Thursday, September 25, 2025

ලේලි - 2

 ලේලි - 2



වෙනදා බුලත් තට්ටුව දෙනකොට මනාලයාගේ මූණ බලනවට වඩා මෙදා මට අමුත්තක් දැණුනා. මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා වගේ. එයත් මං දිහා බැලුවේ බැල්ම ඇඟ ඇතුළට කා වදින්න.
බුලත් තට්ටුව අරන් ස්ටූල් එක උඩ තියලා මට එයා ළඟින් වාඩි වෙන්න කිව්වා. මං ටිකක් ඈත්වෙලා ඉඳගෙන සාරි පොට අරන් සීරුවට උකුළේ තියාගත්තා. ඊළඟට මනුස්සයා ගේ ඇඳුම දිහා එහෙම ටිකක් බැලුවා ඇස් ගැටෙන්න නොදී. වරදක් නෑ. සිම්පල් ඇන්ඩ් ස්වීට්. ඇද කුදයක් කියන්න බෑ. එයත් කතා කරන්න වචන හොයනවා වගේ දැනුණේ.
"ඉස්කෝලෙ හොඳද සුරංගී?"
කතා කරන්න වෙන දෙයක් නැද්ද මන්දා? ඉස්කෝල නරක ඒවා තියෙනවයැ. මගෙ කට කහන පළීයට කතා කරන්නත් බෑ නේ.
"හොඳයි. ළමයින්ට නේ උගන්වන්නේ. නරක ළමයි කියලා ජාතියක් නෑ" මං වෙන විදියකට උත්තර දුන්නා. ඒත් එක්කම මට අම්මා දිහා බැලුණා.
අම්මා මට විතරක් පේන්න දබරැඟිල්ල තොල උඩ තිව්වා. අරයා ඒක දැකලද මන්දා කට වහගෙන හිනා වුණා.
"දූට තාම පුරුදු නැතුව ඇති. තාම මාස දෙක තුනයි නේ ගිහින් " ඒ මගේ වෙන්න නැන්දම්මා.
මොකෝ මට පුරුදු නැත්තේ. මං විශ්ව විද්යාලයෙත් අවුරුද්දක් ඉගැන්නුවා මිසක් පොල් ගෑවයැ. ඒත් ඉතින් නෝ කතා! මටත් කතා කරන්න දවසක් ඒවිනේ!
"ඔව් ටික ටික පුරුදු වෙනවා."
"මං ඉතින් අවුරුදු තිහක්ම දැන්."
උන්දැත් ටීචර් කෙනෙක් බව මට එවෙලෙයි මතක් වුණේ. එයත් සාමාන්ය පෙළ මැත්ස් ටීචනේ. ඉතින් පුතණ්ඩිය ඉංජිනේරුවෙක් කරන්නම උගන්නගෙන තියෙන්නේ ඔය.
" නංගී දිගටම ටීචිං ඉන්නවද?"
ඒ මගේ වෙන්න නෑනා. එයා තමන්ගේ උප දිසාපති පට්ටමේ ලොකුව ඔළුවට අරන් වගේ.
"ඔව් මං ටීචිං වලට ආසයි."
"ආස නම් කමක් නෑ. මං ඕක කළේ මාස හයයි. ඊට පස්සේ එස් එල් ඒ එස් ගත්තා. ඔයා වුණත් වයස යන්න කලින් ඕන නම් ජොබ් එක වෙනස් කර ගන්න ඕන. ඉහළ තත්ත්වයක එකක් නම් වටිනවනේ! "
නෑනා පොඩ්ඩගේ කියවිල්ල ඉවර වෙන්නේ නෑ නේ. මොකද උපාධි ගුරුවරියකට තත්ත්වයක් නැතුවයැ. මට ඕන නම් මං දැනටත් මාස්ටර් කරමින් ඉන්න එකේ කැම්පස් එකේ ලෙක්චර් පෝස්ට් එකක් ඉල්ලනවා නේ.
" කොච්චර වුණත් ගෑනු ළමයින්ට හොඳ ටීචිං තමයි" නැන්දම්මා හොට දාපි.
" ගෙදර වැඩ කටයුතු ටිකත් බලාගෙන රස්සාවත් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නේ!" එයාගේ අදහස් තහවුරු කරන්න අනුපානත් එකතු කළේ ඔය.
අනේ මන්දා මට නම් ගෙදර ඇවිල්ලත් පැය ගණනක් ඉස්කෝලේ වැඩ. ප්රශ්න පත්රය හදන්න ලේසියෙන් බෑ. පරණ ඒවා කියවලා ළඟදිම නොදීපු ප්රශ්න තෝරලා එහෙම. සෑහෙන්න මහන්සි වෙන්න ඕන. ඔන්න නැන්දම්මේ මට කියලා ගෙදර වැඩ ඔක්කොමත් කරගන්න හිතනවා නම් ඒ අදහස දැම්මම හිතින් අයින් කර ගත්තොත් හොදයි හොඳේ.
