Tuesday, April 16, 2024

සුදු රෝස White Roses - 8

සුදු රෝස White Roses 

අටවැනි (අවසාන ) කොටස 




දින දෙක තුනක් ගතවී ගියත් චාරුකා බැලීමට යාමට මට එතෙක් හිත හදාගන්නට බැරි විය. ඒ මගේ පැත්තෙන් හිතනවාට වඩා ඇගේ පැත්තෙන් සිතීමෙනි. මාත් ඇයත් අතර තිබූ ඒ සමීප සම්බන්ධය ලොවට හොරෙන්ම වැළලී යාමට ඉඩදීම යෙහෙකැයි අවසානයේ මම හිත හදා ගත්තෙමි. ඒත් රබර් බෝලයක් ඔබන්න ඔබන්න උඩට එන්නාක් මෙන් අවසන් වරට ඇගේ ඇස් පියවෙන්න්ට පෙර ඈ බැලීමට යන්නැයි මගේ සිත  මට ආයාචනය කරන්නට විය.

මම ඇගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ සැලෙන හදවතිනි.

තාත්තා දැන් චාරුකාට කොහොමද?”

හුඟක්ම අමාරුයි පුතා. සැරින් සැරේ ඇස් අරිනවා විතරයි  මට ඇගේ අනුරාගය පිරි ලොකු ඇස් මතක් විය. ඒ ඇස් නුදුරේම යළි නොඇරෙන්නම වැසී යනු ඇත. ඊට කලින් එක් වරක් හෝ ඒ ඇස් දැක ගත යුතු නේද?

මම ඉක්මනින් එන්නම් තාත්තා. ඕනෑම දේකට මට කතා කරන්න. සල්ලි වුණත් ප්‍රශ්නයක් නැහැ.”

බොහොම ස්තුතියි පුතා බුදු සරණයි!”

මම දුරකථනයේ ගැලරියට ගොස් චාරුකාගේත් මගේත් සුන්දර අතීතය නරඹන්නට වීමි. බොහෝ පින්තූර ම විසින් ඉවත් කර තිබූ අතර ලොකු ඇස්වලින් ඈ ම දෙස බලා සිටින පින්තුරයක් එහි රැඳී තිබුණි. එදින රැයේ මගේ දුර බණුව හදිසියේ නද දෙන්නට වූයයෙන් මා එය අතට ගත විට ඒ චාරුකාගේ පියාගෙන් විය.

තාත්තා!”

ඔක්කොම ඉවරයි පුතා. දරුවා අද උදේ සදහටම ඇස් පියා ගත්තා. බොඩි එක තව ටිකකින් ගෙදරට ගේනවා. එයාගේ ඉල්ලීම අනුව ඉක්මනින් අවසන් කටයුතු කරනවා. මම මේ දන්වන්න ඕන අයට දන්වන ගමන්

 මගේ අතින් දුර බණුව බිම වැටුණි. මා වහා පහත්වී එය රැගෙන කණගාටුව පළකර මා ඉක්මණින් පැමිණෙන චාරුකාගේ පියාට බව පවසා සංවාදය නවතා දැමුවේ තව දුරටත් කතා කිරීම අපහසු බව දැනෙමින් පැවති නිසාය. මා හැම දෙයටම ප්‍රමාද වූවා වැඩිය. ඒ ලොකු ඇස් දැන් ඉතින් මා දෙස කවදාවත් බලන්නේ නැත. මට චෝදනා කරන්නේ නැත. මා විසින් ඇය හැර දැමීම ඈ මැසිවිල්ලකින් තොරවම පිළිගත්තා ය. ඒ ඇගේ අසනීපය ඈ හඹා ආ නිසා ද?

මගේ යාලුවා නැති වෙලා අම්මා!” මම අම්මාට කීවේ ඇත්තක්ම නොවේද?

අපොයි අසරණ දරුවා!” කාගේ කවරෙක්දැයි නොදැන වුවත් අම්මා සිය කණගාටුව හදවතින්ම ප්‍රකාශ කළාය.

පසුදා උදේ මම මහරගම බලා පිටත් වීමි. අතරමග පන්නිපිටියේදී  සුපිපි ෆ්ලෝරා මල් කඩයට ගොස් සුදු රෝස මල් පොකුරක් ගත්තෙමි.

නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයිඇගේ මුදු මොළොක් හඬ වාතලයේ විසිරී විත් මගේ දෙසවනට ඇතුළු විය. මම දැවී ගියෙමි.

මල් පොකුර නැහැයට ළං කර එහි සුවඳ බැලු මම එය කාරයේ පිටුපස අසුනේ සුරැකිව තබා මහරගමට ගොස් එතැනින් ගොඩිගමුවේ චාරුකාගේ නිවස දෙසට ධාවනය කළෙමි. මග දෙපස සුදු කොඩි මගේ සිතට ඇතුළු කළේ වචනයෙන් විස්තර කළ නොහැකි ගුඪ මූසල හැඟුම් සමුදායකි. හදවතට යකුලකින් පහර දෙන්නාක් මෙන් මගේ සිත මට දඬුවම් දෙමින් සිටියේය.

