Stone Mountain දකුණු මුහුණතේ ඇති ලෝකයේ විශාලතම උඩට මතුවූ කැටයම පසුබිමේ
චුටි පුතාත්
නදී දුවත්
කල් තියාම
අප සැම
සඳහා සතියක
සංචාරයක් සැලසුම් කරලා තිබුණා.
මෙහි මං
Road Trip ලෙස දක්වා
තිබෙන්නේ එම
සංචාරයේ විස්තර.
අපේ චාරිකාව ඇරඹෙන්නේ සැප්තැම්බර් 8 දා. එදා දකුණු කැරොලයිනාවට මැතිව් කුණාටුව ලඟා වෙමින් තිබුණා. ප්‍රාන්ත රජය කුණාටුව නිසා හානිවෙන්න ඉඩ තිබෙන ප්‍රදේශ වල ජනතාවට නිවෙස් අතහැර ඉවත්වෙන්න කියලා දිගටම අනතුරු ඇඟවීම් කරමින් අවවාද දුන්නා. අපි හිටිය නිවාස සංකීර්ණය අනතුරින් බැහැර ප්‍රදේශයක් ලෙසයි සැලකුවේ. උදේ 6.00 වනවිට අපි ගමන පිටත්වෙන්න එළියට බසිනකොටම මහා විශාල වැස්සක් සමග තද සුළං හමන්න පටන් ගත්තා. ගමනට වාහනයක් වෙනම කුලියට අරන් තිබුණා. අපි වැස්සේම වාහනයට අවශ්‍ය කළමණාද පටවලා ඉන්පසු එයට ගොඩවී 6.30ට අපේ සංචාරය ආරම්භ කළා . ටික වෙලාවකින් අපි කුණාටුවෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සිටියා. උදේ 8.00 විතර වෙද්දී ආහාරයේ අවශ්‍යතාවය තදින් දැනෙමින් තිබුණා. ගෙදරින් ආහාර පිළියෙළ කරගෙනයි ගිහින් තිබුණේ. උදෑසන ආහාරය සඳහා පැයක පමණ නතර වීමක් සිදු වුණා. දවල් වෙද්දී අපට ජෝර්ජියාවට ලඟා වෙන්න පුළුවන් වුණා. ජෝර්ජියාව ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක්. එක ප්‍රාන්තයකින් වෙන එකකට ඇතුල් වෙන තැන් වල පිළිගැනුම් මධ්‍යස්ථානයක් (Welcome Center/Visitor Information Center) තියෙනවා . අපි එහි ටික වෙලාවක් ගිමන් හැරියා. ආපසු ගමන ආරම්භ කර අතරමග මග ගිමන් හලකදී දිවා ආහාරය ගත්තා. සවස් වරුවේ ස්ටෝන් මවුන්ටන් උද්‍යානය නැරඹීම තමයි යෙදී තිබුණේ.
ස්ටෝන් මවුන්ටන් උද්‍යානය
පිහිටලා තියෙන්නේ ජෝර්ජියාවේ අගනුවර වන ඇට්ලන්ටා වල ඉඳලා සැතපුම් 15ක් දුරින්. තව දෙයක් කියන්න ඕන .ඇමරිකාව
තාම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන්නේ රාත්තල් ,අවුන්ස
බර මැනීමට. දුර මැනීමට අඟල් ,අඩි ,සැතපුම්. නමුත් විද්‍යා අධ්‍යාපනයේදී
අන්තර්ජාතික මිනුම් භාවිත වන බව චුටි පුතා කිව්වා.
