Saturday, August 1, 2020

බෝනිකි ගෙවල් 10 - අනුර මල්ලිගේ මළ ගෙදර






එදා ඉරිදා දවසක්. කවුරුත් නිවාඩු පාඩුවේ ගෙදර හිටියේ. මේ තමයි චන්දන විජේවර්ධන නිවස. සවස එක පාරටම බයිසිකල් බෙල් හඬක් ඇහුණා බලන කොට තැපැල් පියුම් ...ඒත් හවසක තැපැල් පියුම් එන එක විශේෂ දෙයක්. සාමාන්‍ය ලියුම් බෙදන්නේ උදේ වරුවෙනේ. කෝකටත් චන්දන ඉස්සරහට ගියා. 

'සර්, ටෙලිග්‍රෑම් එකක්.' තැපැල් පියුම් කිව්වා. චන්දන අත්සන් කරලා ටෙලිග්‍රෑම් එක ගත්තා.

පිටිපස්සෙන් සුජාතා ආවා. සුජාතාගේ මුණේ ඇඳිලා තිබුණේ බය මුහුවෙච්ච කුතුහලයක්.
චාන්දනත් ටිකක් චකිතයෙන් ටෙලිග්‍රෑම් එක ඇරලා බැලුව. මුණ අමුතු වුණා. 

සුජාතා 'මොකක්ක්ද චන්දන කියන්නකෝ ...ඇයි ඔයා බය වෙලා' කියල ඇහුව. 
'කලබල වෙන්න එපා සුජා...ඔය ඉතින් ඔයා දැන්මම බය වෙලා ' චන්දන කිව්වෙත් වෙව්ලන කටහඬින්. 

අනේ ..චන්දන මෙන්න මෙහෙට දෙන්න ඕක....; කියල සුජාතා ටෙලිග්‍රෑම් කොළය චන්දන අතින් ඇදල කියෙව්වා. 
' Anura serious in  Matara hospital, 
  Pappa'   

'අය්යෝ අනුර මල්ලී ......'.සුජාත විලාප තියන්න ගත්ත. 
'අපි යමු චන්දන ....අපි යමු ...අනේ දෙවියනේ මල්ලි ......'

මේ සද්දෙට කලින්ම තැපැල් පියුම් එනවා දැක්ක ලීලා අක්කා චන්දනලයි ගෙදරට එමින් හිටියේ. ඊට පස්සේ ඇලිස් අක්කත් කොර ගගහ ආවා. එහෙම තමයි ඒ කාලේ. ගෙදරකට විදුලි පුවතක් එන්නේ මොකක් හරි හදිසි පණිවිඩයක් කියන්න නිසා හැමෝම විදුලි පුවත ගෙන එන සීනු නාදයටත් බය වෙනවා. 
 
අහල පහළ ගේකට විදුලි පුවතක් ආවොත් ඒ ගැන විමසිලිමත් වෙනවා.

'මොකක්ද සුජාතා නෝනා' 

'අනේ ලිලක්කේ අපේ අනුර මල්ලි.......' සුජාතා ලිලක්කගේ ඇඟේ එල්ලිලා කෑගහන්න ගත්තා. 

'අපේ අනුර මල්ලි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු...එයාට අමාරුලු ' චන්දන කිව්වා. 

' කෝ මේ ජේන් ....ජේන්   ඉක්මනට වරෙන් ' ඇලිස් අක්ක ජේන් ට අඬ ගැහැව්වා. 
'මේ එනවා ලොකු හාමිනේ '...ජේන් චීත්ත පොටෙන් අත පිහි දදා ඉස්සරහට ආවා. 
'ජේන් ...නෝනලාගේ බේබිලගේ ඇඳුම් ලෑස්ති කරපන් ...ඉක්මන් කරපන්. මාත් උදව් වෙන්නම්.'
ඇලිස් අක්කගේ අණට ජේන් කාමරයට යන්න සැරසුණා.  

