Friday, November 7, 2025

ලේලි - 8

 ලේලි - 8



වස මගේ තොරතුරු දැනගන්න ඔපදූපිච්චි සඳාට කඩි කුලප්පුවක් තිබුණේ. කීප සැරයක් මැසේජ් කරලා තිබුණා. ඒත් මට කතාකරන්න වෙලාව ආවම තමයි මං එයාට ගත්තේ. කොහොම වුණත් මට පණ වගේ ඉන්න යාළුවා නේ ඒ කෙල්ල. බැච් මේට්ස්ලා වුණත් දැන් වැඩි දෙනෙක් පවුල් පන්සල් වෙලා.....වැඩ වැඩි වෙලානේ උන්ට. ගොන්නු බර අදිති කියලා ළඟදිත් සඳුන් කිව්වා මතකයි. උන් ඇද ගනිපුවාවේ උන්ගේ කරත්ත....
සඳා හිනා මූණකින් පුන් පෝදා හඳ වගේ තිරයේ පෑව්වා.
"මොකද යන්න ඉන්න මාලිගාව හිතට ඇල්ලුවද?"
"නරක නෑ සඳා. හැබැයි බං අනිත් පැත්ත පෙරලලා හදලා ගන්න වෙනවා."
"බලාගෙන එතන දැනටමත් රැජනක් ඉන්න බව බොට අමතකද?"
"නැන්දම්මා ද?"
"නැතුව... ඒකනේ අපි වෙනම මාලිගයක් හැදුවේ."
සඳාලා බැඳලා වෙනම පදිංචි වෙන්න ඒ වෙනකොටත් ගෙයක් හදලා ඉවරයි. තව ෆිනිෂිං වැඩ ටිකක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ මඟුල ඊළඟ මාසෙට යෙදිලා තිබුණේ. ඒකටත් ලෑස්ති වෙන්න තිබුණා මට.
" බලමු බලමු දොඹෙං නං දොඹෙං තමයි..."
" ඉංජිනේරුවට ගෙයක් හදන්න වෙයිද දන්නෑ."
"ඔව් ඒකත් බැරි නෑ නේ"
" ඉඩම එහෙම ලොකුවට ඇතිනේ? "
" හ්ම් මහා විසාල ඉඩමක් බං"
"වෙන අලුත් ගෙයක් හදා ගනින්. ඉංජිනේරුවට සල්ලි ඇතිනේ? "
"තියේ තියේ.. ඒත් ඉතින් මහා සාගරයක් වගේ ඒ ගේ සැමීට නේ! "
" සැමී.... ෂා මරු නම... දැන් සේරම හරි වගේ නේද? "
" ඒක නෙවේ ඇඟේම නැඟ ගත්තු නෑනෙක් එයාට ඉන්නවනේ... මාමගේ දූ. මාමා නාකි වෙලාද කොහෙද කසාද බැඳලා තියෙන්නේ. තාම පොඩි කෙල්ල" මං සහස්රා ගැන සේරම සඳාට කිව්වා. එයාටත් ඒක ටිකක් අප්සට් වගේ.
"රෙඩ් ප්ලෑග්ස් ද මන්දා....
" මං ඒවා කොළපාට කර ගන්නම් කෝ
" කෝකටත් කල්පනාවෙන්.... අද කාලේ පොඩි කෙල්ලන්ටත් පිස්සු නේ බං"
මට එදා රෑ හුඟක් වෙලා සැමී එක්ක කතා කරන්න දේවල් තිබුණා. මොකද මට දැනගන්න ඕන වුණා එයාගේ ගෙදර තත්ත්වය තව ටිකක් හොඳට. ඒකට පාර කපාගත්තේ වට වංගුවක් දාලා. නැත්නම් මේ ගෑනි එන්නතක් කලින් ගෙදර පාලනය ගන්න හදනවා හිතන්නත් බැරි නෑනේ. කොයි තරම් ආදරේ ආදරේ කිව්වත් ඒවා නොපිට පෙරළෙන්න මහ වෙලාවක් යන එකක් යැ.
සුපුරුදු විදියට සැමී පැණි හිනාවත් එක්ක තිරයේ මතු වුණා.
"පැටියෝ"
"පැටියො ඒ මොකක්ද අනේ. මං සුරා නේ"
"වැඩි ආදරේට නේ පැටියෝ කියන්නේ... වෙන කෙල්ලෝ නම් ආසයි පැටියෝ කියනවට"
"මොනවා... ඔයා වෙන කෙල්ලෝ කී දෙනෙකුට දැනට පැටියෝ කියලා තියෙනවද?"
සැමීගේ මූණ බරි වූණා බරි විල්ලක්.... ඇත්තටම මිනිහා මට බය වුණා මං හිතන්නේ.
" නෑ නෑ මං කියන්නේ යාළුවෝ කියන හැටියට... කතාවල තියෙන විදියට..." මිනිහට ගොත ගැහෙන්න ගත්තා.
"කමක් නෑ අනේ.... ඉස්සර ඒවා මට ඕන නෑ" මං ඒ මූණ හදාගන්න උදවු කළා. පවුනෙ මගේ මිනිහ වෙන්න ඉන්න එකානේ
"අපේ ගෙදර හොඳයි ද?" එයා මාතෘකාව මාරු කළා.
"ලස්සනයි.... මං ආසයි වත්තට හේම... පළතුරු ගස් එක්ක" නරකවල් අං බානකට මට එදා පෙනුණා වුණාට ඒවා කියලා ආයේ ඒ මූණ අමාවක කරන්න මට ඕන වුණේ නෑ.
" ඔයා ආවම තව වවා ගන්න පුළුවන් නේ"
"ඔයාලගෙ අම්මට වැඩ වැඩී වගේ නේ? "
මං අර තොරතුරු දැන ගැනීමේ පනත අනුව අවශ්ය කතාවට පොට පාදගන්න හැදුවා.
"එයා කැමති එහෙම තමයි සුරා... වැඩ වැඩිකරගෙන වැඩ කරනවා වැඩ වැඩ කියලා හැමෝටම කියන්න එයාට ඕන.."
" ඉස්කෝලේ වැඩත් ඇතිනේ"
" එයා දැන් අංශ ප්රධාන නේ වැඩිය උගන්වන වැඩ නෑ. අනික ළඟදී රිටයර් වෙනවා නේ"
" එහෙමද? කවුද සැමී ගෙදරට ඒ කියන්නේ කුස්සියට එහෙම ඕන කරන බඩු ගේන්නේ?" මං මගේ ප්රශ්නය රවුම් කරලා ඇහුවා.
" ඒ ඔක්කොම කරන්නෙ අම්මා. තාත්තා සේරම ඒ මැනේජ්මන්ට් එක අම්මට බාර දීලා තියෙන්නේ. සල්ලි එහෙම ඔක්කොම පාලනය එයා තමයි."
" ඔයාගේ සල්ලිත්? "
" නෑ මගේ ඒවා මං ගාව. ඒවත් ඕන වුණහම නම් අම්මා ඉල්ල ගන්නවා "
" එහෙනම් සපරමාදු මාලිගාවේ රැජන එයා"
"ඔයා ආවම ඊළඟ රැජනට සුදුසුකම් ලබනවනේ එතකොට අම්මට වැඩ අඩු වෙයි නේ"
මං නම් පුතෝ වැඩකාරියක් නම් නෙවේ.
ඉන්න අයගෙන් වැඩ කරව ගන්න නම් දන්නවා හොඳේ. මං හිතින් කියා ගත්තා.
" ගෙදරක් වුණහම වැඩ බෙදාගන්න ඕන"
" ඔයා ආවම බෙදලා කරලා ඉනොවේෂන් එකක් එහෙම කරලා ගන්නකෝ"
" බලමු බලමු නැන්දම්මා සෙට් නම් ඒක සුළු දෙයක්"
" අම්මා ඔයාට ආදරේ නේ! "
" අම්මා විතරද? "
" තාත්තත් ඔයාට කැමතී"
"පුතා?"
ඔන්න ඉතින් පුතා තිරෙන් ලව් කරන්න තියා ගත්තා.
