රැජනකට ඔටුනු ඕනෑම නැත
මී මැසි ජනපදයක්
කියන්නේ අපූරු තැනක්. වෙනම සංස්කෘතියක්,වෙනම ජීවිතයක්. මී මැසි
ජනපදයක ඉන්න ස්ත්‍රීන් අතර රැජනක් ඉන්නවා කියලා ඔබ දන්නවා. ඒ වගේම වැඩකාර
මැස්සියන් ඉන්නවා කියලා දන්නවා. මීමැසි ස්ත්‍රීන්ට වර්ණදේහ යුගල 16ක් ඒ කියන්නේ
වර්ණදේහ 32ක් තියෙනවා. මේ වර්ණදේහ හා ජාන සැකැස්ම රැජනගේත් වැඩකාරියන්ගේත් එකමයි. ඒ
කියන්නේ ඕනෑම වැඩකාර මැස්සියකට රැජනක් වීමේ විභවය තියෙනවා. ඔව් ඕනම ගැහැනියෙකුට
රැජනක වෙන්න පුළුවන්. මී මැසි රැජන හැදෙන්නේ බලය ඩැහැගෙන නෙවෙයි. ඒක වෙන්නේ ආහාරයේ
අනුහසින්. බල අරගලයක් නැත්තෙත් නෑ. ඔටුනු පැළඳීම් නැති එහෙත් මහා බල පරාක්‍රමයෙන් යුත් ඒ රැජනගේ උපත ,ජීවිතය හා අවසානය
ගැනයි අද අපේ කතාව.
දැන් අපි ඒ කතාව
බලමු.
අලුත් රැජනක් ඕන
කියන සංවේදනය මී මැසි ජනපදයට දැනෙන්න ගන්නවා. ක්‍රියාරම්භ කය (Trigger) වෙන්නේ ජනපදයේ රැජනගේ පෙරමෝන සුවඳ මට්ටම අඩු වීමත් එක්ක ඇතිවෙන තත්වය. සමහරවිට පරණ රැජන වයසට ගිහින් රෝගී වීම නිසා හරි ඈ සමුහ සරණය
කට සූදානම් වෙන නිසා හරි වෙන්න පුළුවන්. සමුහ සරණය ගැන වෙන ලිපියකින් කතා කරන්නම්.
මෙන්න මේ
අවස්ථාවේ හෙද මැස්සියන් (nurses) අලුතෙන්
බිත්තරවලින් එළියට ආපු ගැහැනු කීටයන් නැත්නම් රාජ කුමාරිකාවන් 10 - 20 අතර සංඛ්‍යාවක් තෝරාගෙන බොහොම සුවිශේෂී අහාර රටාවකට ඔවුන් යටත් කරනවා. ඔවුන්ට එතැන් සිට ආහාරය වශයෙන් ලැබෙන්නේ වෙනස් දෙයක්. ඒකට කියන්නේ රෝයල් ජෙලි
නැත්නම් රාජකීය ජල්ලිය. මේක කිරි වගේ සුදුපාට දෙයක්. ශ්‍රාවය වෙන්නේ ගැහැනු
මැස්සියන්ගේ ඔළුවේ තියෙන ග්‍රන්ථි විශේෂයකින්. රෝයල් ජෙලි ජලය, ප්‍රෝටීන, සරල සීනි, මේද අම්ල, විටමින් B, අනිකුත් විටමින,අංශුමාත්‍ර මුලද්‍රව්‍ය ඇතුළු ඛනිජ ලවණ ආදිය අඩංගු පූර්ණ ආහාරයක්. එහි ප්‍රති බැක්ටීරීය ද්‍රව්‍ය ද අඩංගු වෙනවා. මේ
ආහාරය අර හැදී වැඩීගෙන එන රාජ කුමාරිකාවන්
ගේ ප්‍රජනන පද්ධතියට බලපෑමක් කරනවා. ඒ
අනුව රැජන නිර්මාණය වෙනවා.
මේ සෑම
රාජකුමාරිකාවක් ම හැදෙන්නේ මී වදයේ විශේෂිත කුටීරයක. ඒවාට රැජන කුටි කියලා කියනවා.