වාහනය රථ නැවතීම සඳහා සකස් කළ හිස් භුමියේ නවතා රෝස මල් පොකුර එසේම තිබෙන්නට හැර රථය අගුලු දැමූ මම චාරුකාගේ වත්තට ඇතුළුවී නිවෙස දෙසට පියවර තැබුවෙමි.

එහි වැඩි සෙනගක් නොවිය. චාරුකාගේ පියා මා හඳුනා ගත්තේය.  මට දෙඅත් එකතුකර මට ආචාර කළේය. මමත් ප්‍රති ආචාර කළෙමි.

එන්න පුතා කියමින් මට ඉදිරියෙන් දේහය වෙත යන ඔහු අනුව මම පියවර තැබුවෙමි.

චාරුකාගේම හැඩරුව ඇති සුදු ඔසරියකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් වෙත පළමුව ගිය ඔහු,

මේ පුතා තමයි මං ඔයාට කිව්වේ චාරුකා ඇමෙරිකාවේ දී අඳුරන නිසා බලන්න ආවා කියලා. මේ චාරුකාගේ අම්මා කියා ඒ කාන්තාවට මා හඳුන්වා දුන්නේය.

අනේ පුතේ බලන්න මේ දරුවට වෙච්ච දෙයක් ඈ සිය අත් ලේන්සුවෙන් මුව වසා නැග ආ ඉකිය වලකා ගත්තාය.  ඇගේ ශෝකාකුල ඇදී ගිය මුහුණ මගේ සිතේ මහා තෙරපුමක් ඇති කිරීමට සමත් විය. මම මදක් ඉදිරියට නැමී ඒ මාතාවට ආචාර කළෙමි.  ඒ සමගම මට එකවර ඇතිවූ චකිතය වූයේ ඈ චාරුකාගෙන් මා ගැන දැනගෙන ඇතිද යන්නයි. එහෙත් ඇගේ දේහ බස එවැන්නක් ඉඟි කළේ නැත. මම සැනසුම් සුසුමක් හෙලීමි.

ඉන් ඉක්බිති අපි තිදෙනා චාරුකාගේ නිසල දේහය වටා සිටගෙන සිටියෙමු. ඇගේ ලොකු ඇස් පියවි තිබුණේය. මා අසල සයනයේ වම් පසින් සිය ලොකු ඇස් පියාගෙන විටෙක බොරුවට මා රවටා නිදි බවට රඟ පෑමටත් විටෙක ඇත්තටමත් ඈ අහිංසක ලෙස නින්දේ පසුවී සිටි ආකාරය මගේ සිතේ සළ රූ පෙළක් පරිද්දෙන් මතුවී එද්දී මම උගුරේ හිරවුණු ගුලියකින් පීඩා විඳිමින් තව දුරටත් ඇගේ නිසල දේහය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියෙමි.  ඇගේ මුහුණේ හකු ඇට වඩාත් උස්ව මතුව තිබුණේ රෝගය හේතුවෙන් ඈ කෘෂ වූ නිසා විය යුතුය. ඈ ආසා කළ ආකාරයේ සුදු දිග ලේස් ගවුමක් ඇඳ සිටි මුත් අතේ රෝස මල් පොකුරක් තිබුණේ නැත. දේහය වටා වත් මල් තිබුණේ නැත, ඈ දෑත ළයට මදක් පහළින් බැඳ ගෙන නිසලව උඩුකුරුව වැතිර සිටියාය. කෙදිනක හෝ මගේ අතින් රන් මුදුවක් පළඳින්නට බලාසිටි ඇගේ ඇගේ සිහින් දිගු ඇඟිලි සුදු අත්මේස් වලින් වැසී තිබුණේය.

නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයි

ඇගේ කටහඬ ඇසෙන්නේ කොහේ සිටදැයි මම වටපිට බැලුවෙමි.

මං රෝසමල් පොකුර ගෙනාවා චාරු ...ඒත් ඒක ඔයාගේ අතට දෙන්න තරම් මට තිබුණු හයිය මං නැතිකර ගත්තේ මීට මාස ගණනකට ඉස්සර චාරු.”

මගේ ඇසට කඳුළු එද්දෝයි බියක් මට ක්ෂණිකව ඇතිවිය. ඇත්තෙන්ම මෙතෙක් මා ඇය හා එකතුවී සිටියේ නම් මා මිළදී ගත් සුදු රෝස පොකුර ගෙනවිත් ඇගේ හිස්වූ දෑත් මත තබා ඇගේ අහිංසක ආසාව ඉටු කිරීමට ඉඩක් ලැබෙන්නට තිබුණි. එහෙත් වළලා දැමූ කතාවක් මෙතැන යළි ගොඩ ගැනීමෙන් ඇතිවන යහපතක් නැත. එවැන්නකට තටු ලැබී පියාසර කිරීමට ඒ රටේදී එතරම් වෙලාවක් යන්නේ නැත. එයින් කිසිවෙකුටත් සෙතක් අත්වන්නේ ද නැත.

