Saturday, April 24, 2021

ඇපල් ගෙඩියේ ඉටි තට්ටුව

 











ඇපල් ගෙඩියේ ඉටි තට්ටුව


ඇතැම් පළතුරු , එළවලු ආදියේ අස්වනු ලැබෙන්නේ වසරේ එක කාලයකට පමණි.  එහිදී නෙලා ගන්නා වැඩිමනත් පලදාව පසු අස්වනු තාක්ෂණික ක්‍රම යොදා කල් තබා ගැනීම අතවශ්‍ය වේ. නැති නම් ඒවා අපතේ යන අතර මේසා විශාල ලෝක ජනගහනක් හා ගෘහස්ථ සතුන්  නඩත්තු කිරීම අසීරු වේ. මේ හැර ලෝකයේ විවිධ රටවල් කරා ඒ ඒ පළතුරු හා එළවලු ප්‍රවාහනය කිරීමේදීද ඒවා නරක් නොවී තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සම්ප්‍රදායික ක්‍රම වල සිට නවීන තාක්ෂණික ක්‍රම දක්වා විවිධ පසු අස්වනු ගබඩා කිරීමේ ක්‍රම තිබේ.  එය පුළුල් මාතෘකාවකි.  මා අද අදහස් කරන්නේ මේ දිනවල ඇපල් හතුරෙකුට වත් කන්න දෙන්න එපා යනුවෙන් මුහුණු පොතේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දැක්වීමටයි.  වරින් වර මෙවැනි ඒවා වයිරල් වී සංසරණය වී නැවත යට යයි.

 

සාමාන්යයෙන් ඕනෑම ශාක වායව කොටසක ස්වාභාවික ඉටි වර්ගයක් වන කියුටින්  ඇතුළු තවත් ඉටි වර්ග  ඇත.  ඇතැම් පළතුරු වර්ග මත මේ කියුටින් තට්ටුව ඝනව පිහිටයි.  ඇපල් හා තක්කාලි වල එසේ ඝන කියුටින් තට්ටුවක් ඇත.  පළතුරු නෙලා පිළියෙළ කිරීමේදී සියුම් තුවාල ලෙල්ල මත ඇතිවීම නිසා ක්ෂුද් ජීවින් ඇතුල් වී ඒවා කුණු වී යාමට ඉඩක් තිබේ. මේ නිසා ශීත ගබඩා වල ගබඩා කිරීමෙන් ක්ෂුද් ජීවී ක්රියාකාරීත්වය මෙන්ම පළතුරු තුළම සිදුවන එන්සයිම ක්රියාකාරිත්වය අඩු කර වැඩි කාලයක් කල්තබා ගැනීම කළ හැකි වෙයි. 

 

මේ ස්වභාවික ඉටි තට්ටුවට අමතරව  හා එළවළු වලට  ඉටි තට්ටුවක් ආලේප කිරීම ඇතැම් නිෂ්පාදකයින් විසින් සිදු කරනු ලැබේ.  එහි අරමුණ මා කලින් සඳහන් කළ කුඩා තුවාල ආවරණය කිරීමත් පළතුරු වලින් ජලය පිටවී යාම පාලනය කර වැඩි කාලයක් කල්තබා ගැනීමත්  නෙතට ප්රිය දිළිසෙන සුලු ස්වභාවයක් ලබා දීමත් වේ.  මෙහිදී බොහෝවිට යොදා ගන්නේ ආහාරයට ගත හැකි ස්වභාවික ඉටි වර්ගයි.  එනම්, මී ඉටි, Carnauba wax , Shellac wax හෝ දැව රෙසින  (wood resin) යන ඒවායි. කාබනික ලෙස නිපදවන ඒවාට අනිවාර්යෙන් මේ ස්වභාවික ඉටි යෙදිය යුතුය.  මේ හැර ආහාරමය පෙට්රෝලියම් ඉටිද යොදනු ලැබේ.  මේ ඉටි අප විසින් ආහාරයට ගත්  පසු දිරවීමෙන් තොරවම ශරීරයෙන් ඉවත්වේ.  මේ ඉටි හානිකර නොවන බව FDA මගින් දක්වා තිබේ. ඉටි වර්ග අපේ ආහාර මාර්ගයේදී දිරවන්නේ නැත.  මල සමග පිටවී යයි. විශාල ඉටි ගුලියක් ඔබ ගිල්ලොත් ඔබේ ආහාර මාර්ගය අවහිර විය හැකිය. ඔබ එසේ කරනු ඇතැයි නොසිතමි. 