වාහනයක් එන සද්දේ ඇහුණා. නීල්ගේ ජීප් රථය ගේට්ටුවෙන් වත්තට ඇතුල් වුණා.හූඩ් එක යට නවත්තපු රථයෙන් නීල්  කලබලයෙන් බැස්සා. 'කෝ චන්දන  ....කියාගෙන චන්දන හොයාගෙන ගිහින් එයත් එක්ක  ජීප් රිය ලඟට ඇවිත් හෙමින් චන්දනට මොනවා හරි වැදගත් දෙයක් කිව්වා. චන්දන කල්පනාකාරී බවක් පෙන්නුවා. 
නීල්ට මේ වෙද්දී පොලිස් පණිවිඩයක් ලැබිල තියෙනවා. ඒකට අනුව අනුර මැරිලා. සුජාතා කලබල වෙන නිසා තමයි අර විදියට විදුලි පුවත එවල තියෙන්නේ, අනුරට අමාරුයි කියල.

'උඹ දැන් ලෑස්තිවෙලා පලයන් දෙන්න එක්ක. කෝ ළමයි' නීල් විමසුවා. 
මේ වෙලාවේ සඳුනි යාළුවෙක් ගේ උපන්දින සාදයකට ගිහින්. ගෝරිං බයිසිකලෙන් නංගිව එක්ක එන්න ගිහින්. 
තව ටිකක් වෙලා යයි ඒ ගොල්ලෝ එන කොට' චන්දන කිව්වා. 
'මං කියන්නද ...ඔයා දැන් සුජා එක්ක හොස්පිටල් යන්න. ඇත්ත කියන්න එපා. මං නදුන්ලා සුගත්ලට පණිවිඩය කියල මෙහෙ දරුවොත් අරන් රෑ වෙද්දී මාතර ගෙදරට  එන්නම්.'
'ඔව්, ජේන් ඉන්නවනේ ...ප්‍රශ්නයක් නැහැ. ඇඳුම් එහෙම එයා ලෑස්ති කරාවි. එහෙනම් උඹ ආපහු ඇවිත් මේ ගොල්ලත් එකතු කර ගෙන රෑ වෙන්න ඇරලා වරෙන්. මං සුජා ගැන බලා ගන්නම්. අම්මල මොනවා කරගෙන ද දන්නේ නෑ ..... '
සුජාතා අඬ අඬාම  ඇඳුමක් දා ගත්තා. යන්තම් ඔලුව පීරලා කොණ්ඩෙත් එක කරලකට ගොතා ගත්තා. ආභරණ මොනවත් නැහැ ...මුද්දත් මතක් වුණේ පස්සේ. 
'ජේන් ..මගේ මුද්ද ගෙනත් දියන්' සුජාතා ජේන්ට කිව්වා. ජේන් කාමරයට දිව්වා. 
මුද්ද ගෙනත් නෝනට දුන්න.
ඒකත් දාගෙන සුජාතා කඳුළු පිහ දදා කාරෙකට නැග්ග. 
' සල්ලි තියේද ?' නීල් එක පාරටම ඇහුවා. 
'ටිකක් තියෙනවා. උඹ එනකොට අරන් වරෙන්.' චන්දන කිව්වා.
'මං ගාවත් සල්ලි ටිකක් තියෙනවා..නීල්, ' සුජාතා අත් බෑග් එක අත ගාමින් කිව්වා. 
'ඔයාට සල්ලි නැත්නම් චම්පිකාගෙන් ඉල්ලා ගන්න ' කියලත් ආපහු කිව්වා.    
කාර් එක හෙමින් හෙමින් ගේට්ටුව වෙනකං ඇදී ගියා. ඊට පස්සේ ඒක පාර දිගේ ඈතට නොපෙනී යනකම් ජේන්, නීල්, ලිලක්කා, ඇලිස් අක්කා ඇතුළු ඒ වෙලාවේ එකතු වෙලා හිටිය ගම්මු දුකෙන් බලන් හිටියා.
ඊට පස්සේ නීල් හිටපු අයට සිද්ධිය කිව්වා. 

