නැන්දම්මා
වත
දරුවන්
ලැබීම නිසා කාන්තාව අම්මා
පදවියට පත් වන්නීය .
දරුවන් ලොකු මහත්වී විවාහ
වූ විට හැම අම්මාම
තවත් පදවියකට පත් වන්නීය. ඒ නැන්දම්මා පදවියයි. හැබැයි
දකුණු පළාතේ නම් නැන්දම්මා පදවිය
විවාහ නොවීම ලැබීමේ වාසනාව ඇත. ඒ
තාත්තාගේ සහෝදරිය අනික් පළාත්වල ‘නැන්දා’ වූවත් දකුණේදී ඇය
‘නැන්දම්මා’ යන ගෞරවාර්ථ නාමයෙන්
හැඳින්වීම නිසාය. හැබැයි
ඒ නැන්දම්මා මෙන් නොව අම්මා
නැන්දම්මා වීම සුවිශේෂ වන්නේය.
මන්ද යත් බොහෝ නන්දම්මලාට
මේ පදවිය දිරවන්නේ නැති කමය. මෙතැනදී වඩාත් වැදගත් වන්නේ දුව විවාහවී ලැබෙන
බෑනාට නැන්දම්මා වීමට වඩා පුතා
විවාහ වී ගෙදරට එන
ලේලියට නැන්දම්මා වීමය. ඒ
නිසා මේ නැන්දම්මා වතේ බෑණන්ට නැන්දම්මා
වීම ගැන මා ලියන්න
යන්නේ නැත. ඒ
ලිවීමට දේ නැති නිසා
නොවන බව ඔබ තේරුම්
ගන්නවා ඇත.
අලුත්
මනමාලිය වී එන
ලේලිය නැන්දම්මාට මෙන්ම ලේලිට නැන්දම්මා ද පෙනෙන්න ගන්නේ
ඇදේටමය. මේ
නැන්දම්මා-
ලේලි හුටපටය දන්නා කාලයේ ඉඳන්ම තිබෙන එකකි. මුලින්ම
මනමාලි දැක්ක විට නම් "අනේ
මගේ දුවෙක් වගේම මං ඔයාව
පිළි ගන්නවා " කියල තොදොල් බසින්
කිව්වත් කැන්දන් ආ පසු ඒවා
අමතකය. මුලින්ම
ලේලිගේ පිරිසිදු කම බලනවාය. ඒකේ පරහක් තිබුණොත්
හුටපටය පටන් ගන්න වෙන
මුකුත්ම ඕන නැත.
"අනේ මගේ කොල්ල මේ
උඩිච්චිට රැවටුණා" කියමින් නැන්දම්මා නෑ සනුහරේ සමගම
විස්සෝප වන්නීය. ඒක
මල් හතට තිබුණොත් වෙන
වෙන දොස් ටිකෙන් ටික
පෙනෙන්න පටන් ගනී.
" අනේ පුතා ඔය විදියට
තේ හදල නම් බොන්න
කැමති නෑ." "අනේ
මං පුතාට කියල ගෙදර වැඩ
කර ගත්තේ නෑ . ඒ දරුවට
අඥී ඒවා පුරුදු නෑ."
“ඔහොමද කොස්ස අල්ලන්නේ?” “ඔහොම
ලුණු දැම්මොත් හොඳට තියෙයි” වගේ
ප්රහාර ලේලියට එල්ල
වන්නට පටන් ගනී. මේවා සම්ප්රදායික
නැන්දම්මා- ලේලි හුටපටය. සාමාන්‍ය දේවල්ය.
මේ කිසිම දෙයක්
නැති යාළුවෝ වගේ තකට තක
ඉන්න නැන්දම්මා - ලේලිලාද ඇති
බව හොඳාකාරව දනිමි. ඒ
සමහර නැන්දම්මලා තම දුවගේ ළඟ
ඉන්නවාට වඩා ලේලි ළඟ
ඉන්න ආසා කරති. දරු මුණුපුරන් බැලීමටත්
හැකි උපකාරයක් කරති. වෙන වෙන නොයෙක්
උපකාරත් කරති. ආ
ගිය තොරතුරු කතා කරමින් තම
තමාගේ පාළුව දුරු කර ගනිති.