 

කෙසේ වුවත්,   කිසිම කල් තබා ගත් ආහාර වර්ගයක් ආහාරයට නොගෙන සිටීමේ නිදහස  ඔබට තිබේ.  වී, හාල් ධාන් ඔබේ කුඹුරෙන් ලබා ගැනීමට හැකිය.  ඔබේ ගෙවත්තෙන් එළවළු හා පළතුරු නිපදවාගෙන කෙලින්ම ගසෙන් නෙලා භාවිත කිරීමට හෝ වෙන රටවල නම් එවැනි පළතුරු,   එළවළු  වතු  වලට ගොස් ඒවා මිළදී ගැනීමට පුළුවන.  කිරි, බිත්තර, මස් ආදියද ගෙදර ඇති කරන සතුන් මගින් ලබා ගැනීමට පුළුවන.  මේ පමණක් නොව ලංකාවේ ඔබ අඳින ඇඳුම් සඳහා අවශ් රෙදි පවා ගෘහාශ්රිතව නිපදවා ගෙන ජීවිතය ගෙන ගිය කෙනෙක් ගැන මා කියවා ඇත.  නම අමතක වීම ගැන කණගාටු වෙමි.  නමුත් ලෝකයේ මා ඇතුළු බොහෝ දෙනෙකුට එසේ ජීවත් වීම කළ නොහැකි නිසා වෙළඳ පළින්  දේවල් මිළදී ගැනීමට සිදුවී තිබේ.  මා  නම් මෙතෙක් කල් ගෙවත්තේද යම් යම් දේ වවා ගනිමින් හා විචක්ෂණශීලීව දේවල් මිළදී  ගනිමින් ජීවිතය ගෙනගොස් තිබේ.  අතර හුස්ම ගන්නා වායු බිංදුවේ, පානය කරන වතුර බිංදුවේ සිට කෑමට ගත් මෙන්ම ශරීරයේ ආලේප කළ දේවල් වලින් පමණක් නොව පසුබිම් විකිරණයෙන් නොයෙක් අහිතකර දේ මේ ශරීර කූඩුවට ඇතුල් වන්නට ඇත.  ඒවා බැහැර කිරීමට අසිරිමත් මේ සිරුර සමත් වීමට අසමත් වීමට ඉඩ තිබේ.  ජීවිතය සදා කල් පවතින්නක් නොවේ.  තෝරා ගැනීම ඔබට බාරය.

Thanks to Michal Hlaváč for the image on Unsplash.

Tuesday, April 20, 2021

සිහින හුඟක්

 











සිහින හුඟක් 

 

සිහින හතක් නොව

හුඟක් දුටිමි මම

හත් දවසකුත් නොව

හැම දවසක වගේම

හීනවල ඔබ

කුමරුවෙක් වෙලාවකට;

මම වෙමි ඔබේ කුමාරිය

ඔබ එයි අසු පිටින්

ටක ටකස් ටක ටකස්

හඬ විසිරෙයි වා තලයේ

රාත්රී නිහඬ අඳුරු බව

කළු වළං කැට කැබිලිති වගේ

කඩා විසිරුවා වීසි කොට

ලබ් ඩප් ,ලබ් ඩප් ,ලබ් ඩප්

මා හද හැහෙයි වේගයෙන්ම

පිය රජුගේ නපුරු හඬ සමග

අශ්වාරෝහකයින් වහ වහා

වා තලය සිදුරුකරගෙන

සටනට බසින හඬ ඊළඟට

ටිලින් ටිලින් කඩුපත් ගැටෙන හඬ

සමග අවදි වෙමි විපිළිසරව

කඩුපත්  දෙකක් පෙනේ

හයේ ඉලක්කමට උඩින්

නැගිට ගමි ඇසිපිය මිරිකමින් 

සැරසෙමි  හනි  හනික

කුමරි ඇඳුම් අබරණ නම් නැත.