"ඕවට එන්න එපා! "
" ගෑනු ළමයි ඕන දේට නේ එපා කියන්නේ "
" හොඳට ගෑනු ළමයි ගැන දන්නවා වගේ "
පහුවදා ඉස්කෝලේ ගියහමත් ඉඩ තියෙන හැම වෙලාවෙම මං සඳාගෙන් මඟුල ගැන කතා කළා. එයාට මට වඩා මේ ක්ෂේත්රය ගැන දැණුම වැඩී නේ. උන් දෙන්නා දැනටම කරන්න ඕන හැම මඟුලම කරලා ඉවරයි නේ.
"මං නම් සඳෝ මඟුල ඉවර වෙනකම් ඒවා නෑ හොඳේ "
" බලමු බලමු.... උඹලා ළඟදීම වෙඩින් ගන්නද කල්පනාව.
" තාත්තා නැකැත් හදනවා කිව්වා. ඊට පස්සේ හොටෙල් එක බුක් කරාවි. මං ප්ලැනක් හදලා තියෙන්නේ. ඒක සැමී එක්ක කතා කරලා තීරණයක් ගන්නවා. එයත් කැමතී අවුට් ඩෝ ෆන්ක්ශන් එකකට."
" ඔව් ඒක හොඳයි. කොහොමත් තව මාස හයක්වත් යයිනේ? "
"ඔව්... උ.. ඹලා එතකොට එක වහලක් යටට ඇවිත් නේ?"
"ඒකෙ ලොකු අමුත්තක් නෑ සුරංගී අපට... අපි දැනටමත් ජීවිතේ පටන්ගෙන ඉවරයි "
" මං තාම උ.. ඹලගේ මඟුලට ලෑස්තිත් නෑ. "
" කැමති විදියට වරෙන්.... ලොකු ලෑස්තියක් ඕන නෑ... හරිම සිම්පල් විදියට නේ කරන්නේ. "
ඉරිදටත් උදා වුණා. හවස සැමී එනකම් කොකා වගේ බෙල්ල දික්කරගෙන ඉඳලා බෙල්ලත් උළුක්කු වුණා.
ඔන්න හතරට විතර කාර් එක ගේට්ටුවෙන් ඇතුළු වුණා..
සැමී මොකක්දෝ පාර්සලයකුත් අරන් කාර් එකෙන් බැස්සා. එයාගේ ලස්සන මාව වශී කළා. .... නිල් පාට කොටු වැටිච්ච අත් කොට කමිසයට ගැලපෙන අළු පාට කලිසම. මං ආසාවෙන් එයා දිහා බලන් හිටියා.
එයා බැහැලා ඇවිත් මට හග් එකක් දුන්නා. එයාගේ ළඟින් අපූරු විලවුන් සුවඳක් දැනුණා.
අතේ තිබුණු පාර්සලය මට දීලා
"පොඩි තෑග්ගක් කිව්වා"
ඒක බර නෑ.
"යං ගෙට...." මට ඒක ඇරලා බලනකම් ඉවසුමක් තිබ්බේ නෑ.
අම්මා විතරයි ගෙදර හිටියේ. අම්මා ඇවිත් බෑනා පිළිගෙන ඉඳගන්න ඇරයුම් කළා. එයා කාලයට ඇවිත් සෝෆාවේ ඉඳගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් කතා කරලා ඈ ගෙට ගියා.
මං පාර්සලය ඇරියා. දිස්නෙ දිදී වයිට් ගෝල්ඩ් පොඩි මාලයක්. චූටි පොඩි ගලක් අල්ලපු පෙන්ඩන්ට් එකක්. ඒ විස්තරය ලියපු කාඩ් එකක් තිබුණා. ගල දියමන්තියක්. හැබැයි මිල ගැන මොනවත් ඒකේ නෑ.
"හොඳයි ද?" මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වුණා. මං එයාගේ ඇස් දෙක දිහා බැලුවා.
"ඉන්න මං දාන්න."
එයාම ඒක අරගෙන මගේ කරට දැම්මා.
"ගිහින් කණ්ණාඩියෙන් බලන්න."
මං දුවගෙන කාමරයට ගියා. එයාට එන්න කිව්වේ නම් නෑ. එයා ආවෙත් නෑ.
ඇත්තටම ලස්සන මාලයක්. මට නිතරම මාල දාලා පුරුදුත් නෑ.
"ලස්සනයි... තැන්ක් යූ සෝ මච්" කියාගෙන මං සාලයට ආවා.
අපි ටිකක් වෙලා අපේ ජීවිතය ගැන කතා කළා. සෙල්ලක්කාර කුරුල්ලෙක් වගේ පෙණුම තිබ්බට ටිකක් ගැඹුරින් ජීවිතය දිහා බලන පොඩි පණ්ඩිත බවක් කතාවේ තිබුණා. ඊට පස්සේ ගලක් යට හිටපු ගෙම්බෙක් ඉර පායපු ලෝකේ දැකලා මවිත වෙනවා වගේ වෙලා එකපාරටම
"ඉතින් මං ආවේ ඔයාගේ පියානෝ ප්ලේ බලන්න නේ..." කියලා එයාගේ ඇස් දෙක පියනෝ එක දිහා ට එල්ලවුණා.
"පියානෝ තාම ගෙදර ආවේ නෑ" කියලා මං සිරික්කියක් දැම්මා.
"මට ඕන දුවානෝ නේ!" එයා අර මං ආස කරන මනමාල බැල්ම දැම්මා. මං වෙනම ලෝකෙකට පියෑඹුවා වගේ කියලා හිතුණා.
"මොකටද ආස....." කියාගෙන මං පියානෝ එකට ඉඳ ගත්තා.
" ම්....
විශේෂයක් නෑ... Unchained melody ආසයි කිව්වා
මං ඒක ප්ලේ කළා. එයා දිගටම මගේ ඇඟිලි දිහා බලාගෙන හිටියා.
" හරිම ලස්සනයි සුරා. යූ ආර් එ ජීනියස්" කියලා මගේ ළඟට ඇවිත් මාව බදා ගත්තා. ඊට පස්සේ පහත් වෙලා
"ඔන්න මං හැමදාම දෙන්න බලාගෙන හිටි තෑග්ග" කියලා නළලට උම්මා එකක් දුන්නා.
ඒකෙ රසය ඇඟ පුරාම විදුලියක් වගේ යද්දී
"අම්මා දකියි......" කියලා මං එයාව හෙමින් එහාට තල්ලු කළා.
"ඉතින් අම්මා දැක්කම මොකෝ?" එයාට හැම දේම විහිළු.
එක අතකට ඇත්තනේ. දැක්කම මොකද? මොකද අම්මට ඕවා අලුත් දේවල් වෙන්න බෑනේ. අවුරුදුම තිහක විතර කසාද ජීවිතයක....
"එන්න පුතා තේ ටිකක් බොන්න" කියාගෙන අම්මා බෑනට සෙනේ පෑවේ මගේ හිතට ඉරිසියාවකුත් අරගෙන...හොඳයි හොඳයි අලුත් පුතා දූට වඩා හොඳ වෙලා වගේ.
ඒත් එක්කම අම්මගේ ඇහැ ගියේ මගේ කරට. වෙනදා පාළුවට තිබුණු කර දියමන්තියක් ඔබ්බපු වයිට් ගෝල්ඩ් මාලෙකින් සැරසිලා තියෙනවා දැක්කම ගෑනු කාගෙත් ඇස්වලට එන බැල්ම අම්මගේ ඇහෙත් තිබුණා.
"තෑගිත් ලැබිලා තියෙන්නේ" අම්මා කිව්වා.
"පොඩි තෑග්ගක්" සැමී කිව්වා. මේක පොඩි නම් ලොකු තෑග්ග කොහොම වෙන්න ඕනද කියලා මං කල්පනා කළා. අහස පොළොව ගැටලන ප්රශ්න මේවා!
©මාලිනීගනේවත්ත

