Friday, April 5, 2024

සුදු රෝස White Roses - 7

 

සුදු රෝස White Roses 

හත්වැනි කොටස 





ස්ථානයේ වූයේ දැල් ගසා මල් වැල් වර්ගයක් යවා තිබූ වැටක් මැද්දෙන් විශාල වත්තකට ඇතුළුවන හැර දමා තිබූ ගේට්ටුවකි. නිශ්චිතවම එතැන ඇත්තේ චාරුකාගේ නිවස ද යන්න පිළිබඳ ක්ෂණික කුකුසක් මට ඇති විය. මම වත්තට රථය ඇතුළු නොකර රථය නවතාගෙන වට පිට බලනවාත් සමග වයසක තැනැත්තෙක් ගේට්ටුවෙන් පිටතට පැමිණෙමින් සිටියේය. මම රථයේ ඉදිරිපස වීදුරුව පහළට කර ඔහු හා සිනාසී කතා කරන්නට මග පාදා ගතිමි.

මේ වල්පිට මහත්තයාගේ ගෙදර නේද අන්කල්?” මම ඔහුගෙන් ඇසුවෙමි.

ඔව්, සර්, මහත්තයා ගෙදර ඉන්නවා. යන්න  කියා යටහත්  පහත් ස්වරූපයකින්  මට කීවේ මා දන්නා හඳුනන කෙනෙකු තරමට සිතාගෙන ය. සාමාන්‍ය ගැමියාගේ ස්වභාවය එයයි. මම රථය ගේට්ටුවෙන් ඇතුළු කිරීමට හරවන විටත් ඉදිරිපස වීදුරුව හැර තිබුණු අතර අනේ වල්පිට මහත්තයලට වුණු දෙයක් යයි  වයසක පුද්ගලයා කියනු මට යන්තමින් ඇසුණත් නැවත ඒ ගැන ඇසීමට යාම චාරයක් නැති දෙයක් ලෙස දැනුණු බැවින් වීදුරුව වසා දමමින් මම රථය වත්තට ඇතුළු කළෙමි.

නිවසේ ජනේලයක් පමණක් විවෘතව තිබුණි. මම සීනුව නාද කර මහත් නොඉවසිල්ලෙන් බලා සිටියේ දොර ඇරෙන තුරුය.

අරුණු දොරින් මැදි වයසේ ප්‍රතාපවත් පුද්ගලයෙක් මතු විය.

ඔහුගේ මුහුණේ මා කවුරුද යන්න පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති බව මට පෙනී ගියෙන්

මේ වල්පිට මහත්තමයා ද?” කියා ඇසුවෙමි

ඔව්, පුතා කවුද කියලා මට නිච්චි නැහැ

මා මුලින් වචන පාවිච්චි කළේ ඉතා පරිස්සමටය

මම චාරුකා අඳුනන කෙනෙක්. ඇමරිකාවේ දී අපි එකම එපාර්ට්මන්ට් කම්ප්ලේක්ස් එකක ටික කලක් ඉඳලා තියෙනවා. ලංකාවේ අපි කීප දෙනයි නේ ඉන්නේ. ඉතින් අපි එකිනෙකා ගේ තොරතුරුකතා බස් කරනවා සමහර විට එයා මගේ ගැන කියන්නත් ඇති. මම මේ මහරගමට ආවා මගේ යාළුවෙක් ලෙඩ වෙලා හොස්පිටල් ඉන්නවා බලන්න. ඉතින් චාරුකා කිව්ව ලිපිනයට මෙහෙට එන්න හිතුණා.”

ඔව් ලංකාවේ අය හමු වුණහම එයා අපට කියනවා. මට විශේෂයෙන් මතක නැහැ පුතා.  මේ දවස්වල මගේ මතකයත් ඒ තරම් හොඳ නෑ කියලා හිතෙනවා.

ඔහුගේ ස්වරය ඉතාම දුක්බර එකක් බවට හැරුණි.

මා ගැන විශේෂයක් ඔහු තුළ තිබෙන්නට නැති බව තහවුරු වූයෙන් මම සැනසිල්ලට පත් වීමි.

ඔව් මටත් ළඟදී චාරුකා හමු වුණේ නැහැ තාත්තා.”

එහෙමද පුතා?  .... ඒ කියන්නේ ඔය ළමයා අලුත්ම තොරතුරු දන්නේ නැති හැඩයි.”

ඒ කියන්නේ මොකක් ද තාත්තා?”

චාරුකා දැන් ඉන්නෙත් ඒ රෝහලේම තමයි පුතා.”

එයා ලංකාවට ආවද? ඇයි ඉස්පිරිතාලේ ඉන්නේ?”

චාරුකාගේ පියා හිමාලය වුවත් සසල කරන තරම් බර සුසුමක් වාතලයට පිටකර වචන එකතු කිරීමට ප්‍රයත්නයක් දරණ අතරේ ඇසට නැගුණු කඳුලක් දෝ වම් අතේ පිටි අත්ලෙන් පිසදමා මදෙස නැවත බැලුවේය. ඉක්බිති එකතුකළ වචන මුදා හැරියේය.

දැනට මාස දෙකහමාරකට  උඩදී එයාට පිළිකාවක් බව දැන ගත්තා. ඉතින් අපි එයා මෙහෙ ගෙන්න ගත්තා. ඒක බොහොම ඉක්මනින් පැතිරෙන එකක්. සර්ජරි එකක් කළා. ඒක හරිගියේ නැහැ.  දැන් අවසාන අවස්ථාව. එයාගේ අම්මා එයා ළඟ ඇති. තව සති දෙකකට වඩා මගේ දරුවා ජීවත් වෙන්නේ නැහැ පුතා.”

