Tuesday, September 18, 2018

ලොකු මාමා




ලොකු මාමා


"
ළමයිනේ ! මේ හැන්දෑ වෙලාවට ඔය තැන්වල ඉන්න එපා කියල තියෙනව නේද ?" මුත්තන්ඩී අපට තරවටු ස්වරයකින් කීවේය. අපි සෙල්ලම් කරමින් සිටි තැනට මදක් ඔබ්බෙන් කුඩා ගල් කැබලි ගොඩ ගසා තිබුණු ගල් ගොඩකි. මේ ගල් ගොඩ යට ලොකු මාමාගේ සොහොන ඇති බව අම්මා මා සමග කියා ඇත. කෙසේ නමුත් වත්තේ මේ කෙළවර මහා අඳුරු ගුහාවකි. වත්තේ මායිමෙන් මෙපිට ඇති රබර් වතු යායට, ඉර අවරට හැරී මද වෙලාවකින් කළුවර කුර ගගා එන්නට පටන් ගනී. එය කළු අඳුරු සළුවක් පරිද්දෙන් අපේ වත්තේ මේ කොන හා දැවටී යාමට වැඩි වෙලාවක් ගත වන්නේ නැතඑහෙත් මෙතැන සෙල්ලම් කරන අපේ සිත් තුළට  බියක සේයාවක් වත් ඇති වුයේ නැත. මුත්තන්ඩීගෙන් බැණුම් අසමින් වුවද අපි රිසිසේ මෙතැන සෙල්ලම් කිරීමට තෝරා ගන්නේ අවට හොරා පොලිස් සෙල්ලමේදී හැංගීමට තැන් තිබුණු නිසාය .

ලොකු මාමා මා ඇසින් දැක නැත. මා ඉපදී ඇත්තේ  ලොකු මාමා මිය ගොස් බොහෝ කලකට පසුවය. ඔහු මිය ගොස් තිබුනේ දෙවන ලෝක යුද්ධය පැවති වකවානුවේ දීය. ඔහු මිය යන විට වයස අවුරුදු විසි එකක තරුණයෙකු බවත් වන විට අම්මා තරුණ වියට එළඹ සිටි බවත් අම්මා කීවේ දැඩි ශෝකයකිනි. ගෙයි කොතරම් ඉඩකඩ තිබුණද අප සැම නිදා ගැනීමට පුරුදුවී සිටියේ බරාඳය කොටසේ බිම පැදුරු එළා ගෙනය. අම්මා රෑ නිදි පැදුරේ ඉන්නා ගමන් අපට නින්ද යන තෙක් අතීත අත්දැකීම් සමග මුසුවූ කතන්දර අපට කීවාය.  දැන් මේ කතන්දර වැඩිපුර මතකයේ ඇත්තේ මගේම පමණක් විය යුතුය. අපේ දරුවන්ට ඒ කතා ඇසීමට එතරම් වුවමනාවක් හෝ ඉස්පාසුවක් නැති වූයෙන්   මේ කතා මා සමගම මේ ලෝකයෙන් ඉවත් වී යනු ඇත.

මුත්තන්ඩී සහ අත්තම්මා දරුවන් පස් දෙනෙක් වුහ. එනම් ලොකු මාමා , අම්මාගේ අක්කා,එනම් ලොකු අම්මා ,සුදු මාමා හා පොඩි මාමා . ඔය කියන ලොකු අම්මාත් අපි දැක නැත. ඇය මිය ගියේ වයස අවුරුදු නවයේදී බව අම්මා කියා ඇත. අම්මා ළාබාල අවදියේ  තමන්ට අහිමිවූ එකම සොයුරිය ගැන දුක් නොවූවා නොවේඑය දුකක් වූ නමුත් කාලය වන විට අම්මා කුඩා දැරියක්ව සිටි නිසා එය එතරම් සිතට වැදී නොතිබිනැයි මට සිතේ.