Saturday, November 1, 2025

ලේලි - 7

 ලේලි - 7





"බබෝ" තිරයේ ගොරකා ලෙල්ලක් වගේ මූණක් දාගෙන සැමී මතු වුණා.
"ඇයි මේ මූණ නාලු වෙලා?"
"මෙන්න ඔයා අම්මා එක්ක විතරක් කතා කළා කියලා අක්කා තරහ වෙලා"
බුදාම්මෝ අම්මට විතරයැ මෙයාගේ බය. අක්කටත් ඒ වගේ නේ.
"ඉතින් මං ආසයි අක්කටත් කතා කරන්න"මං පුලුන් රැලකටත් වඩා සැහැල්ලුවෙන් කිව්වා. ප්රශ්න විසඳන හැටි ගැන පාඨමාලාවක් මං ජීවිත තක්සලාවෙ හදාරමින් සිටි නිසා මේවත් ප්රශ්න ද කියලා මට හිතුණා.
"ඉන්න මං කන්ටැක්ට් කරන්න." ලෝකයක් ලැබුණ තරම් සන්තෝසෙන් සැමී කිව්වා.
පොඩි වෙලාවකින් නෑනා තිරයේ මතු වුණා.
"නංගී" ආදරය බේරුණා.
"කොහොමද අක්කී?"
"හොඳයි.... කොහොමද ඔයාට?"
"හොඳයි"
"ඔයා අපේ ගෙදර මං කියන්නේ අපේ මහ ගෙදර එනවලු නේ...."
"ඔව්" මගේ පිළිතුර අනන්තයේදී හමුවීමට යන සමාන්තර සරල රේඛා තරමටම කෙලින්ම විහිදුණා.
"හ්ම්... හැම තිස්සෙම සම්ප්රදායම කරගහගෙන බෑ තමයි නේද නංගී.... "ඔරුවේ පෙරලුණු පිට හොඳයි කියනවා වගේ බටර් පාරක් බව මට ක්ෂණිකවම තේරුම් ගියා.
"ඔව් අක්කි.... දැන් හුඟක් මගේ යාලුවෝ එහෙම කරනවා."
"එහෙනම් මං ඔයා පිළිගන්න බලාගෙන ඉන්නවා හොඳේ"
" හා අක්කී... එදාට හමුවෙමුකො "
ඒකත් හරි... අර උන්දැගේ බය නැති කරන්න එපායැ.
ඒ දවසත් උදා වුණේ පරණ පුරුදු විදියටම ඉර නැඟලා තමයි. මට කියන්න බැරි වුණා. සමන්ත ගේ ගෙදරින් ආරාධනය අපට එහේ දවල් කෑමට.
ඉතින් උදේ නවයට විතර ලෑස්ති වෙන්න ගත්තා.
ගවුම ඇඳලා.... කරාබු දෙක දාලා.... කොණ්ඩය කැරලි විදියට පිටුපසට කඩලා දැම්මා. සාමාන්යයෙන් කරන මේක් අප් එක කර ගත්තා.
ළා රෝස පාට ලිප්ස්ටික් ආලේප කළා.
"ලස්සන ද අම්මා?"
අම්මා කන්න වගේ බලා ඉඳලා
"මගේ කෙල්ල" කියලා ඔලුවට උම්මා එකක් දුන්නා.
"හා හා කොණ්ඩය අවුල් කරන්න එපා" මං හැල ගෙම්බි වගේ පිම්බා. පව් අම්මා. මං අම්මගේ බෙල්ල සීරුවට බදා ගත්තා.
අම්මාත් හනි හනික මගේ ගවුමේ පාටට හරියන විදියේ මනිපූරි ඔසරියක් ඇඳලා පොටට කටුව ගහන එක මට පංගාර්තු කළා. ඊළඟට අගස්ති ඇට මාලෙයි බංගලි වළලුයි දා ගත්තා. ඔසරිය අඳින්න කලින්ම කොණ්ඩෙ ගෙඩිය බැඳලා ඒකට රත්තරන් කූර ගහන එක එයාගේ සිරිත.
" මෙයාට මඟුලට අඳින්න කොයි රටෙන් සාරි ගේන්න වෙයි ද දන්නේ නෑ"
තාත්තා අම්මා දිහා බලලා කිව්වේ මගේ පො කැට්ටුවට තමයි තට්ටු කියන එක නොකියා කියලා..
"නැතුව අපට මහ හුඟක් මඟුල් තියේ යැ ගන්න. කරන එක උඩින්ම කරන්න ඕන"
අම්මගේ මහන්තත්ත ගතිය වැට පැන්නා. තාත්තා පහතරට වුණාට අම්මා ඉතින් උඩරට මැණිකේ නොවැ.
" අනේ අම්මේ මේ දැන් ඕකට රණ්ඩු වෙන්න ඕන නෑ. මං කියන්නම් කෝ කරන්න ඕන විදිය. අනික තාම සැමීයි මායි තාම ඒ ගැන කතා කරලාවත් නෑ".
" සැමී ඒ කවුද පුතේ? "
" සමන්ත සමන්ත කෙටි කළහම සැමී.."
"අනේ අනේ මෙහෙමත් ළමයි.... ඒකත් නමක්ද දරුවෝ?"
"එයා ඒකට කැමතී අම්මා"
"හ්ම් දැන් ඔය වාද විවාද නවත්තලා අම්මල දූලා කාරෙකට යන්න. මං දොරවල් ලොක් කරලා එනකම්" තාත්තා ඉතින් කවදත් සාම මණ්ඩලයේ සභාපති කම කරනවනේ.
තාත්ත නම් සිම්පල් විදියට ඇඳලා හිටියේ. මං කිව්ව විදියට නිල් පාට අත්කොට කමිසෙට සුදු කලිසම.
තරමක් උස තාප්පය කෙළවර විශාල ගේට්ටුව ඇරලා දාලා තිබුණා. තාත්තා කාරෙක කෙළින්ම ඇතුළට දාලා ඒ පාර දිගේ ඉදිරියට ඇදුණා. දෙපැත්තේ ගණනට ලස්සනට කපපු අන්දර වැටක් තිබුණේ. වත්ත මැද නවීනතම නොවුණ නමුත් ගාම්භීර පෙනුමට තීබුණු දෙමහල් නිවසේ ඉදිරිපස කාරෙක නැවතුණා. මං වටපිට බැලුවා. මිදුල නරකමත් නෑ. මල් ටිකක් එහෙම වවලා තිබුණා. ටිකක් එහායින් අඹ රඹුටන් වගේ ගස් තිබුණා. මිදුලේ තණකොළ ගණනට කපලා තිබුණා.
නැන්දම්මා මාමණ්ඩි විතරක් නෙවේ තව මැදි වයසේ ඔසරියක් ඇඳි කතකුයි යුරෝපීය ඇඳුම් ඇඳපු පිරිමි කෙනෙකුයිත් ඉස්සරහට ආවා.
අපි බහිනකොටම එයාලා අත් එකතු කරලා ආයුබෝවන් කිව්වා..
මෙන්න මහ කලබලේකින් වගේ සැමී දුවගෙන ආවා.
"ආන්ටි අන්කල් මේ අපේ නැන්දයි මාමයි. අම්මගේ අයියා..."
එයා අර ජෝඩුව අපට අඳුන්වලා දුන්නා.
ඒත් එක්කම කොට ගවුමක් ඇඳගත්ත ඇඟපත ටිකක් ලොකුවට තියෙන කෙල්ලෙක් දුවගෙන ඇවිත් සැමීගේ අතේ එල්ලිලා
"කෝ සමන්ත අයියා සුරංගි අක්කී.... අක්කී...." කිය කියා මං ළඟට ආවා.
මොන උඩැක්කියක් ද මන්දා.... ඒකී සැමීගේ ඇඟේම දැවටුණා.
" සුරා මේ සහස්රා අපේ මාමගේ දුව"
" එහෙමද?" මං ඇහුවේ අමුතු විදියකට.
අපි ගේ ඇතුළට ඇවිත් ඉවර වුණා. ලස්සන ගවුමක් ඇඳගෙන හිටපු නෑනත් ඉස්සරහට ආවා. එයත් එක්ක අවුරුදු හතක විතර හුරුබුහුටි දරුවෙකු වූ එයාගේ පුතාත් හිටියා. ඊට පිටුපසින් හිටි උස මහත දුඹුරු පාට පිරිමියා හඳුන්වා දෙමින් එයා කතා කළා.
"මේ අපේ මහත්තයා.... මේ සුරංගිගේ පේරන්ට්ස් "
"අඳුනගන්න ලැබීම සතුටක්! මේ පුතුද? " අපේ තාත්තා නෑනාගේ සැමියාට අතට අත දී පුතාගේ ඔළුව අතගෑවා.
දරුවා මං දිහා බලලා ටිකිරි හිනාවක් පෑවා. මං පුතාගේ අත අල්ලගෙන
"හෙලෝ පුතා මොකක්ද පුතාගේ නම?"
"සිරිත් ජයවර්ධන"
"වාව් ලස්සන නමක්"
" පුතා ඉස්කෝලේ යනවද
"ඔව්..... ඉන්ටර්නැෂනල් ස්කූල් " දරුවා එයාගේ පාසලේ නම සඳහන් කළා. බොහොම සතුටින්
දිගටම දරුවා මගේ අත අල්ලගෙන හිටියා.
"ඉඳගන්න මිසිස් රණසිංහ.... දුව... මිස්ට රණසිංහ" බොහොම ආචාරශීලී ලෙස කියමින් අම්මලාට ආරාධනා කළ නැන්දම්මා "දුවේ" කියමින් මාව බදාගෙන උම්මා එකකුත් දුන්නා.
අර උඩැක්කියත් සමන්ත වටේම කැරකි කැරකී හිටියා....
සමන්තගේ මූණ ඒ තරම් හරි නැති බව මට පෙනුණා.
අපේ තාත්තයි සමන්තගේ තාත්තයි අර මාමයි නැන්දයි අපේ අම්මයි ඒ වෙනකොටත් කදේට සෙට් වෙලා.