'අනේ දෙවියනේ අනුරබේබි '...කියල ජේන් ඔළුව බදාගෙන විලාප තිබ්බ. අනිත් අයත් විස්සෝප උණා.
'අනේ ගහක් ගලක් වගේ හිටිය බේබි මහත්තයා'
'මොකක්ද සර් වෙලා තියෙන්නේ?' හැන්ඩි මාමා ඇහුවා. 
' යාළුවොත් එක්ක ගඟේ  නාන්න ගිහින්....දිය සුලියකට අහු වෙලා'
'අනේ අප්පේ ...' ඇලිස් අක්කත් අඬන්න ගත්තා.

'ඒක නෙමෙයි ජේන්. දැන් උඹ නෝනලා බේබිලාගේ ඇඳුම් සුට් කෙස් වලට දාල ලෑස්ති කරලා. ළමයිත් ලැස්ති කරලා රෑට මොනවා හරි කාල ...මං ආපහු එනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන. දොරවල් කාමර වහල මේ හැන්ඩිට බලාගන්න කියල යතුර දෙන්න.' කියල නීල් ඉක්මණින් ජීප් එකට නැගල යන්න ගියා. 

මේ වෙනකොට චන්දන මාතර රෝහලට ලඟා වෙලා තිබුණා. සුජාතාගේ තාත්තා ඉස්සරහම හිටියා.
සුජාතාව බදාගෙන 'අනේ පුතේ මල්ලි' කියල අඬන්න ගත්ත.
'පප්පා අය්යෝ මගේ මල්ලි කෝ යං යං ...මට මල්ලි බලන්න ඕන' කියල සුජාතා පිස්සුවෙන් වගේ කිව්වා. 
'මල්ලි ඉවරයි පුතේ........' කියල තාත්තා මහ හයියෙන් කිව්වා.
'අය්යෝ.....මගේ පණ ...මං  එනකම් හිටියේ නැත්තේ ඇයි මගේ මල්ලියෝ' කියමින් සුජාතා බිම වැටුණ. චන්දන එයාව වත්තම් කරගත්තා. 
මේ වෙලාවේ මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවෙමින් තිබුණා. මරණ කාරයාගේ බිරිඳ රාණි හා අම්ම ඇල්පිටියේ හාමිනේ සිහි කල්පනාව නැතුව ගිහින් තව වාට්ටුවක ඇඳන් දෙකක් උඩ හොවල හිටියා. මරණ කාරයාගේ පොඩි පුතු පැටියා රාණිගේ අම්ම  අතේ හිටියා ටිකක් එහායින් ගහක් යට. නීල් අවශ්‍ය මැදිහත් වීම් ඉක්මණට පොලිසි හරහා කරලා තිබුණා. ඒ නිසා ඉක්මණින් මළ සිරුර නිදහස් කරගන්න ලැබුණා.

ඊළඟට මල් ශාලාවට දැනුම් දීල එම්බාම් කරන වැඩ කටයුතු කරන්න සලස්වල කට්ටියම ගෙදර ගියා.ඒ වැඩ වලට අනුරගේ යාලුවෝ එයාගේ රැකියා ආයතනයේ අය උදව් වුණා. අනුර දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ගෙදරට ළඟාවෙද්දී  මුළු ගමම සීරුවට වැඩ. පාර සුද්ද කරලා, ගොක් රැහැන් අදිමින් සරසන අය, කුස්සියේ කටයුතු කරන අය. මේ කාලේ මළ ගෙදරම තමයි ඉවීම් පිවීම් කරේ. අද වගේ ගමම මල ගෙදරින් කන්න බලන් හිටියේ නැහැ. දුර බැහැර නෑදෑයෝ ටිකක් විතරයි කන්න බොන්න හිටියේ. 

