ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරු වෛද්‍ය සිහිනය
ශ්‍රී ලාංකික දෙමව්පියෝ විශේෂයෙන් පහළ මධ්‍යම පන්තිකයෝ තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට මහත්වූ වෙරක් දරති. මෙය අපේ කාලයේත් යම් පමණකට නොතිබුනේ යයි කිව නොහැකිය. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා"යනුවෙන් යනුවෙන් පුස්තකාලවල බිත්ති මත පුවරු දක්වා තිබුනා මතකය. පසු කලෙක කපටි දේශපාලකයින්ගේ තරම දැනගත්තෝ "මතු රැකෙනා ශිල්පයමයි උගත මනා"යනුවෙන් මෙහි අර්ථය වෙනස් කලේ මතු රැකීමට නම් වෙනස් ශිල්ප ටිකක් දැනගත යුතු නිසාය.
කෙසේ වුවත් 'ඉගෙන ගත්තොත් විතරයි පුතේ අපිට ගොඩ යන්න පුළුවන් ' යන්න ඕනෑම උගත් නුගත් දෙමව්පියෙක්ම තම දරුවන්ට පවසන දෙයකි. අපි පසු කලෙක අධ්‍යාපන ඩිප්ලෝමාවේදී උගත් ආකාරයට පහළ පන්තියේ ජනතාවට ඉහළ පන්තියට නැගීමට හෙවත් සමාජ සචලතාවයට ඇති එකම ඉනිමග අධ්‍යාපනය ලැබීමයි.
ශ්‍රී ලංකාවේ මහජන මතයට අනුව ඉහළට ඉගෙන ගත් තම දරුවා ළගා වියයුතු ඉහළම, උසස්ම තනතුරු දෙක වන්නේ වෛද්‍ය හා ඉංජිනේරු තනතුරුය. අද වන විට විෂය ක්ෂේත්‍ර පුළුල්වී වෘත්තීන් රැසකට ඇතුළු වීමේ මංපෙත් විවරව තිබෙන බව දන්නේ අතලොස්සකි.
මේ උසස් යයි සම්මත රැකියා වලින් ද වෛද්‍ය වරයකු වීමේ සිහිනය පුදුමාකාර එකකි. මෙය ලියන මටත් උසස් පෙළට ජීව විද්‍යා විෂය ධාරාව හදාරණ කාලයේ මේ වෛද්‍ය හීනය හිතේ කොනක හීනියට තැන්පත්ව තිබුනේය. මා උසස් පෙළ පළමු වරම සමත් වූ පසුව ඒ හීනය අළු යට පැවති ගිනි පුපුරක් මෙන් දැල්වෙන්නට පටන් ගත්තේය. එයට හුළං පිම්බේ,ගුරුවරු,නෑදෑයන් හා හිතවතුන් විසිනි.
"ආ දැන් කවදද මෙඩිකල් කොලේජ් යන්නේ ?"ඔවුහු ඇසුහ.
ඉංග්‍රීසි ටිකක් තව දියුණු කරගන්න." ගුරුවරු ඔවදන් දුන්හ.
එහෙත් මට ඇතුල්වන්නට වරම් ලැබුනේ විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨයටය. දෙවන වර විභාගයට ඉදිරිපත් වීමට අයදුම් කර තිබුණද එසේ නොකර මම උද්භිද විද්‍යාව, අද කියන විදියට ශාක විද්‍යාව විශේෂ උපාධියක් හැදාරුවෙමි. වෛද්‍ය සිහිනය බොඳවී ගියේ එසේය. එදා ඒ තිබු හීනය හුදෙක් මගේම එකක් මිස දෙමව්පියන්ගේ එකක් නොවේ. මගේ මවට අවශ්‍යව තිබුනේ කුමක් හෝ රැකියාවක් කිරීමට සුදුසුකමක් ලබා ගැනීමට ඉගැන්වීම පමණි. එමෙන්ම මගේ ඒ හීනය සැබවින්ම අහිංසක එකකි. එහි ලස්සන දොස්තර නෝනා කෙනෙකු ඇදී සිටියා විනා ඉහළ සමාජ තත්වයක් ලැබීම හෝ වෛද්‍ය වරියක වුවොත් විශාල ලෙස මුදල් උපයා ගන්නට පුළුවන් වේවී යන්නක් හෝ ගැබ්ව තිබුනේම නැත.