ඒවායේ හැඩය හරියට රටකජු ගෙඩියක් වගේ. රැජනියන් රූපාන්තරණය වෙන්න කලින් වැඩකාර
මැස්සියන් ඒ කුටි වසා දමනවා. රැජන ඇතුළේ හැදෙනවා. පහළොස් වන දිනයේදී වැඩකාර මැස්සියන්ගේ
ද උදවු ඇතිව ඒ කුටියේ බිත්තියේ රවුමට හිලක් කපලා පොඩි දොරක් හදාගෙන රැජන එළියට
එනවා. ඒ එන්න කලිනුත් වැඩකාර මැස්සියන් රැජනට ආහාර කවනවා.
ඊට පස්සේ රැජනට
කරන්න තියෙන්නේ ටිකක් ම්ලේච්ඡ ක්‍රියාවක්. ඈ නිසඟයෙන්ම ඒ රාජකාරිය කරන්න බැඳිලා
ඉන්නවා. ඒ තමයි අර රෝයල් ජෙලි කැවූ අනික් සහෝදර රාජ කුමාරිකාවන් මරණයට පත්කිරීම.
මෙන්න මෙතන තමයි එක්තරා ආකරයක බල අරගලය තියෙන්නේ. ඒ සඳහා ඔවුන් කැඳවීමට රැජින උච්ච
ස්වරයෙන් හඬක් නිකුත් කරනවා. අනිකුත් කුමාරිකාවන් ද ඒ හඬ නිකුත් කරනවා. ඔවුන්
එළියට ඇවිත් එකිනෙකා හා සටන් කරනවා. අන්තිමේ දී රැජන හැර සියල්ලන්ම මැරෙනවා. රැජන
සිය කුටියේ සිටියදීම සමහරවිට මේ හඬ නිකුත් කරනවා.
සටන අවසන් වුනු
විට රැජන මී වදයෙන් එළියේ සංසර්ග පියාසැරියේ යෙදෙනවා. එහිදී ඈ පිරිමි මී මැස්සන්
හා සංසර්ග ක්‍රියාවලියේ යෙදෙනවා. එහිදී ඇයට ඉදිරි වසර 3 - 5 දක්වා කාලයක් සංසේචිත බිත්තර දැමීමේ වරම හිමි වෙනවා. මේ පියාසැරියෙන්
පස්සේ රැජන නැවත මී වදයට එනවා. මව් රැජන ඒ වනවිට වයසට ගිහින් මරණාසන්න ව හිටියොත්
අලුත් රැජන විසින් ඈ ඝාතනය කරනු ලබනවා. සමහරවිට මව් රැජන සමුහ සරණය කරලා වෙන් තැනකට ගිහින් ඉන්නත්
පුළුවන්. දැන් මී වදයේ සියල්ලෝම නව රැජන
පිළි ගන්නවා. එසේ වීමට තරම් පෙරමෝන දැන් ඇගෙන් නිකුත් වෙනවා.
මින් පසු මුළු
ජීවිත කාලෙම වගේ වැඩකාර මැස්සියන්ගේ උදව් ඇතිව රැජන මී වදය තුළ ඉන්නවා. සිය උදරය
ඇදගෙන ඈ මී වදය පුරාම ඇවිදිනවා.සෑම බිත්තර දාන කුටීරයක්ම නිරීක්ෂණය කරනවා. කුටීරය හිස් නම් ඈ ඇගේ උදරය ඒ තුළට පහත් කර බිත්තරයක් දානවා.
එක ගිම්හාන
කාලයකට ඈට පුළුවන් බිත්තර 2000ක් පමණ දාන්න. සමහර කාලවලට ඈ බිත්තර නොදා විවේකීව ඉන්නවා. සත්තු සේවිකාවන්
ඈ වටා රවුමක් හැදිලා ඈ රැකබලා ගන්නවා. ඒ වගේම මී වදය පුරා පෙරමෝන සුවඳ පතුරවනවා.
ඒකෙන් කවුරුත් දැනගන්නවා රැජන යහතින් ජීවත් වෙන බව. කලින් කිව්වා වගේ අවුරුදු 3- 5 ත් අතර කාලයක් ඈ තම මෙහෙවර ඉටු කරනවා.
ඇගේ ජීවිතයේ අවසානය ළඟා වන විට බිත්තර දැමීමේ හැකියාව අඩුවෙලා යනවා. පෙරමෝන
ශ්‍රාවයත් අඩු වෙනවා. ඒ අනුව නැවතත් නව රැජනක් බිහි කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ
වෙනවා.