" අද හස්බන්ඩ්ට බිස්නස් වැඩක් ඒකයි එන්න බැරි වුණේ." නෑනා එයාගේ ස්වාමිපුරුෂයා මේ වැඩේට නොඒම ගැන හේතු දැක්වූවේ උන්නැහේ ගේ සල්ලිකාරකමත් ඒ වගන්තියට එකතු කරලා. විදුලි උපකරණ සම්බන්ධ ව්යාපාරයක් කරනවා කියලා නේ තිබුණේ.
තාත්තයි මාමණ්ඩියයි ඉංග්රීසියෙන් මොනවද දේශ පාලන කතාවක්. අපේ ඒවට අවධානයක් තිබුණෙ නෑ. නීතිඥයෝ දෙන්නෙක් එකතු වුණහම හරියට අලුත් කඩේ වගේ නැතුවයි. මෙදා සැරේ තාත්තටත් හරියන මස්සිනෙක් ලැබිලා වගේ.
මනමාලයා නම් හිනා වේ ගත්ත ගමන්මයි හිටියේ. කතා කරන්න අක්කගෙයි අම්මගෙයි අවසරය ඕන නිසාද කියලත් මට හිතුණා. හැබැයි ඇස් දෙක නම් නිතරම තිබුණෙ මා ගාව.
"ඇත්තටම මිසිස් රණසිංහ මට ඕන මගේම දුවෙක්. මට ලේලිලා ඕන නෑ" ඒ පාර අපේ අම්මා අමතමින් නැන්දම්මා පටන් ගත්තා. අම්මේ! ඒ වචනවල ලස්සන. මට මී පැණියි අලිගැට පේරයි මතක් වුණා.
ඉතින් මං මේ ගෙදර එකම දූ පොඩිත්ත තමයි. ඒක වෙනස් කරන්න මේ සම්මජාතියේ කාටවත් බෑ හොඳේ නැන්දම්මා!
තව ටිකක් වෙලා දෙපැත්තේ පම්පෝරි වලට ගත වුණා. ඊළඟට අම්මා මට දුන්න සංඥාව අනුව මං නැඟිටලා ගිහින් මේසේ උඩ පොඩි බන්දේසියක ලෑස්ති කරලා තිබුණ වතුර වීදුරුව අරන් ඇවිත් මුලින්ම වෙන්න නැන්දම්මාටයි ඊළඟට වෙන්න නෑනාටයි ඇල්ලුවා.
ලේඩීස් ෆස්ට්... යුරොපයේ අනතුරුදායක අවස්ථාවලදී මුලින් ගෑනු බේරගන්න ඇති කරගත් එකක් දැන් හැම එකටම ගන්නවනේ.
"තේ ටිකක් බොමු නේද?" ඒ අපේ අම්මා.
මං අරයට වීදුරුව දුන්නේ අන්තිමට. මගේ මූණ කන්න වගේ බලාගෙන ඒක අතටම ගත්තේ නැතැයි. අරන් වතුර ටිකක් බිව්වත් එක්ක. ඒකට එයාගේ අම්මා එයාට රැව්වා මට යට ඇසින් පෙනුණා.
කට්ටිය නැගිටලා තේ මේසෙට ගිහින් වාඩි වුණා.
"මෙයාගේ වැඩ තමයි" අපේ අම්මා අතිශෝක්තියට බර වුණා. මං හදන ඕන කෑමක දොසක්ම දකින අම්මා කවුරුහරි ඉස්සරහ නම් වරුණාව ඉවරයක් නෑ. තේ මේසේ කේක්' කැවුම්, කොකිස්, හැලප, වැලිතලප, කෙසෙල් වගේ ඒවා පුරවලා තිබුණා. කේක් එක නම් හැදුවේ මං තමයි.
"අපෝ ඔය කැවුම් නම් මං හැදුවේ නෑ. මට ඕවයේ කොණ්ඩ ගන්න බෑ" ඒ සැරේ නම් මගේ කටට බ්රේක් නැති වුණා. අම්මා හොරෙන් මට රැව්වා.
"හැමෝටම හරියට කැවුම් හදන්න බෑ තමයි" වෙන්න නැන්දම්මා කිව්වේ එයාට ඒක පුළුවන් බව වක්රව කියන එක කියලා මට තේරුණා.
එයාගේ ඇස් ඒ අතරේ ගේ පුරා කැරකුණා. ඒ ගෙදර අපේ පරම්පරාවේ උරුමය නේ. බැලූ බැල්මට වලව්වවක ස්වරූපය තියෙනවා. ඉස්තෝප්පුව, සාලය, බරාඳය, සොල්දරය නිදන කාමර වගේම අලුතින් හදපු නාන කාමර ඔක්කොම අම්මා හොඳට ගේ නඩත්තු කරනවනේ.