ඔබ ඇවිත් යකඩ අසු පිටේ නැග

මෙන්න දොරකොඩ හිනැහී ගෙන

පිය රජුට නැත වගේ වගක්

මව් බිසව ඔබට මට

බත් ගෙඩි දෙකක් බැඳගෙන

ඔන්න එනවා, යන්න යමු වැඩට


© 2021 maliniganewatta


Wednesday, April 14, 2021

තාත්ත ගෙදර ඇවිත්!

 










තාත්ත ගෙදර ඇවිත්!

 

"පහළොස් පැයකුත් ගෙවුණා,

මේ මිනිහට වෙලාවකට

 එන්නට බැරි හැටි හැබෑට

බලන් ඉඳල ඉඳලම දැන්;

කකුල් කඩුත්තුවත් හැදිල

අද  හොඳවැන් දෙකක් ම මම

කියන්න ඉන්නේ උන්දැට

කණේ ඇඟිලි ගහගන්න ම."

කටට තව වචන එයි

ඒත් පොඩිවුන් ළඟ

ඒවා පිට නොකර මම;

ගල් ගැසී නිහඬවම;

"අම්මා ඉතින් ඔය මොකටද

ඔතන හිටගෙන උඩ බලාගෙන?

වාඩි වෙන්නකො  ඇවිත් මෙතනට,

තරහ නිවිලා යන්න එක්කම " 

අපේ පොඩි එකීගේ හඬ

“ගෙයක් දොරක්, ගෑණු, දරුවො

මතක නැහැනෙ මේ උන්දැට

යාලු රොත්ත හමු වුණහම " 

“අන්න තාත්තා එනවා!”

පොඩි උන් ටික දුවන්නෙ ඔය,  

මාත් ඔහේ සිරික්කියක්,

දාගෙන මේ හිටි පියවර ;

 

"අම්මත් හරියට පස්වග මහණුන් වගෙනෙ;

එනකම් විතරයි සේරම බැණුම්,

ආවම පිළිගන්නෙ මල් තියල,

පාවඩ හෙම දාල  නේද ?"

අනේ! අනේ! පොඩි එකෝ !

©2021 maliniganewatta

(Thanks to National Cancer Institute for the photo on Unsplash)

 

 


Saturday, April 10, 2021

අප ගන්නා ආහාර වල ඇති ස්වාභාවික විෂ

 