මෙරට නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුවද දෙමවුපියන් උපයන දෙයින් වැඩි කොටසක් දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පුර්ණ කිරීමට වැයවේ. විශේෂයෙන්ම උපකාරක පන්ති සඳහා වැයවන මුදල් සම්භාරය අති විශාලය. ගුරුවරු ද නොවන ටියුෂන් පන්ති මෙහෙයවන්නෝ දරු සෙනෙහසද අධික අධ්‍යාපන තරගයද, අවිනිශ්චිත අනාගත පැතුම් ද සහිත බොරදියේ මාළු බාමින් දෙමාපියන්ගේ සේසත උපකාරක පන්ති වෙත පොම්ප කරවමින් සිටිති. පාසල් අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැට්ටවීම වර්තමාන ගරිල්ලා මාකටින් ක්‍රමයේම පැති කඩක් මිස අනිකක් නොවේ.
මෙවන් පසු බිමක ඇති හැකි තත්වය මත විශාල දේශනා පන්ති වල සිට ගුරුවරු ගෙදරට ගෙන්වා ගැනීම දක්වා විවිධාකාර උපකාරක පන්තිවල පිහිට වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට අත්‍යවශ්‍ය වන්නේය. විශේෂයෙන් අද වන විට දෙමව්පියෝ කොතරම් තදින් මේ වෛද්‍ය හීනය දකින්නට පෙළඹ ඇත්ද යන්න සිතා ගැනීමට අසීරු තරම්ය. ඒ හීනය සැබෑ කර ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුහු සැදී පැහැදී සිටිති. ඔවුහු ඉතා අඩු උසස් පෙළ ප්‍රතිඵල ලැබූ දරුවන් පවා තම දේපල පවා උගස් කොට හෝ මුදල් සොයා ගෙන විදේශ රටවල වෛද්‍ය විද්‍යාල කරා යවති.
මෙසේ යැවු එක් දරුවෙක් විදේශ ගත වුයේ ඉතා අකමැත්තෙනි. මේ දරුවාට වෛද්‍ය වරයෙකු වීමට අවශ්‍ය නැත. " මම මෙහෙ ආවේ මගේ ඕන කමකට නෙවෙයිනෙ ? අම්මල කියපු නිසානෙ ? මම මෙහෙ විභාග ෆේල් වුනත් මොනවත් කියන්න එපා " දරුවා කියා ඇත. විදේශ වෛද්‍ය උපාධි ලබා ගෙන වෛද්‍යවරු වුවෝ නොවෙත් යයි මෙයින් අදහස් නොකෙරේ. එසේ උගත් පිරිස් මෙරට මෙන්ම පිටරටවලද සේවය කරති. මුදල් හදල් නොඅඩුව ඇති අයට දරු වෛද්‍ය සිහිනය සිහිනයක්ම නොවේ. එය පහසුවෙන් නිෂ්ඨාව කරා ලඟා විය හැකි යථාර්තයකි.
ඇතැම් විට දරුවන් සමගම දෙමවුපියෝ මේ හීනය දකිති. විභාගය ඉතා අවම මට්ටමෙන් සමත්වූ එක බැංකු නිලධාරිනියකගේ දරුවෙක් සිය මවද සමග මගෙන් උපදෙසක් පැතුවේය. "පුතේ,ඔයා නැවත සැරයක් විභාගය ලියල සුදුසුකම් ලබා ගන්න. එහෙම පුළුවන් නිසානේ අවස්ථා තුනක් දීල තියෙන්නේ."මම කීවෙමි.
"නෑ මම ..........එකට යනවා." දරුවා ගත් කටටම කීවේ එවකට තිබු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක නම සඳහන් කරමිනි. ඔහු එහි ඇතුල් වුවාදැයි නොදනිමි.