අන්තිමේ රෑ වෙද්දී නීල්,රෝස් ඇතුළු දරුවොත් ...ගෝරිං, සඳුනි දෙන්නත් ජේනුත් නීල්ගේ ජීප් රථයෙන් මළ ගෙදරට ලඟා වුණා. චම්පිකා හා සුගත් දෙන්නත් ළමයි බමයි ලෑස්ති කරන් මහ රෑම පිටත් වුණා. චම්පිකාට පහුවදා ආපහු රැකියාවට රෝහලට යන්නත් නියමිතව තිබුණා. 

පිණිට පහුවදා සංගීත විභාගයක් නිසා ඒ පවුලට එන්න වෙන්නේ එදා හවස කිව්වා. කොහොමත් මරණයේ අවසන් කටයුතු කෙරෙන්නේ බදාදා. සඳුදා කරන්න වෙලාව මදි, අඟහරුවාදා මළ ගෙවල් වල අවසන් කටයුතු කරන්නේ නැහැ. රෑ වෙද්දී රෝහල් ගත කරලා හිටිය බවලත් ඇත්තෝ ගෙදර ගෙනාව. චම්පිකා ඒ අයට අවශ්‍ය ප්‍රතිකාර ගැන බැලුවා. 

මේ දවස් වෙද්දී බෝනිකි ගෙවල් තිබුණේ මිදුලේ ඉස්සරහ පැත්තේ වද මල් වැට අයිනේ කොටසයි, දකුණු පැත්තේ කොටසයි. වද මල් වැට ඉවරවෙන තැන කෙළවරේ සොහොන් බිම. එතන වළක් කපල ලෑස්ති කරේ මල්ලි. . මිනී පෙට්ටියට කාඩ්බෝඩ් පෙට්ටියක් ගත්තා. මිනියට සූට් එකක් අන්දලා සුදු මල් තියල හදල තිබුණා.  මල් වඩම් හදල ඉතිරි සේරම වැඩ කළේ අක්කල. හර්ස් එකටත් වාහනයක් ගත්තා. 

රෑ වෙද්දී පවුල් හතරේ ළමයින්ට කෑම බීම දීල සෝදවල, ඇඳුම් මාරු කරලා නින්දට දැමීමේ රාජකාරිය රෝස් හා විශාකාට බාර වුණා. ජේන්ට කුස්සියේ කටයුතු නිසා ඉඩක් තිබුණෙම නැහැ. ගෝරිං, පිණී, සඳුනි හා උදන් වගේ ටිකක් ලොකු ළමයි අනිත් නෑදැ ළමයි එක්ක එළියේ මඩුවේ කැරම් සෙල්ලම් කළා. ගෙදර ඉඩ මදි නිසා ඒ ළඟම තිබුණු මාම කෙනෙක් ගේ ගෙදර තමයි ළමයින්ට නිදාගන්න ලෑස්ති කරලා තිබුණේ.

 මේ වෙනකොට සුජාතා ටිකක් හිත හදාගෙන සාලයේ පුටුවක ඉඳගෙන හිටිය. ඇල්පිටියේ හාමිනේගේ තත්වය නම් දුර්වලයි. රෑ දොළහට කලින් දේහය ගෙදරට ගෙනාව. දොළහ පහු වුණහම අඟහරුවාදා නිසා ඊට කලින් ගේන එක සිරිත. 