ස්ටෝන් මවුන්ටන් උද්‍යානය අක්කර 3200ක් පුරා විහිදෙන ස්වභාවික සුන්දරත්වයක්. මෙය ක්වෝට්ස් මොන්සොනයිට් නම් ආග්නේය පාෂාණ වලින් නිර්මිත හුදකලා කන්දක්. එහි මුදුනත මුහුදු මට්ටමේ සිට අඩි 1686ක් උසින් ද එම ප්‍රදේශයේ බිම් මට්ටමේ සිට අඩි 825ක් උසින් ද පිහිටා තිබෙනවා. මෙහි ප්‍රසිද්ධියට හේතුවක් වන්නේ කන්දෙහි භූගර්භ විද්‍යාව පමණක් නොවේ. එහි දකුණු මුහුණතේ ඇති ලෝකයේ විශාලතම උඩට මතුවූ කැටයම් දරණ විශාල නිදහස් කැටයම් කැපුම් තලය ද එයට හේතු වෙනවා. මේ කැටයමේ ඇත්තේ නමින් 1861- 1865 දක්වා තිබු ප්‍රාන්ත රාජ්‍යයක උසස් නිලයන් තුනක් දැරූ පුද්ගලයන් බව සඳහන් වෙනවා.
මේ ප්‍රාන්තය දකුණු කැරොලයිනා ,මිසිසිපි,ෆ්ලොරිඩා,ඇලබාමා,ජෝර්ජියා,ලුසියානා හා ටෙක්සාස් යන ප්‍රාන්ත 7ක් ඇතුලත්ව තිබු වහලුන් සහිත ප්‍රාන්තයක් වශයෙනුයි තිබී ඇත්තේ (Confederate States of America in February 1861). 1958 දී ජෝර්ජියාව විසින් Confederate රාජ්‍යයට ගරු කිරීමක් වශයෙන් මෙය මිළදී ගෙන මහජනතාව වෙනුවෙන් ස්ටෝන් මවුන්ටන් උද්‍යානය ලෙස විවෘත කර ඇත්තේ 1965 අප්‍රේල් 14 වනදා හරියටම ලින්කන් ගේ ඝාතනයෙන් අවුරුදු 100ක් පසුවන දවසේදී. ජෝර්ජියාවේ වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති ස්ථානය මෙය ලෙස සඳහන් වෙනවා. කන්දෙහි පාදයේ වටප්‍රමාණය සැතපුම් 5ක් පමණ වෙනවා. කන්ද මුදුනට එහි බටහිර පැත්තෙන් පයින් යන මං පෙතෙන් හෝ ට්‍රෑම් රථයකින් යන්න පුළුවන්.
භූ ගර්භ විද්‍යාවට
අනුව දැනට අවුරුදු මිලියන 300-350 කට පෙර කාබොනිපරස් අවදියේ දී අපලන්චියන් කඳුවල
කොටසක් ලෙස බ්ලූ රිජ් කඳු සමගම ස්ටෝන්
මවුන්ටන් ඇතිවී තිබෙනවා. පෘථිවි කබොලෙන් උඩට මතුවූ මැග්මා ඝන වීමෙනුයි මේ කඳු
ඇතිවී තිබෙන්නේ.
මෙහි කඳු මුදුනේ භුමි දර්ශනයේ විවෘත පාෂාණය හා ගල් පොකුණු තිබෙනවා. මෙහි සිට බැලූ විට ඇට්ලන්ටා ඩවුන් ටවුන් හි ඈත ක්ෂිතිජයත්, කෙනෙසෝ කන්දත් නිරන්තරයෙන් පෙනෙන අතර වඩාත් පැහැදිලි වායුගෝලයක් ඇතිවිට අපලන්චියන් කඳු ද පෙනෙනවා. සමහර දිනවල කඳු අවට අධික මිහිදුම් ඇති වෙන අවස්ථා වල අඩි කිහිපයක තරම් දුරක් තමයි දර්ශනය වෙන්නේ. අපි ගිය අවස්ථාවේ අවට මනස්කාන්ත දර්ශනය නිරාවරණය වී තිබුණා. ගල් පොකුණු සෑදී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇතැම් පාෂාණ කොටස් ඛාදනය වීම නිසයි. මේ ගල් පොකුණු වලට වැස්සෙන් තමයි ජලය පිරෙන්නේ. එම ජලයේ Clam shrimp නම් කාවාටි වර්ගයක් හා Fairy shrimp නම් Brachiopoda වර්ගයක් ද ජීවත් වෙනවා. මොවුන් දක්නට ලැබෙන්නේ වැසි සමයේ පමණයි.ක්‍රිප්ටෝබයෝසිස්(Cryptobiosis) නම් ක්‍රියාවලියක් මගින් මේ ජීවීන්ගේ කුඩා බිත්තර වසර ගණනක්, හිතකර තත්වයන් එළඹෙන තෙක් කාල තරණය කරනවා. මෙහි ඇති ඍතුමය පොකුණු තවත් වඳවීමේ තර්ජනයට ලක්වුණු ශාක විශේෂ වලට නිවහනක් වෙනවා.
