Monday, August 5, 2019

පිහාටුවක් වුණා මම


පිහාටුවක් වුණා මම 

කාලය ගලා ගොස්
සරල රේඛාවක
මිහිතලය කැරකුණා දෙපා යට
එළඹුණු හිමිදිරිය පිවිතුරු විය

එනමුත් වැසී ගියා
සැනෙකින් අහස් කුස
මහා දුම් ගුලි වැහි වලාකුළු වලින්
බියකරුය අඳුර දස අත

විහිදුණා විදුලි එළි
පිපිරුණා අකුණු සැර
මදියි නොකියන්න
තෙමා දැමුවා මහපොළොව

හිරු හිනැහුණා ආයෙත්
ගිනි මද්දහන හිසට ඉහළින්
ටිකෙන් ටික ටිකෙන් ටික
සෙවණැලි දික්වුණා උස් කඳු වගේ

මල් සුවඳ විහිදෙන ඒ සැදෑ කළ
පිහාටුවක් වුණා මම
දැන් ඉතින් පාවෙමි අහස්කුස
සුළං රැල් හා බැඳි දයාබරව

සැහැල්ලුවෙන් ඒ මේ අත
පතිත වන තුරු
ජීවිතය දුන් මේ
මහා පොළොව මත
© 2019 Malini Ganewatta All rights reserved. 

No comments:

Post a Comment