ඒ වෙලාවේ ආපහු අඬන සද්දේ වැඩි වුණා. රාණි දේහය බදාගෙන ඇඬුව. 'අනේ  මගේ අනුර අය්යෝ අපි තනි වුණා දෙයියනේ ..' ඒ සද්දේ අහන් ඉන්න එක පිණිගේ හිතට මහා දුකක් ගෙනාව. ' අය්යෝ මාමේ ..කියමින් පිණිත්, ඒ සමග අත්වැල් අල්ලන් සඳුනිත් අඬන්න පටන් ගත්තා. අක්කලයි මල්ලියි තමයි මේ බෝනික්කෝ වෙනුවෙන් ඇත්තටම ඇඬුවේ. ඒ ගොල්ලෝ ගෙදරම මළ ගෙවල් දෙකක් ඇත්තටම දැකල තිබුණා. ඒ  වෙලාවල ගෙදර අය ඇත්ත නැන්දල, ඇත්ත අම්මල අඬපු හැටි දැකල තිබුණ මිසක් අද වගේ තොර තෝංචියක් නැතුව ටෙලි නාට්‍ය වල අඬන දර්ශන දැකල නැහැනේ. අර මීගමුවේ ගැහැණු සල්ලි වලට අඬන කතාවත් ඇත්ත අම්ම කියපු බව මතක තිබුණා. 

සැරින් සැරේ යන එන අයට බිස්කට්, තේ කෝපි අල්ලන්න ඕන. අද වගේ නෙස්කැෆේ ,නෙස්ටි මැෂින් නැහැනේ. නීල් ඔරේන්ජ් ඔරේන්ජ් බාර්ලි පෙට්ටි ගණනක් ගෙනත් දැම්ම එක සරස්වතිලට,ඉන්දුමතීලට ලේසි වුණා. නැත්නම් ළිප ළඟ ඉඳලම කෙල්ලොන්ට එපා වෙලයි තිබුණේ. බීම පෙට්ටිවල පෝටෙලොත් තිබුණ නිසා ගෝරිංලටත් කලින්ට වැඩිය තිබහ හැදුණා.

'සරසි අක්කේ අපිටත් ඕනේ ' කිය කිය තුල්සිත් සරස්වතිලගේ පස්සෙන් ඇදුනා. බීම පෙට්ටි මරණේ දවසටත් ඕනේ නිසා වරින් වර තේ හදන්නත් වුණා. වයසක උදවියට ඕන වුනෙත් තේ කෝපිම තමයි. 

ඊළඟ දවසේ උදේම චම්පිකා වැඩට යන්න පිටත් වුණා. එදා ක්ලිනික් දවස නිසා නිවාඩු ගන්න බැහැ. 
'චම්පි ..පරෙස්සමින් drive කරන්න. නිදිමරලනේ...'  සුජාත කිව්වා. 
'නැහැ... සුගත් මාව බස්සන්න එනවා. හවසට මං බස් එකේ ආපහු එන්නම්....' චම්පිකා කිව්වා. 
ඒ දෙන්න පිටත්වෙලා ගියත් එක්කම නුවර නැන්දම්මල, මාමණ්ඩිල ආව. ඒ ගොල්ලෝ දුර ඉඳන් එළිවෙන පාන්දර පිටත් වෙලා ඇවිත් තියෙන්නේ. සුජාතා ඒ ගොල්ලෝ පිළිගෙන නැන්දම්මා බදාගෙන අඬලා ඊට පස්සේ වෙච්ච සිද්ධිය විස්තර කරන්න ගත්තා. 

'ඔව් ..නැන්දම්මා ..මෙයා යාළුවොත් එක්ක නාන්න ගිහින් ..රාණි දන්නවා ගිය බව. වෙනදත් යන තැනක් නේ. මෙයා swimming වලට කප් ගහපු එක්කෙනානේ...රාණි කවදාවත් හිතල නැහැ මෙහෙම දෙයක්...අය්යෝ.....'
'මොනවා කරන්නද පුතේ වෙලාව ආවහම මොන දස්සය වුණත් ඔය ටික තමයි..' නැන්දම්මා සුජාතගේ දුක නිවන්න කතා කළා.
'මට දුක අර කෙල්ලයි දරු පැටියයි ගැන.' මාමණ්ඩිත් විස්සෝප වුණා. 

