Saturday, October 17, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 08 Road Trip – Day 05

 





පසුවදා Washington DC වල වැදගත් සංචාරක ආකර්ශනීය ස්ථාන කිහිපයක සංචාරය කළා. ඒවා තමයි අභ්‍යවකාශ කෞතුකාගාරය(Space museum),ඉටි රූ කෞතුකාගාරය(Vax museum), කලා කෞතුකාගාරය(Art museum) හා ඒබ්‍රහම් ලින්කන් මද්‍යස්ථානය (Abraham Lincoln Place)යන ඒවා.  United States Capitol, Capitol Hill හා ධවල මන්දිරය ද නැරඹුවා. නමුත් ඒවායේ බාහිරින් පමණයි.

අහස නිතරම නංවන හා ගොඩබස්වන ගුවන් යානා වලින් පිරිලා තිබුණා. හැම මිනිත්තු කීපයකටම එක ගුවන් යානයක් ගණන් කළ හැකි වුණා.

මේ තැන් වලින් වඩාත්ම මා සිත්ගත් ස්ථානය අභ්‍යවකාශ කෞතුකාගාරය. මේ National Air and Space Museum එක මුලින්ම 1946 ආරම්භ කර තිබෙන්නේ National Air Museum ජාතික ගුවන් කෞතුකාගාරය ලෙස. 1950 සිට 1960 දක්වා රුසියාව හා ඇමරිකාව අතර සිදුවූ අභ්‍යවකාශ තරගයෙන් පසු මෙය National Air and Space Museum  ලෙස හඳුන්වන්න පටන් අරන් තියෙන්නේ. ප්‍රධානතම ශාලාවක් ද සමග මෙය නැවත විවෘත වන්නේ 1976දී. වසරකට මිලියන ගණනක සංචාරකයන් මෙහි පැමිණෙන බව වාර්තා වේ. ඇපලෝ 11 මොඩියුලය එනම් මුලින්ම හඳට මිනිසුන් රැගෙන ගිය යානය ඇතුළු ඉතිහාසයේ අභ්‍යවකාශ ගමන් වල සන්ධිස්ථාන සනිටුහන් කරන ප්‍රදර්ශන භාණ්ඩ මෙහිදී නැරඹිය හැකි වෙනවා. රයිට් සහෝදරයන්ගේ මුල්ම ගුවන් ගමන කරන ලද යානයත් මෙහි තිබෙනවා. මෙහි ඇති බොහෝ ප්‍රදර්ශක භාණ්ඩ මුල් ඒවා හෝ මුල් ඒවා අනුසාරයෙන් සකස් කළ ඒවා වීම විශේෂත්වයක්.








රයිට් සහෝදරයන්ගේ මුල්ම ගුවන් ගමන කරන ලද යානය















එමෙන්ම මෙය ඉතිහාසය,ගුවන්යානා හා අභ්‍යවකාශ යානා පිලිබඳ විද්‍යාව, ග්‍රහලෝක පිලිබඳ විද්‍යාව, භූ ගර්භ විද්‍යාව හා භූගර්භ භෞතික විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් ද වෙනවා. එහි ප්‍රථම ගුවන් ගමනේ සිට රුසියානු මෙන්ම ඇමරිකානු අභ්‍යවකාශ ගමන් පිලිබඳ සෑම විස්තරයක්ම ඇතුලත් වන ප්‍රදර්ශන භාණ්ඩ අපට නරඹන්න වාසනාව ලැබුණා. සඳ ගමනෙන් රැගෙන ආ පස ද ස්පර්ශ කරන්න ලැබුණා. ඉතාම ලස්සන අභ්‍යවකාශ චිත්‍රපටයක් ද නැරඹුවා.

උත්තර මන්ත්‍රණ සභාව හා නියෝජිත මන්ත්‍රණ මණ්ඩලය සඳහා වන United States Capitol & Capitol Hills  එක්සත් ජනපදයේ සංකේතය ලෙස මුළු මහත් ලෝකයේම හඳුනාගැනීමට ලක්වී තිබෙන තැනක්. රෝමයේ ශාන්ත පීතර ගර්භය වැනි විශාල ගර්භයකින් යුක්තව මෙය වොෂින්ටන්   හි අනිකුත් ගොඩනැගිලි අභිබවා නැගී සිටිනවා. මෙහි මැද කොටස 1793 සිට 1812 දක්වා නිර්මාණය කර තිබෙන අතර වොෂින්ටන් හි අනිකුත් ගොඩනැගිලි මෙන්ම එතැන් සිට ක්‍රමයෙන් විශාලත්වයෙන් වැඩිවී තිබෙනවා. අවසාන එකතුව 1958-1962 අතර සිදුවී ඇති අතර එය ජනාධිපතිවරුන් දිවුරුම් දෙන විශාල ප්‍රාසාද මුහුණතයි. විරුද්ධ පැත්තේ කිරිගරුඬ පාෂාණ ටෙරසය සාප්පු සංකීර්ණය හා නගරයට ඉහළින් අලංකාර දර්ශනයක් මවා පානවා.

