Saturday, February 25, 2023

නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම

 








නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම


ලණු වලින් වියපු වැල් ඇඳක් ඉස්සර ගෙවල්වල පිළේ ඒ කියන්නේ ඉස්තෝප්පුවේ තියෙනවා. මේ ඇඳට ඇඳ ඇතිරිලි එළන්නේ නෑ. තුන් ඉරියා පන් පැදුරක් දාල ඇඳ ඉහත්තේ කොට්ටයක් තියනවා.
මෙහෙම ඇඳක් අපෙ ගෙවල් දෙකේම තිබුණ.
මෙහෙම ඇඳක් තියෙන්නේ ඇයි කියල සකියනි ඔයාල හිතුවද? මං හිතන්නේ එකක් තමයි වත්තේ පිටියේ වැඩ කර කර ඉඳල ඇවිත් අපේ මුත්තණ්ඩිලාට ලොකු තාත්තාලාට පිට දිග ඇරගන්න.
මුත්තණ්ඩිගෙ දේවල් තමයි මට වැඩියෙන් මතක. මුත්තණ්ඩි තනියම හාන්සි වෙලා ඉන්නවට අමතරව තව එකක් මේ ඇඳෙන් ඉටු වෙනවා. ඒ තමයි මුත්තණ්ඩිගෙ සගයො ආවම බුලත් වංගෙඩියෙන් විටක් එහෙම කොටලා ඒක බෙදාගෙන හප හප අතීත පූචානම් කියවන්න. ලෝක යුද්දෙ කාලෙ කතා, බෝම්බ දාපු හැටි, හැංගිලා හිටපු හැටි වගෙ කතා අහන්න මාත් ආසයි.
මේ ඇඳේ තවත් රාජකාරියක් තමයි දුර බැහැර ඉඳන් ආව ආගන්තුකයෙකුට රෑ නවාතැන් දෙන එක.
කවුරුවත් වැඩිය නැති වෙලාවට ඇඳ උඩ නැගල උඩ පනින එක තමයි අපේ වැඩේ. ඒක හරියට අද නම් ට්රැම්පොලින් එකක පනිනවා වගේ. හැබැයි ඇඳේ වැල් ටික ඇදිලා මැද බොක්කක් හැදෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. එහෙම වුණහම ආයෙ ඇඳ ලණු වලින් වියන්න ඕන. ඒකත් මුත්තණ්ඩීම කළා.
මේ කතාව මං ඉපදෙන්න ඉස්සර එකක්. මට අපේ මව් තුමී තමයි කිව්වේ. ඔන්න එක දවසක් උදේ නැගිටලා බලනකොට ඉස්තෝප්පුවේ තිබුණ ඇඳ නෑලු. මුත්තණ්ඩිට යකා වැහිලා. කවුරුවත් එහෙම හොරකමක් මේ සම්ම ජාතියෙදි කරල නෑලු.
"කවුද මට මේ නොසන්ඩාල වැඩේ කොරපු එකා. මං ඕක ඉතුරු කරන්නේ නෑ" මුත්තණ්ඩි ගිගිරුවලු.
මුත්තණ්ඩි හනි හනිකට මූණ එහෙම හෝදගෙන කෝට් බෑය එහෙම දාගෙන එළියට බැහැලා යන්න ගිහින්. අත්තම්මයි අම්මලයි මාමලයි තබ්බීරි වෙලා ඉන්නවලු.
පැය දෙකකට විතර පස්සේ ඇඳක් කරේ තියා ගත්ත එකෙක් ඉස්සර කරගෙන මුත්තණ්ඩි එනවලු. අර මිනිහ දෙකට නැවීගෙන එනවලු.
ඇවිත් කරේ තිබුණ ඇඳ පිළේ නිසි තැන තියල
"අනේ අප්පුහාමි මට ගහන්න නම් එපා!" කියලා වැඳ වැටිලා.
ඔන්න ඔහොමයි හොරාටම කියල හොරකම් කරපු ඇඳ ආපහු ගෙදරට ගෙනත් තියෙන්නේ.
"හාමිනේ ඔන්න ඕක බඩගින්නේ ඉන්නෙ. හීල්බත් ටිකක් දීල ඒක කාල යන්න කියන්න." කියල හොරාට සලකල තියෙනවා. ඒකා අහල ගමක මිනිහෙක්ලු.
පින්තූරය අන්තර්ජාලයෙන්. මුල් හිමිකරුට තුති!

