Monday, August 11, 2025

පරණ කතන්දර ගෙදර පොල් තෙල් හිඳීම

 පරණ කතන්දර

ගෙදර පොල් තෙල් හිඳීම













කාලේ අපේ අත්තම්මා මාස කීපයකට සැරයක් ගෙදර පොල් තෙල් හිඳිනවා. අහළ පහළ ගෙවල් වල හිතවත් කාන්තාවන් පොල් ගාල දෙන්න එනවා. මමත් පොඩි කමට හිරමනේ වාඩි වෙලා පොල් ගානවා. එතකොට මට වයස අවුරුදු හතකට වැඩි නැහැ. දවසක් මම පොල් ගෙඩි දෙක තුනක්ම ගෑවලු. ඊට පස්සේ මට පොල් ගෑම එපාම වුණාලු. අත්තම්මට අනුව නම් මට අර ගැහැනුන්ගේ ඇස්වහ වැදිලා.
දැන් අපි බලමු ගාපු පොල් වලට මොකද කරන්නේ කියල. මේ පොල් විශාල හට්ටිවල රැයක්ම තම්බනවා. ඊළඟට මිරිකනවා. මිරිකලා බටපොතු වලින් හදපු කිරිගොටුවලින් පෙරනවා. මිරිකන්නේ අත් දෙකෙන් නිසා අත්තම්මගේ අණ අනුව මිරිකන අය හොඳට සබන් දාල අත් හෝදන්න ඕන. ඒ මොකද දන්නවද? වම් අත වෙන දේවල් හෝදන්න යොදාගන්න හින්දා . පළවෙනි කිරි අරන් අහක් කරපු කුඩු ලී වංගෙඩියේ කොටලා, මිරිකලා දෙවෙනි කිරිත් ගන්නවා. පොල් මිරිකලා ගන්න කිරි දියර ලොකු හට්ටියක ළිපේ තියල රත්කරනවා. ඒවාට කියන්නේ තෙලිජ්ජ. තෙල් පෑදෙන කොට හිල් පොල් කට්ටක් දියර මත පා කරනවා. පොල්කට්ටේ එකතුවන දියර වෙන ලොකු හට්ටියකට එකතු කරනවා. ඒ දියරයට කියන නම් කිරිජ්ජ. කිරිජ්ජ වලට හාල් දාල හොඳට හැඳි ගාල ලිනු එහෙම දාල කිරි කැඳ හදනවා. පොල් කට්ට දාගෙන ඉන්න හට්ටියේ ඉතිරි වන්නේ පෑදුණු තෙල් හා වෙන් නොවුණු කිරිජ්ජ ටිකක්.
දැන් ඒ තෙල් සහිත කොටස ආයෙමත් ලිපේ තියල රත් කරනවා. එවිට සුවඳ හමන්න ගන්නවා. හතර වටේම දැන ගන්නවා ගෙදර තෙල් හිඳින බව. තෙල් රන්වන් පාට වුණහම ලිපෙන් බාල නිවෙන්න අරිනවා. කොස් කොළ ගොටුවක් හදල ඒකට ඉරටු කෑල්ලක් ගහල පුනීල හදනවා. පිරිසිදු වියළි බෝතල් කටට අර කොස් කොළ පුනීල තියල අර තෙල් පුරවනවා. මේ තෙල් කිසිම විස ද්රව්යකින් තොර කල් තබාගත හැකි මුඩු නොවන ඉතාම පිරිසිදු ඒවාය. හට්ටියේ ඉතුරු වෙන්නේ තෙලිකා. ඒවත් කන්න පුළුවන්. පැණි රස වැඩි නිසා වැඩිපුර කෑවොත් මත් වෙනවා.
අවුරුදු සීයක් පරණ පොල් තෙල් බෝතලයකුත් ආත්තම්මා ගේ බෙහෙත් බඩු රාක්කයේ තිබුණා.

No comments:

Post a Comment