කැපිටල් ගොඩනැගිල්ලේ සිට ලින්කන් සැමරුම දක්වා විශාල කොළ පැහැති තීරුව දිය පොකුණු හා තණ තිළි වලින් අලංකාර වී තිබෙනවා. එමෙන්ම මෙහි වොෂින්ටන් හි වැදගත්  ස්මාරක හා ගොඩනැගිලි ද තිබෙනවා. එයින් වඩාත් ප්‍රකට ඒවා වන්නේ වොෂින්ටන් ස්මාරකය හා දෙවන ලෝක යුද්ධයේදීත් වියට්නාම් හා කොරියන් යුද්ධ වලදීත් සටන් කළ ප්‍රවීණයන් සඳහා ඇති ස්මාරක.









Washington War II Memorial

වොෂින්ටන් සැමරුම් අතර වඩාත් ආදරයට පාත්‍රවූ ඒබ්‍රහම් ලින්කන් සැමරුම පරාවර්තන තටාකයෙන් වොෂින්ටන් සැමරුමෙන් වෙන්වී මෝල් එකේ කෙළවර ස්ථානගත වී තිබෙනවා. එහි මධ්‍යයේ කුළුණු 36කට මැදිව හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ අඩි 19ක් උස හිඳගත් විලාශය දක්වන ප්‍රතිමාවක් තිබෙනවා. 











කුළුණු 36න් සංකේතවත් වන්නේ ලින්කන් ගේ මරණය සිදුවන විට එක්සත් ජනපදයේ තිබුණු ප්‍රාන්ත රාජ්‍ය 36යි. මේ ප්‍රතිමාව ප්‍රසිද්ධ නිර්මාණ කරුවකු වන ඩැනියෙල් චෙස්ටර් ෆ්‍රෙන්ච් විසින් කරන ලද්දක්. මේ ස්ථානයේ ඇතුලත ඇති ලින්කන් ගේ ජීවිතයේ වැදගත් ස්ථාන විදහා දැක්වෙන  බිතුසිතුවම් ජුල්ස් ගුවරින් විසින් පින්තාරු කර තිබෙනවා. 1992 දී මේ ස්ථානය නිර්මාණ කටයුතු අවසන් වූ දින සිට වැදගත් ඓතිහාසික සිදුවීම් කිහපයක් ම මෙහි සිදුවී තිබෙනවා. 1963 දී මාර්ටින් ලුතර් කිංග් මෙහිදී පවත්වන ලද ‘I have a dream’   කතාව එවැන්නක්. රාත්‍රී කාලයේ ද ආලෝකවත්ව පවතින මේ ස්ථානය දවසේ පැය 24 පුරාම විවෘතව පවතිනවා. අපි ලින්කන් ස්මාරකය අසල ටික වෙලාවක් ගත කර මේ නිර්මාණ නැරඹුවා.

දිග පරාවර්තන තටාකයේ ප්‍රතිබිම්බය වැටී ඇති විට අලංකාර දර්ශනයක් මවා පාන වොෂින්ටන් සැමරුම අඩි 555ක් උස ධවල කුළුණක්. මේ  ඉහළට යනවිට ක්‍රමයෙන් සිහින් වන චතුරශ්‍රාකාර ශිලා ස්ථම්භය ප්‍රථම ජාතික ජනාධිපති සිහිකිරීමට ඉඳි කරන ලද්දක් වුවත් එහි ඉඳිකිරීම් කටයුතු නොයෙක් බාධා නිසා කල් ගිහින් තිබෙනවා. 1873 දී සැලසුම් කළ මෙය වැඩ අවසන් කර තිබෙන්නේ 1885දී. වරින් වර ඉඳි කරන ලද කොටස් ඒවායේ වෙනස් වර්ණයන් ගෙන් යුක්තව  පිටට පෙනෙන ගල්වලින් තවමත් හඳුනා ගන්න පුළුවන්. කුළුණේ පාදම වටා වෘත්තාකාරව ප්‍රාන්ත 50ට අයත් ධජ ඉහළට ඔසවා තිබෙනවා.

