Tuesday, August 26, 2025

බයෝ කරන හැමෝම දොස්තර වෙන්න ඕනද?

 බයෝ කරන හැමෝම දොස්තර වෙන්න ඕනද?















පිත් බයෝ කළෙත් දොස්තර වෙන්න තමයි. මං AL කරන කාලෙම නර්ස් වෙන්න හිතලා ඉන්ටවිව් ගියා. හොඳටම ලකුණුත් තිබුණා. ඒත් ඉන්ටවිව් බෝඩ් එකේ අය කිව්වා "දරුවෝ ඔයා විභාගය කරලා දොස්තර කෙනෙක් වෙන්න" කියලා.
මේ දොස්තර හීනය ඒ කාලේ ඉඳන් අපේ හිත්වලට දාලා තිබුණ එකක්. තාම ඒක වෙනස් වෙලා නෑ වගේ.
හැබැයි මං එක සැරයයි AL විභාගය කළේ. ඒකෙන් ලැබුණෙ බයෝ වලට යන්න මිසක් දොස්තර වෙන්න නෙවේ. ඒ කාලේ තිබුණෙත් සාමාන්‍ය සම්ප්‍රදායික විෂයයන් ටික විතරයි..
ඉතින් ගියා. ගිහින් හිතුවා විද්යාඥයෙක් වෙන්න. ඒත් දෛවය මා ගුරුවරියක් කළා. ඒ ලැබුණ දේ සතුටින් කළා.
දැන් බයෝ අයට වෙන වෙන මාවත් හුඟක් තියෙනවා නේද?
ඒ වගේම මෙඩිසින් යන්න ඉන්ජිනියරින් යන්න හොඳටම සුදුසුකම් තියෙන ළමයිත් හිටියා තමා කැමති වෙන මාවත් තෝරාගත්.

Wednesday, August 20, 2025

මොළය කන ඇමීබා ගැන අහලා තියෙනවා ද?

 මොළය කන ඇමීබා ගැන අහලා තියෙනවා ද?



මරිකාවේ South Carolina ප්රාන්තයේ Lake Murray නම් ජලාශයේ නෑමෙන් පසු අවුරුදු 12ක පිරිමි ළමයෙක් මේ ඇමීබා ආසාදනය නිසා මිය ගිහින් තියෙනවා. මේ ජලාශයට අපිත් ගිය බව මතකයි.
මොකා ද මේ ජීවියා?
මෙයා Naegleria fowleri. අයිති phylum Percolozoa වලට. මෙයා ඇමීබික විදියටත් කශිකාධර විදියටත් ඉන්න බවයි සඳහන් වෙන්නේ. නාසයෙන් තමයි මොළයට ඇතුළු වන්නේ. මොළයේ පටක විනාශ කරන නිසා brain eating amoeba කියලා කියනවා.
ඇමරිකාවේ වසරකට පුද්ගලයන් 10ක් පමණ මේ ආසාදනයට ගොදුරු වෙන බව පැවසෙනවා. 1962 - 2024 දක්වා පුද්ගලයන් 167 ක් ආසාදනය වී ඇති අතර සුවය ලබා ඇත්තේ 4ක් පමණයි.
පින්තූරයේ ඉන්නේ අපි දෙන්නා... Lake Murray ගිය ඈත දවසක දී

Sunday, August 17, 2025

වසර 30ක් පැරණි කළලයකින් දරු උපතක්

 වසර 30ක් පැරණි කළලයකින් දරු උපතක්



මරිකාවේ Ohio ප්රාන්තයේ Lindsey (35) හා Tim Pierce (34) යුවලට අවුරුදු 30ක් ශීතකර ගබඩා කර තිබූ කළලයකින් පුතෙකු ලැබී තිබෙනවා.
මෙය මෙසේ දීර්ඝතම කාලයක් තිබූ කළලයයි.
කළලය අයිති Linde Archerd (62) හා ඇගේ එවකට සැමියාටයි. ඒවා 1994 IVF ක්රමයට නිපදවූ කළල. ඇය කළල හතරක් එකවර ඇතිකර තියෙනවා. එයින් එකකින් ඈට දියණියක් ලැබීමට වරම් හිමිවුණා. නමුත් ඉතිරි ඒවායින් දරුවන් සෑදීමට පෙර ඈට සැමියාගෙන් වෙන් වීමට සිදු වුණා. සැමියාගෙන් වෙන්වූ පසුව ඈ ඒවා ඉවත් කර දැමීමට හෝ පර්යේෂණ වලට ලබා දීමට කටයුතු කර නෑ. ඒ තම දියණියගේ සොයුරු සොයුරියන් ලෙස හැඟීමක් ඇයට තිබී තියෙනවා. මුලදී මුදල් ගෙවා ගබඩා කර තැබූ කළල පසුව එක්තරා සංවිධානයක් විසින් භාරගෙන ගබඩා කර තබා තියෙනවා.
බිහිවූ මේ දරුවා තම තිස් හැවිරිදි දියණිය වාගේම බව Linde පවසනවා.

