'එතෙර'
සමදරා චාන්දනී දන්තනාරායන
-පැය කීපයක් ඇතුළත අපගේ ලෝකය එකවර කඩා වැටුණු හැටි පුදුමය. මේ මොහොතේ අනාගතය මා දුටුවේ එකම අන්ධකාරයක් ලෙසය.මා ජීවිතය එළිය කළ පහන ක්රමයෙන් මා දැස ඉදිරියේම නිවී යන හැටි මා හට දකින්නට සිදුවී ඇත. - පිටුව 356
සමදරා දන්තනාරායනගේ 'එතෙර' කියවා අවසන් කළෙමි. ඒ 2025 වසරේ කියවූ සිවුවන නවකතා පොත විදියටයි. පිටු 400කින් යුත් මේ කතාව දින දෙකක් තුළ කියවා අවසන් කළේ ඒක එක හුස්මට කියවන්න තරම් සිත් ගත් නිසාය.
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියවෙන කථාව එක්තරා විදියක තිලක්ගේ පාපෝච්චාරණයක් බඳුවේ.
ලංකාවේ පහළම සමාජ ස්තරයක පුද්ගලයෙකුට බොහෝ විට සමාජ සචලතාව ලබන්නට ඉනිමග වන්නේ අධ්යාපනයයි. නිදහස් අධ්යාපනය නිසා මේ පරිවර්තනය සිදුවන්නේ හැටවන දශකයෙන් පසුවයි. තිලක් ද එවැන්නෙකි. ඔහුට ඒ ඉනිමග නගින්නට අත්වැලක් සපයන්නේ ඔහුගේ මව බව පෙනේ. එහිදී ඔහු මුහුණ දෙන ගැටලු මධ්යම පන්තියේ කෙනෙකු එවැන්නකදී මුහුණ දෙන ගැටලුවලට වඩා බරපතල බව කතුවරිය පෙන්වා දෙයි.
ඉගෙනීම මෙන්ම ප්රේමය හමුවේද ඔහු මුහුණ දෙන ප්රශ්න සමාජ විද්යාත්මක හා මනෝවිද්යාත්මක පසුබිමක් ද සහිතව විස්තර වේ.
අද සමාජයේ ද දරුවන් මේ ඉනිමග නැංවීමට පෙර මං ගන්නෝ මවුවරු ය. එය හඹා යාමක් බඳුවේ. කුමක් අරභයා හඹා යන්නේද නොදැන දුවති. දරුවෝ අවසානයේ දුවගොස් හතිවැටී නතර වෙති.
කතා නායකයා තම අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට එතෙර (ජපානයට) යයි. එතැනින් ඕස්ට්රේලියාවටද නැවත ශ්රී ලංකාවට ද සංක්රමණය වීමට ඔහුට සිදුවේ. එක ප්රශ්නයකට දෙන පිළිතුර තව ප්රශ්නයක කරවටක් ගිල්වනු ලබයි. එතෙරදී ඉපදෙන දරුවන් ඒ සංස්කෘතිය තුළ අතරමං වෙන හැටි කතුවරිය විස්තර කරයි. එසේ වන්නේ දෙමාපියන් තම තමාගේ සංස්කෘතිය තුළ දරුවන් රඳවා ගැනීමට යම් යත්න දැරීමක් කරන නමුත් ඒ අතර ඒ රටේ සමාජය දරුවන් එයට උරා ගැනීමට දරන වෙර ඊට වඩා වැඩිවන බැවිනි. අනුවර්තිත පරිසරයේ මූලයන් ගෙන් උදුරා නුපුරුදු පරිසරයක පැළ කළ පැළ මෙන් ඔවුහූ කේඩෑරි වෙති. අවසානයේ දරුවන් ලොකු මහත් වෙද්දී එහෙටත් නැති මෙහෙටත් නැති ගන්ධබ්බ සිත් හා ශරීර ඇත්තන් වෙන හැටි කතුවරිය කියාපාන්නේ අප තුළද සංවේගයක් දනවන පරිදිය. මේ තත්ත්වය හැම රටකටම සංක්රමණය වන ප්රජාව තුළ දැකිය හැකිවේ. ඒ නිසා ඔවුහූ ඒ ඒ රටවල් වල කුඩා ශ්රී ලංකා හදාගෙන ජීවත් වෙන්නට බලන බව අත්දැකීමෙන් දනිමි. නොපෙනෙන අනාගතයක යම් දිනයක ලෝකය ජාත්යන්තරවාදී වුවහොත් පමණක් වෙනස් කොට තැකීම අවසන් වනු ඇත. එතෙක් අපි පීඩාවට පත් වෙමු.
කතාවේ පාත්ර වර්ගයා ඒ ඒ චරිතයේ සන්දර්භය තුළ හැසිරෙති. ඒ ඒ හැසිරීම් මනාව දැක්වීමට කතුවරිය සමත්වේ. තිලක්ගේ පියා, සමන්ති හා මොමොකෝ වඩාත් චමත්කාරජනක ලෙස මා සිත් ගනිති. අනිකුත් චරිතද සුන්දරය. එමෙන්ම ජපානයේ සංස්කෘතිය හා ආහාර පිළිවෙත්, උත්සව හා අනිකුත් චාරිත්ර වාරිත්ර ගැන කතුවරියගේ අත්දැකීම් හා අවබෝධය ඉහළ බව පෙනේ. ඒවා පාඨකයාට දැනුම හා අවබෝධය ඇති කරවයි. ඒවා කියවීමට රුචිවන ආකාරයට රසවත්ව ඉදිරිපත් වී තිබේ.
මා කතාවේ දකින ප්රධාන දුර්වලතාවය භාෂා භාවිතයයි. උක්ත ආඛ්යාත සම්බන්ධයේ බොහෝ තැන්වල එකම වරද දකිමි.
උදාහරණ : අප දැන නොසිටියෙමු. පිටුව 27
දරුවාගේ ඇඳුම් ඇය පිළිවෙළකට නවා තිබුණාය. පිටුව 196
ලාංකිකයන්.......... විනෝදවේ. පිටුව 263
මේ වැරදි කතාවේ අගය අඩු කිරීමට බලපාන බව මගේ හැඟීමයි.
ඉතින් සමදරා 'එතෙර' ගැන මගේ මේ අදහස් ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා සුළු හෝ පිටුබලයක් දෙනු ඇතැයි මම සිතමි. මම සාහිත්ය විචාරකයෙකු හෝ භාෂා ප්රවීණයෙකු නොවන බව විශේෂයෙන් සඳහන් කරමි. මා සිංහල ඉගෙන ගත්තේ සාමාන්ය පෙළ දක්වා පමණි.