ඒ වගේම ඇන්ටික් වටිනාකම තියෙන ගෘහ භාණ්ඩ ඕන කෙනෙකුගෙ හිත ඇදිලා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
අර කැවුම් කතාව ඇහිලා තාත්තා කට දැම්මා.
"මෙයාටත් ඉතින් බතක් පරිප්පුවක් හදාගන්න බැරි නෑ. අනික්වා නම් ඉතින් ඔය සුකුරුත්තං කෑම තමයි. හැබැයි අපරාදේ කියන්න බෑ මෙයා ඒවා නම් හොඳට හදනවා" තාත්තා ඇත්තම කිව්වා. මෙයාලා ගියාට පස්සේ තාත්තාට කන්වල ඇඟිලි ගහගෙන සෑහෙන වෙලාවක් ඉන්න වේවි බව අම්මාගේ ඇස් දෙක මට කිව්වා.
පුතණ්ඩියා ඇතුළු හැමට කන්න නම් බැරි කමක් නැති බව පෙනුණා. මේසේ තිබුණ ඒවා තුනෙන් දෙකකට එයාල වග කියලා තිබුණා.
තේ බීලා ඉවර වෙලා සාලයට ගිහින් තමයි මාමණ්ඩී කට ඇරියේ.
"දෙන්නා කැමතී නම් මේ වැඩේට අපි කැමතී"
"ඔව් හඳහන් දෙකත් හොඳටම පෑහෙනවා. වෙන බලන්න දෙයක් නෑ" ඒ අපේ තාත්තා.
මං අරයගේ මූණ බැලුවා. එයා ඔළුව වනලා අමුතු හිනාවක් දැම්මා. ඒ කියන්නේ කැමති ද අකමැති ද
"එහෙනම් අපි ඒ දෙන්නට ටිකක් කතා කරගන්න දෙමු නේද?" ඒ මාමණ්ඩියා.
"අද කාලේ ඉතින් ෆෝන් වලින් ඕන තරම් කතා කරන්න බැරුවයැ." ඒ අපේ තාත්තා.
ඒත් එක්කම අපි දෙන්නා සාලේ ඉඳිද්දි එයාලා ඉස්තෝප්පුව පැත්තට ගියා.
මට ටිකක් මොකක්දෝ වගෙ හිතුණා. පපුව පොඩ්ඩක් විතර ලබ් ඩබ් සද්දේ වැඩි කළා. ඒත් පොඩි වෙලාවකින් මං මමම වුණා.
"ඉතිං සුරංගී?"
"ඉතිං තමයි."
"මොකද ඔයාගේ අදහස? "
" මොකක් ගැනද? "
" මං ගැන ළමයෝ "
"මිස්ටර් සමන්ත සපරමාදු! ඔන්න ඔය ළමයෝ කතා මට ගැළපෙන්නේ නෑ. මං සුරංගී. අවුරුදු විසි හයක තරුණියක්. ළමා කාලය පහු වෙලා අවුරුදුම අටක් හොඳේ " මං දබරැඟිල්ල උරුක් කරලා කිව්වා.
" අම්මෝ මෙයාගේ සැර. හරි සුරංගී මං ගැන අදහස මොකක්ද? "
" තව ටිකක් හිතන්න ඕන" මං ගණන් ඉස්සුවා. විලියම් කුමාරයට වුණත් සුදුසු මට නිකම්ම එක පාරට මේ ඇටිකිච්චෙකුට හා කියන්න බෑ නේ.
"මොනවද?"
"මේ ගැන."
"මං නම් කැමතී."
"බලමු."
" හා මං ඔයා හිතලා කියන කම් ඉන්නම්. "
" මීට කලින් මනමාලියෝ බැලුවේ නැද්ද?"
"බැලුවා."
"කීදෙනෙක් ද?"
"පහළොවක් විතර."
"අම්මෝ... ඒ කවුරුවත් ළඟ නැති මං ළඟ තියෙන දේ මොකක්ද?"
" මට ඒක තේරෙන්නෑ. මට ඔයාට හිත ගියා."
" කැම්පස් එකේ කෑලි හිටියේ නැද්ද?"
"ඔයාට හිටියද?"
" නෑ. මට හරියන කෙනෙක් හම්බවුණේ නෑ "
"මට නම් දෙක තුනක් ළාවට තිබිලා නැති වුණා."
මනුස්සයා ඇත්ත කියනවා වගේ.
" ඔයත් මීට කලින් මනමාලයෝ බලලා ඇතිනේ
"නැතුව? ඔයා අටවෙනියා. හැබැයි මං ඒ කාටවත් කැමති වුණේ නෑ."
"ඒ කියන්නේ මට කැමතී."
මෙයත් ලේසි පාසු නෑ වගේ. ඒත් මං එක පාරට කැමැති බව ඇඟෙව්වේ නෑ.
"මං කිව්වනේ තව ටිකක් හිතන්න ඕන."

