Saturday, October 10, 2020

පුද්ගල අභිමානය

 



මෙළොව උපදින කිසිම පුද්ගලයන් දෙදෙනෙක් එක සමාන නැත. සම නිවුන්නුන් අතර පවා වෙනස් කම් ඇතිවේ. එනම් පුද්ගලයා අනන්‍ය වේ. පුද්ගල හැකියා දකෂතා විවිධවේ. කිසිවෙක් තවත් කිසිවෙකුට වඩා උසස් හෝ පහත් නොවේ. එහෙත් සමාජය විසින්, ආගම් විසින්, වෙනත් ඇදහිළි මතවාද විසින් පුද්ගල වටිනාකම් පසෙකට තල්ලුකර  පුද්ගල අභිමානය බිඳ දමා ඇත. පුද්ගල කොඳු නාරටි බිඳ දමා ඇත. එසේ බිඳ වැටුණු පුද්ගලයා බොහෝ විට තමාට අඩු පාඩුවක් ඇතැයි සිතයි. 'මං එයා තරම් දක්ෂ නැහැ.' 'මං එයා තරම් වාසනාවන්ත නැහැ.' 'මං එයා තරම් පිං වන්ත නැහැ.'  'ඒ ගොල්ලෝ කොයි තරම් උසස් මිනිස්සුද ? අපි කවුද ?' කියමින් නිතරම පසු තැවිලි වෙයි. ඍණාත්මක ලෙස සිතයි. 

තමා දෙවැනි තැනට පත් වෙයි. එතැනින් මේ තත්ත්වය නවතින්නේ නැත. 

අභිමානය බිඳ වැටුණු පුද්ගලයා තමන්ට වඩා උසස් යයි සිතන පුද්ගලයන්ට වැඳ වැටෙයි. තමාට ඔවුන්ගේ පිහිට යදියි. තමන් අසරණ යයි නිතර සිතයි. ගස්, ගල්, දෙවියන්, භූතයන් ට වැඳ වැටෙයි. පිහිට ඉල්ලා යදියි. මෙසේ වන විට වැඳුම් ලබන පුද්ගලයෝ වැඳ වැටෙන පුද්ගලයින් තව තවත් අසරණ වනවාට කැමති වන ගතියක් ඇතිවේ. එය ආර්ථික වශයෙන්,බලය වශයෙන්, දේශපාලනික වශයෙන් වාසි දායක දෙයක් විය හැකිය. නැතහොත් මනෝවිද්‍යාත්මක වශයෙන්  තම සිතේ තමන් උසස් යයි (Ego) සිතීමෙන් වන ආත්ම තෘප්තිය විය හැකිය. එවිට තව තවත් අනුන්ගෙන් වැඳුම් ලැබීමට සිතේ ආශාවක් පහළ වෙයි. එයින් ඔවුහු තෘප්තිමත් වෙති . එහෙත් මේ නිසා ඔවුන් තුළ පවා  ආත්ම අභිමානය ඇතිවන්නේ නැත. 

ඒ අයද වෙනත් යම් ආගමික පූජකයෙක්, දෙවියෙක්,භූතයෙක් ඉදිරියේ වැඳ වැටෙති. තම ආරක්ෂාවට යයි කියා අත්වල නූල් ගැට ගසා ගනිති. යන්තර ආදී මෙවලම් පළඳිති. සතුන්ගේ කොටස් ශරීරයේ එල්ලා ගනිති. අහෝ මේ දියුණු යයි කියන ලෝකයේ මිනිසාට ගිය කළ.  මේ අනුව බොහෝ දුරට සියළු මනුෂ්‍යයෝ වැඳ වැටෙන්නෝය. පුද්ගල අභිමානය, ආත්ම විශ්වාසය නැත්තෝය. මෙය විෂම චක්‍රයක් ලෙස පරපුරෙන් පරපුරට යමින් තිබේ. තරුණ පරපුර, උගත් පරපුර කියා වෙනසක් දකින්නට නැත. කවුරුත් මේ මගම යති. මෙය වෙනස් වන්නේ කවදා ද ? පුද්ගල අභිමානය, ආත්ම විශ්වාසය ඇති මනුෂ්‍යයෙක් දැකීම කොතරම් සතුටක් ද ? ලෝකය වෙනස් වන්නට නම් එවැන්නන් අවශ්‍ය වේ. 