විදුලි සෝපානයකින් මෙහි ඉහළට ගොස් එහි අතුලත හා mall එකට ඉහළින් මුළු වොෂින්ටනයම අසුවන අවට දර්ශනය දැක ගැනීමේ පහසු කම් තිබුනත් අපි ගිය අවස්ථාවේ එහි කිසියම් අලුත් වැඩියා කටයුත්තක් නිසා අපට ඒ අවස්ථාව ලැබුණේ නැහැ.









Washington Monument



ඊළඟට අපි National Gallery of Art Sculpture Garden එකට ගියා. එය National Mall  හිම පිහිටා ඇති, අලුතෙන්ම එනම් 1999දී ජනතාවගේ විනෝදාශ්වාදය සඳහා නිර්මාණය කරන ලද  තැනක්. එහි විවිධ නුතන මුර්ති නිර්මාණ දකින්න ලැබුණා.  Metal tree, Thinking on a rock හා Moon dog එයින් කිහිපයක්.   ආසන්නයේම අක්කර 6ක භුමි භාගයක් පුරා පැතිරී ඇති මෙහි විවිධ ගස් වර්ග,මල් වර්ග,පඳුරු හා ආවරණ වගාවන් රාශියක් තිබෙනවා. දිය උල්පත් සහිත ශීත ඍතුවේ හිම ඇති කිරීමට යොදාගන්නා පොකුණ උද්‍යානය මැද පිහිටා තිබෙනවා. අපි එහි අවට ඇති ආසන වල ඉඳගෙන ගිමන් ඇරියා.




 

 





Metal tree 

මීළඟට අපි ධවල මන්දිරය ඉදිරි පිටට ගියා. එහි ඉදිරිපස දර්ශනය බලල එහි සිටගෙන ඡායාරූප කිහිපයක් ගන්න පමණයි පුළුවන් වුණේ. මෙය එක්සත් ජනපද ජනාධිපති ගේ නිල රාජකාරි නිවස. ජෝර්ජ් වොෂින්ග්ටන් හැර සියළුම ජනාධිපති වරුන්ගේ නිවස වන මෙය, මුලින්ම ගොඩනගා තිබෙන්නේ 1792 දී ජේම්ස් හොබන් විසින්. බ්‍රිතාන්‍ය හමුදා විසින් 1814දී ගිනිතබන ලදුව 1818දී නැවත ගොඩ නගා තිබෙනවා. සංචාරකයන් මෙය ඇතුළත නැරඹීමට නම් ඒ ඒ රටේ තානාපති කාර්යාලය හරහා වෙනම කල් ඇතුව අවසර ගෙන තිබිය යුතු බව කියවෙනවා.








ධවල මන්දිරය

අපේ මීළඟ සංචාරක ආකර්ෂණය වුණේ Madame Tussauds   ඉටි රූ කලාගාරය. එය අපුරු තැනක්. ලෝකය පුරා සමාජයේ ජනප්‍රිය සියළු චරිත මෙහිදී ඔබට හමුවෙන්න පුළුවන්.හැබැයි ඉටි රූප විදියට. මෙහි තේමා හයක් යටතේ නිර්මාණ සඳහා වෙන්වූ ශාලා තිබෙනවා. අපි අපේ සිත්ගත් විවිධ චරිතවල  ඉටි රූප සමග කතා බස් කරමින් ඡායා රූප ගත්තා. 

















මේ විදියට එදා දවස නොදැනීම ගෙවිලා ගියා.ඇඳිරි වැටෙද්දී අපි හෝටලයට ආවා. නෑමෙන් හා ඇඳුම් මාරු කිරීමෙන් පස්සේ රාත්‍රී ආහාරය අරන් නින්දට වැටුණා.


2 comments:

  1. 'ඇවිද්ද පය දහස් වටී' මෙවැනි සංචාර වලින් ලබෙන දැනුම පොත පතින් ලබන දැනුම මෙන් සිය දහස් ගුණයකින් වැඩි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට. ඇත්තෙන්ම මං ආසම දේ සංචාරය. පුළුවන් කාලේ තමයි යන්න ඕන. COVID එයට වැට බැන්ද නිසා ගෙදර කොටුවී ඉඳිමි.

      Delete