තේරුම් ගැනීමට මා එදා කුඩා වැඩිය. අනික් අතට හතර රියන් සද්දන්ත පුරුෂයෙකු වූ තාත්තාට එය එතරම් දෙයක් නොවන්නටද ඇත. වැටකොළු ඉවීමට පොතු අරිද්දි  නොවරදවාම තාත්තා මතක් වෙයි. වැටකොළු කරලේ දාරය පමණක් ඉවත් කිරීම ප්රමාණවත් බව ඉගැන්නුවේ ඔහුය. එය එපරිද්දෙන්ම අදත් මම කරගෙන යමි.

එවකට මල්ලි ඉපිද සිටියේ නැත. මල්ලී ලැබෙන්නට සිටි අම්මා තම මව්පියන්ගේ නිවසට ඇරලවුයේ තාත්තාය. මෝටර් රථයකිනි. මල්ලී ලැබුණු දිනයේ උදේ මම පාසල් ගියෙමි. එකල මා තුන්වන ශ්රේණියේ ඉගෙන ගත් අවුරුදු හත හමාරක පමණ  දැරියකි. මා පාසල් ඇරී එන විට ගෙදර ලොකු අමුත්තක් පෙනෙන්න තිබුණි. මට සිතුණේ අම්මා රෝහල කරා ගෙන ගොස් ඇති බවකි. මම අඬාගෙන මිදුලටත් පාර දෙසටත් දුවන්නට වීමි. තාත්තා මා පසුපස දුව ඇවිත් මා අතින් අල්ලාගෙන අම්මා සිටි කාමරයට කැඳවාගෙන ගියේය. මල්ලී රත් පැහැයෙන් යුතු කුඩා මුහුණක් සහිතව එක ඇඳකත් අනිත් ඇඳේ වෙහෙසට පත් මුහුණකින් යුතු අම්මාත් මට දකින්නට ලැබුණි. මල්ලී ඉපදී තිබුණේ ගෙදර දීමය. මා මල්ලී වඩාගෙන ඇත්තේ එක් වරක් පමණක් බව මට මතකය.

තාත්තා මා කුඩා කළ මගේ පුංචි ඇඟිල්ලට මුද්දකුත් කණට පුංචි සුදු ගල් ඇල්ලූ කරාබු දෙකකුත් සාදවා දී තිබුණි. මට සුදු ගලක් සහිත පෙන්ඩනයක් ඇල්ලූ රන් දම්වැලකුත් තිබුණු බව මතකය. එයත් තාත්තා සාදවා දුන්නා වන්නට ඇත. ගැන හරි මතකයක් නැත. කාලයේ වැලි තලාවේ එකින් එක යටවෙමින් එක් එක් වකවානු වලදී මේ වටිනා සැමරුම් සියල්ල භෞතික වශයෙන්   මට අහිමි විය. එහෙත් සිත් සමරු පොතෙහි ඒවා ජීවිතය තිබෙන තෙක් සුරැකෙනු ඇත.

හැම දෙයටම අවසානයක් ඇත. තාත්තා පිලිබඳ කතාවට අවසානය ලඟා වූයේ  ජීවිතයේ පාන්දර වෙලාවේ මය. වෙනදා සාමාන්යයෙන් වසා තැබෙන කඩුල්ල සම්පුර්ණයෙන් ඇර දමා තිබුණි. වාහනය සෙමෙන් වත්තට ඇතුල් විය . ගෙතුළින් ගැහැණුන් කීප දෙනෙකුගේ විලාප හඬ එකට එක්ව  ඇසුනි. අපි මෝටර් රථයෙන් බැස ඉස්තෝපුවට ගොඩ වුනෙමු. නැන්දලා විලාප දෙමින් පැමිණ අම්මා බදා ගත්තාය. අම්මා සමගම විලාප දෙන්නට පටන් ගත්තාය. මට නම් අඬන්නට කිසිම කල්පනාවක් නොවීය. සියල්ල සිහිනයක් පමණකි. නංගිලා හා මල්ලි කොහි වීදැයි දැන් මට නිනව්වක් නැත. සමහර විට මල්ලි අම්මා අතෙහි ඉන්නට ඇත.

මම සාලයේ අඳුරු ගතිය ඇස් වලින් තල්ලු කරමින් හාත්පස සිසාරා විනිවිද බැලීමි. තාත්තාගේ සිටියේ සාලය මැද වූ ඇඳක බටහිරට හිස යොමු වනසේ උඩුබැලි අතට වැතිර  හිස හැර  අනිත් කොටස් වැසෙන  සේ සුදු රෙද්දක් පොරවා ගෙනය. ඇඳ ඉහත්තට පිටුපස දැල්වෙමින් තිබුණු පොල් තෙල් පහනේ සිළුව පවනට සැලෙමින් මළානික එළියක් නිකුත් කළේය. පසුව මාමලා නැන්දලා ඇතුළු දසත විසිර සිටි නෑදෑ  පරපුර පැමිණියෝය. තාත්තගේ දේහය පෙට්ටියක තැන්පත් විය. පෙට්ටිය අවට කැරකුණු අවුරුදු දෙකක් වයස් වූ මල්ලි  '' තාත්තේ බඩ ගිණියි. කුක්කු දෙන්න " කියා අඬනවා ඇසුණු නැන්දලා මහා රෑ නිහඬ බව බිඳිමින් විලාප නැගුහ. පසුදා මළහිරු බසිනා මූසල පැයේ වත්තේ කොණක අඩි හයක් යට තාත්තා සදාකාලික නින්දෙහි සැතපුණේ . තාත්තා නැති ජීවන ඔරුව ජීවන ගංගාවේ ඉබාගාතේ හෙමින් හෙමින් පැද්දෙන්නට විය. එහි හබල අම්මා ගේ අතට  හුරු වීමට කලක් ගත විය. එහෙත් සැඩ සුළං, දියසුළි, කුණාටු කරදර කම්කටොලු මැදින් අප සැම ජීවන ගං තෙරට එතෙර කළාය.

