අලි පුංචා
වසර 2001 අවුරුද්දේ පුවත් පතක එක්තරා දැන්වීමක් තිබුණා. ළමා පොත් ලිවීම ගැන ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නට කැමති අය යොමු වෙන්න කියලා. ඒක පළ කරලා තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවෙන්. මාත් මගේ මහත්මයත් දෙන්නම මේකට අයදුම් කළා. පළමු රැස්වීම තිබුණේ කොළඹ ඩී ලාසාල් විදුහලේ. මේකේ ඉතිරි වැඩ සඳහා නේවාසික වෙන්න සිදුවෙන නිසා අපි දෙන්නටම ඒකට සහභාගී වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම විතරක් ඉදිරිපත් වුණා. මුල් දවසේ අපිට පොඩි ළමා කතාවක් සිංහල බසින් ඉදිරිපත් කරන්න කිව්වා.
මම මොකක් ලියනවා ද කියල හිතනකොට අපේ ගෙවල් අසල වත්තක ඇතිකරන ඇතා මතක් වෙලා පොඩි කතාවක් ගොතල ලිව්වා. මම වැඩ මුළුවට තේරුණා. ඒකෙ ඉතිරි කාර්යයන් සඳහා දින කිහිපයක නේවාසික පුහුණුවක් තිබුණා හබරණ විලේජ් හෝටලයේ. මට එදා හමු වුණු යාලුවෝ තාම මතකයි. හේමමාලිනි, ජයන්ති,ප්‍රේමරත්න මහත්මිය වගේ නම් මතකයි. ජාතික අධ්‍යාපන ආයතනයේ විජේරත්න මහත්මයා තමයි වැඩ මුළුවේ සම්බන්ධීකාරක වුනේ. මේ වැඩ සටහන British Council එකත් සමග ජාතික අධ්‍යාපන ආයතනයේ Primary English Language Project (PELP) කළ එකක්. ඒකෙන් බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවන් වැඩ සටහන මෙහෙයවන්න ආවා.
ළමා පොතක් ලිවිය යුත්තේ කෙසේද කියා කෙටි කාලීන පාඨ මාලාවක් කළා. මේ සඳහා අදහස් ලබා ගන්න අපි කණ්ඩායම් වශයෙන් සංචාර සඳහා යොමු කළා ,සීගිරිය, මින්නේරිය, රිටිගල වගේ තැන්වලට. මට යන්න ලැබුණේ මින්නේරියට. හරිම සුන්දර සෆාරි චාරිකාවක්. මම වැඩිම සංඛ්‍යාවක් සහිත අලි රංචුවක් දැක්ක පළමු මෙන්ම අවසාන අවස්ථාවත් ඒක. හබරණ විලේජේහි ගත කළ ඒ දින කිහිපය හරිම සුන්දරයි.
අපි ළමා පොත් පිලිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. ළමා කතන්දර කීපයක් ම ලිව්වා. පුහුණු වෙන්නයි ලිව්වේ. අපි කණ්ඩායම් වශයෙන් අදහස් හුවමාරු කර ගත්ත. දිනපතා ජර්නලයක් පවත්වා ගන්න හැටි, කතාවකට පසුබිම සකස් කර ගන්නා හැටි, ඒ ඒ ළමා වයස් කාණ්ඩ වලට සුදුසු අන්තර්ගතයන් හඳුනා ගන්නා හැටි, චිත්‍ර අඳින හැටි මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
අපේ දෙවන වැඩමුළුව තිබුණේ එවකට අමායා හෝටලය නමින් හැඳින්වුණු මහනුවර තිබුණු හෝටලයක. එහිදී අපි ළමා පොත් කිහිපයක අත්පිටපත් නිමා කළා මාත් පොත් දෙකක් නිමා කළා. ඉන්පස්සේ ඒවා බාර දුන්නා. එයින් එක පොතක් ප්‍රකාශ කිරීමට තෝරාගෙන අනික මට පසුව නැවත එව්වා. කණගාටුවට කාරණය නම් ව්‍යාපෘතිය අන්තිමේ දී නතර වීමයි. ඒ බව සඳහන් කළ ලිපියක් එකෙන් මට එවා තිබුණා. අපේ පොත් පළ කළා ද නැද්ද කියා අපි දැනුවත් වුණේ නැහැ.
පස්සේ කාලෙකදී මගේ මිතුරියක් වන අනෝමා මානෙල් මට කිව්වා ඔයාගේ නමින් ළමා පොතක් පුස්තකාලේ තියෙනවා කියලා. මට පුදුම හිතුණා. කර්තෘ පොත ගැන දන්නේ නැතිවම පොතක් පළ වෙලා! ඒ මගේ 'අලි පුංචා' පොත. පස්සේ ඈ මට එහි පිටපතක් ලබා දුන්නා. මං ඒකෙන් ඡායා පිටපතක් ගත්ත. ඔන්න ඔහොමයි මගේ මුල්ම පොත පළ වුණේ.
පොතේ දක්වා ඇති ආකාරයට මේ විදියට අපි අර ව්‍යාපෘතියේදී ලියපු අත් පිටපත් 50ක් පොත් වශයෙන් British Council මගින් පළ කර නොමිලේ පුස්තකාල වලට බෙදා හැරලා තියෙනවා. කණගාටුව අපිට ඒ ගැන නොදැන්වීම. ඒත් ඒ පොත මෙහෙම හරි දැකලා ඇත්තෙන්ම මම හුගාක් සතුටු වුණා. කොහේ හෝ ප්‍රදේශයක දරුවෙක් මගේ පොත කියවන්න ඇති කියන සතුට මුදලට ගන්න පුළුවන් එකක් නෙමෙයි.
හබරණ විලේජ් හි සුන්දර මතකයන් .....
ඔබ විසින් ලියන ලද පොත වෙන කෙනෙකුගේ මාර්ගයෙන් හෝ කලකට පස්සෙවත් දැකගන්නට ලැබීම වාසනාවක්. මටත් ඔය වගේම දේ අවස්ථා කිහිපයකදීම සිදුවෙලා තිබෙනවා. 2011 සහ 2012 වසර වලදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙහෙයවීමෙන් දියත් කරන ලද SEMP -Secondary Education Modernisation Project සහ EKSP - Education for a Knowledge Society යන දෙකෙහිම පරිසර විද්‍යා උපදේශක ලෙස සේවය කළ මා සහ අනිකුත් අංශ වල සිටි තවත් අය සය දෙනෙක්ම ගුරු අත්පොත් සහ පාඩම් පොත් රාශියක් ලියා අවසන් කළා. ඒ එකක්වත් මුද්‍රණය කර පාසල්වලට යැවූ බවක් නම් දන්නේ නැහැ. කොහොම වෙතත් ව්‍යාපෘතිය අවසන් වීමට දින කිහිපයකට කලින් මගේ පොත්වල අත් පිටපත් වල ඡායා පිටපත් ලබාදීමට එම කටයුතු භාරව සිටි මහත්මිය උදව් කළා ඇය ඒවා මට දෙන ගමන්ම කීවේත් 'මේවා කුණු බක්කියටම දමයිද දන්නෙත් නැහැ කියලා' මා හිතන්නේ අවසානය ඒක තමයි.
ReplyDeleteස්තුතියි කොමෙන්ටුවට. ඔබ කියන දෙය නම් ඇත්ත. අධික වියදම් දරමින් ව්‍යපෘති අරඹනවා. අන්තිමේ අතරමග නවතිනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete