අප ගන්නා ආහාර වල ඇති ස්වාභාවික විෂ
ආහාර වල ඇති විෂ පිළිබඳව ජනතාව ඉතාමත් උනන්දු බව පෙනී යනවා . ස්වභාවික හැමදේම හොඳයි කියන මතයක් ජනතාව අතර තියනවා. ඇත්තටම ස්වභාවික හැමදේම ශරීරයට හිතකර නැහැ. ඒ අතර විෂ ද්රව්ය පවා තියෙනවා. ආහාරවලට ස්වාභාවිකව ද විෂ එකතුවන බව ඔබ යම් තරමකින් හෝ දන්නවා වෙන්නත් පුළුවන් .
ස්වාභාවික විෂ යනු මොනවාද ?
ජීවීන් තුළ ස්වභාවිකව නිපදවෙන විෂ ස්වභාවික විෂ යනුවෙන් හඳුන්වනවා. එම විෂ එය නිපදවන ජීවියාට විෂක් නොවන නමුත් ඒවා ආහාරයට ගත්විට මිනිසාට හා ඇතිකරන සතුන්ටත් අනිකුත් ජීවීන්ටත් විෂ වෙනවා. ඇතැම් ශාක මේ විෂ නිපදවා ගන්නේ ශාක භක්ෂක සතුන්ගෙන්, කෘමින්ගෙන් හෝ ක්ෂුද්ර ජීවින්ගෙන් ආරක්ෂා වෙන්න. තව සමහර විට ඒ ගස්වල ඇති දිලීර නිසා හෝ දේශගුණික තත්ත්ව නිසා එහෙම විෂ ඇතිවෙන්නත් පුළුවන්. ජලයේ හැදෙන ඇල්ගී වර්ග වලිනුත් විෂ නිපදවෙනවා. ඒවා ඒවායේ ඉන්න මසුන්ට හෝ ඒවා ආහාරයට ගන්න වෙනත් ජලජ ජීවීන්ට විෂ නැති වුණත් මිනිසාට හා සතුන්ට විෂ වෙනවා. මේ විෂ සහිත ඇල්ගී ආහාරයට ගන්නා මසුන් ආහාර වශයෙන් ගන්නා මිනිසුන් රෝගී වෙනවා.
මෙවැනි විෂ කිහිපයක් නම් :
1. ජලජ ජෛව විෂ (Aquatic Biotoxins)
මිරිදිය හෝ කරදියේ වෙසෙන ඇල්ගී මගින් නිපදවෙන විෂ
මේ විෂ වැඩිපුර ඇත්තේ මසුන්ගේ ශරීර වලට වඩා, බෙල්ලන් මට්ටින් වැනි සතුන්ගේ ශරීර තුලය. ඒවා ආහාරයට ගැනීමෙන් වමනය, පාචනය, ආඝාතය වැනි තත්වයන් ඇති වීමට පුළුවන්. මේ විෂ ජලයට එකතුවී තිබීමටත් පුළුවන්. මේ විෂට සුවඳක් හෝ වර්ණයක් නැති අතර ශීත කිරීමෙන් හෝ ඉවීමෙන් ඉවත් වන්නේ නැහැ. ciguatera fish poisoning (CFP) නමින් තවත් විෂ වීමක් ඇතිවෙනවා. ඒ ciguatoxins නිපදවන ජලජ ජීවියෙක් නිසා. එහිදීත් වමනය හා ස්නායු දුර්වලතා ඇති වෙනවා. කලාතුරකින් මාළු විෂ වීම් නිසා මරණ පවා ඇතිවන බව අහන්න ලැබෙනවා.
2. සයනොජෙනික් ග්ලයියිකොසයිඩ් (Cyanogenic Glycosides)
මේ විෂ වර්ගය නිපදවන ශාක වර්ග 2000ක් පමණ තියෙනවා. අපි හොඳින්ම දන්නේ මඤ්ඤොක්කා . ඒ හැර ආමන්ඩ්, සෝගම් ආදියෙත් මේ විෂ තියෙනවා. මෙය අධික ලෙස ශරීර ගත වුණොත් හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, රුධිර පීඩනය අඩු වීම, උදාර වේදනාව, වමනය, කරකැවිල්ල, මානසික ව්යාකුලතාවය හා අවසානයේ කෝමා තත්වය ඇතිවෙන්න පුළුවන්. මඤ්ඤොක්කා තම්බන විට වතුර වැඩිපුර දමා භාජනය විවෘතව තැබීමෙන් මේ විෂ අඩු කරගන්න පුළුවන්. සමහරවිට මරණය ඇති වෙන්න පුළුවන්.