මේ අභිමානය බිඳ වැටීම විවිධ ස්වරූප වලින් අපේ ඇස ගැටේ.  

විභාගයක් ළඟ එන විට දේවල, පන්සල් , කෝවිල් පිරී යයි. නොයෙක් නොයෙක් පෙර නොඇසූ විරූ පුජාවන්ය. මේ ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙමින් තිබේ. විභාගය ලිවීමට ආරම්භ කරන දරුවෝ අහසට වැඳ වැටෙනු පෙනේ. භෞතික විද්‍යා උත්තර පත්‍රය මුලට 'නමෝ බුද්ධාය ' ලියා පිළිතුරු ලිවීම අරඹා තිබේ. බෝ ගස් වල 'සරත්ගේ ප්‍රශ්න පත්‍රය බැලීමට හොඳ ගුරුවරු ලැබේවා' කියා ලියූ කොඩි එල්ලා තිබේ. යැදීමෙන් දේවල් නොලැබෙන බව දහමේ සඳහන් වේ. ගෙයක්  ගොඩනැගිල්ලක් සෑදීම පටන් ගත් විට "මේ නිවසට බුදු සරණයි''  කියා පුවරු එල්ලීමේ අර්ථය වැටහෙන්නේ නැත. බුදුන් සරණ යන්නෝ මනුෂයෝ යයි ඉගෙනගෙන ඇත. අජීව දේවල් වලට එසේ හැකිදැයි නොදනිමි.  ත්‍රී වීල් , ලොරි පිටුපස නොයෙක් වැකි අලවා තිබේ. මේවායින් බොහොමයක් ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිතයේ කටුක බවේ, කර්කශ බවේ, අභිමානයක් නැති බවේ විලාපයන්ය. 

දෙවියෝද භුතයෝද යක්ෂයෝද මිනිසාගේම නිර්මාණයන්ය. මේවායේ රූප කායයන් කිසිවෙක් විසින් සැබවින් දැක නැත. ඒ රූපද මිනිස් නිර්මාන වේ. සිත්වල ඇති බිය පිළිබිඹු කරමින් ඒවා නිර්මාණය කර ඇති අතර නිර්මාපකයා ද ඒවාට බයවේ. දේවාලයකට ඔබ ගොස් ඇත් නම් ඒවායේ ඇති අඳුරු බව ද තිර ආදියද සීනු ද කපුවන්ගේ සැර ඵරුස බවද ඔබ  තව තවත් බියට පත් කරන ලෙස නිර්මාණය කර ඇති බව දකින්නට ඇත. ඉතින් නොදැනුවත්වම ඔබේ ආත්ම අභිමානය එතැනදී බිඳ වැටෙන අතර නිරායාසයෙන් දෑත් එක වී වැඳීමට ඔබ පොළඹවා ලීමක් සිදුවේ. ඔබ මේ රූප ඉදිරියේ වැඳ වැටේ. ඔබේ බලාපොරොත්තු ඉටු කර දෙන්න යයි යදියි. ඇතැම් පුද්ගලයෝ මහමග දේවාල අසල ප්‍රදර්ශනය කර ඇති  දේවරූප වල දැන්වීම් රූප වලට පවා එකත්පස්ව වැඳ වැටෙනු පෙනේ. 


ආගම්  ද ඇදහිලි ද මිනිසා විසින් නිර්මාණය කර ගත් ඒවාය. ඒවායින් වියුක්තව සිතීමෙන් ඔබේ සිතට ඇතිවන අප්‍රමාණ සහනය අත්විඳ බලන්න යයි මම ඔබට ඇරයුම් කරමි.  ලෝකයට අවශ්‍ය වන්නේ වඳින,යදින කොඳු කඩාගත් මනුෂ්‍යන් නොවේ.   සිතන හා ඒ අනුව, නිවැරදි තීරණ මත සමාජය  ප්‍රගමනය කරා ගෙන යාමට ක්‍රියාත්මක වන මනුෂ්‍යන්ය. එවිට ලෝකය සුන්දර තැනක් වනු ඇත. 

Thanks to Sonika Agarwal for the photo on Unsplash.


No comments:

Post a Comment