ලොකු මාමා එසේ නොවේ. ඔහු පවුලට පහන් ටැඹක් බඳු පුත්‍ර රත්නයක් විය. පවුලේ කුදු මහත් කටයුතු සොයා බැලීමට තරම් දැනුවත් බවක් හා ජවයක් ඔහුට තිබුනේයඅම්මා වැඩි විය පැමුණුනු අවස්ථාවේ ලොකු මාමා තෑගි වශයෙන් ඇයට පිරිනමා තිබුණේ වටිනා පිඟන් කෝප්ප සෙට් එකකි. එය අම්මා පණ මෙන් සුරකිනු මා දැක ඇත. තවමත් එහි ඇතැම් පීරිසි කෝප්ප මහ ගෙදර අල්මාරි තුළ තිබෙන්නට පුළුවන් බව මට සිතේලොකු මාමා හැදී වැඩුණේ මුත්තන්ඩී ගේ දැඩි නීති රීති යටතේ බැවින් ඔහු අසීමිත බියකින් තම ළමා කාලය ගත කළ බව අම්මා කියා ඇත. එහෙයින්ම ඔහු ඉතා කීකරු  දරුවෙකු විය.

අවාසනාවන්ත වකවානුවේ ලොකු මාමාට වැළදී තිබුණේ උණ සන්නිපාතයයි (Typhoid fever). මේ කාලයේ නම් මෙවැනි රෝග ප්‍රතිජීවක ඖෂධ මගින් පහසුවෙන්ම යටපත් කල හැකි නමුත් කාලයේ වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු වී තිබුණේ නැත. ප්‍රති ජීවක ඖෂධ ආදිය දියුණුවට පත් වුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බව මා කියවා ඇත.

පවුලේ දේශීය වෛද්‍ය වරයා ගෙන්වා ප්‍රතිකාර කරන ලද බව අම්මා කියන්නීය. කසාය පානය කිරීම ඉතා අමිහිරි අප්‍රසන්න දෙයකි. මුත්තන්ඩි බලෙන් මෙන් ලොකු මාමාට කසාය පොවා ඇත. පළමු කසාය වඩි වලින් මද සුවයක් ඇති වුවත් පසුව සියල්ල අයහපත් අතට හැරී තිබුණි. අවසානයේ කසාය පානය කිරීම ලොකු මාමා විසින් ප්‍රතික්ෂේප  කර ඇත.

යුද වාතාවරණය අප රටට උග්‍ර ලෙස බලපා තිබුණ නිසා ආහාර හිඟය දරුණු වී තිබිණී . කැඳ උගුරක් දීමට හාල් සොයා ගැනීම විශාල ගැටලුවක් විය. මුදල් හිඟ වීයඑකල ජීවිතය ඉතා කටුක අපහසු  එකක් වූයේයරටේ ආහාර හිඟ විය. වෙනත් රටවල් වලින් ආහාර ගෙන ඒමත් යුද්ධය නිසා නැවතී තිබුණිරටේ සහල් හිඟ වූයෙන් යුධ ආධාර වශයෙන් ලැබුණු පාන් පිටි පමණක් ආහාරයට ගැනීමෙන් මිනිසුන්, ගැහැණුන් හා දරුවන් පාණ්ඩුවෙන්  පෙළෙන්නට වූ බව අම්මා කීවාය. ඔවුන්ගේ සිරුරු ඉදිමුණේ ලු. සුදුමැළි වුණේ ලු. එයින් අදහස් වූයේ ප්‍රෝටීන කැලරි මන්දපෝෂණය බව මගේ අධ්‍යාපනයත් සමග මම තේරුම් ගත්තෙමිඅම්මලාගේ පවුලට දුෂ්කරතා වලින් මිදීමට අපහසු වී ඇතමුත් තන්ඩි ගේ රැකියා කටයුතුද අවහිර වී තිබුණි. දෙවන ලෝක යුධ බිය ජීවිත වෙළාගෙන පැවති ඇත. ආහාර හිඟයට අමතරව ප්‍රහාරයක් වේදෝයි බියද විය. පාසලේදී බෝම්බ ප්‍රහාරයක් වුවහොත් එයට මුහුණ දිය යුතු ආකාරය අම්මලාට කියා දී ඇත.

"පැන්සලය කටේ හරහට ගහගෙන බිම් ගෙවල් වලට රිංගන්න කිව්වා." අම්මා අතීතය මතක් කරන්නීය. අපේ ගෙය පිටුපස කණ්ඩියේ එකල හෑරූ බිම් ගෙයක් මෑතක් වනතෙක්ම තිබුණි.