එවැනි නැන්දම්මලා මෙන්ම ලේලිලාද භාග්‍ය වන්තියෝය.
මේ හැර ඇල් වතුර
වගේ නැන්දම්මලා ද ඇත. එයත්
වරදක් නැත. ලේලියට තමාගේ
පාඩුවේ ඉන්න පුළුවන. ඒ නැන්දම්මලා බොහෝ
විට වෙනම දුරස්ථව වාසය
කරනවා විනා අලුත් පවුල
සමග කිසිම විශේෂ ඇයි හොඳයියක් පවත්වන්නේ
නැත. ලේලිගේ
දරුවන් වැදීම, හැදීම ගැන බැලීමක් ද
නැත. මුණුපුරා/
මිනිපිරිය තම පුතාගේ ස්වරූපයේ
දැයි බැලීමට නම් ඇතැම් නැන්දම්මලා
උත්සුක වෙති. පුතෙක්
ලැබුණොත් පරම්පරාව ගෙන යන්නට කුමරුවෙක්
පහළ විණැයි නිරාමිස සතුටක් ද ලබති. පවුලේ මගුල් තුළා, මරණ හා සිංහල
අවුරුද්දට චාරිත්රයක් වශයෙන් වගේ
විශේෂ අවස්ථා වලදී පමණක් නැන්දම්මා
- ලේලි බැහැ දැකීම සිදුවෙයි. එවිට
කොහොමත් දෙවේලේ දකින කුකුළාගේ කරමලේ
වගේ නොව වැඩි අගයක්
වර්ණයක් පෙනෙන්නටද පුළුවන. නැන්දම්මාට
තමන්ගේ දුවලා ඉන්නේ නම් ටිකක් ලේලිගේ/
නෑනාගේ අඩුපාඩු පෙනෙන්නටත් පුළුවන. ඉඳ
හිට ඇනුම් පදයක් ඇහුණත් ඒ කණින් අසා
අනිත් කණින් එළියට යන්න අරින්න පුළුවන.
දැන්
මං නැන්දම්මා වතේ වැදගත්ම කොටසට
එන්නයි මේ හදන්නේ. මේකට ’නූතන
නැන්දම්මා වත’ කීවත් කමක්
නැත. එය
මෙසේය. දැන්
පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙකි.
ඉතින් අම්මලා මුළු ලෝකයක්ම මේ
එක දරුවාගෙන් බලාපොරොත්තු වන්නාහ. තමන්ට
රිසි පරිදි ඉගෙනගෙන, තමන් ආසා කළ
එහෙත් ළඟා වෙන්නට බැරිවූ
ඉලක්ක වෙත දරුවන් තල්ලු
කරන්න අධික වෙහෙසක් අම්මලා
මෙන්ම තත්තලාද ගන්නෝය. ඊළඟට
පරස්තාව ද සනුහරේටම ගැළපෙන
විදියට වෙන්න ඕනය. ඊළඟට
තමන්ගේ සුරතල්, වටිනා මුළු ලෝකයක් වූ
පුත්‍ර රත්නය ලේලිට අයිති වස්තුවක් වූවයි නැන්දම්මාට දරා ගන්නට බැරි
වෙයි. පුතාගේ
කෑම වේල, තේ එක
තවම අම්මට ඕන විදියට පුතාට
දෙන්න ඕනය. පඩි
මුදල් පවා අම්මාඅතට දෙන්න
ඕනය. වෙනම
ගමන් එක්ක යන්න ඕනය. සමහර
අම්මලාට තාම පුතා ළඟ
තියන්, ඔඩොක්කුවේ
තියන් ඉන්න ඕන වීමත්
රෑට පුතා ළඟ නිදා
ගන්න ඕන වීමත් අති
භයානක ගැටලුවකි. එහෙම
නැන්දම්මලා ඉන්න බව මා
දැන ගත්තේ මුහුණු පොතෙනි. සමහර
නැන්දම්මලා මහ රෑ පුතා
හා ලේලි නිදා ගන්නා
කාමරය ට පවා කඩා
වදින්නාහ. ලේලි
එක්ක නිදා ගන්න එපා
යයි පුතාට කියන නැන්දම්මලා ද
ඇත. මේ නම් නැන්දම්මලට ඇතිවන සුවකළ නොහෙන ලිංගික
මාත්සර්ය නම් දරාගත නොහෙන
රෝගයකි. මම
මෙහෙම විහිළුවට කිව්වට මේවා විහිළු නෙවේය.