Saturday, September 20, 2025

ලේලි - 1

 ලේලි - 1


මේ අපි ලක ලෑස්ති වුණේ අටවැනි වෙනි මනමාලයා ගෙවල් දොරවල් බලන්න එන දවසේ එයා පිළිගන්න. ඒ වෙනකොට පළවැනි එක්කෙනා එද්දි වගේ කෝල ගතියක් නෑ. පළවෙනි එක්කෙනා එද්දී හරිම වදයක් නේ වින්දේ අම්මත් තාත්තා එක්ක යාලු වෙලා නේ කසාද බැඳලා තියෙන්නේ. ඉතින් මනමාලයෝ ගෙදරට එන එක ගැන අදහසක් එයාට තිබුණෙ නෑ.
හැබැයි නැන්දලා බලන්න මහ ගොඩක් මනමාලයෝ ඇවිත් තිබුණ නිසා තාත්තා නම් ඒ ගැන දන්නවා ඇති කියලා හිතුවට තාත්තාට අපි උපන් දිනයක් වත් මතක නැති එකේ ඒවා කොහොම මතක හිටින්නද?
ඉතින් දන්න දන්න අයත් එක්ක කතා කරලා එදා තේ මේසයක් එහෙම හදලා ලෑස්ති කළා නොම්මර එකට. උපාධිය පාස් වෙලා හිටියට මං එතකං රස්සාවකට ගිහින් හිටියේත් නෑ. කැම්පස් ගිහිනුත් කවුරුවත් එක්ක යාලු වුණේ නෑ කියලා අම්මා ටිකක් නෝක්කාඩුවෙනුයි හිටියේ. ඒ වෙන මොනවත් නිසා නෙවේ. අපිම යාලු වෙලා බැන්දොත් එයාලගේ වගකීම් අඩුලු. එයාලා හොයල දීලා ඒක නරක පිට පෙරලුනොත් එයාලට ඒකේ වගකීම් ගන්න වෙනවලු. එදා නුහුරු නුපුරුදු සාරියකුත් පටලවාගෙන බුලත් තට්ටුවකුත් ලෑස්ති කරගෙන මනමාලයා එනකම් බලා හිටියේ පපුවත් ගැහි ගැහී. එයාලා ඇවිත් ගියා ගියාමයි කිසිම ප්රතිචාරයක් තිබුණෙ නෑ.
ඔය විදියට තේ මේස හතක් මේ වෙද්දි හදලා හොඳ පළපුරුද්දක් ලැබිලයි තිබුණේ. ඒ විතරක් යැ. ආව අය හතර දෙනෙක් ම මට කැමති වුණා නේ. සමහරු නම් එකම දරුවා වෙච්චි මගේ දේපළට කැමති වුණා වගේ කියලයි අම්මා කිව්වේ. මං එයාලට කැමති වුණේ නෑ. ගම්පෙරළියේ නන්දට වගේ මට එයාලගේ මොකක් හරි ඇදයක් පෙනුණා. එක්කෝ මහත වැඩී. එක්කෝ උස වැඩී. එක්කෝ බුම්මටුයි. එක්කෝ හොඳට ඉංග්රීසි බෑ. (ඒක බලාගත්තේ තාත්තා අනිවාර්යයෙන්ම එන එන මනමාලයා එක්ක ඉංග්රීසියෙන් කතා කරන නිසා හා කාමරයේ ඉඳන් මං ඒක අහගෙන හිටි නිසා.) එක්කෝ ඇඳුම හරි නෑ. ඔය මොකක් වත් නැත්නම් වෙන්න නැන්දම්මා හරි නෑනලා හරි, හරි නෑ. වෙන්න මාමණ්ඩිලා මස්සිනාලා ගැන නම් නරකක් හිතුණෙම නෑ.
ඒ මදිවට මං මේ වෙද්දී ජාතික පාසලක උපාධිධාරී ගුරු මෙනවියක් නේ. ඉතින් මටෙයි කියලා ආඩම්බරයක් නැතුවයි. ඔන්න ඔහේ මේ සැරෙත් ඇවිත් ගියා වේ කියලයි හිතන් හිටියේ. කතාවකුත් තියෙනවනේ අහලා ගියත් මදැයි කියලා!
ඔන්න ඉතින් මෙදාපාර අලුත්ම අලුත් සුදුපාට ටොයෝටා කොරොල්ලා එකක් ගේට්ටුවෙන් ඇතුළු වෙලා පෝටිකෝව යට නැවැත්තුවා මං බලා හිටියේ ඉස්තෝප්පු කාමරේ ජනෙල් රෙද්දට මුවාවෙලා. අම්මයි තාත්තයි ඉස්සරහට ගිහින් ආයුබෝවන් කියලා බැස්ස අය පිළිගත්තා. මුලින්ම සිටියේ වෙන්න නැන්දම්මා. ගනණට උස මහත සිරුරක් තිබුණ ඈ වටිනා ඔසරියක් ඇඳගෙන හිටියා. ඊළඟට වෙන්න මාමණ්ඩියයි වෙන්න නෑනණ්ඩියයි බැස්සා. නෑනණ්ඩිගේ සාරියත් ඈත් හැඩට පෙණුනා. අන්තිමට බැස්සේ මනමාලයා. පෙනුම නම් නරකට තිබ්බේ නෑ. ටිකක් තළෙලු පාට වුණාට කඩවසම් පෙනුමක් තිබුණා. කොහොම වුණත් ඉංජිනේරු මහත්තයෙක් නේ. හිතට ආඩම්බර ගතියකුත් ආවා.
අම්මලා තාත්තලා කතා කරලා ඉවර වෙලා මට සංඥාව දුන්නම මං බුලත් තට්ටුවත් අරන් සුපුරුදු රඟපෑම කරන්න ඉස්සරහට ගියා.