"
අනේ! ලොකු මාමාට හොඳටම අමාරු වුණා . කතා කරන්නත් බැරි වුණා. අතින් මොනවා කිව්වා....බිත්තියේ බෝල කුඩුවේ එල්ලලා තිබුණු එයාගේ කමිසය පෙන්නමින්. අපිට තේරුම් ගන්න බැරි වුණා ...මොකද්ද කිව්වේ කියලා " අම්මා අපට කතාව කියන්නීය.

අත්තම්මා කෙසේ හෝ කැඳ ටිකක් පිළියෙළ කොට ඇත. අම්මා කැඳ කෝප්පය රැගෙන ලොකු මාමා සිටි කාමරයට යමින් සිටි  මුසල අඳුරු සැන්දෑවේ ගෙයට උඩින් කණ කොකා තෙවරක් හඬා ගෙන ගිය බව අම්මා අපට කීවේ ගැමියන් විශ්වාස කරන ආකාරය අනුවය. දැනුත් කණ කොකුන් නම් අඬනවා ඇත. ඒත් අපි දැන් කණ කොකා අඬන්නේ කෙසේද ?කුමකට ද? කියා සොයා බලන්නේ නැතඑහෙත් අම්මා කියූ එදා කණ කොකා ඇඩූ ඇඩිල්ල ආයෙත් කිසි කළෙකත් නො අඬන එකක් ලෙස මගේ සිතේ කොණක මහා දුකක් ඇති කරමින් වරින් වර දෝoකාර දෙයි.

එදින රැයේ ලොකු මාමා අවසන් හුස්ම හෙලා ඇත.

"
අනේ ! අය්යා මැරුණට පස්සේ තමයි දැක්කේ එයාගේ කමිස සාක්කුවේ සත පණහක් තියෙනවා. එයා ඒක තමයි අත දික් කරලා කියල තියෙන්නේ " අම්මා කඳුළු සලන්නීය.

"
අත්තම්මා කාලයක් යන කම් නියං කොබෙය්යිය අඩන වෙලාවට අඬනවා . නියං කොබෙය්ය අඬන්නේ ' මී පුප් ලදිම් දරු නොලදීම් .....රන් කැටි පුතා කෝ 'කියලනේ"

මේ කතාව අසා බොහෝ කාලයක් යන තුරුත් ඇතැම් විට අදත් නින්දට ගොස් දෑස පියාගත් කල මට, නොදුටු ලොකු මාමාත් , ඔහුගේ දුක්බර අවසන් මොහොතත්,කමිස සාක්කුවේ තිබුණා යයි කියූ සත පනහත් සිතේ මැවී යයි. මම එවිට මා නොදුටු ලොකු මාමා වෙනුවෙන් කඳුලක් හෙලමි.

 

වගේම නියං කොබෙයියෙකුගේ දුක්බර රාවය ඇසෙන හැම මොහොතකමත් ලොකු මාමා මෙන්ම දයාබර ආත්තම්මා මගේ මනස තුළට නිරායාසයෙන්ම ඇතුළු වෙති. එවිට කුරුල්ලාගේ නැතිවූ දරු පැටවුන් වෙනුවෙන්ද ලොකු මාමා හා අත්තම්මා වෙනුවෙන් මම හඬමි.


අද වන විට රන් කැටි පුතා වෙනුවෙන් හැඬු ආත්තම්මා අපේ අම්මා   ජීවිත රඟ මඬලෙන් නික්ම ගොසිනි. අපි තවම රන් කැටි පුතුන් වෙනුවෙන් දුක් වෙමින් ජීවිතයේ සැන්දෑ සමය ගත කරමින් සිටිමු. මේ ලෝකයේ කොතෙක් අම්මලා රන්කැටි පුතුන් වෙනුවෙන් අඬා හා අඬමින් ඇද්ද ? කඳුළු සප්තමහා සාගරය තරම් පරිමාවක් වනු ඇත.

 


Photo by Aliyah Jamous on Unsplash
.

No comments:

Post a Comment