දැන් ඇතැම් අය උසස් පෙළ කුමන විෂය ධාරාවක් හැදෑරුවත් වෛද්‍ය උපාධිය ලැබීමට එය බාධාවක් නොවන බවත් වෙනත් රටවල එසේ කරන බවත් ලියති. ලොව බලවත්ම රට වන ඇමරිකා එක්සත් ජනපදයේ උසස් විද්‍යාලයෙන් පසු වෛද්‍ය උපාධිය ( ) හැදෑරීමට කලින් වෙනත් ප්‍රථම උපාධියක් කර තිබිය යුතුවේ. එය කුමන ක්ෂේත්‍රයක වුවත් වරදක් නොවන බව පිළිගන්නා නමුත් අනාගතයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් මානව ව්‍යුහ විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් උසස් පාසලේ සිටම ඉගෙන ගැනීමට උනන්දු කරවනු ලැබේ. මේ ප්‍රථම උපාධියට වසර හතරක් ගතවේ. ඉන්පසු වෛද්‍ය විද්‍යාල තෝරාගැනීමේ විභාගය තිබේ. එයින් තේරුණොත් අවුරුදු හතරක් වෛද්‍ය විද්‍යාලයේ හැදෑරීම් කර වෛද්‍ය උපාධිය ලබා ගත යුතු වේ. එයට ඇත්තෙන්ම අවුරුදු පහක් පමණ ගතවේ. ඉන්පසු බලපත්‍රය ලැබීමට නමින් හැඳින්වෙන පුහුණුව සාමාන්‍ය වෛද්‍යවරයෙකු වීමට අවුරුදු තුනක් ද, ශල්‍ය වෛද්‍යවරයෙකු වීමට අවුරුදු හයක් ද ගතවේ. ෆෙලෝශිප් එකක් ලැබීමට තව අවුරුදු දෙකක් පමණ ගතවේ. මේ නිසා එක්සත් ජනපදයේ දී වෛද්‍යවරයෙක් වීමට පාසලින් පසු අවුරුදු 11 සිට 14 -16 අතර කාලයක් ගතවේ. මෙයින් පෙනෙන්නේ දියුණු රටවල කොහෙන් හෝ අටවා ගත් උපාධියකින් වෛද්‍යවරයෙකු වීමට බැරි බවයි.
අද රටේ පොදු ජනතාව ද පොදු මාධ්‍ය වලද සමාජ මාධ්‍ය ජාලා වල ද වෛද්‍ය වරුන්ට බනිති. දෙස් දෙති. සල්ලි ගරන අමානුෂිකයන් යයි කියති. වෛද්‍ය වරයාත් මේ විපරීත සමාජයේ කොටසක් බවත් එහෙත් වෛද්‍යවරු වැඩි පිරිසක් තම වැටුපෙන් පමණක් ජීවත් වන බවත් නොදනිති. එහෙත් තම දරුවා වෛද්‍ය වරයෙකු කිරීමේ හීනය දකිති. තම දුවට දොස්තර බැණා කෙනෙක් ද තම පුතාට දොස්තර ලේලි කෙනෙක් ද ඉස්තරම් වේ. තම දරුවා මෙතරම් දරුණු "අපරාධ කරුවෙක් " කිරීමට තම ධනය,වෙහෙස මහන්සිය කැප කරන්නේ ඇයි ද යන්න මට ගැටලුවකි. ඉහළ සමාජ ස්තරයකට නැගීමට ද ? එසේ නැති නම් තම දරුවා පමණක් පරමාදර්ශී වෛද්‍ය වරයෙකු වී සත් භාවයෙන් රෝගී ජනතාව සුවපත් කරාවි කියා ඔවුන් සිතනවා ඇත්ද? නැතිනම් ඔවුන් ද මේ දකින්නෙත් මගේ සිතේ තිබු අහිංසක හීනය වැනි එකක් ද ?
Photo by Online Marketing on Unsplash
අද රටේ පොදු ජනතාව ද පොදු මාධ්‍ය වලද සමාජ මාධ්‍ය ජාලා වල ද වෛද්‍ය වරුන්ට බනිති. දෙස් දෙති. සල්ලි ගරන අමානුෂිකයන් යයි කියති. වෛද්‍ය වරයාත් මේ විපරීත සමාජයේ කොටසක් බවත් එහෙත් වෛද්‍යවරු වැඩි පිරිසක් තම වැටුපෙන් පමණක් ජීවත් වන බවත් නොදනිති. එහෙත් තම දරුවා වෛද්‍ය වරයෙකු කිරීමේ හීනය දකිති. තම දුවට දොස්තර බැණා කෙනෙක් ද තම පුතාට දොස්තර ලේලි කෙනෙක් ද ඉස්තරම් වේ. තම දරුවා මෙතරම් දරුණු "අපරාධ කරුවෙක් " කිරීමට තම ධනය,වෙහෙස මහන්සිය කැප කරන්නේ ඇයි ද යන්න මට ගැටලුවකි. ඉහළ සමාජ ස්තරයකට නැගීමට ද ? එසේ නැති නම් තම දරුවා පමණක් පරමාදර්ශී වෛද්‍ය වරයෙකු වී සත් භාවයෙන් රෝගී ජනතාව සුවපත් කරාවි කියා ඔවුන් සිතනවා ඇත්ද? නැතිනම් ඔවුන් ද මේ දකින්නෙත් මගේ සිතේ තිබු අහිංසක හීනය වැනි එකක් ද ?
Photo by Online Marketing on Unsplash
No comments:
Post a Comment