3. ෆියුරෝකෞමරින් (Furocoumarins)
මෙයත් ශාකවල ඒවාට හානි වූ විට ඇතිවන විෂක්. ලෙමන්, ග්රෙප්ෆ්රුට්, ජම්බෝල, වගේ ගෙඩි වර්ගවල හා සෙලරි වල මේ විෂ තියෙනවා. මෙය නිසා ඇතැම් පුද්ගලයන්ගේ උදරාබාධ ඇතිවෙන්න පුළුවන්. නමුත් ඉහළ විෂ ප්රමාණයක් ශරීර ගත වුණොත් සමේ ප්රතික්රියා ඇතිවෙන්න පුළුවන්.
4. ලෙක්ටින් (Lectins)
මාශ බෝග ඇට වර්ගවල අඩංගුවන විෂක්. සමහර ( Kidney bean ) ඇට වර්ග කිහිපයක් ආහාරයට ගත් විට පවා විෂවීම ඇතිවෙන්න පුළුවන්. එම ඇට පැය 12ක් පමණ ජලයේ පෙන්වීමෙන් හා මිනිත්තු 10ක් තැම්බීමෙන් විෂ ඉවත්කරගන්න පුළුවන්.
5. මයිකොටෝක්සින් (Mycotoxins)
ආහාරවල වැවෙන දිලීර වලින් නිපදවෙන විෂ. පොල් තෙල් ඇතුළු තවත් ආහාරවල ඇති aflatoxin මෙයින් එක වර්ගයක්.
ඒ ගැන මම කලින් ලිපියක (විෂ පොල් තෙල්) විස්තර කළා.
6. සොලනින් හා චාකොනින් ( Solanines and Chaconine)
තක්කාලි, අර්තාපල්, වම්බටු වගේ දේවල්වල ඇති විෂ. මේවා අමු තක්කාලි වලත් කොළ පැහැයට හැරුණු අර්තාපල් අල වලත් වැඩිපුර තියෙනවා. මේ නිසා අර්තාපල් අඳුරේ ගබඩා කර තැබීමත් කොළ පැහැ වූ කොටස් හොඳින් පොතු හැර ඉවත් කිරීමත් පැල වූ අර්තාපල් ආහාරයට නොගැනීමත් කළ යුතුයි.
7. බිම්මල්වලින් ඇතිවන විෂ ( Poisonous Mushrooms)
විවිධ වල් වර්ගයේ බිම්මල් වල විෂ තියෙනවා. වමනය, පාචනය, සිහි විකල් වීම සිට මරණය දක්වා දරුණු විපාක මේ විෂ මගින් ඇති වෙනවා. ඒ නිසා පාරම්පරික දැනුම අනුව ආහාරයට ගන්නා බිම්මල් හැර හඳුනන්නේ නැති බිම්මල් කිසිවිට ආහාරයට ගන්න එපා. මට වරක් ඉඳලොලූ හතු කාලා එහෙම අසනීප වුණා. ඒ විශ්ව විද්යාලයේ පළවෙනි සතියේ. කැරකිල්ල හා වමනය හැදිලා හෙල්ත් සෙන්ට ගියා. ඒකෙ සිස්ට " Fresher! fresher! Must be a case of ragging ! " කියල කෑගහනවා ඇහුණා. මොන රැගින්ද ? මට කලින් දවසේ රෑ කෑව බිම්මල් විස වෙලා.
8. පයිරොලිසිඩින් අල්කලොයිඩ් (Pyrrolizidine Alkaloids)
මේවා හුඟක් වගාව සමග හැදෙන වල් පැලෑටිවල ඇතිවෙන විෂ. ඒ නිසා නොදැනුවත්ව බෝගයේ ඇට සමග මිශ්ර වී තියෙන්න පුළුවන්. මේ විෂ පිළිකා කාරක වෙනවා. නොයෙකුත් පැළෑටි වලින් හදන පානවල, මී පැණිවල මෙන්ම පහේ වර්ගවල මේ විෂ තිබෙන බව සොයාගෙන තියෙනවා.
මේ විෂ පරිභෝජනය අඩු කර ගන්නේ කෙසේද ?
1. ස්වභාවික හැමදේම ආරක්ෂාකාරී යයි නොසිතන්න
2. තුවාලවූ වර්ණය වෙනස් වූ, පුස් සහිත වූ ආහාර ඉවත දමන්න.
3. යන්තම් හෝ රසෙහි හෝ සුවඳේ වෙනසක් ඇති ආහාර ඉවත දමන්න.
4. නොදන්නා බිම්මල් කිසි විට ආහාරයට නොගන්න.
Source - WHO
(Thanks to Külli Kittus for the image on Unsplash)
No comments:
Post a Comment