පේරාදෙණියෙ , හග්ගල මල් පිපෙනු ඇති
හන්තානටත් පුන් සඳ පායනව ඇති
සීතල සුළං කඳු ගැටවල හැපෙනු ඇති
උඩරට මැණිකෙ පටකුඩ ගැන කියනු ඇති
සුදු මුදු රැල්ල වෙරළට විත් හැපෙනව ද
ලුණු රස සුළඟ තාමත් එහි හමනව ද
ඇල්ගී පාසි ගල්පරවල බැඳෙනව ද
කක්කුටු පැටව් වැල්ලේ ගුල් හදනව ද
යාල් දේවි උතුරට ඔහෙ ඇදේවී
තල් ගස්වල තනියම මල් පිපේවි
රියෝ හිම කිරම මතකෙට ගෙනේවි
හෙටත් උදේ හිරු අහසට නැගේවි
කන්නෙලි,සිංහරාජේ කොහොමට ඇද්ද
උස් තුරු මුදුන් වල මල් පිබිදෙණු ඇද්ද
කුරුළු කොබෝ ලිහිණින්ගේ ගී සද්ද
සිහිනෙන් මිසක් හැබැහින් ඇහුමට නැද්ද
ගිං ගං කොමළි වෙනදා මෙන් සිනහ කට
පුරවන් ඇදී යනු ඇති ලස්ව ගිං තොට
වෙනසක් වැඩිය නැතුවැති මගේ ගං තොට
යන්නට හිතයි දුවගෙන එහේ අද හෙට
තනිවී ගුවන් තොට යන එන කෙනෙක් නැති
තැන තැන අහස් යානා නිදි කිරනු ඇති
පීරා වලාකුළු හිම කඳු උඩින් ඇති
මම යමි දුරු රටට දිග සිහිනයක එතී
සිපිරි ගෙට වැටී දැන් වසරක් ගෙවුණි
උයා ගත්ත රස මසවුළු රස නොවුණී
විටෙක නෙතඟ කඳුළැල් වල රස දැනුණි
මෙහෙම දුකක් කවදාවත් නම් නොවුණි
නිදහස් සුළං රැල්ලක සුව විඳින්නද
නෑසිය මිතුරු මිතුරියො බැහැ දකින්නද
සිනහ පොදක් මුව පොඩිවල පිපෙන්නද
මේ හිර ගෙයින් කවදා නම් මිදෙන්නද
© 2020 Malini Ganewatta
No comments:
Post a Comment