Sunday, December 20, 2020

පිය සමර

 










පිය සමර

 

පාසල් නිවාඩුව ආරම්භ වෙයි. එකල  මාසයක නිවාඩුවක් යනු ඇත්තෙන්ම වචනයේ පරිසමාප්ත අරුතෙන්ම නිවාඩුවකි.  අමතර පන්ති කියා දෙයක් අසන්නටවත් නොවීය. නිවාඩු කාලයේ ගෙදර වැඩ කියා දෙයක් නැත. මා ඉස්කෝලේ  ගියේ මව්පස මිත්තණිය හා මුත්තණුවන්  බාරයේ සිටය. නිවාඩුව ආරම්භයේ තාත්තා ගමේ සිට බයිසිකලයෙන් එහි පැමිණෙයි . බයිසිකලයේ පිටිපස ලගේජයේ මගේ ඇඳුම් සහිත බෑගය කලින්ම තැන්පත් කර එය ගැට ගැසීම තාත්තා විසින් කරනු ලැබේ.. ඊළඟට කොට්ටය බයිසිකලයේ මැද පොල්ල මත තබා එය ගැට ගසනු ලබයි. මට ඉඳගෙන යාමටය. මට තිබු ගවුම් කීපයෙන් එකක් ඇඳ ඉස්කෝලේ දමන සපත්තු දෙකම දමාගෙන තාත්තා බයිසිකලයට නැග්ග පසු මම කොට්ටය මත ඉඳ ගනිමි. අත්තම්ම්ලාට සමු දී පිටත්වන අපි හෙමින් හෙමින් ගම දෙසට ගාළු පාර දිගේ ඇදී යමු. වෙල් යායවල්, පාසල් පන්සල් පසු කරගෙන යන ගමන වයස දැරියකට ඉතා ප්රීතිමත් සුන්දර අවස්ථාවකි. බද්දේගම දී ගඟබඩ බේකරියේ ඉදිරිපස බයිසිකලය නැවැත්වේ. තාත්තා මට රස කැවිලි හා තේ අරන් දෙයි. නංගිලාටත් බනිස් වැනි දෙයක් මිලදී ගනියි. එක දවසක් මෙසේ යන විට පොද වැස්සක් වැටුණි. තාත්තා පාර අයිනේ වූ සෙවනක බයිසිකලය නතර කර මා ඉන් බැස්ස වීය. එතැන කම්මලකි. තාත්තා කම්මල්කරුත් සමග කතා කරන අතර මම ඔහු ගිනි දල්වමින් මයින හම අදින අයුරු බලා සිටියෙමි. කලක් යන තෙක්ම කම්මල තිබෙනු එහි තිබෙනු ගමට යනවිට මා දැක ඇත. එතැන පසු කරගෙන යන හැම වාරයේම මට තාත්තා මතක් වේ. සමහරවිට වන විට එහි කම්මල්කරු දෙවන පරම්පරාවේ කෙනෙක් විය යුතු යයි මම සිතමි. කිම්ද යත් කාලය පියාසර කර ඇත්තේ ඉමහත් වේගයකින් බැවිනි. අදටත් කම්මල තිබේ දැයි නොදනිමි.

පාසල් නිවාඩුව ඉවර වෙයි. නැවත ආපසු යා යුතුය. එදාට උදේ සිටම ලැහැස්ති වෙමු. තාත්තා දවල් කෑමට බිත්තර ඔම්ලට් එකක් සාදයි. අම්මා බිත්තර සාදන වැඩට එතරම් මනාපයක් නැත. තාත්තා ළුණු ,සුදු ළුණු , කරපිංචා යහමින් දමා හදන ඔම්ලට් එකේ සුවඳ දසත පැතිරෙයි. සුවඳ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් තවම දැනී දැනී නැතිවී යයි. ඔම්ලට් එකත් තව හොද්දකුත් සමග කැකුළු හාලේ බත් කෑමෙන් පසු බයිසිකලය ලැහැස්ති වේ. ඇඳුම් පෙට්ටියට අමතරව බෙලි, අඹ හා හාල් ආදී දේ පිරවූ පෙට්ටියකුත් ලගේජ් එකට එකතුවේ. සවස් වරුවේ අපි පිටත්  වෙමු. නැවත ගාල්ල දෙසට බයිසිකලය  පැද වේ. අද සිතන විට සැතපුම් දහසයක් ලොකු දුරකි. තාත්තාට වෙහෙසක්‌  දැනුණා දැයි මම නොදනිමි. නැත්නම් එය තේරුම් ගැනීමට මා එදා කුඩා වැඩිය. අනික් අතට හතර රියන් සද්දන්ත පුරුෂයෙකු වූ තාත්තාට එය එතරම් දෙයක් නොවන්නටද ඇත. වැටකොළු ඉවීමට පොතු අරිද්දි  නොවරදවාම තාත්තා මතක් වෙයි. වැටකොළු කරලේ දාරය පමණක් ඉවත් කිරීම ප්රමාණවත් බව ඉගැන්නුවේ ඔහුය. එය එපරිද්දෙන්ම අදත් මම කරගෙන යමි.