Friday, February 10, 2023

නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

 




නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

අත්තම්මට දෑවැද්දට හම්බ වෙච්ච කළුවර ලීයෙන් කැටයම් දාපු තනි කොස් අල්මාරියෙ වරුණෙ කිව්වේ අත්තම්ම විතරක් නෙවේ, අම්මත් නිතර කිව්ව. ඒකෙ වටින බඩු දාන්න හොර ලාච්චුවක් එහෙම තියෙනව කියල හරි උජාරුවට කියනව. හැබැයි හොරුන්ට ගන්න බැරිවෙච්ච බඩු අස්සෙ මීයෙක් කූඩු හදල. ලාච්චුව කපන් තමයි ඌ ඇතුල් වෙලා තියෙන්නේ. ඒ වටින කියන අල්මාරිය අම්මට දෑවැද්දට දුන්නලු. ඒක තිබුණෙ තාත්තලගෙ ගෙදර.
තාත්තගෙ ගෙදර කියන්නේ මගෙ ගෙදර නෙවේද කියල ඔයගොල්ලෝ හිතයි. මට ඉතින් ගෙවල් දෙකයි උනාට උපන් දා ඉඳන් වැඩි හරිය හිටියෙ අම්මගෙ ගෙදරනෙ. උපන්දා සිට සරසවි යනකං පදිංචිය ඇහුවොත් ඒ අම්මගෙ ගෙදර. අත්තම්ම අම්මගෙ අම්ම. මුත්තණ්ඩි අම්මගෙ තාත්ත. ඉතින් ආල්මාරීයෙ කතාවට එමු.
ඉතින් ඊට පස්සේ ඉඳන් කාලයක් යනකම් අපේ ගෙදර අල්මාරියක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙකදි මාම අල්මාරියක් ගෙනාව බව ඇත්ත. නමුත් මුත්තණ්ඩි ගෙ වටින කියන දේවල් තිබුණෙ සයිඩ්බෝඩ් කියල කියපු ලස්සන පොඩි කබඩ් එකක. අත්තම්මාගෙ ඇඳුම් වගෙ දේවල් තිබුණෙ පෙට්ටගමක. ඒකත් බොහොම ගරු ගාම්භීර එකක්. තව අත්තම්මට තිබුණ ලිපි ලේඛන, මුදල් එහෙම දාන්න පොඩ් ලී පෙට්ටියක්. ඒකට කියන්නේ ගබෙත්තුව. ඒ ගැන පස්සෙ දවසක කියන්නම්.
අර සයිඩ්බෝඩ් එක ළඟ බිම වාඩිවෙලා රෑට රෑට මුත්තණ්ඩි මොනව හරි බොහොම පරිස්සමෙන් කරනව මං දැක්ක කීප දවසක්. අපි එබුණොත් හනික වහ ගන්නව.
"මොනවද මුත්තණ්ඩියෙ ඔය කරන්නේ?"
"පොඩි ළමයින්ට ඒව ඕන නෑ." මුත්තණ්ඩි ටිකක් සැර වෙනව. හැබැයි පොට වරද්ද ගන්නව. පොඩි ළමයින්ට ඕන නැති ඒ දේ ගැන මගෙ අර වටින කියන මොළයට මහ කුතුහලයක් එනව.
කවුරුවත් නැති වෙලාවක් බලල මං සයිඩ්බෝඩ් එක ඇරල අවුස්සල බැලුවා. මේ තියෙන්නේ මුත්තණ්ඩිගෙ බෑංකුව. රුපියලේ, සත පනහේ, විසිපහේ කාසි, රුපියල් දහයෙ විස්සෙ කොළ හිස් බිස්කට් ටින් එකක. . ඒ දවස්වල ඒව හරි වටිනවනෙ. අද රුපීයල බ... ලු වටින්නෑ උනාට. මං ඒක එහෙමම වහල ආයෙ තියල සේරම අස්කරල තිබුණ විදියට තිබ්බා.
ඒ බැංකුවෙන් ඉඳහිට රුපියලක් දෙකක් හර වෙන්න ඇති. ඒක මුත්තණ්ඩි දන්නෙ නෑ මයෙ හිතේ. මොකද බැංකු පොතක් තිබුණෙ නෑ නෙ හර බැර සටහන් කරන්න. හොරු අල්ලන්න සීසී ටීවීත් නෑනෙ ඒ දවස්වල. හර උන කාසිවල හැඩරුව කවුරුවත් දන්නෙ නෑ මෙයාලා. අපේ ඉස්කෝලෙ ඉස්සරහට දවල්ට ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එන අයිස්ක්රීම් මාමා විතරක් දන්නවා.
ඉතින් මෙයාලා මං අත්තම්ම එක්ක හැම පෝයටම සිල් ගන්න පන්සල් ගියා ඒ දවස්වල . දෙවෙනි සිල්පදෙත් නිතර කිව්වා. මුත්තණ්ඩි නම් ඉඳහිට තමයි සිල් ගත්තෙ. එදාට මට මුත්තණ්ඩි පෙනුණෙ අර සිල්ගත්ත ගමරාල වගෙ. හැබැයි උන්දැ හොඳ බෞද්ධයා.
පින්තුරවල තියෙන්නේ ඒ සයිඩ්බෝඩ් එකයි අත්තම්මගේ පෙට්ටගමයි. ඒවා තාම මල්ලි ළඟ සුරක්ෂිතව තියෙනවා

