ඈත ආකාසේ අනන්තෙටම විහිදුණු,
විස්මයක් නේද මේ නිල්ම නිල් පාට,
දවස පුරා බලන් හිටියත්,
හිතට ඇතිවීමක් නැති නිල්පාට .
මහ සාගරේ ඈත දියඹත් නිල් පාට,
අනෝතප්ත විලේ ගැඹුරෙත් නිල් පාට,
මොණර පිලේ දිළිසෙන නිල් පාට,
හිතට ඇතිවීමක් නැති නිල් පාට.
අපි දෙන්න එදා ආස කල,
ඒ සොඳුරු නිල්පාට,
මං ගවුම් වලට තෝර ගත්තෙත්,
ඉවරයක් නැති නිල් පාට,
ඔයා මට අරන් දුන්නෙත්,
ගවුම් රෙදි නිල් පාට.
හැමෝම මගුල් දවසට,
තෝර ගත්තත් සුදු පාට,
අපේ පුංචි මගුල් ගෙදරට,
මං ඇන්දෙ නිල් පාට.
ඔයා එදා මං පුදුම කල,
නෙලුම් මල් පිපී හිනැහෙන,
නිල් දිය පිරුණු විලක් වගේ,
ඒ ජෝර්ජට් සාරියත් නිල්පාට.
වෙන ආරු බූරු නැතුවට,
සුදු පාට දිග කලිසමට,
ඔයා එදා ඇන්ද අත් දිග
සිල්ක් කමිසෙත් නිල්පාට.
අඩ සිය වසක් ගත වුණාට,
පාට ටිකක් බොඳ වී ගියාට,
එදා සතෙන් සතේ එකතු කොට,
ලී බඩු සීට්ටුවක් දාල අරගත්ත,
දොර දෙකේ තේක්ක අල්මාරියේ,
උඩ තට්ටුවේ වෙනමම තැනක,
තියෙනවා තාම ඒ නිල්පාට.
(Thanks David Clode for this lovely image on Unsplash)
No comments:
Post a Comment