Thursday, September 18, 2025

රතු මකරා

 රතු මකරා



රුංගලය සෑදීමට අවශ්ය උණ ගස තාත්තා කැපුවේ අගෝස්තු මාසය එළඹීමට මාස කීපයකට පෙරයි. ඒ වතාවේ තාත්තා රතු සරුංගලයක් සෑදුවේය. සවස් යාමයේ රතු සරුංගලය අඳුර වැටෙන නිල්-දම් පැහැති අහසේ ඉහළට නැඟුණ අතර සත් හැවිරිදි පුංචි ලියෝ ඔහුගේ කුඩා දෑතින්ම සරුංගල් නූල තදින් අල්ලාගෙන සිටියේ, සුළඟ එය ඇදගෙන ඈතට ඈතට යන දෙස බලාගෙන සිනාසෙමිනි. එය ඔහු සහ සුළඟ අතර වූ සෙල්ලක්කාර සටනක් විය. ඔහු අසල උද්යාන බංකුවේ අසුන් ගෙන සිටි ඔහුගේ පියා, ජීවිතය ගැන යම් තරමකින් හෝ ලියෝට වැටහෙන්නට පටන් ගත් පසුගිය පස් අවුරුදු ජීවිතය පුරාම නිතරම දක්නට ලැබුණු විඩාබර නමුත් කිසිදා මැකී නොගිය සිනහව මුව රඳවාගෙන සිනාසුනේය.
​" තාත්තේ.... දැක්කද තාත්තේ?" ලියෝ සුළඟට උඩින් කෑ ගැසුවේය.
"මේ රතු මකරෙක් තාත්තේ!"
​ඔහුගේ පියා වහාම පිළිතුරු දුන්නේ නැත. ඔහු පසු වූවේ, සිය දෙනෙත් සරුංගලයේ සුළඟ සමග වූ රංගනය දෙස යොමු කරමින් නමුත්, වර්තමාන මොහොත සහ තවත් දහසක් සිතුවිලි වෙනත් තැනක තබාගෙන සිටින්නාක් මෙනි.
"ඒක ඇත්තටම එහෙමයි," ඔහු අවසානයේ කීවේය, ඔහුගේ කටහඬ සුපුරුදු තද බවට වඩා තරමක් මෘදු විය.
"ගොඩක් නිර්භීත මකරෙක්."
සරුංගලය කුඩා, සෙලවෙන විරාම ලකුණක් මෙන් අඳුරට එරෙහිව පෙනෙන තෙක්ම, හිරුගේ අවසාන ආලෝකය අහසින් බැස යන තෙක්ම ඔවුහූ එහිම සිටියහ. පියාගේ අතේ එල්ලී ගෙදර යන විට ලියෝට එහි හුරුපුරුදු උණුසුම වඩ වඩාත් දැනුණි, එය ඔහුට නිතරම තමාගේ ලෝකයේ ශක්තිමත්ම දෙය ලෙස හැඟුණු කිසිවකින් විස්ථාපනය කළ නොහැකි උණුසුමකි.
​ඊළඟ දවසේ උදේ, නිවෙස වෙනස් ආකාරයක නිශ්ශබ්දතාවයකින් පිරී තිබුණි. එය පහත් ස්වරයෙන් කතා කරන හා හිමින් අඩි තියන නිශ්ශබ්දතාවයකි. එය කුඩා නිවසකට තරම් නොවන ලොකු නිශ්ශබ්දතාවයක් විය. ලියෝ ඔහුගේ මව සොයා ගත්තේ විසිත්ත කාමරයේදීය. ඇගේ මුහුණ සුදුමැලි වී, ඇගේ ඇස් රතු වී තිබුණි.
​"තාත්තා කොහෙද?" ඔහු නව, දැවැන්ත නිශ්ශබ්දතාවය ඉරා දමන්නට සමත් නොවන තරමේ ඔහුගේ සිහින් හඬින් ඇසුවේය.
​ඔහුගේ මව දණින් වාඩි වී, ඔහුගේ උරහිස් මෘදු ලෙස අල්ලා ගත්තාය. "පුතේ," ඇය කීවාය. ඇගේ කටහඬ සිහින් ළා දල්ලක් සුළඟට සෙල වෙන්නාක් මෙන් වෙවුලුම් කෑවේය.
"තාත්තා ගියා හොඳ තැනකට."
​පංචේන්ද්රියන්ට හුරු සිදුවීම්වලට අදාළ වචන පමණක් තේරුම් යන වයසේ වූ ලියෝගේ මනස මෙය තේරුම් ගැනීමට උත්සාහ කළේය. ඔහු දීප්තිමත් වර්ණ සහ උස ගස් ඇති, ඔහුගේ තාත්තාට තමන්ගේම සරුංගලයක් පියාසර කළ හැකි ස්ථානයක් ගැන සිතුවේය. නමුත් වචන සමඟ කිසිම සම්බන්ධයක් නැති ස්ථිර බවකින්, නිවසේ යමක් බිඳී ගොස් ඇති බව ඔහු දැන සිටියේය.
​ඔහු හැඬුවේ නැත. සියල්ල නිමාවී දින කීපයක් ගතවිය. ඔහු ඔහුගේ කාමරයට ගොස් බිත්තියේ එල්ලා තිබූ රතු සරුංගලය දෙස බැලුවේය. එය තවදුරටත් නිර්භීත මකරෙක් නොවීය. එය හුදෙක් වස්තුවක් පමණක් විය, උදෑසන ආලෝකය තුළ එහි වර්ණ වියැකී ගොස් තිබුණි. දැන් එය ඔහුගේ පියා සමඟ කිසිදා පියාසර නොකරන දෙයක් බව ලියෝට වැටහී ගියේ ය.
​සති මාස බවට හැරුණු අතර, ලියෝ ගේ ලෝකය සෙමින් එහි වර්ණය නැවත ලබා ගත්තේය, නමුත් පෙරට වඩා ටිකක් අඳුරු ගතියක් එහි විය. පළමු නිශ්ශබ්දතාවයට වඩා වෙනස් නව නිශ්ශබ්දතාවයක් එහි ගැබ්ව තිබුණි.
එය ඔහුගේ පියාගේ සිනහවේ දෝංකාරය සහ ඔහුගේ අතේ ඇති උණුසුම් මායාමය හැඟීම සම්මිශ්රණය වූ නිශ්ශබ්දතාවයකි. සමහර විට, ලියෝ පිටුපස මිදුලේ බංකුව මත හුදකලාව ඉඳගෙන, ඉහළ අහස දෙස බලා, ඔහුගේ පියා "හොඳ තැනක" සරුංගලයක් පියාසර කරනවා විය හැකි බව සිතුවේය. ඔවුන් දෙදෙනා එක්ව පියාසර කළ සරුංගලයට වඩා එය ඉහළට යනවා විය හැකිය.
​එක් දිනක් ඔහු බිත්තියෙන් රතු සරුංගලය ගත්තේය. ඔහු උද්යානයට, හරියටම එම ස්ථානයටම ගොස් එය දිග හැරියේය. ඔහු සුළං රැල්ලක් එනතුරු බලා සිටියේය, එය පැමිණි විට, ඔහු සරුංගලය යන්නට හැරියේය. එය මුලදී ඉහළට නැගුනේ නිර්භීත මකරෙකු ලෙස නොව, හුදෙක් ඔහේ පාවෙන සරුංගලයක් ලෙසයි.
නිමක් නැති නිල් අහසට නැඟී යමින් සිටි සරුංගලය ලියෝ ගේ සිතේ නව බලාපොරොත්තුවක් ඇති කළේය. සරුංගලය නිර්භීත මකරෙකු බවට හැරෙණු ඔහුට පෙනුණේය. ඉතා දිගු කලකට පසු පළමු වතාවට, ලියෝ සිනාසුණේය. ඔහුගේ තාත්තා ඔහු දෙස බලා සිටින බවත්, ඔහු කොතැනක සිටියත්, ඔහුද සිනාසෙන බවත් ලියෝ දැන සිටියේය. ජීවිතයට නිර්භීත මකරෙකු මෙන් මුහුණ දිය යුතු බව ඔහුට හැඟී ගියේ ය.
මාලිනී ගනේවත්ත