පවුල්
කඩා ඉහිරෙන මහාම මහා මානසික
ගැටලුය. සමහර
පුතාලට බිරිඳ අම්මා මෙන් පෙනී ලිංගික
ජීවිතය ද අවුල් වූ
අවස්ථා පවා ඇත. එපමණක් නොව පුතාට ඇති
බැඳීම ලිහිල් කර ගන්න අපොහොසත්ව,
හත්දා
මගුල් කා කැන්දා ගෙන
ආ ලේලි දික්කසාද කරන්න
පුතුන් පෙලඹවූ අවස්ථාද
ඇතැම් කුටුම්භ තුළ නැත්තේ නොවේ. ඊටත්
වඩා අපරාධ වලින් කෙළවර වූ සිද්ධීන්ද වාර්තා
වී ඇත.
එපමණක්
නොව පුතාගේ පවුල දරුවන් හදනවද
නැද්ද යන්න පවා තීරණය
කරන නැන්දම්මලා ඉන්නාහ. දරුවන්
ලැබුණු විට ඔවුන් හදන්න
ඕනෑ ද නැන්දම්මා කැමති පදයටය. නැත්නම් ලේලිට කණක් ඇසී ඉන්නට
නැත. "අපිට කිරි එරුණේ
මෙහෙම මෙහෙමය." දරුවන්
හතකට දෙන්න තරම් කිරි තිබුණය,
දැන් ඉන්න වුන්ට දරු
සෙනෙහෙසක් නැතිය, ඒ නිසා කිරි
නැතිය. දරුවන් බඩ කපා ගත්ත
නිසා දරු සෙනෙහසක් උපදින්නේ
නැතිය " ආදී වශයෙන් සංගායනාව
ඉවරයක් නැතුවම ගැයෙයි.
වෙන්වී
වෙනම තැනකට ගිය ඇතැම් පවුල්වල
පුතා සතියේ වැඩි දවසක් අම්මා
සමග ඉන්නට මහ ගෙදරට යන
අවස්ථා ද ඇති බව
අසා කම්පා වීම හැර වෙන
කිසි දෙයක් කරන්නට නැත. මේ
විදියට ගියොත් අපේ තරුණ දරු
පරපුරේ අනාගත පවුල් ජීවිත අඳුරෙන් අඳුරටය. මේ
බොහොමයක් නැන්දම්මලා අත්හැරීම ප්රගුණ කිරීමට
හතර පෝයට පන්සලේම ගත
කරන උදවිය වීම ද විශේෂත්වයකි. මෙහෙම
හිතන විට අර බටහිර
වගේ තරුණ දරුවන් පවුලෙන්
ඈත්වී ස්වාධින වීමට හුරු කිරීම
අගනේ යයි සිතේ. මෙය
කියවන තරුණ අම්මලා අනාගතයේ
කවදා හරි තමන් කවර
ආකාරයේ නැන්දම්මෙක් වෙනවාද යන්න තම තම
තම නැණ පමණින් විමසා
බලත්වා!
No comments:
Post a Comment