කඳු මුදුනේ සිට බැලූ විට
කන්දේ පහළ
බෑවුම් කොටස ගස් වලින් යුක්ත වෙනවා.
දුර්ලබ ජෝර්ජියා ඕක් ගස (Quercus
georgiana) මුලින්ම සොයා
ගැනුණේ කඳු මුදුණින් වුවත් නිදර්ශක කිහිපයක් මං
පෙත අයිනේත් කන්ද පාමුළ වන ගොමු වලත් දක්නට ලැබෙනවා. සරත් සමයේදී ඉතාම
දුර්ලභ කන්ෆෙඩරේට් කහ ඩේසි (Confederate Yellow Daisy)මල් කන්දේ ගල් කුස්තුර අතර මෙන්ම ගස් සහිත
ප්‍රදේශ වලත් මතු වෙනවා. මෙහි වනමල් වර්ග 120ක් පමණ ඇති අතර ඉන් බොහෝ ඒවා දකුණු
අපලන්චියන් ප්‍රදේශ වලට ආවේනිකයි. ඇතැම්දුර්ලභ
ඒවා ප්‍රාන්තමය වශයෙන් ආරක්‍ෂිත කරනු ලැබ තිබෙනවා.
සෑම පාසල්
වර්ෂයකම දහස් ගණන් සිසුන් භූ ගර්භ විද්‍යාව, පරිසර විද්‍යාව
හා ඉතිහාසය හදාරන්න මෙහි එන බව සඳහන් වෙනවා. ඒ සඳහා කෞතුකාගාරයක් ද මෙහි පිහිටුවා
තිබෙනවා.
මෙහි ළමයින්ට
මෙන්ම වැඩිහිටියන් ටද විනෝදාස්වාදය ලැබීමට ඉලක්ක කර පිළියෙළ කර ඇති ක්‍රියාකාරකම්
රැසක් තිබෙනවා. දුම්රිය චාරිකාව,
ට්‍රෑම් රථ,බෝට්ටු සවාරි ඇතුළු තවත් ක්‍රීඩා රැසක් ඒ
අතර වෙනවා. ස්ටෝන්
මවුන්ටන් දුම්රිය කඳු පාමුළ කන්ද වටේට ගස් අතරෙන් පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට
සලස්වනවා. අපි දුම්රියේ සවාරියක් ද ගියා. එය හරිම විනෝද ජනකයි.
ස්ටෝන් මවුන්ටන් දුම්රිය
අපි කඳු
මුදුනට නැග්ග වෙලේ තද සුළං තිබුණා. අපි ටික වෙලාවක් කඳු මුදුණේ ගල් තලාවේ ගත කර
පහළට බැස්සා. ඒ වෙනකොට අඳුර ගලා එමින් තිබුණා.
ඉන්පසු අපි
නවාතැන් ගන්න ඇණවුම් කර තිබු හෝටලයට ලඟා වුණා. ඒ වනවිට ඒ ඇණවුම අවලංගු වී වෙන
කෙනෙක් හෝටල් කාමරය අරන් තිබුණා . අපට තව පැයක් පමණ පදවා ගෙන ගිහින් තමයි නවාතැනක්
ලබා ගන්න පුළුවන් වුණේ. ඒ රාත්‍රිය විවේකීව ගතවුණා.