Wednesday, September 10, 2025

ගිම්හානයේ අග

 ගිම්හානයේ අග



ගිම්හානයේ රන් කාසිය, එහි අවසන් වටය කැරකී, දැන් වසරේ මේසය මත සමතලා වී ඇත. දවස, හිරු රශ්මියේ දී අලසව හිරි අරින බළලෙකු මෙන්, කෙටි වීමට පටන් ගෙන ඇත, සූර්යයා අහසේ මඳක් පහළින් එල්ලී දවස් කෙටි වන විට, ලෝකයේ උත්තරාර්ධ ගෝලය පුරා ගැඹුරු හා මෘදු වෙනසක් ඇති වීමට පටන් ගනී. මේ එළඹෙන්නේ සංවේදී සුන්දරත්වයේ සහ සියුම් පරිණාමනයේ කාලයකි. එය නව පැහැදිලි බවකින් ඉදිරියට එන දේවල් ගැන රහස් මුමුණයි. නෙක වර්ණ ලොම් පිරුණු හිමකබා හා තොප්පි එළියට එන්න ආසන්න බව ඒ රහස් අතර ඇත.
සදා ත්යාගශීලී මිතුරා වන හිරු එහි තාපය අඩු කරමින් සිටින අතර, දැන් මෘදු, වඩා ඇලවූ ආලෝකයක් විහිදුවයි. එය වියළි තණකොළ කෙත් මත ළා රන්වන් පැහැයක් ගන්නා අතර, දුරින් ඇති කඳු මුදුන් දම් සහ රෝස පැහැයෙන් වර්ණාලේප කරයි. තාපයේ දී නොපසුබට බෙර වාදකයින් වන රැහැයියන් මඳක් නිහඬ වී ඇත. ඔවුන්ගේ වාදනය බත්කූරන්ගේ මෘදු පියාපත් වල සියුම් ස්වරයක් බවට පත්වී පදික වේදිකාව දිගේ වියළි කොළවල ඝෝෂාව ප්රතිස්ථාපනය කර ඇත.
සම්පූර්ණයෙන්ම කොළ පැහැයෙන් වැසී තිබූ ගස්, වෙනස් කතාවක් කීමට පටන් ගනී. වෙනස් වීමේ මුල්ම රහස් පත්රවල අගිසිවලින් ඇසෙන අතර, රන්වන් සහ තද රතු පැහැති සියුම් පැහැයක් කොළවල දාරවලට කාන්දු වීමට පටන් ගනී. ටිකෙන් ටික කොළ පැහැයෙන් කහ පැහැයට ද අන්තිමේ දී ගැඹුරු මරකත බවටද වූ පින්තාරුවක පත්ර නිමග්න වේ.
තනි මේපල් පත්රයක්, අවට ඇති එමරල්ඩ් පැහැයට වඩා දීප්තිමත් රතු පැහැයක් දක්වමින් බිමට පාවී යයි, එය ඉදිරියේදී සිදුවීමට නියමිත දර්ශනයේ පෙර නිමිත්තකි. තවමත් බොහෝ දුරට කොළ පැහැයෙන් තිබුණද, පත්ර ඔවුන්ගේ ශක්තිමත්, තරුණ බව නැති වී යන අතරේ, සුළඟේ වියළි, කඩදාසි පොඩිවී යන්නාක් වැනි ශබ්දයක් නගමින් මදක් නැවතී, පරිණත වීම සහ ඉදිරි විවේකයක වුවමනාව ගැන කතා කරයි.
​වරක් වර්ණයෙන් හා සුවඳින් කෝලාහලයක් වූ උද්යානය දැන් නිහඬව සිටියි. අවසාන රෝස මල් ඔවුන්ගේ මුහුණු බිමට බරකරගෙන , ඒවායේ පෙති වඩාත් විචිත්රවත් කාලයක මතකයන් සටහන් කරයි.
සූර්යයාගේ විශ්වාසවන්ත නමස්කාරකයන් වන සූරියකාන්ත ඔවුන්ගේ බර හිස් නමා, ඔවුන්ගේ මුහුණු ආලෝකයට නොව, පැමිණෙන අන්ධකාරයට යොමු කරගෙන ඇත. වාතයේ ශෝකයක් දැනේ, අවසන් වන දෙයක් සඳහා නිහඬ දුකක් අතරේම , සාමකාමී හැඟීමක් ද, විවේකයක් පිළිබඳ පොරොන්දුවක් ද ඇත. එය පීච් වල අවසාන පැණි බිඳිතිවල රස බැලීමට, ඔබේ සම මත සිසිල් සවස් වරුවක සිප ගැනීමකට, සහ සොඳුරු හිරු බැස යෑම නැරඹීමට කාලයයි. එය දිගු, ලස්සන කතාවක අවසානය සහ තවත් කතාවක ආරම්භයයි.