ඒ වචන මගේ කනට ඇසුණේ වෙනත් ලෝකයක සිට මෙනි. මගේ උගුරේ ගුලියක් සිරවෙනු දැනුණු අතර මගේ මුහුණේ මස් පිඬු චලනය වීම චාරුකාගේ පියාට නොපෙනුණේ නම් ඒ,  ඔහු ඒ මොහොතේ සිටි ව්‍යාකුල බව නිසාම මිස වෙන කිසිවක් නොවන නිසා බව මට සහතිකය. මගේ සමබරතාවය නැතිව යනවාක් මෙන් දැනුණෙන් මම වට පිට බැලුවේ ඉඳ ගැනීමට ලොකු අවශ්‍යතාවක් දැනුණු හෙයිනි. මා ගෙතුළ පුටු දෙස නෙත් යොමන්නට ඇත. ඒ නිසාදෝ

එන්න පුතා ඉඳගන්න. මට ඒක කියන්නත් අමතක වුණායනුවෙන් චාරුකාගේ පියාගේ වචන මට ඇසෙන්නට විය.

ඔහු අනුව යමින් මම ආලින්දයේ පුටුවකට බර වීමි.

මගේ හදවත හඬා වැළපෙන්නට පටන් ගත්තේ කිසිදාක මට සමාවක් නොදෙන අන්දමටය. මගේ වෙනස චාරුකාගේ පියාට දැනේවිද යන බයකුත් එක්වරම මගේ සිතට පිවීසියේය.

ඒසා විසල් චාරුකාගේ ආදරයට මා පයින් ගැසුවේ ඇයි? තව මාස දෙකක් මට ඈ සමග ඉන්නට සිත් නුදුන්නේ ඇයි? ඇගෙන් වෙන් වීමෙන් මා ලද දෙය කුමක්ද? මා සෙවූයේ කුමක් ද?

මටත් හුඟ දවසකින් එයාට කතා කරන්න බැරි වුණා තාත්තා.”

මම පිළිතුරක් අවශ්‍ය යයි සිතුණු නිසා කියා ගතිමි.

මේ දරුවා දවල්ට කාලද?” යමක් මතක් වූ කලෙක මෙන් ඔහු මා විමසිය. ඒ අවස්ථාවේ වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.

ඔව් තාත්තා මං මගදී කෑවා  කියා ගතිමි.

ඉන්න මං බොන්න මොනවා හරි හදාගෙන එන්නම් කියූ ඔහු නිවෙස තුළට ගියපසු මගේ සිත කිසිඳු අතකින් මාවතක් නොපෙනෙන මහා පාළු වනාන්තරයක අතරමං වූ ලෙසකින් අතරමං විමක බව මට තේරුම් යමින් තිබුණේය. මට ඈ බැලීමට යන්නට හැකිද? ඇගේ තත්වය අනුව එය සුදුසුද? මා දුටුවිට කුමන තත්වයක් ඇති වේද? පියා මා ගැන නොදන්නා නමුත් ඈ මවට මා ගැන කියා තිබෙන්නට බැරිද? මා ඇය බැලීමට යාමෙන් විය හැකි යහපතක් තිබේද? මට කිසිවකට පිළිතුරු නොවිය. අහන්න කෙනෙකුත් නැත. බ්‍රයන්ට කතා කරන්නට සිතුවෙමි.

සිසිල් පානයක් සහිත වීදුරුවක් සමග චාරුකාගේ පියා මා අසලට ආ විට මම නැවත මේ ලෝකයට පිවිසියෙමි.

දරුවාට සැරින් සැරේ සිහි කල්පනාව ආවා ඊයේ වෙනකම්. අද මං දවල් බලලා එනකම් ඇස් ඇරියේ නැහැ. පුතාට ගිහින් බලන්න පුළුවන් කැමති නම්. විසිපහ වාට්ටුවේ තමයි ඉන්නේ. ඇඳ දහසය චාරුකාගේ පියා දිගටම කියාගෙන ගියේය.

මට දැන් හදිසියේම යන්න ඕන තාත්තා අම්මගේ වැඩකට. මං දවස් කීපයකින් ආයේ එන්නම්. ඒ ආවහම බලන්න යමු  මම වචන ගැට ගසා ගත්තෙමි.

හොදයි පුතා.”

තාත්තට මොනවා හරි උදව්වක් ඕන වුණොත් මට කියන්න. මගේ ෆෝන් නම්බර් එක ලියා ගන්න. මට තාත්තගේ එකත් දෙන්න.

ඔහු ගෙතුළට ගොස් ලිවීමට කොළයක් රැගෙන ආ අතර මම සාක්කුවෙන් පෑන ගෙන එහි මගේ මුලකුරු සමග නම සමග දුරකථන අංකය ලියා දුන්නෙමි. ඔහුගේ අංකය මගේ දුර බණුවට ඇතුළු කර ගත්තෙමි. එයින් පසු චාරුකාගේ පියාට සමුදී එතැනින් මා නික්මුණේ හිස ගිනිගත්තෙකු ලෙසිනි. මා ගෙදරට ආවේ කෙසේදැයි මටවත් පැහැදිලි නැත.

"ඒ ළමයට අමාරුද පුතා?” අම්මා ඇසුවේ මගේ මුහුණ කියවීමෙන් විය යුතුය.

ඔව් අම්මා දැන් සිහියත් නැහැ. මම ආයේ වෙලාවක යන්න ඕන.

අපොයි දෙවියනේ මේ කරුම ලෙඩේ දැන් හරියට පැතිරෙනවා.”

Image from Pexels 

©malinieganewatta2024

No comments:

Post a Comment