Monday, February 6, 2023

නොස්ටැල්ජික් කතා 1 - අත්තම්මට එලොව පොල් පෙනීම







 








නොස්ටැල්ජික් කතා 1 - අත්තම්මට එලොව පොල් පෙනීම

වත්තේ තිබුණෙ වැඩිපුරම පොල්ගස්. පොල් හා පොල් අතු අත්තම්මගෙ ප්රධාන ආදායම් මාර්ගයක්. පොල් කැඩුවහම මඩුවේ ගොඩ ගහනවා. හැන්ඩි මාම සැරින් සැරේ ඇවිත් පොල් ඔයල දෙනවා. තොග පිටින් විකුණන්නෙ කලාතුරකින්. සිල්ලරට තමයි ආත්තම්මා පොල් විකුණන්නෙ.
නවම් මාසෙට පොල් පලදාව අඩුයිලු. පොල් අතු නවයක් ගහකින් වැටෙනවලු. අත්තම්මාගෙ කතා තමයි. මං ගණන් කරල නම් නෑ. ඔන්න ඔය පොල් අඩු කාලෙ දවසක්
මැගී නැන්දා ආව පොල් ගෙනියන්න.
"හාමිනේ පොල් ගෙඩියක් ගන්න ආවෙ. පොල් සම්බෝලයක් වත් හදල පොඩිවුන්ට රෑට කන්න දෙන්න කියල."
"අනේ මැගියො පොල් අපට කන්න වත් නෑ මේ දවස්වල" අත්තම්ම කිව්වා
මට හොඳ මතකයක් තිබුණ ඒ දවස් වල. දැන්නම් ශීතකරණය අරිනවා. ගන්න හිතපු දේ මතක නෑ. ඉතින් එදා මං දිව්වා ගබඩා කාමරේට. පොල්ගෙඩි තුනක්ම මේසෙ යට. ගත්තා එකක්.
"මේ තියෙන්නේ අත්තම්මේ පොල්"
අත්තම්ම ගොලු වෙලා. හ්ම් නෑ.
"ගන්න මැගි නැන්දෙ ගන්න. තව ගෙඩි දෙකක්ම තියෙනවා අපට"
මං කලින් දවසෙ හැන්දෑවේ මුසාවාදා වේරමනී කිව්වේ අත්තම්මා එක්කමනෙ. අත්තම්මට ඒක අමතක වෙලා වගේ. හැන්දෑවට මතක් කරන්න හිතුවා මම.
Image from Unsplash free images