ඒත් එක්කම නෑනා සේවිකාවකට යම් අණක් දුන්නා. ඒ සුමනා බව මං තේරුම් ගත්තා. එයා ගෙනාපු බීම බන්දේසිය නෑනා අතට අරන් අපට පිළිගැන්නුවා.
අපි බීම බොද්දී සරිත් කොහේදෝ දුවලා ගියා. සෙල්ලම් කරන්න වෙන්න ඇති. මං වාඩිවෙලා බීම තොල ගාමින් කතා නැතුව හිටියා. සමන්ත කතාව පටන් ගත්තා.
"ඒක නෙවේ සුරා... මේ සහස්රාට ඔයාගෙන් බයෝ අහගන්න ඕන ලු."
"ඔයා බයෝ ද කරන්නේ?" මං වෙනසක් නොපෙන්වා ඇහුවා.
"තාම පටන් ගත්තේ නෑ අක්කී"
"ඔව් තාම එක්සෑම් ඉවර වුණා විතරනේ" සැමී අත්වැල් ඇල්ලුවා.
ඒ අතරෙත් ඒකි සැරෙන් සැරේ සමන්තගේ අතේ එල්ලෙනවා.මේ මොන මළ කෝලමක් ද මට හිතුණා. පොඩි ළමයෙක් නම් කමක් නෑ. තඩි ඇඟපතක් එක්ක ළමිස්සියක්.
නැන්දම්මාට මේ අලකලංචිය තේරිලා වගේ අම්ල භෂ්ම උදාසීන කරන්න ඕනේ කියලා හිතලා වැඩේ වෙන අතකට මාරු කළා.
" සහස්රා පුතා එක්ක සෙල්ලම් කරන්න. මං අක්කට ගේ පෙන්නන්න යනවා."
එහෙම කියලා නැන්දම්මා මගේ අතින් අල්ලා ගත්තා.
"එයාලට කතා කරගන්න ඇරලා අපි යං දුව, ගේ බලන්න. ඔයාට ඕන කිව්ව නේ එන්න ඉන්න තැන කොහොමද කියලා බලන්න" කියමින් මගේ අතින් අල්ලගෙනම ගේ ඇතුළට ආවා. පුතා බැලිල්ල කෙසේ වෙතත් අර උඩැක්කිය සමන්තගේ උකුළෙද දන්නේ නෑ කියලා මට හිතුණා.
"ඔය පොඩි එකී ඒ දවස් වල ඉඳන් අයියත් එක්කම තමයි. තාම ඕ ලෙවල් වලට ඉඳ ගත්තා විතරයි."
මගේ හිත දැනගෙන වගේ නැන්දම්මා කිව්වා.
" ආන්ටී ඒ මාමලා මේ ළඟද ඉන්නේ?" මං බෝලයක් බැස්සුවා.
"කලින් හිටියේ මේ කිට්ටුව. දැන් අලුත් ගේ හදලා දුරට ගියා. දැන් ඉතින් වෙනදා වගේ දුවගෙන එන්න බෑ."
මගේ ප්රශ්නයට උත්තරේ ලැබුණා.
ඒ කතා අතරෙම නැන්දම්මා ගෙදර ගැන විස්තර කරමින් කාමර, බාත් රූම්, කිචන් එහෙම මට පෙන්නුවා..
අපි උඩ තට්ටුවට යද්දී අව්ව තැප ගන්න බලාගෙන ඉන්න මලානික තලගොයෙක් වගේ සමන්තත් ඇදිලා ආවා. මොන මෙන්න අර සක්කරවට්ටමත් පස්සෙන් ආවා. වචනයක් කතා කරන්නවත් ඉඩක් නැති හැටි.... කිසිම වැඩක් නෑ කියලා මට හිතුණේ. ඒත් මං එහෙම දෙවෙනි වෙන්න ඕනයැ කියලා හිතනවත් එක්කම කොහේද තිබුණු ධෛර්යයක් මගේ හිතට ආවා. ඇවිත් එක පාරටම මං සමන්තගේ අතින් අල්ලා ගත්තා. සමන්තත් මගේ අත මිරිකා ගත්තා. ආදරණීය බැල්මකින් මං දිහා බලාගෙන හිටියා. අරකී පැත්තකට වුණා. පස්සේ පහළට දුවගෙන ගියා.
මේ අලකලංචි ගැන ඒ වෙද්දී නැන්දම්මාට මෙලෝ සිහීයක් නෑ. උන්දෑ එයාගේ මාලිගාවේ විස්තර මට පෙන්නමින් දිගටම කතාව.
"මේ තමයි දුවේ උඩ මාස්ටර් බෙඩ් රූම් එක. මේකේ දැනට මං ඉන්නේ. ඔයාලා ආවම ඒක ඔයාලට....." කියලා නැන්දම්මා පොඩි මනමාල හිනාවක් දැම්මා.
"යටත් එකක් තියෙනවා නේද ආන්ටි?"
"ඔව් ඒකේ තාත්තා ඉන්නවනේ"
තාත්තා එකක මෙයා එකක විතරක් එහෙම ඉන්නේ ඇයි කියලා මට එක පාරට ඔළුවට ආවත් මං නිහඬව සිටියා. පළමුව ඒහි පස්සිකෝ නේ......
කාමරවල ඉන්ටීරියර් ඩෙකරේෂන් නම් ගොනයි මීමයි වගේ කියලා මට හිතුණා. ඇඳන් වල රෙදි එක පාටක්. කර්ටන් තව පාටක්. ගැළපෙන්නේ නැති පාටවල්. බලමුකෝ මං එනකම්. මං ඕවා වෙනස් කරලා ගන්නම්.
ගේ නරඹලා අපි පහළට ආවා. සහස්රා පුතා එක්ක සෙල්ලම් කර කර හිටියා.
"සහස්රා"
" ඇයි අක්කී? "
"ඔයාට ඒ ලෙවල් කරද්දී නම් වැඩ වැඩි වෙවි නේද?"
"ඔව් අක්කී.... මං කොහොම හරි මෙඩිසින් කරන්න ඕන...."
"කොච්චර හොඳද?හොඳට මහන්සි වෙලා වැඩ කළොත් බැරි වෙන එකක් නෑ නංගී"
"අක්කී හරිම හොඳයි. හැමෝම ඔය විදියට ආශීර්වාද කරන්නේ නෑ අක්කී" ඒකී අහිංසක විදියට කිව්වා.
"තැන්ක් යූ.... මං නම් ඉගෙන ගන්න ඕන ළමයෙකුට උදවු කරනවා."
" මාත් ආසයි අක්කිගෙන් ඉගෙන ගන්න."
" බලමු. මං තාම නම් ටියුෂන් කරන්නෑ නංගී."
ඒකත් හොඳ යෝජනාවක් නේද කියලා මට යටි හිතට හිතුණා. ඒත් මට මාස්ටර් එකේ වැඩත් එක්ක තව වැඩ පටලවාගෙනත් බෑ නේ.
මේ වෙද්දි දවල් භෝජනයට වෙලාව හරි. නැන්දම්මා අපට වතුර අල්ලලා ආරාධනා කළා.
සම්ප්රදායික විදියට තමයි කෑම බීම තිබුණේ. වරදක් නෑ. අපි හැමෝටම බඩගිනි වෙලත් තිබුණ නිසා ඉක්මනින් ඒ භෝජනය භුක්ති වින්දා.
ආතුරුපසට පලතුරු හා ජෙලි පුඩිං ලැබුණා.
" මගේ ජෙලි පුඩිං එක රසද නංගී?" නෑනා ඇහුවා.
ඇත්තටම ඒක රසයි
"හරිම රසයි අක්කී" මං හිතින්ම කිව්වා. කොහොම වුණත් නෑනගේ නිලයත් අල්ලගෙන ඉන්න එක ඉස්සරහට හොඳයි කියලා මගේ අන්තර්ඥානය මට උපදෙස් දුන්නා.
"දැන් ඉතින් මේ දෙන්නගේ අදහස් කොහොමද?"
කෑමෙන් පසු කතා බහේදී මාමණ්ඩි ටිකක් බර තියලා ඇහුවා.
"ටිකක් දෙන්නා කතා බහ කරගන්න එක හොඳයි නේද මිස්ට සපරමාදු?"
"ඔව් දෙන්නට අපේ ගෙදරදී කතා බහ කර ගන්න බැරුවයැ" අපේ අම්මා කිව්වේ හරියට මං සැමී එක්ක රට වටේ රෝන්දේ යයි කියලා බයටද දන්නේ නෑ. මගේ කැම්පස් යාළුවන්ගේ, සඳාලගේ ගමන් ගැන මං අම්මට ඇති වෙන්න කියලා තියෙනවා නේ. අනික පෙම්වතුන් කාලේ එයාලගේ අතීත ගමනුත් මතක් වෙනවා ඇතිනේ.
" ඒක හොඳ අදහසක් " නැන්දම්මාත් හොට දැම්මා.
" ඒ වුණත් අපි මේක කරනවා නම් අවුරුද්දක් තියලා වත් හොටෙල් බුක් කරන්න වේවි නේද?"ඒත් එක්කම අපේ අම්මා ලෝකේ ලොකුම ලොකු මඟුල හිතේ මවාගෙන ඇහුවා
"ඒකත් ඇත්ත" නැන්දම්මා කිව්වා.
"මට ඒවට කන්ටැක්ස් තියෙනවා.... තව ටික දිනක් බලලා.... නැකැත් හදලා හොටෙල් එකක් බුක් කරමු."අපේ තාත්තා විශ්වාසය පළ කළා.
ඊළඟට දිගටම කතා වුණේ මඟුල ගැන. මං මගේ අදහස් කිව්වා. මං කැමති අවුට් ඩෝ ෆන්ක්ශන් එකකට බව කීවා. සැමීත් ඒ අදහසට එකඟ වුණා.
ඒත් අවසාන තීරණයකට එළඹෙන්නේ නැතුවම සාකච්ඡාව ඉවර වුණා.
අපි සැමට සමු දීලා එන්න ලෑස්ති වෙද්දී සැමී මට කනට කරලා "මං ඊළඟ ඉරිදා ඔයාගේ පියානෝ වාදනය අහන්න එනවා" කියලා ඉංග්රීසියෙන් කිව්වා.
මං පියානෝ වාදනය දන්න බව එයා දැනගත්තේ එදා.