අප ගන්නා ආහාර වල ඇති ස්වාභාවික විෂ
ආහාර වල ඇති විෂ පිළිබඳව ජනතාව ඉතාමත් උනන්දු බව පෙනී යනවා . ස්වභාවික හැමදේම හොඳයි කියන මතයක් ජනතාව අතර තියනවා. ඇත්තටම ස්වභාවික හැමදේම ශරීරයට හිතකර නැහැ. ඒ අතර විෂ ද්රව්ය පවා තියෙනවා. ආහාරවලට ස්වාභාවිකව ද විෂ එකතුවන බව ඔබ යම් තරමකින් හෝ දන්නවා වෙන්නත් පුළුවන් .
ස්වාභාවික විෂ යනු මොනවාද ?
ජීවීන් තුළ ස්වභාවිකව නිපදවෙන විෂ ස්වභාවික විෂ යනුවෙන් හඳුන්වනවා. එම විෂ එය නිපදවන ජීවියාට විෂක් නොවන නමුත් ඒවා ආහාරයට ගත්විට මිනිසාට හා ඇතිකරන සතුන්ටත් අනිකුත් ජීවීන්ටත් විෂ වෙනවා. ඇතැම් ශාක මේ විෂ නිපදවා ගන්නේ ශාක භක්ෂක සතුන්ගෙන්, කෘමින්ගෙන් හෝ ක්ෂුද්ර ජීවින්ගෙන් ආරක්ෂා වෙන්න. තව සමහර විට ඒ ගස්වල ඇති දිලීර නිසා හෝ දේශගුණික තත්ත්ව නිසා එහෙම විෂ ඇතිවෙන්නත් පුළුවන්. ජලයේ හැදෙන ඇල්ගී වර්ග වලිනුත් විෂ නිපදවෙනවා. ඒවා ඒවායේ ඉන්න මසුන්ට හෝ ඒවා ආහාරයට ගන්න වෙනත් ජලජ ජීවීන්ට විෂ නැති වුණත් මිනිසාට හා සතුන්ට විෂ වෙනවා. මේ විෂ සහිත ඇල්ගී ආහාරයට ගන්නා මසුන් ආහාර වශයෙන් ගන්නා මිනිසුන් රෝගී වෙනවා.
මෙවැනි විෂ කිහිපයක් නම් :
1. ජලජ ජෛව විෂ (Aquatic Biotoxins)
මිරිදිය හෝ කරදියේ වෙසෙන ඇල්ගී මගින් නිපදවෙන විෂ
මේ විෂ වැඩිපුර ඇත්තේ මසුන්ගේ ශරීර වලට වඩා, බෙල්ලන් මට්ටින් වැනි සතුන්ගේ ශරීර තුලය. ඒවා ආහාරයට ගැනීමෙන් වමනය, පාචනය, ආඝාතය වැනි තත්වයන් ඇති වීමට පුළුවන්. මේ විෂ ජලයට එකතුවී තිබීමටත් පුළුවන්. මේ විෂට සුවඳක් හෝ වර්ණයක් නැති අතර ශීත කිරීමෙන් හෝ ඉවීමෙන් ඉවත් වන්නේ නැහැ. ciguatera fish poisoning (CFP) නමින් තවත් විෂ වීමක් ඇතිවෙනවා. ඒ ciguatoxins නිපදවන ජලජ ජීවියෙක් නිසා. එහිදීත් වමනය හා ස්නායු දුර්වලතා ඇති වෙනවා. කලාතුරකින් මාළු විෂ වීම් නිසා මරණ පවා ඇතිවන බව අහන්න ලැබෙනවා.
2. සයනොජෙනික් ග්ලයියිකොසයිඩ් (Cyanogenic Glycosides)
මේ විෂ වර්ගය නිපදවන ශාක වර්ග 2000ක් පමණ තියෙනවා. අපි හොඳින්ම දන්නේ මඤ්ඤොක්කා . ඒ හැර ආමන්ඩ්, සෝගම් ආදියෙත් මේ විෂ තියෙනවා. මෙය අධික ලෙස ශරීර ගත වුණොත් හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, රුධිර පීඩනය අඩු වීම, උදාර වේදනාව, වමනය, කරකැවිල්ල, මානසික ව්යාකුලතාවය හා අවසානයේ කෝමා තත්වය ඇතිවෙන්න පුළුවන්. මඤ්ඤොක්කා තම්බන විට වතුර වැඩිපුර දමා භාජනය විවෘතව තැබීමෙන් මේ විෂ අඩු කරගන්න පුළුවන්. සමහරවිට මරණය ඇති වෙන්න පුළුවන්.
3. ෆියුරෝකෞමරින් (Furocoumarins)