දර ළිප හා පිළිකා

 දර ළිප හා පිළිකා



ළිප්වල දර දැවීම නිසා එන දුමට දීර්ඝ කාලයක් නිරාකරණය වීමෙන් පෙනහැළි පිළිකා අවදානමක් ඇති බව සඳහන් FBප්රවෘත්තියක පෝස්ට් එකක කමෙන්ට් දැක්කම අපේ අධ්යාපනයේ තරම හොඳට වැටහෙනවා.
අපේ අත්තලා මුත්තලා ළිප ළඟ දවසේම හිටියා උන්දලට ඔය ලෙඩ තිබුණද අහනවා. හුඟක් අය හිතනවා ඒ කාලේ මිනිස්සු හැමෝම අවුරුදු සීයක් හොඳට ජීවත් වුණා කියලා. නමුත් ඒ කාලේ ආයු අපේක්ෂාව ගැන මේ උන්දලට කිසිම දැනුමක් නෑ. ඒ කාලේ ලෙඩ වෙනවා නමුත් ලෙඩේ නොදැනම මැරෙනවා. බෝවන හා බෝ නොවන රෝග වලින් පීඩා විඳිනවා. අද ආයු අපේක්ෂාව ඉහළ නිසා වයසක අය වැඩී. ලෙඩ ගැන සොයනවා පරීක්ෂණ කරනවා වැඩී. ඉතින් ලෙඩ්ඩුත් වැඩී. බෙහෙත් බි බී ඉන්නවා. අපේ තාත්තා ප්රථම හෟදයාබාධයෙන් මිය යනවිට වයස අවුරුදු 49යි. අපි දැන් ඒ වයස පහුකර ගොඩක් කල්. රෝග වලට ප්රතිකාර නැති වුණා නම් අපිත් දැන් නෑ.
අනික ඒ කාලේ ගෙවල්වල උයන ගෙය වෙනම තියෙනවා. වාතාශ්රයත් හොඳට තියෙනවා. අහිතකර පොලිතීන් ප්ලාස්ටික් පිළිස්සීමත් නෑ. ඒ අංශුත් නෑ. හැබැයි දර දුම් වලත් කාසිනෝජන් හා කුඩා ආංශුමය ද්රව්ය තියෙනවා.

Friday, August 15, 2025

ලූනු ගැන කතාවක්

 ලූනු ගැන කතාවක්

















ලොකු ලූනුවල පිට වේලිච්ච පොත්ත ගැලෙව්වම ඇතුළේ ඊළඟ පීල් එකේ දැළි වගේ පුස් තියෙනවා ඔයාලා දැකලා ඇති නේ. අද පෝස්ට් එකක මේක මාරාන්තික විසක් කියලා ලියලා තියෙනවා දැක්කා.
එහෙම දෙයක් නෑ. ඒ තියෙන්නේ Black mold. වැඩිපුරම තියෙන්නේ Aspergillus niger. මේක හානිකර නෑ. ඒවා සෝදලා දාලා ලූනු පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර විට ලූනු මේ දිලීර නිසා කුණු වෙලා නම් දුගඳ හා තැම්බී ගිය ගතියක් තියෙනවා. එතකොට ඒ ටික කපා දාලා ඉතුරු ටික ගන්න.
හැබැයි අපට හානිකර Aspergillus විශේෂ තියෙනවා. ඒවා තමයි Aspergillus flavus හා Aspergillus parasiticus. මේවා වැවෙන්නේ රටකජු වියළි මිරිස් කජු කොප්පරා වගේ ඒවා මත. මේ දිලීර Aflatoxin හදනවා. Aflatoxin අක්මා අක්රිය කිරීමේ සිට අක්මාවේ පිළිකා ඇති කිරීම දක්වා හානි අපට කරනවා. කොප්පරා වල මේවා හැදෙන නිසා ඒවායින් හදන පොල්තෙල් වල විෂ තියෙනවා. පොල්තෙල් අව්වේ ටික වෙලාවක් තැබීමෙන් ඒ අවදානම අඩු කරගන්න පුළුවන්. නමුත් ඉවීමෙන් හෝ බැදීමෙන් කෑම වල ඇති Aflatoxin විනාශ වෙන්නේ නෑ. එය තාපයට ඔරොත්තු දෙනවා.