Tuesday, October 28, 2025

ලේලි - 6

 ලේලි - 6



 දැන් ඉතින් ඉස්කෝලේ ජරමරයි මාස්ටර් එකේ වැඩයි මදිවට මඟුල් සක්වලක වැඩත් පැටවුණා නේ. ඒකත් ඔළුව උඩ කළු ගලක් තියලා වගේ බරක්. තව කොහොම තියෙයිද මඟුල කෙරුණම. බලමු... බලමු මේ සුරංගි ඕන එකකට ඔට්ටුයි.

පහුවදා රෑ සමන්තට මං පළවෙනි වීඩියෝ කෝල් එක ගත්තා. ඊට කලින් කොණ්ඩේ එහෙම පීර ගත්තා. මේක් අප් දැම්මේ නෑ. යකාගේ විදියට නේ විමානේ තියෙන්න ඕන. නැත්නම් පහු පහු වෙද්දී කොහු කොහු වෙන්න පුළුවන්.
"හායි බබා..."
එහා පැත්තෙන් එක පාරටම මනමාල පාට මූණ මතු වුණා.
මං ඉතින් හලෝ විතරයි. බබා වත් මොකක් වත් නෑ.
"ඉතින්"
"කිතුල්"
"කිතුල් නෙවෙයි දැන් ඉතින් අපේ දිහා එන්න කදමළු බඳිනවා ඇති නේ?"
"කදමළු ගේන්න තව කල් තියෙනවා නේ"
"ඒකත් ඇත්ත. හැබැයි මට නම් මොනවත් ඕන නෑ"
" මොනවත්?"
"ඔව් මං කිව්වේ බඩු... සල්ලි වගේ ඒවා. දෑවැද්ද දෑවැද්ද"
"මේ බඩුව ආවම ඇති නේ?"
"ඇති ඇති ඉහටත් උඩින් ඇති"
" කෝ මට ආන්ටිට කතා කරන්න ඕන"
"දැන්? "
" නැතුව... තව දවස් පහයි නේ තියෙන්නේ. මං එන නිසා එයාට වැඩ වැඩිවෙයි නේ"
ඉන්න බලන්න..." අම්මා අම්මා..". අම්මෝ ඒ සද්දේ. අපේ ගෙදරට දෙවෙනි නෑ වගේ.
" ඇයි පුතා? "
" මෙන්න ඔයාගේ ලේලි... ආ... වැරදුනා දූ පොඩ්ඩ ඔයාට කතා කරන්න ඕන කියලා කියනවා. "
" මේ එනවා... ඔළුව වත් පීරලා නෑ. "
කියාගෙන නැන්දම්මා තිරයට ප්රාදුර්භූත වුණා.
" දුවේ! " ආදරේ බේරෙන මූණ.
"ආන්ටි"
" ඉතින් ඔයාට කොහොමද?"
"හොඳයි ආන්ටි... ඔයාට කොහොමද?"
" හොඳයි. ඉතින් ගෙදර වැඩ... දන්නවනේ මේ පුතණ්ඩියලා හිටියට තේ එකක් වත් හදාගන්න දන්නේ නෑ නේ. සුමනා හිටියත් මටත් මගේ පිළිවෙලට වැඩ නැතුවම බෑ ඉතිම්"
හැබැයි නැන්දම්මා ඔයාට ඕන විදියටම හැම දේම බෑ මං ඔය ගෙදරට අඩිය තිබ්බට පස්සේ හොඳේ. ඒ වචන මගේ උගුරේ හිර කරගෙන
"එහෙමද? මං ඕවා මෙයාට උගන්නලා ගන්නම්කෝ ආන්ටි..." කියලා මං කිව්වා.
" තේ හදන වැඩද? "
" ඔව් ගෙදර වැඩ පල"
" ඒක හොඳයි. .. එහෙමවත් හැදෙන්න එපායැ."
"ආන්ටි මාත් එනවා ඉරිදට."
මං ගහෙන් ගෙඩි එන්න වගේ කෙලින්ම කිව්වේ නැන්දම්මා ගේ ප්රතිචාරය මොකක් වේදෝ කියලා ලොකුවට හිතන් නැතුව. කොහොමටත් මං මේ ටීචිං කරන මාස ගණනට මිනිස්සු එක්ක හැසිරෙන විදිය ගැන මිසිස් ගුණවර්ධන ගෙන් බොහොම දේවල් ඉගෙන ගනිමින් හිටියේ. මං සැරින් සැරේ කියන්නම් කෝ ඒවා.
ඒ අනුව අපිට දෙයක් කරන්න ඕන නම් ඒක හොඳ දෙයක් නම් ඒක සිද්ධ වෙන තැනට වැඩේ වෙන්න ඕන. ඒ නිසා එක එක්කෙනා ගෙන් ඉල්ලීම් කරන්න ඕන ඒකට අදාළ කලාවට ලතාවට බව මං ක්රමයෙන් ඉගෙන ගත්තා. . මං ඉස්කෝලේ විෂය සමගාමී විදියට කරපු පරිසර සංගමයේ ළමයි කණ්ඩායම පන්ති වෙලාවේ වැඩවලට ගන්නේ හරිම අඩුවෙන්. නොකරම බැරි වෙලාවට. සාමාන්යයෙන් ඒ කටයුතු කරන්නේ බදාදා හවස නැවතිලා. ළමයි ටියුෂන් යන එක නතර කරගත්තා කටේ බලේට. ඔය අතරේ දවසක් උදේ වැඩකට මට ළමයි ගන්න වෙලා වයිසා ගෑනිගේ ආඩම්බර බලන්න වුණා.
"එහෙම බෑ... ප්රින්සිපල් අවසර දුන්නොත් විතරයි බ්ලා බ්ලා" එයාගේ තනතුරේ රස්නේ පෙන්නන්න පහත් තැනක් හොයන්න ඇති. මං අහුවෙයි ඒවට.
මං එදායින් පස්සේ කෙලින්ම පිනා ගේ අවසර ලියුම ශිෂ්ය නායකයෙක් අතේ එයාට යවනවා මිසක් මං යන්නේ නෑ එයාගේ දෙපතුල ළඟට. . පිනාට වුණත් කියන්නේ "සර් මෙන්න මේකට මං යනවා. පර්මිෂන් දෙන්න. "කියලා විතරයි. වැඳ වැටි වැටී අවසරගන්න මේවා අපේ පුද්ගලික වැඩ නෙවේ නේ. ඒ පුරුද්දට තමයි මං එදා නැන්දම්මාට කෙළින්ම කතා කළෙත් තෙපර බබා ඉන්නේ නැතුව.
"ඒක හොඳයි. මගේ යාළුවෙක්ගේ පුතාට කතා කළ ළමයත් ආවා ගේ දොර බලන්න. මොකද ඒ දරුවට හිතට හරි යන්නේ නැති තැනකට එන්න බෑ නේ. ඔය පරණ සිරිත්ම කර ගහගෙන යන්න ඕන නෑ නේ දුව? "
මරු නැන්දම්මෙක් නේ. පොසිටිව් ම උත්තරයක් දුන්නේ හිතපු නැති විදියට. ළඟ හිටියා නම් බෙල්ල බදාගෙන උම්මා එකක් දෙන්න තිබුණා.
"තැන්ක් යූ ආන්ටි.... මෙයා නම් බය වෙලා හිටියේ ඕක ආන්ටිගෙන් අහන්න" මං කියනවත් එක්ක එයා ෆෝන් එකට පැනලා
" නෑ අම්මා... මෙයාගේ බොරු" කියලා මට විරිත්තුවා.
" මේ මේක අපි දෙන්නගේ කතාව... නේද ආන්ටී? "
මං කියනවත් එක්කම නැන්දම්මා එයාගෙන් ෆෝන් එක උදුරලා ගත්තා. මටම හරියන නැන්දම්මෙක් නේ.
"ඔන්න ඔය දරුවා මගේ නම්බර් එකට ගන්න කෝ ඕන වෙලාවක."
" ඔව් ආන්ටි අපට එතකොට මෙයාගේ අගේ බලන්න ඕන නෑනේ"
