Friday, May 21, 2021

අමතක නොවන බලපිටිය රෝහල




අමතක නොවන බලපිටිය රෝහල

බලපිටිය රෝහල මගේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. දැන් ගාලු පාරේ ගාල්ල කොළඹ යන එක අඩු වුණත් එකල යන එන හැම වාරයකම ඒ රෝහල එහෙමම තියෙනවද කියල ඉබේම බැලෙනවා. ඊ ලඟට ඒ සදානුස්මරණීය පොල් වත්ත තියේද බලනවා. ඒත් මට ඒක නිශ්චිතව අඳුන ගන්න බැහැ. දැන් මං මේ යන්නේ ඒ ඇයිද යනුවෙන් පැන නැගෙන ඔබේ කුතුහලය සංසිඳවන්න
ඔව්, එදා මෝටර් රිය කටු කම්බි පොටවල් හයකින් උඩට පැන පොල් වත්තට සේන්දුවී රෝද හතර උඩට සිටින පරිදි නතර වී තිබුණා. ඒ ගාලු පාරේ බලපිටිය හරිය. වාහනයේ ඉදිරිපස ආසනවල මාමාත්, රියදුරුත් වූ අතර පසුපස අසුනේ නැන්දාත් ( මාමාගේ ගැබිණි බිරිඳ) ලකී අම්මත් ඉන්ද්රා අම්මත් මාත් දිස්නා නංගිත් හිටිය. මට අවුරුදු පහයි, නංගිට අවුරුද්දක් ඇති මගේ හිතේ. කවුරු කවුරු හරි ඇවිත් අපි එළියට ඇදල ගත්ත මතකයි. ඊළඟට තව වාහනයකින් ආපස්සට බලපිටිය ඉස්පිරිතාලෙට ගිය හැටි, ලකී අම්මගේ බෙල්ලෙන් හා ඉන්ද්රා අම්මගේ අතෙන් ලේ ගලමින් තිබුණ හැටි මට අද වගේ තාම මතකයි. ඉස්පිරිතාලේ බැංකුවක් උඩ අපි වැඩිවෙලා හිටපු හැටිත් මතකයි. හැබැයි නංගිගේ හා මගේ ඇඟේ පුංචි පුංචි වීදුරු කටු සීරීම් හැර වෙන කිසිම තුවාලයක් නැහැ. කාර් එකේ උඩ බලන් ඉන්න පින්තුරේ පහුවදා දිනමිණ පත්තරේ තිබුනලු. කොහොම හරි මිනිස්සු ඉතුරු වුණාට කාර් එක ගර්හිත වුණා. හිතාගන්න අනතුරේ තරම.
පස්සේ දැනගත් විදියට කාර් එකේ රියදුරුට නින්ද ගිහින් ඒක පාරෙන් පැනල. උදව්වට ළඟ පහත කඩේක අයයි ඒ වෙලාවේ වන්දනාවේ ගිය බස් එකක අයයි ඇවිත්. උදව් කිරීම ලොකු දෙයක්...වාහනේ ගිනිගත්ත නම් මේ කතාව කියන්න මම මෙතන නැහැ. හැබැයි ඒ වෙලේ මගේ කරේ තිබ්බ පවුමක රත්තරන් මාලෙයි පෙන්ඩන්ට් එකයි නැති වෙලා. තව මාමගේ සල්ලි හා ලියකියවිලි සහිත බෑග් එක අතුරු දහන් වෙලා. මාමට ගණ දෙවි නුවණ පහළ වෙලා ආපහු යන්න හදපු වන්දනා බස් එක නවත්තල බස් එකේ ඔක්කොම චෙක් කරනවා කියල ගර්ජනා කරලා. ඒ වෙලාවේ බස් එකෙන් බිමට බෑග් එක වැටුනලු. ඒකෙ දේවල් එහෙමම තිබුනලු. හැබැයි මගේ රන් දම්වැල හා පෙන්ඩන්ට් එක නම් ලැබුණේ නැහැ. ඔන්න බලන්න නවසිය හැට ගණන් වල හිටියෙත් අද ඉන්න අයවලුන් ම තමයි. ඒ ජානම තමයි මේ දිගින් දිගටම යන්නේ. එහෙම බැලුවම ලේසියෙන් හොර කම් කරන්න බැරි, හොරකමට තද බල දඬුවම් ක්ෂණිකව දෙන රටකින් මෙහෙ උදවිය පාලනය වෙන එකත් නරක නැහැ නේද ?

ඉතින්, බලපිටියේ ඉස්පිරිතාලෙන් තුවාල කාරයන්ට බෙහෙත් දාල අපි නැවතත් ගිය බව මතකයි. ඒ ගියේ අපේ ගමනාන්තය වන අනුරාධපුරයට. නැන්දට කලින්ම දරු උපත සිදු වුනාලු, මේ අනතුරින් වූ කම්පනයත් එක්ක. ඒ දරුවා දැන් ලොකු මහත්තයෙක්. මට ඉන් පස්සේ වාහනයක යන්න පුදුම බයක් තිබුණ. බස් එකේ ඉස්කෝලේ යනකොට "නවත්තන්න, ඔන්න බස් එක පෙරලෙනවෝ "කියල මම කෑ ගහනවා. දවසක් බස් එක මග නවත්තල ඒකෙ හිටි රියදුරු මහත්තයා "පොඩි ළමයෙක් කියන දේ ඇත්තක් වෙන්න පුළුවන් කියල බස් එක පරීක්ෂා කළාලු. ඒ දවස් වල පශ්චාත් ක්ලමථ අක්රමතාවට{Post Traumatic Stress Disorder (PTSD) }බෙහෙත් හෝ පිළියම් ක්රම තිබුණ ද කියන්න මං දන්නේ නැහැ. එහෙම වෛද්යවරු හමු වුනාද මතක නැහැ. කාලයත් එක්ක ඒ තත්වය හරි ගියා. සමහර විට ඔච්චර පොඩි කාලේ අත් දැකීමක් මට මතක තියෙන්නේ කොහොමද කියල ඔබ සිතන්න පුළුවන්. එහෙම තමයි තද බල ලෙස සිත හා ගතට දැනුණු අත් දැකීම් විතරක් මතක හිටිනවා 

No comments:

Post a Comment