Monday, August 11, 2025

පරණ කතන්දර ගෙදර පොල් තෙල් හිඳීම

 පරණ කතන්දර

ගෙදර පොල් තෙල් හිඳීම













කාලේ අපේ අත්තම්මා මාස කීපයකට සැරයක් ගෙදර පොල් තෙල් හිඳිනවා. අහළ පහළ ගෙවල් වල හිතවත් කාන්තාවන් පොල් ගාල දෙන්න එනවා. මමත් පොඩි කමට හිරමනේ වාඩි වෙලා පොල් ගානවා. එතකොට මට වයස අවුරුදු හතකට වැඩි නැහැ. දවසක් මම පොල් ගෙඩි දෙක තුනක්ම ගෑවලු. ඊට පස්සේ මට පොල් ගෑම එපාම වුණාලු. අත්තම්මට අනුව නම් මට අර ගැහැනුන්ගේ ඇස්වහ වැදිලා.
දැන් අපි බලමු ගාපු පොල් වලට මොකද කරන්නේ කියල. මේ පොල් විශාල හට්ටිවල රැයක්ම තම්බනවා. ඊළඟට මිරිකනවා. මිරිකලා බටපොතු වලින් හදපු කිරිගොටුවලින් පෙරනවා. මිරිකන්නේ අත් දෙකෙන් නිසා අත්තම්මගේ අණ අනුව මිරිකන අය හොඳට සබන් දාල අත් හෝදන්න ඕන. ඒ මොකද දන්නවද? වම් අත වෙන දේවල් හෝදන්න යොදාගන්න හින්දා . පළවෙනි කිරි අරන් අහක් කරපු කුඩු ලී වංගෙඩියේ කොටලා, මිරිකලා දෙවෙනි කිරිත් ගන්නවා. පොල් මිරිකලා ගන්න කිරි දියර ලොකු හට්ටියක ළිපේ තියල රත්කරනවා. ඒවාට කියන්නේ තෙලිජ්ජ. තෙල් පෑදෙන කොට හිල් පොල් කට්ටක් දියර මත පා කරනවා. පොල්කට්ටේ එකතුවන දියර වෙන ලොකු හට්ටියකට එකතු කරනවා. ඒ දියරයට කියන නම් කිරිජ්ජ. කිරිජ්ජ වලට හාල් දාල හොඳට හැඳි ගාල ලිනු එහෙම දාල කිරි කැඳ හදනවා. පොල් කට්ට දාගෙන ඉන්න හට්ටියේ ඉතිරි වන්නේ පෑදුණු තෙල් හා වෙන් නොවුණු කිරිජ්ජ ටිකක්.
දැන් ඒ තෙල් සහිත කොටස ආයෙමත් ලිපේ තියල රත් කරනවා. එවිට සුවඳ හමන්න ගන්නවා. හතර වටේම දැන ගන්නවා ගෙදර තෙල් හිඳින බව. තෙල් රන්වන් පාට වුණහම ලිපෙන් බාල නිවෙන්න අරිනවා. කොස් කොළ ගොටුවක් හදල ඒකට ඉරටු කෑල්ලක් ගහල පුනීල හදනවා. පිරිසිදු වියළි බෝතල් කටට අර කොස් කොළ පුනීල තියල අර තෙල් පුරවනවා. මේ තෙල් කිසිම විස ද්රව්යකින් තොර කල් තබාගත හැකි මුඩු නොවන ඉතාම පිරිසිදු ඒවාය. හට්ටියේ ඉතුරු වෙන්නේ තෙලිකා. ඒවත් කන්න පුළුවන්. පැණි රස වැඩි නිසා වැඩිපුර කෑවොත් මත් වෙනවා.
අවුරුදු සීයක් පරණ පොල් තෙල් බෝතලයකුත් ආත්තම්මා ගේ බෙහෙත් බඩු රාක්කයේ තිබුණා.

Wednesday, August 6, 2025

දිනය මතක නෑ

 දිනය මතක නෑ



















දිනය මතක නෑ
1983 ජුලි වෙන්න ඕන
ලොකු පුතා විතරයි හිටියේ
කොටි එනවා යයි ආරංචියකට
දරුවත් අරන්
අපි ගෙදරින් දුවගෙන ගියා
ගියා ගියා ගියා
ඇරැව්වල පැත්තේ
කවදාවත් නොගිය පාරවල්වල
මිනිස්සු කැති පොරෝ අරගෙන
මෝල්ගස් උස්සගෙන දිවුවා
කවුරුවත් ආවේ නෑ!
අපි ආපහු ගෙදර ආවා!
පස්සේ කලු ජූලිය ආවා
ඒ බිහිසුණු දේවල් දැක්කේ නෑ
සමූපකාරයේ පෝලිමේ ඉඳන්
සලාක දේවල් ගත්තා!
අපි මොන තරම් රැවට්ටුවද?
අපි මොන තරම් රැවටුණද?