ඔහොම කතාව ටිකක් දිගට ගිහින් නැන්දම්මා සීන් එකෙන් අයින් වුණා..කතාව නම් ටිකක් නයි ඇරිල්ලක් එක්ක තමයි. හොඳයි මං එනවා නේ ඉරිදට. එතකම් ඔය නයින්ට නිදාගන්න අරින්න අම්මයි පුතයි හොඳේ.
එයා ෆෝන් එක අරන් " බබා" ගෑවා ආයේ.
එයාට මං බබා. මට හොඳ අදහසක් ආවා.
"මේ මං ඔයාට කොහොමද කතා කරන්නේ අනේ? සැමී කියන්නද? සැමියා බිරිඳගෙ දෙවියාය නේ. අනික සමන්ත කෙටි කරහම සැමී වෙනවනේ? "
" ඒකත් නරක නෑ. ම්... මං ඔයාට සුරා... කියන්නම්. සුරංගී කෙටියෙන් සුරා. මං කොහොමත් සුරා මේරය මජ්ජ පමා නේ?"
හරිම බඩුවක් තමයි මෙයා. මටම ගැළපෙන මිනිහා.
" මේ ඔයා බොනවද සැමී? "
" ඔව්"
" ඒ.... හුඟක්? "
" ඔව් හුඟක්"
" මොනවද වර්ගය? "
" වතුර"
" හොරා... මට බොරු නම් කරන්න එපා පුතෝ"
" පොඩ්ඩක් ඉඳහිට ඔෆිස් පාටිවලදී තමයි. නැත්නම් අම්මගෙන් ඉඳලා හමාරයි. තාත්තා නම් ටිකක් බොනවා. ඒත් පාටියකදී විතරයි."
අම්මට තියෙන බයත් වෙලාවකට නරක නෑ කියලා මගේ අන්තර් ඥාණයට වැටහුණා. ඒත් සැමී මං ඔයාට නීති දාන්න එන්නේ නෑ හොඳේ. මං ඒ ටික කිව්වෙ නම් නෑ. ඒවා පස්සට. දැනට බය තිබුණා වේ.
" අපේ තාත්තා නම් බොන්නෙම නැති තරම්. බිව්වත් බියර් වයින් වගේ විතරයි."
"ඒ දෙන්නා දැන් හොඳට සෙට්... කලිනුත් ටිකක් දැනගෙන ඉඳලා තියෙනවා."
" ඔව් අපේ තාත්තා ඔයාලා ගැන සේරම දන්නවා. "
" ඩිටෙක්ටිව් දාලද බලල තියන්නේ
" ඒක මං දන්නේ නෑ. නිකම්ම පුළුවනෑ එකම දොණියැන්ද දෙන්න?"
"නැතුව නැතුව එසේ මෙසේ දූ පොඩ්ඩක් යැ. ඉතින් මං හොඳයි ලු ද?"
"කාටද?"
"තාත්තට?"
"තාත්තට ද හොඳ වෙන්න ඕන?"
"එහෙනම් දුවට හොඳද?"
"නරක නෑ"
"හෙර"
"මං මොනවද හොරකම් කළේ?"
"මගේ හිත....බබෝ. කාටවත් බැරි වෙච්ච මගේ හිත. ඉක්මනට මට ඔයා තනියම හම්බ වෙන්න ඕන"
"ඒ මොනවටද?"
තෑග්ගක් දෙන්න. .. ම්...
" ඒවට කල් තියෙනවා"
" බලමු..."
කතාව අන්තිම කළේ පියාඹන ඒ ජාතියේ තෑග්ගකින්.... මුළු හිතම පිරිලා ගියා.
ඊළඟට ඉරිදාට යෙදෙන ගමන තමයි ඔළුවේ වැඩ කරන්න ගත්තේ. සඳා තමයි කිව්වේ ඔය හැම මඟුලටම යාර හය පටලවන් යන්න ඕන නෑ හොඳ චාම් ගවුමක් අඳින්න කියලා. එදා ඉස්කෝලෙ ඇරිලා අපි ෂොපිං කළා. හොඳයි කියන තැන්වල වුණත් හිතට හරියන ගවුම් තිබුණෙ නෑ. රෙද්ද හොඳ වෙද්දී ගවුම අජූතෙට මහලා. ගවුම හොඳට මහලා තියෙද්දි රෙද්ද කමකට නෑ. අන්තිමේ මිමෝසා එකෙන් ටිකක් හිතට අල්ලන එකක් හොයා ගත්තා. ඒක වාටියේ හරියේ මල් වැටුණු ළා නිල් පාට එකක්. ඒකට හරියන සිම්පල් ටසල් කරාබු දෙකක් විතරක් සඳා තෝරලා දුන්නා. හීල්ස් එක්ක ෂූස් ජෝඩුවකුත් ගත්තා. එයා අඩි හයක් උස නිසා මට හයි හීල්ස් දාන්න පුළුවන්. මං අඩි පහයි අඟල් හතනේ.
"උඹලා දෙන්නා රූපයෙන් නම් නියමෙට මැච්"
සඳා හැමදාම කියූ දෙයක්.
"රූපෙ විතරක් හරිගිහින් බෑ බං"
"ඒක හරි.... ඒත් ඒකත් ලොකු දෙයක්. දැන් උඹ කොහොමද ඔය හැමදේම හරිද කියලා දැන ගන්නේ?"
"ඒක මං ඒ ඒ වෙලාවට බලාගන්නම් කෝ!"
"උඹ ඉතින් පණ්ඩිත රාළ නේ"
කොහොමහරි අපි දෙන්නා හැමදාම ෂොපින් කරද්දී වගේම අන්තිමට අතින් කටින් බෑග් එල්ලගෙන බස්වල එන්න බෑනේ. සල්ලි කියලා බලන්නේ නැතුව ඌබර් එකක් දාගත්තා. ඒ නිසා ගෙදර එද්දී ඒ තරම් මහන්සියක් නෑ.
සාරි පටලවන් යන්න කිය කිය හිටියට මං ගත්තු ගවුම තව දුරටත් සටනකින් තොරවම අම්මගේ හිතට ඇල්ලුවා.
ලස්සනයි සුදු මැණිකේ ගවුම නම්.... හොඳ වටින පෙනුමක් තියෙනවා. "
" ඒකනේ අම්මා.... හැම එකටම සාරිම ඕන නෑ "
" හ්ම්" බස්සියෙක් වගේ හ්ම් ගෑවේ නම් හොඳකට නොවන බව මට තේරුණා.
මඟුලට ඕන ඇඳුම් ගනිද්දී මොන මොන අඩව් අල්ලයි ද දන්නේ නෑ. මිසිස් ගුණවර්ධන නම් කියන්නේ මඟුල් දවස අයිති මනමාලිට කියලා. එයා මනමාලිට ඇඳගත්තේ තනියමලු. සේරම වුණේ එයාට ප්රමුඛතාව දීලලු. මටත් පිස්සු තාම මඟුලක් ළඟක ඇතෑ.... මිනිහා අඳුනගෙන ඉන්න එපායැ.
අපි මොනවද එහේ අරගෙන යන්නේ කියලා තමයි ඊළඟට ගෙදර සාකච්ඡා වුණේ.
" ඔය සාමාන්ය ගෙදරකට ඕන දේවල් ටිකක් අරන් යමු" ඒ තාත්තා.
සිංහල කම දෝරෙ ගලන තරමට නේ අම්මගේ සමහර වැඩ.
"අපේ කමට කැවිලි පෙවිලි ටිකක් සුමනට කියලා හදා ගමු " අම්මා අදහස් දැම්මා. මට ඒ එකක්වත් හිතට ඇල්ලුවේ නෑ.
මං මිසිස් ගුණවර්ධන ගෙන් ඇහුවම කිව්වා පළතුරු කූඩයකුයි හොඳ කේක් එකකුයි ඇති කියලා. කප් රුකෙන් පළතුරු කූඩේ ඕඩර් කළා. කේක් එක ස්පොන්ජ් එකෙන් කේක් එක ඕඩර් කළා.
©