​​ග්රීෂ්ම සෘතුවේ පක්ෂි සංධ්වනිය එහි තාලය වෙනස් කිරීමට පටන් ගනී. වරෙක ඝෝෂාකාරී හා ප්රීතිමත් ශබ්ද පිපිරීමක් වූ උදෑසන ගීතය වඩාත් මෘදු වේ. රොබින්වරුන්ගේ වෙහෙස නොබලා දොඩමලු වීම සහ ගේ කුරුල්ලන්ගේ නොනවතින කෑ ගැසීම් අඩු වේ. බොහෝ පක්ෂීන්, ඔවුන්ගේ කුටුම්භ වල රාජකාරි ඉටු කර ඇති අතර, ඉදිරි දිගු සංක්රමණ සඳහා ඔවුන්ගේ ශක්තිය ඉතිරි කර ගනිමින්, වඩාත් නිශ්ශබ්ද වී ඇත. එහෙත්, නව තනු නිර්මාණය වේ. ප්රමාද වී පැමිණෙන ෆින්ච් කුරුල්ලෙකුගේ වේදනාකාරී, තනිකම ගීතයක් සේ ඇසෙන අතර, නිශ්ශබ්ද වන ලෝකයට සියුම් ප්රතිවිරෝධයක් සපයයි. ගිලන් කුරුලු රංචු දුරකථන කම්බි මත එක්රැස් වන අතර, ඔවුන්ගේ සිනිඳු සිරුරු , පුරාණයේ සිට පැවත එන පොදු අරමුණකට නාභිගතවන අතර, ඔවුන්ගේ සුපුරුදු දිගු දකුණු ගමන සඳහා පුහුණුවක් ඒ සමග වේ.
​බිම මත, නැවුම් ශක්තියක් කුඩා ජීවීහූ සජීවීකරණය කරති. ලේනුන්, ඔවුන්ගේ ග්රීෂ්ම අලසකම වෙනුවට උමතු කඩිසර බවක් ඇතිකරගෙන ඇත. ඔවුහු අලුත් වූ හදිසියකින් ගස් කඳන් මත ඉහළට සහ පහළට දුවන අතර, ඔවුන්ගේ වලිග අප අවධානය යොමු කරගත් තීව්රතාවයකින් ඇඹරෙයි. ඔවුන්ගේ කම්මුල් acorns සහ තවත් ඇට වර්ග වලින් පිරී ඇති අතර, ඔවුන්ගේ කුඩා පාද ඉදිරි කෑම අඩු මාස සඳහා නිධන් වළලයි. ඔවුන්ගේ දොඩමලු හඬ තවදුරටත් භෞමික ආරවුල් පමණක් නොව, අරමුණ පිළිබඳ අවධානය යොමු කළ සන්නිවේදනයකි, එය පැවැත්ම සහ සූදානම පිළිබඳ සංවාදයකි.
​වෙනත් සතුන් තුළ ද වෙනසක් දැනේ. මී මැස්සන්ගේ ඝෝෂාව සහ සමනලුන්ගේ පියාසර කිරීම අඩු වන අතර, ඔවුන්ගේ විචිත්රවත් ජීවිත ඔවුන්ගේ ස්වාභාවික නිගමනයට ළඟා වේ. මුවෝ , ඔවුන්ගේ ඝන වූ ලොම් සහිතව, යටි පඳුරු අතරින් නිස්කලංක ලෙස ගමන් කරති, ඔවුන්ගේ ඇස් සිසිල්, ඇලවූ ආලෝකය පිළිබිඹු කරයි. ඉරි සහිත පිටක් දරණ Chipmunks, පාෂාණ කුහර තුළට සහ ඉන් පිටතට දිව යයි, ඔවුන්ගේ කුඩා චලනයන් ක්රියාකාරකම්වල නොපැහැදිලි බවක් පෙන්නුම් කරයි. ලෝකය සූදානම් වීමේ කූඩුවකි, එය ඍතු වෙනස් වීම සඳහා සූදානම් වන ජීවීන්ගේ විශාල හා සංකීර්ණ බැලේ නර්තනයකි.
​වාතය මෙම සංක්රාන්තියේ සුවඳ රඳවා ගනී. පිපෙන මල්වල සශ්රීක, බර සුවඳ, වැටුණු කොළ සහ තෙත් පසෙහි පාංශු සුවඳට මග පාදයි. සති කිහිපයකට පෙර නොතිබූ බිඳෙනසුළු බවක්, ඉදිරි සිසිලස පිළිබඳ ඉඟියක් හැමතැනම ඇත. උදෑසන තණකොළ මත ඇති පිනි දිගු වේලාවක් රැඳී ඇති අතර, අඩු කෝණයේ හිරු එළිය අල්ලාගෙන තණකොළ දියමන්තිවලින් දිදුලන බුමුතුරුණක් බවට පත් කරයි.
​ග්රීෂ්ම ඍතුවේ අවසානය සුන්දරත්වයේ අවසානයක් නොව, එහි පරිණාමනයකි. එය ලෝකය ගැඹුරු හුස්මක් ගෙන, එහි සශ්රීක බව පිට කර, ප්රඥාවේ සහ විවේකයේ උණුසුම්, පොහොසත් වර්ණවලින් සැරසීමට පටන් ගන්නා සංවේදී මොහොතයි. එය සංවේදී කරුණාවේ කාලයයි, එහිදී සෑම වැටෙන පත්රයක්ම සහ සෑම නිහඬ කුරුලු ගීතයක්ම වෙනස, ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිතයේ සදාකාලික චක්රය පිළිබඳ සුන්දර, දිග හැරෙන කවියක පද්යයකි. එය, එහිම ආකාරයෙන්, සියල්ලටම වඩා ලෝකයේ ලස්සනම කොටසයි.