මෙයත් ශාකවල ඒවාට හානි වූ විට ඇතිවන විෂක්. ලෙමන්, ග්රෙප්ෆ්රුට්, ජම්බෝල, වගේ ගෙඩි වර්ගවල හා සෙලරි වල මේ විෂ තියෙනවා. මෙය නිසා ඇතැම් පුද්ගලයන්ගේ උදරාබාධ ඇතිවෙන්න පුළුවන්. නමුත් ඉහළ විෂ ප්රමාණයක් ශරීර ගත වුණොත් සමේ ප්රතික්රියා ඇතිවෙන්න පුළුවන්.
4. ලෙක්ටින් (Lectins)
මාශ බෝග ඇට වර්ගවල අඩංගුවන විෂක්. සමහර ( Kidney bean ) ඇට වර්ග කිහිපයක් ආහාරයට ගත් විට පවා විෂවීම ඇතිවෙන්න පුළුවන්. එම ඇට පැය 12ක් පමණ ජලයේ පෙන්වීමෙන් හා මිනිත්තු 10ක් තැම්බීමෙන් විෂ ඉවත්කරගන්න පුළුවන්.
5. මයිකොටෝක්සින් (Mycotoxins)
ආහාරවල වැවෙන දිලීර වලින් නිපදවෙන විෂ. පොල් තෙල් ඇතුළු තවත් ආහාරවල ඇති aflatoxin මෙයින් එක වර්ගයක්.
ඒ ගැන මම කලින් ලිපියක (විෂ පොල් තෙල්) විස්තර කළා.
6. සොලනින් හා චාකොනින් ( Solanines and Chaconine)
තක්කාලි, අර්තාපල්, වම්බටු වගේ දේවල්වල ඇති විෂ. මේවා අමු තක්කාලි වලත් කොළ පැහැයට හැරුණු අර්තාපල් අල වලත් වැඩිපුර තියෙනවා. මේ නිසා අර්තාපල් අඳුරේ ගබඩා කර තැබීමත් කොළ පැහැ වූ කොටස් හොඳින් පොතු හැර ඉවත් කිරීමත් පැල වූ අර්තාපල් ආහාරයට නොගැනීමත් කළ යුතුයි.
7. බිම්මල්වලින් ඇතිවන විෂ ( Poisonous Mushrooms)
විවිධ වල් වර්ගයේ බිම්මල් වල විෂ තියෙනවා. වමනය, පාචනය, සිහි විකල් වීම සිට මරණය දක්වා දරුණු විපාක මේ විෂ මගින් ඇති වෙනවා. ඒ නිසා පාරම්පරික දැනුම අනුව ආහාරයට ගන්නා බිම්මල් හැර හඳුනන්නේ නැති බිම්මල් කිසිවිට ආහාරයට ගන්න එපා. මට වරක් ඉඳලොලූ හතු කාලා එහෙම අසනීප වුණා. ඒ විශ්ව විද්යාලයේ පළවෙනි සතියේ. කැරකිල්ල හා වමනය හැදිලා හෙල්ත් සෙන්ට ගියා. ඒකෙ සිස්ට " Fresher! fresher! Must be a case of ragging ! " කියල කෑගහනවා ඇහුණා. මොන රැගින්ද ? මට කලින් දවසේ රෑ කෑව බිම්මල් විස වෙලා.
8. පයිරොලිසිඩින් අල්කලොයිඩ් (Pyrrolizidine Alkaloids)
මේවා හුඟක් වගාව සමග හැදෙන වල් පැලෑටිවල ඇතිවෙන විෂ. ඒ නිසා නොදැනුවත්ව බෝගයේ ඇට සමග මිශ්ර වී තියෙන්න පුළුවන්. මේ විෂ පිළිකා කාරක වෙනවා. නොයෙකුත් පැළෑටි වලින් හදන පානවල, මී පැණිවල මෙන්ම පහේ වර්ගවල මේ විෂ තිබෙන බව සොයාගෙන තියෙනවා.
මේ විෂ පරිභෝජනය අඩු කර ගන්නේ කෙසේද ?
1. ස්වභාවික හැමදේම ආරක්ෂාකාරී යයි නොසිතන්න
2. තුවාලවූ වර්ණය වෙනස් වූ, පුස් සහිත වූ ආහාර ඉවත දමන්න.
3. යන්තම් හෝ රසෙහි හෝ සුවඳේ වෙනසක් ඇති ආහාර ඉවත දමන්න.
4. නොදන්නා බිම්මල් කිසි විට ආහාරයට නොගන්න.
Source - WHO
(Thanks to Külli Kittus for the image on Unsplash)