Friday, October 24, 2025

මම හෙදියක වීමි

 මම හෙදියක වීමි



බේ ඇසේ මැකියුලර් හෝල් ශල්යකර්මය (Macular Hole Surgery)
ඔබ හැමෝම ඇසේ ව්යුහය ගැන යම් ප්රමාණයකට දන්නවා ඇතැයි සිතමි. ඇසේ පෙනුම ඇති කරන ස්නායු සෛල ඇති තිරය වැනි කොටස retina (දෘෂ්ටි විතානය) වේ. එහි ඇති තියුණු පෙනුම මෙන්ම වර්ණ පෙනුම සඳහා වන කොටස macula හෙවත් කහලපය වේ. මෙහි කුහරයක් ඇතිවීමේ තත්ත්වය macular hole නම්වේ. ඇසේ retina ඉදිරි යේ ඇති කුහරය vitrous බලන්න. (අම්මය රසය) නම් ජෙලිමය දියරයකින් පිරී ඇති අතර වයස් ගත වත්ම මේ දියරයේ ඇදෙනසුළු ගතිය අඩුවීම සිදුර ඇති වීමට හේතුවේ. ඒ සඳහා එක හේතුවක් නොව හේතු රැසක් ඇති බව දැක්වෙන අතර වයස්ගත පුද්ගලයන් ගේ වැඩිපුර ඇතිවේ.
මේ තත්ත්වය ඇති වූ විට ඒක දැන ගැනීමට ඇති රෝග ලක්ෂණ මොනවා ද?
පැහැදිලිව නොපෙනීම
ඇස ඉදිරිපිට දුඹුරු ලපයක් පෙනීම
කියවීම අපහසු වීම
ඇස ඉදිරියේ ඇති සරල රේඛා ඇදවී පෙනීම
සමහර විට වර්ණ දෘෂ්ටියට බාධා වීම
සියුම් කාර්යයන් හී යෙදෙන අයට වඩාත් අපහසු වේ. ඇතැම්විට ඔබට මේ තත්ත්වය තිබේද යන්න ඔබ නොදැන සිටීමද පුළුවන. ප්රතිකාර නොකර සිටීමෙන් සියුම් දෘෂ්ටිය නැත්තටම නැතිවී යාමට ඉඩ ඇත.
​මැකියුලර් හෝල් ශල්යකර්මය යනු ඇසේ මැකියුලාවේ ඇති වන මේ කුහරය (hole) අලුත්වැඩියා කිරීම සඳහා සිදු කරන ශල්යකර්මයකි. මෙම ශල්යකර්මය "විට්රෙක්ටමි" (vitrectomy) ලෙස හඳුන්වයි.
​ශල්යකර්මයේදී, ශල්ය වෛද්යවරයා ඇසේ ඇති ඉහත කී ජෙලි වැනි ද්රව්යය වන "vitrous humor " ඉවත් කර, ඒ වෙනුවට තාවකාලික වායු බුබුලක් (gas bubble) ඇතුල් කරයි. මෙම වායු බුබුල මගින් මැකියුලාවේ කුහරයේ දාර එකට තබා ගනිමින් එය සුව වීමට උපකාර කරයි.
​ශල්යකර්මයෙන් පසු, දින කිහිපයක් හෝ සති කිහිපයක් මුහුණ පහතට සිටින සේ සිටීමට වෛද්යවරයා උපදෙස් දෙයි. දවසේ කාලයෙන් 95%ක් බිම බලාගෙන සිටිය යුතුවේ. ඒ වගේම රාත්රියට ඇස ආවරණය කිරීමට ප්ලාස්ටික් ෂීල්ඩ් එකක් ලබාදේ. ඒ ඇස නින්දේදී තැලීම වැළැක්වීමට ය.
වායු බුබුල ක්රමයෙන් දිය වී යන අතර, පෙනීම යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් ගත විය හැකිය. එය ඇතුළත් කරන ලද වායුවේ ස්වභාවය මත රඳා පවතී.
වායු බුබුල ඇසේ තිබෙන තබියදී ගුවන් ගමන් හා ඉහළ උන්නතාංශ කරා නැගීම් නොකළ යුතුය. එසේ කිරීමෙන් වායු බුබුල තුළ පීඩනය වැඩිවී ඇස අන්ධ භාවයට පත්වීම පවා විය හැකිය. එමෙන්ම ශල්යකර්මයට බඳුන්වූ රෝගියා අතේ ගැටගසා ඇති ටැග්ස් දිගටම එසේ තබාගත යුතුය. ඒ යම් හෙයකින් ඒ අතර වෙනත් හදිසි තත්ත්වයක් මත රෝහල්ගත වීමට වුව හොත් අදාළ වෙෙද්ය කාර්ය මණ්ඩල වලට රෝගියාගේ ඇසේ වායු බුබුලක් ඇති බව දැනගැනීම පහසු වීමටය. කරනු ලබන ප්රතිකාර වායු බුබුල කෙරෙහි බලපෑමක් නොවිය යුතුය.
මේ දිනවල මම එවැනි රෝගියෙකු සඳහා හෙදිය බවට පත්ව හිඳිමි. එබැවින් ඔබේ දැනුම්වත් වීම උදෙසා මේ අකුරු මෙහි බහාලමි.