Photo credit to Ante Hamersmit on Unsplash
ඉතා වටිනා ලිපියක්!
ReplyDeleteමේක තව පාරක් කියවන්න ඕන!
මේකට "වටිනා" කියලා කියන්නේ මී මැස්සා කියන සතා ඒතරම්ම අපගේ ජෛව පැවැත්මට වැදගත් හෙයින්!
ඒ නිසාම මීමැසි ජනපදයක් පිහිටුවන්න මම හිතාන ඉන්නවා.
මොකද අද බොහෝ ප්‍රදේශවලින් මී මැස්සන් නැත්තටම නැතිවී ගිහින්.
මේකට හේතු ලෙස
ගම් වල අය කියන්නේ - ගස් කපන කියත්වල හඬට මී මැස්සන් පලා යනවා කියලා.
දන්න කියන විද්‍යා බුවාලා කියන්නේ - අකේශියා ගස් හා පලිබෝධ නාශක නිසා ඔවුන් වඳ වෙලා කියලයි.
මම නං හිතන්නේ අන්ධ භක්තියෙන් ඉන්න අපේ ගොං බවුද්දයෝ ටික ගස් හූරලා මල් කඩාගෙන යන හින්දා උන්ට බොන්න පැනි ගන්න වෙන්නේ කාගිලිස් සාප්පුවෙන් වෙන්න ඕන නිසා කියලයි!
ස්තුතියි තට්ටයා කොමෙන්ටුවට. මම ජීව විද්‍යාව හැදැරූ කෙනෙකු වුවත් මි මැස්සන් ගැන විශේෂයෙන් කරලා නැහැ. දැන් ඉගෙන ගනිමින් ඉන්නවා. ඔබේ අදහස අනුව ඔවුන්ට පහසුකම් සපයන්න. රබර් වතු අසල ජීවත් වූ කාලයේ ඇසුණු මි මැසි ගායනය තවම කන් තුළ දෝංකාර දෙනවා.
Deleteවටින විස්තරයක් 🙏
ReplyDeleteඩිස්කවරි හෝ වෙන සත්ව වාර්තා වැඩසටහනක මේ මීමැසි හයිරාකි එක, උන්ගෙ ව්‍යාප්තිය ගැන අපූරැ ඩොකිව්මන්ට්‍රියක් තියෙනව
හොඳ ලිපියක් . නමියගේ ඔත්තුවකින් ආවේ. මගේ බ්ලොග් රෝලේ මේක එල්ල ගන්නම්
ReplyDeleteස්තුතියි. මගේ නම සමග ගන්න. මේක සිසිල ඔන්ලින් සඟරාවෙත් පළවුණා
Deleteලිපිය නෙමේ , අනිත් අයගේ බ්ලොග් ලිස්ට් එකක් තමන්ගේ බ්ලොග් එකේ දාන්න පුළුවන්. මගේ එකට ඇවිත් බලන්න. දකුණු පැත්තේ තියනව. https://kolambagamaya.blogspot.com/2023/10/284.html
Deleteහොඳයි. මම බලන්නම්. ස්තුතියි
Deleteඇත්තටම මේ බ්ලොග් එක ගැන දැනන් හිටියේ නැහැ. ස්තුතියි නමියා
ReplyDelete😁🙏
Deleteස්තුතියි Ajith
Deleteමී මැස්සො ගැන වෙන රටවල් උනන්නු වන්නෙ, මී පැණි හින්ද විතරක් නෙමෙයි.
ReplyDeletehttps://www.youtube.com/watch?v=eDxZojp9yNg
ස්තුතියි. මම ජීව විද්‍යාව කළා වුණත් මි මැස්සා ගැන විශේෂයෙන් කියවන්නේ දැනුයි. මැරෙන තුරු ඉගෙනගන්නව නේ.
Deleteමේ ලිපිය ඔක්තෝබර් 'සිසිල' කලාපයෙන් කියෙව්වා. මේ ගැන සඳහනක්, මා ලියන පෝස්ටුවකටත් කරන්න ඉන්නෙ.
ReplyDeleteඉතා රසවත් වගේම දැනුවත් කෙරෙන කරුණුවලින් සමන්විත ලිපියට ගොඩක් ස්තුතියි මාලිනී!
ස්තුතියි නිදි ...ඔයාගේ වචන මා ධෛර්යමත් කරනවා.
Delete