 

Thanks  Devon Daniel  for this lovely photo on unsplash. 

Saturday, December 12, 2020

මේ හිර ගෙයින් කවදා නම් මිදෙන්න ද?

 













පේරාදෙණියෙ , හග්ගල මල් පිපෙනු                   ඇති 

හන්තානටත්  පුන්  සඳ පායනව                          ඇති 

සීතල සුළං කඳු ගැටවල හැපෙනු                         ඇති

උඩරට මැණිකෙ පටකුඩ ගැන කියනු                  ඇති


සුදු මුදු රැල්ල වෙරළට විත්                       හැපෙනව ද 

ලුණු රස සුළඟ තාමත් එහි                           හමනව ද 

ඇල්ගී පාසි ගල්පරවල                                  බැඳෙනව ද

කක්කුටු පැටව් වැල්ලේ ගුල්                           හදනව  ද 


යාල් දේවි උතුරට ඔහෙ                                           ඇදේවී 

තල් ගස්වල තනියම මල්                                        පිපේවි 

රියෝ හිම කිරම මතකෙට                                 ගෙනේවි 

හෙටත් උදේ හිරු අහසට                                    නැගේවි 


කන්නෙලි,සිංහරාජේ කොහොමට                          ඇද්ද

උස් තුරු මුදුන් වල මල් පිබිදෙණු                               ඇද්ද  

කුරුළු කොබෝ ලිහිණින්ගේ ගී                                  සද්ද 

සිහිනෙන් මිසක් හැබැහින් ඇහුමට                         නැද්ද 


ගිං ගං කොමළි වෙනදා මෙන් සිනහ                           කට 

පුරවන් ඇදී යනු ඇති ලස්ව  ගිං                                   තොට 

වෙනසක් වැඩිය නැතුවැති මගේ ගං                          තොට 

යන්නට හිතයි දුවගෙන එහේ  අද                                හෙට 


තනිවී ගුවන් තොට යන එන කෙනෙක්                            නැති 

තැන තැන අහස් යානා නිදි  කිරනු                                    ඇති 

පීරා වලාකුළු හිම කඳු උඩින්                                               ඇති

මම යමි දුරු රටට දිග සිහිනයක                                         එතී 


සිපිරි ගෙට වැටී දැන් වසරක්                                          ගෙවුණි 

උයා ගත්ත රස මසවුළු රස                                           නොවුණී  

විටෙක නෙතඟ කඳුළැල් වල රස                                     දැනුණි 

මෙහෙම දුකක් කවදාවත්  නම්                                     නොවුණි 


නිදහස් සුළං රැල්ලක  සුව                                             විඳින්නද 

නෑසිය මිතුරු මිතුරියො බැහැ                                     දකින්නද 

 සිනහ පොදක්  මුව පොඩිවල                                   පිපෙන්නද 

මේ හිර ගෙයින් කවදා නම්                                          මිදෙන්නද


© 2020 Malini Ganewatta



Wednesday, December 9, 2020

නිල් පාට

 










ඈත ආකාසේ අනන්තෙටම විහිදුණු, 

විස්මයක් නේද මේ නිල්ම නිල් පාට, 

දවස පුරා බලන් හිටියත්,

හිතට ඇතිවීමක් නැති නිල්පාට .


මහ සාගරේ ඈත දියඹත් නිල් පාට,   

අනෝතප්ත විලේ ගැඹුරෙත් නිල් පාට, 

මොණර පිලේ  දිළිසෙන නිල් පාට, 

හිතට ඇතිවීමක් නැති නිල් පාට. 


අපි දෙන්න එදා ආස කල,

ඒ සොඳුරු නිල්පාට, 

මං ගවුම් වලට තෝර ගත්තෙත්, 

ඉවරයක් නැති නිල් පාට, 

ඔයා මට අරන් දුන්නෙත්,

ගවුම් රෙදි නිල් පාට. 


හැමෝම මගුල් දවසට, 

තෝර ගත්තත් සුදු පාට, 

අපේ පුංචි මගුල් ගෙදරට, 

මං ඇන්දෙ නිල් පාට.


ඔයා එදා මං පුදුම කල, 

නෙලුම් මල් පිපී හිනැහෙන, 

නිල් දිය පිරුණු විලක් වගේ, 

ඒ ජෝර්ජට් සාරියත් නිල්පාට. 


වෙන ආරු බූරු නැතුවට,

සුදු පාට දිග කලිසමට, 

ඔයා එදා ඇන්ද අත් දිග 

සිල්ක් කමිසෙත්  නිල්පාට. 


අඩ සිය වසක් ගත වුණාට, 

පාට ටිකක් බොඳ වී ගියාට, 

එදා සතෙන්  සතේ එකතු කොට, 

ලී බඩු සීට්ටුවක් දාල අරගත්ත, 

දොර දෙකේ තේක්ක අල්මාරියේ, 

උඩ තට්ටුවේ වෙනමම තැනක,  

තියෙනවා තාම ඒ නිල්පාට. 


(Thanks  David Clode for this lovely image on Unsplash)