රෑට සුගත් ඇතුළු කට්ටිය පැට්‍රොමක්ස් ලාම්පු තුන හතරක් පත්තු කරා. මේක හරියන්නේ නැහැ කියල ඊ ළඟ දවසේ චන්දන නීල්ට කියල ලයිට් මෝලක් ගෙන්නුවා. එදා රෑ ළමයින්ට හරි සතුටුයි. එළිය හොඳට තියෙන නිසා සෙල්ලම් කළා රෑ වෙනකම්. අන්තිමට චන්දන නීති දාල තමයි ළමයි ඇඳන් වලට ගත්තේ. එදා දවසත් ගෙවිලා ගියා. 

පහුවදා උදේ ඉඳන් වැල නොකැඩි සෙනග එන්න ගත්තා. වාහන නවත්තන්න වත්තේම සුද්ද බුද්ද කරලා ලෑස්ති කරලා තිබුණා. වැස්සේ නැති නිසා එළිමහනේත් පුටු තියල ඉඳගන්න ලෑස්ති කරලා තිබුණා. උදේ මුල්ම සිංගාරම් සද්දේ ඇහෙන්න ගත්ත. බෙර ගහන අයට ඉන්න වෙනම මඩුවක් හදල තිබුණා. ඒ අයට කෑම බීමත් එතෙන්ටම ලැබෙන්න සැලැස්සුව. සිං ගාරම් සද්දේ හා නලා සද්දේ මළ ගෙදර ශෝකී බව වැඩි කරමින් ගුවනට මුසු වෙන හැම වතාවෙම ගේ ඇතුළෙන් විළාප හඬ නැගෙන එක වැඩි වෙනවා.    
සංග්‍රහ කරන්න අනුරගේ ආයතනයේ අය බාර ගත්ත නිසා සරස්වතිලා නිදහස් වුණා, ඒ බාර දූර වැඩෙන්.  
දවල් කෑමත් කෝකියෝ දාල උයන්න චන්දන පිළියෙළ කරලා දුන්න නිසා බවලත් ඇත්තියෝ ටිකක් නිදහස් වුණා. දවල් කෑම මාමලාගේ මිදුලේ හදපු මඩුවක පිළියෙළ කළා. පිඟන් හෝදන්නත් තරුණ ළමයි ඉදිරිපත් වුණා. අද වගේ පොලිතින් කොළ පිඟන් උඩ එළාගෙන කන අසික්කිත සංස්කෘතියක් එකල තිබුණේ නෑ. හවස දෙක වෙද්දී හුඟක් අය කෑම කාල ඉවර වුණා. 

තුනට පාන්සකුලෙට හාමුදුරුවරු වැඩම කළා. මළ ගෙදර සංවිධාන කටයුතු ප්‍රධාන වශයෙන් මෙහෙයවෙව්වේ නීල්. කථනය නුවර මාමණ්ඩි බාර ගත්ත. එයාට ඒ වගේ වැඩ තිතට කරන්න පුළුවන්. පාන්සකුලේ වේලාවේ ඇල්පිටියේ හාමිනේ පැදුරේ ඉන්දවගෙන වත්තම් කරගත්තේ චම්පිකා. තාම එයාට ඇඟට හරි නැහැ. එකම පුතාට වෙච්ච විපත ඇයට දරන්න අමාරු වුණා. ලොකු හාමුදුරුවෝ හිත හැදෙන්න බණ කිව්වා. 

"අනිච්චා වත සංඛාරා......උප්පාද වයධම්මිනෝ..."  නිහඬ වා තලයේ විසිරිලා ගියේ සියල්ලේ අනිත්‍ය බව සැමට කියාපාමින්. 
 ඒ ආගමික කටයුතු ඉවර වෙලා ගිහි උදවියත් කතා පැවැත්තුවා. අනුරගේ යාළුවෝ, ආයතන ප්‍රධානියා එහෙම හුඟක් දුක් වුණා මේ අකල් මරණය ගැන. අන්තිමට නුවර මාමණ්ඩි මතක බණ ඉරිදා බවත්, සොහොනට ගිහින් හැමෝම තේ ටිකක් බීල යන්න එන්න කියන ආරාධනාවත්  කළා. මේ රටේ දකුණේ මළ බත් ඉවිල්ලක් තිබුණේ නැහැ. 