එවකට මල්ලි ඉපිද සිටියේ නැත. මල්ලී ලැබෙන්නට සිටි අම්මා තම මව්පියන්ගේ නිවසට ඇරලවුයේ තාත්තාය. මෝටර් රථයකිනි. මල්ලී ලැබුණු දිනයේ උදේ මම පාසල් ගියෙමි. එකල මා තුන්වන ශ්රේණියේ ඉගෙන ගත් අවුරුදු හත හමාරක පමණ  දැරියකි. මා පාසල් ඇරී එන විට ගෙදර ලොකු අමුත්තක් පෙනෙන්න තිබුණි. මට සිතුණේ අම්මා රෝහල කරා ගෙන ගොස් ඇති බවකි. මම අඬාගෙන මිදුලටත් පාර දෙසටත් දුවන්නට වීමි. තාත්තා මා පසුපස දුව ඇවිත් මා අතින් අල්ලාගෙන අම්මා සිටි කාමරයට කැඳවාගෙන ගියේය. මල්ලී රත් පැහැයෙන් යුතු කුඩා මුහුණක් සහිතව එක ඇඳකත් අනිත් ඇඳේ වෙහෙසට පත් මුහුණකින් යුතු අම්මාත් මට දකින්නට ලැබුණි. මල්ලී ඉපදී තිබුණේ ගෙදර දීමය. මා මල්ලී වඩාගෙන ඇත්තේ එක් වරක් පමණක් බව මට මතකය.

තාත්තා මා කුඩා කළ මගේ පුංචි ඇඟිල්ලට මුද්දකුත් කණට පුංචි සුදු ගල් ඇල්ලූ කරාබු දෙකකුත් සාදවා දී තිබුණි. මට සුදු ගලක් සහිත පෙන්ඩනයක් ඇල්ලූ රන් දම්වැලකුත් තිබුණු බව මතකය. එයත් තාත්තා සාදවා දුන්නා වන්නට ඇත. ගැන හරි මතකයක් නැත. කාලයේ වැලි තලාවේ එකින් එක යටවෙමින් එක් එක් වකවානු වලදී මේ වටිනා සැමරුම් සියල්ල භෞතික වශයෙන්   මට අහිමි විය. එහෙත් සිත් සමරු පොතෙහි ඒවා ජීවිතය තිබෙන තෙක් සුරැකෙනු ඇත.

හැම දෙයටම අවසානයක් ඇත. තාත්තා පිලිබඳ කතාවට අවසානය ලඟා වූයේ  ජීවිතයේ පාන්දර වෙලාවේ මය. වෙනදා සාමාන්යයෙන් වසා තැබෙන කඩුල්ල සම්පුර්ණයෙන් ඇර දමා තිබුණි. වාහනය සෙමෙන් වත්තට ඇතුල් විය . ගෙතුළින් ගැහැණුන් කීප දෙනෙකුගේ විලාප හඬ එකට එක්ව  ඇසුනි. අපි මෝටර් රථයෙන් බැස ඉස්තෝපුවට ගොඩ වුනෙමු. නැන්දලා විලාප දෙමින් පැමිණ අම්මා බදා ගත්තාය. අම්මා සමගම විලාප දෙන්නට පටන් ගත්තාය. මට නම් අඬන්නට කිසිම කල්පනාවක් නොවීය. සියල්ල සිහිනයක් පමණකි. නංගිලා හා මල්ලි කොහි වීදැයි දැන් මට නිනව්වක් නැත. සමහර විට මල්ලි අම්මා අතෙහි ඉන්නට ඇත.

මම සාලයේ අඳුරු ගතිය ඇස් වලින් තල්ලු කරමින් හාත්පස සිසාරා විනිවිද බැලීමි. තාත්තාගේ සිටියේ සාලය මැද වූ ඇඳක බටහිරට හිස යොමු වනසේ උඩුබැලි අතට වැතිර  හිස හැර  අනිත් කොටස් වැසෙන  සේ සුදු රෙද්දක් පොරවා ගෙනය. ඇඳ ඉහත්තට පිටුපස දැල්වෙමින් තිබුණු පොල් තෙල් පහනේ සිළුව පවනට සැලෙමින් මළානික එළියක් නිකුත් කළේය. පසුව මාමලා නැන්දලා ඇතුළු දසත විසිර සිටි නෑදෑ  පරපුර පැමිණියෝය. තාත්තගේ දේහය පෙට්ටියක තැන්පත් විය. පෙට්ටිය අවට කැරකුණු අවුරුදු දෙකක් වයස් වූ මල්ලි  '' තාත්තේ බඩ ගිණියි. කුක්කු දෙන්න " කියා අඬනවා ඇසුණු නැන්දලා මහා රෑ නිහඬ බව බිඳිමින් විලාප නැගුහ. පසුදා මළහිරු බසිනා මූසල පැයේ වත්තේ කොණක අඩි හයක් යට තාත්තා සදාකාලික නින්දෙහි සැතපුණේ . තාත්තා නැති ජීවන ඔරුව ජීවන ගංගාවේ ඉබාගාතේ හෙමින් හෙමින් පැද්දෙන්නට විය. එහි හබල අම්මා ගේ අතට  හුරු වීමට කලක් ගත විය. එහෙත් සැඩ සුළං, දියසුළි, කුණාටු කරදර කම්කටොලු මැදින් අප සැම ජීවන ගං තෙරට එතෙර කළාය.

 

Thanks  Devon Daniel  for this lovely photo on unsplash. 

No comments:

Post a Comment