Friday, September 5, 2025

බස්රථ වල දොරවල් තියෙන්නේ මොනවටද? ගැට ගහලා තියන්න ද?

 බස්රථ වල දොරවල් තියෙන්නේ මොනවටද? ගැට ගහලා තියන්න ද?



ස් රථයකින් වැටිලා වෙද්යවරියක් මියගිය ශෝචනීය පුවතක් ආරංචි වෙනවා. ඈ කුඩා දරුවන් දෙදෙනෙකු ගේ මවක් බවත් සඳහන් වෙනවා. ජීවිතවල වටිනාකම බිංදුවද?
මේ වගේ දෙයක් මගේ ඇස් ඉදිරිපිට කොට්ටාවේදී වුණා. තරුණ කාන්තාවන් ඉදිරි දොරෙන් බිමට වැටුණා. මං හිටියේ ඈට පිටුපසින්. ඈ ගැබිනි බවත් සැමියා ඒ මොහොතේ පිට රටක බවත් කීවා. ඈ රෝහලට එක්ක යන්න මා ඉදිරිපත් වුණත් ඒ වෙලේ එතන සිටිය වෙෙද්ය ශිෂ්යාවක් ඒ වගකීම කැමැත්තෙන්ම භාර ගත්තා.
බස් එක නවත්තන්න කලින් දොර ළඟට එන්න කියලා කොන්දොස්තරලා මොන තරම් බෙරිහන් දෙනවද? දොරවල් වහලත් නෑ. අනතුරක් වුණහම වගකීම ගන්නේත් නෑ. අපි විරුද්ධව යමක් කීවොත් බැහැලා කාර් එකක එන්න කියනවා.
මේ අපි ඉන්න රටවල් වල දුම්රිය බස් ආදියට නැග්ගම ඉඳගන්න ඉඳගන්න කියලායි බෙරිහන් දෙන්නේ. බහින්න බස් එක නවත්වන කම් නැගිටින්නේ නෑ. නැග්ගම ඉඳගන්න කම් යන්නේත් නෑ. දොරවල් ඇරගෙන යන්නෙත් නෑ.

පින්ලන්තයේ දරුවන් කාඩ්බෝඩ් පෙට්ටියක නිදි කරවන්නේ ඇයි?

 පින්ලන්තයේ දරුවන් කාඩ්බෝඩ් පෙට්ටියක නිදි කරවන්නේ ඇයි?



පින්ලන්තයේ අවුරුදු 80කට වඩා පැරණි චාරිත්රයක් තියෙනවා. ඒ තමයි අලුත උපන් සෑම දරුවෙකුට අවශ්ය දේවල් සහිත ළදරු පෙට්ටියක් රජයෙන් ලබා දීම. දරුවාගේ ප්රථම ඇඳ වන්නේත් මේ පෙට්ටිය. ඇත්තටම මෙය ළදරු ඇඳක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
අවශ්ය නම් මවට මේ පෙට්ටිය වෙනුවට අදාළ මුදල් ප්රමාණය ලබා ගන්නත් පුළුවන්.
1930 දී පින්ලන්තය දුප්පත් රටක් වූ අතර ළදරු මරණ සංඛ්යාව දරු උපත් 1000කට 65ක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්රමය ආරම්භ වී තිබෙනවා.

පාසල් පන්තියක සිසුන් ගණන සීමා විය යුතු ඇයි?

 පාසල් පන්තියක සිසුන් ගණන සීමා විය යුතු ඇයි?



මේ ගැන තර්ක කරන අය කියනවා ටියුෂන් පන්තිවල සිසුන් දහස් ගණනකට එකවර ඉගැන්වීම කරනවා නේද කියලා. ඉතින් පාසල් පන්ති ලොකු වුණාට ප්රශ්න යක් නෑ නේද කියලා.
මේ අය ඉගැන්වීම යනු සිසුන් ටිකක් ඉන්දව ගෙන පන්තිය ඉස්සරහ දේශන දෙන එක යයි හිතනවා.
ඉගැන්වීමේ ක්රම ගැන සොයා බලන්න. ඒවා මූලිකව කොටස් දෙකකට බෙදනවා.
1. ගුරු කේන්ද්රීය
2. ශිෂ්ය කේන්ද්රීය
Lecture method නැත්නම් දේශන ක්රමය ගුරු කේන්ද්රීය එකක්. එහිදී සිසුන් අක්රීය අසන්නන් බවට පත් කෙරෙනවා. ගුරුවරයා ගේ සිට සිසුවා දෙසට විතරයි සන්නිවේදනය වෙන්නේ. සිසුවා කරන දෙයක් නැ.
මේ ක්රමය යම් යම් අවස්ථාවල විශේෂයෙන් වැඩිහිටි සිසුන්ට අවශ්යතා අනුව යොදාගන්න පුළුවන් වුණාට පාසල් සිසුන් ගැන සැලකීමේදී එය සුදුසු නෑ. එක එක සිසුවා කෙරේ අවධානය යොමු කරන්න වෙනවා. ඔවුන් සටහන් කරන දේ බලන්න ඔවුන් කරා ළඟා වෙන්න ඕන. ඒක දේශන දීමේ දී කරන්න බෑ.
විශේෂයෙන්ම ප්රායෝගික පරීක්ෂණ කරනවිට සිසුන් ඉතාම සීමිත වෙන්න ඕන. ඒ අත්දැකීම් අපට හොඳට තියෙනවා. ඉගැන්වීම් ක්රම ගැන පසුවට තව විස්තර කරන්නම්.