මිනි පෙට්ටිය වහන වෙලාවේ ආයෙත් විළාප හඬ වැඩි වුණා. ළඟ නෑයෝ මිත්‍රයෝ සෙන්ට් ඉහළ ආදරය තිබ්බ. රාණිට සිහි නැති වෙලා ගිහින් නීල් එයාව වත්තම් කර ගත්තා. ඇල්පිටියේ හාමිනේ ළඟ හිටපු චම්පිකා එයාව පොල්පිතිගම නැන්දම්මට බාරදීල සුරුස් ගාල රාණිට ප්‍රථමාධාර දෙන්න ගියා. නර්ස් නෝනා කෙනෙක් වෙච්ච මාලති එයාට උදව් වුණා. පෙට්ටිය වහල පිරිමි කට්ටිය ඒක උස්සගෙන එළියට එනකොට මල් වඩම් අරගත්ත ළමයි පෙළක් හැදිලා ඉස්සරහින් හිටියා.සින්ගාරම් ගහන අයත්  නළා පිඹින අයත් පාවාඩ දාන අය, පොරි ඉහින අය කඩි මුඩියේ තම තමන්ගේ වැඩ කරා. පාර ලඟදි පෙට්ටිය හර්ස් එකට දැම්මා. මේ අතරේ අසනීප අය වාහන වල නග්ග ගෙන නීල්, සුගත් ඇතුළු පිරිස හෙමින් වාහන පදවා ගෙන අවමගුල් පෙරහරේ ඉස්සරහට ඇදුනා. 

වල හාරලා තිබුණ තැනට අවමංගල පෙරහැර ලඟා වුණා. තුන් වටයක් මිනී පෙට්ටිය උස්සගෙන කට්ටිය වල වටේ පැදකුණු කරා. ඊට පස්සේ වලට පෙට්ටිය දාල පස් මිට මිට දැම්මා. රාණි ආයෙත් වළ ළඟ පෙරළෙද්දී එයාගේ තාත්තා එයාව ආන් බාන් කරගත්තේ නීල්ගේත් උදව් ඇතුව. ඊට පස්සේ පස් දාල වල වහල මල් වඩම් ඒ වටේ තිබ්බ. හැමෝම බොහොම දුකෙන් ගෙදර එනකොට තේ පැන් සංග්‍රහය ලෑස්ති වෙලා තිබුණා. බිස්කට් අල්ලලා බීම හා තේ දෙන එක තමයි සංග්‍රහය. කෙනෙක් මැරුණම ඉන්න අය උගස් කරවන බුෆේ දැමිල්ලක් ඒ කාලෙ තිබුණේ නැහැ. සංග්‍රහයෙන් පස්සේ මතක බණට එන්න පොරොන්දු වී නෑ හිතවතුන් වැඩි දෙනෙක් විසිර ගියා. පවුල් හතරේ අය හා රාණිගේ දෙමව්පියෝ ඇතුළු පිරිසක් නැවතුණා. අස් පරස් කරන වැඩ ජේන් ඇතුළු පිරිස ඒ වන විටත් පටන් ගෙන තිබුණා. චන්දනගේ පවුලේ අය ඉරිදා වෙනකම් නවතින නිසා අනිත් පවුල් තුන පහුවදා උදේ ගාල්ලට පිටත්ව ගියා. 

අක්කල මල්ලිලා පහුවදා මිනී වල හාරලා වල දාපු බෝනික්ක ගොඩ ගත්තා. ඔන්න ඔහොමයි බෝනිකි මළ ගෙදර සිද්ධ වුණේ. 
  





 
 
 

No comments:

Post a Comment