Sunday, October 19, 2025

මැරි... ලත් බෑ

 මැරි... ලත් බෑ



ලංකාවේ මළ ගෙයක් කියන්නේ අද වෙද්දී පිරිවැය අධික වගේම මළ කෙනාගේ සමීපතමයන්ගේ රිස්ස යන දෙයක් බවට පත්වෙලා තියෙනවා නේද? අර කොරෝනා කාලේ නම් මළගෙවල් ඒ තත්ත්වයෙන් මිදිලා තිබුණා. ඇත්තටම නොගිහින්ම බැරි එකකට විතරයි මිනිස්සු ගියේ.
දැන් ආයේ සුපුරුදු විදියට නේද? මළදා ඉඳන් මිනිය ප්රදර්ශනය කරගෙන කාගෙන බීගෙන දඟලගෙන....අන්තිමට කාපු බීපු අය පැත්තක. ගෙදර මිනිස්සු ණයත් වෙලා නට්ටම් වෙලා ඉවරයි.
පාලර් එකක මිනිය තියෙන ක්රමේ ආවයින් පස්සේ ඒ මහන්සිය හුඟක් අඩු වුණා. (එක්කො පැය 24 යි නැත්නම් පැය 48 !) පැකේජ් එකේ විදිහට තමන්ට ගැලපෙන එකක් තෝර ගන්ඩ පුලුවන්. මෙහෙම බලද්දී මුස්ලිම් අයගේ අවසන් කටයුතු කරන විදිහ තමයි හරිම ක්රමේ. මැරුනට පස්සේ මොන ප්රදර්ශන ද?
California වල අවමංගල්ය කටයුතු සිදුකරන විදිය ගැන විස්තරයක් මං ඔයාලට කියන්නම්.
​California වේ අවමංගල්ය කටයුතු තීරණය වන්නේ පුද්ගලයාගේ ආගමික විශ්වාසයන් සහ මූල්ය තත්ත්වය මත.
කෙසේ වෙතත්, ආදාහනය (Cremation)අද වනවිට වඩාත් ජනප්රිය වෙලා. භූමදානයට (Burial) වඩා වැඩි කැමැත්තක් ඒකට තියෙනවා.
කොහොම වුණත් ​පොදු අවමංගල්ය විකල්ප (Common Funeral Options) කීපයක් තියෙනවා.
​සාම්ප්රදායික අවමංගල්ය සේවය (Traditional Funeral Service) මෙහෙමයි.
​මෘත දේහය ප්රදර්ශනය කිරීමේදී (Viewing) - පෙට්ටිය විවෘතව හෝ වසා තියන්න පුළුවන්.
​විධිමත් අවමංගල්ය උත්සවයක් නම්
​සැමරුම සඳහා සුසාන භූමියට ගෙන යාම සහ භූමදානය (Burial) හෝ ආදාහනය (Cremation) සිදු කිරීම මේ වැඩ පිළිවෙළට අයත් වෙනවා.
නිදසුනක් විදියට ඔබ අද මළොත්....... කියලා කියනවට ඔබ කැමති නෑ නේ. ඒක මං අද මළොත් කියලා කියන්නම්..... ඒ කියන්නේ ඔක්තෝබර් 17 මං මළොත් මේ විධිමත් ආකාරයේ අවමංගල්ය උත්සවයක් ගන්න පාලර් එකක ඉඩක් ගන්න සෑහෙන කාලයක් මට තනියම හීතලේ ඩීප් ෆ්රීසරයකට වෙලා ඉන්න වෙනවා. ඉතින් පාලර්වල තියලා මාව බලන්න එන්න කෙනෙක් නැති නිසා මං ඔය ප්රදර්ශනය තෝරගෙන නෑ. කොහොමටත් ලංකාවේ මළත් මං ප්රදර්ශනයට කැමති නෑ.
මෙහේ ​ආදාහනය (Cremation) කරනවා නම් විදි දෙකයි.
1.​සෘජු ආදාහනය (Direct Cremation):
සරලම හා ලාභම විකල්පය මේක තමයි. මෙහිදී මෘත දේහය, කිසිදු උත්සවයකින් තොරව, මරණයෙන් පසු ඉක්මනින් ආදාහනය කරනවා. මේකට සාමාන්යයෙන් ඩොලර් දෙදාහක් තුන්දාහක් විතර තිබුණම ඇති. මට හොඳ මේ විදිය. (හැබැයි මං බොඩි ඩොනේෂන් වලට ලියාපදිංචි වුණා. එයාලා ඇවිත් අරන් යාවි.)
2. සේවාවක් සහිත ආදාහනය (Cremation with a Service):
ආදාහනයට පෙර මෘත දේහය ප්රදර්ශනය කිරීමක් හෝ පසුව අළු (ashes) සහිත සමරු සේවාවක් පැවැත්විය හැකියි. මේකට ඩොලර් දහ දාහක් විතර යනවා.
3. ​සමරු සේවාව හෝ ජීවිත සැමරුම (Memorial or Celebration of Life Service):
​මෘත දේහය නොමැතිව පවත්වන සේවාවක්. මෙය ආදාහනයෙන් හෝ භූමදානයෙන් පසුව පැවැත්විය හැකියි.
​භූමදානය (Burial) යේ විදි කීපයක් තියෙනවා.
1. ​මෘත දේහය සාම්ප්රදායිකව සුසාන භූමියක හෝ උඩු මහල් සුසාන ගෘහයක (mausoleum) තැන්පත් කිරීම.
2. ​හරිත භූමදානය (Green Burial): පරිසර හිතකාමී විකල්පයක් වන අතර, රසායනික ද්රව්ය හා ලෝහ පෙට්ටි භාවිතය වළක්වනවා.
​ආදාහන අළු බැහැර කිරීම (Disposition of Cremated Remains)
​අළු බැහැර කිරීම සඳහා විවිධ ක්රම තිබෙනවා
1. ​භූමදානය: අළු සුසාන භූමියක තැන්පත් කිරීම.
2. ​නිවසේ තබා ගැනීම: මේ සඳහා බලපත්රයක් අවශ්ය වෙනවා.
3. ​විසිරුවා හැරීම (Scattering): සුසාන භූමියක ඇති විශේෂිත උද්යානයක හෝ මුහුදේදී (වෙරළේ සිට යාර 500ක් දුරින්) විසිරුවා හරින්න පුළුවන්. පෞද්ගලික දේපලක විසිරුවා හැරීමට දේපල හිමිකරුගේ ලිඛිත අවසරය අවශ්ය වෙනවා.
​පිරිවැය (Cost of Funerals)
​California හි අවමංගල්යයක පිරිවැය වඩාත් ඉහළ අගයක් ගන්නා අතර, සේවා වර්ගය සහ ස්ථානය අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා. නගර ආශ්රිත ප්රදේශවල පිරිවැය ඉහළ යි .
රූපයේ තියෙන්නේ කැටයම් කිසිත් නැති හරිත මිහිදන් කිරීමක්!