වාඩිවෙන්න පුතා යනුවෙන් චාරුකාගේ මවගේ කටහඬ සමග පියවි ලොවට පිවිසි මම එතැන අයිනක තිබූ පුටුවක් මතට බර විමී. දැරියක් මට කෝපි බඳුනක් පිරිනැමුවා ය. උගුර කට වියළී තිබුණෙන් එය මට අමෘතයක් බඳු විය. වරින් වර සෙනග පැමිණ චාරුකාට අවසන් ගෞරව දැක්වූහ. මා දන්නා අඳුනන කිසිවෙකුත් හමු වුයේ නැත.

මම කලින්ම චාරුකාගේ ඉදිරි පිංකමක් සඳහා යොදා ගන්නා මෙන් කියා සෑහෙන මුදලක් කවරයකට දමා ඇගේ පියාගේ අත තැබුවේ කිසිවෙකුත් නැති මොහොතක් බලා මහත් චකිතයකිනි. එහෙත් කිසිදු අදිමදි කිරීමකින් තොරව පිං සිද්ධ වෙච්ච්වේ පුතා කියා ඔහු එය භාර ගැනීම මට මහත් අස්වැසිල්ලක් විය. චාරුකාගේ පියා මට කී පරිදි එංගලන්තයේ සිටි චාරුකාගේ සොහොයුරා කලින් දෙවරක් පැමිණ ගොස් තිබුණු අතර අවසන් කටයුතු සඳහා පැමිණෙන්නේ ඒ මොහොතේ බව දන්වා තිබුණෙන් පවුලේ ඥාතීහු ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නා බව කතාබහෙන් මට තේරුම් ගියේය. ටික වෙලාවක් ගතවීමත් සමග ඇගේ මුහුණුවර ඇති තරුණයෙක් ශාලාවට ඇතුළුවනු පෙනුනි.

"මේ අපේ පුතා රවීන්. මේ නංගිගේ ඇමරිකාවේ හිටපු යාළුවෙක්." ඔහු සිය නැගණියගේ දේහය කරා යාමටත් පෙර චාරුකාගේ මව මට ඔහු හඳුන්වා දුන්නාය.  මම නැගිට ඔහුට අතට අත දුන්නෙමි.

ඔහු සිය නැගණියට කඳුළු පිරි දෙනෙතින් යුතුව අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව  වැඩම කළ හාමුදුරුවරු දෙනමක් හමුවේ මතක වස්ත්‍ර පිදීමේ චාරිත්‍රය සිදු කරන ලදී. වෙනත් කතාබහ කිසිවක් නොවිය. සවස හතරට පමණ දේහය සොහොන් බිම වෙත රැගෙන යාම ආරම්භ විය. මම අවසන් වරට ඒ මුහුණ දෙස බලා දෙඇස පියා ගතිමි. පාදාන්තයේ සිට කේශාන්තය දක්වා හිරිවැටීමක් බඳු වචනයෙන් විස්තර කිරීමට අපහසු සියුම් කම්පනයක් ඇතිවි නැතිවි ගියේය. පෙට්ටිය වසන හඬ වෙනත් ලෝකයක සිට මෙන් ඇසෙන්නට විය. පවුලේ අයවලුන් විසින් කරට ගත්  දේහය ඉදිරිපස විශාල ගේට්ටුවෙන් ඔබ්බෙහිදී අවමංගල රථයේ තැන්පත්විය. පවුලේ අයට පිටුපසින් මම සෙමින් ඉදිරියට ඇදුණෙමි.

මගේ රථයේ පිටුපස අසුනේ සුදු රෝස මල් පොකුර දුක්බරව බලාගෙන සිටියේය. මම රථයට නැගී අවමංගල පෙරහැර පිටුපසින් යන රථ පෙරහැරට එකතු වීමි. එහෙත් මගදී එය මගහැර අතුරු පාරක  සෙවන සහිත පාළු තැනක රථය නවතා ගතිමි. මට මහා හයියෙන් අඬන්නට ඕනෑ විය. මම සුක්කානම මත හිස තබාගෙන අඬන්නට වීමි. කඳුළු පිටවී යත්ම හිතට ඇතිවූයේ සැහැල්ලුවකි. කාලය ගතවී තිබුණේ මට නොදැනීමය. වෙලාව සවස හය පසුවී තිබුණි.

මම රථය ප්‍රධාන පාරට දමා සුසාන භුමිය කරා සෙමෙන් එය ධාවනය කළෙමි.  ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවත්ම අවමංගල අවස්ථා සඳහා පැමිණි අය පිටවෙමින් සිටිනු දක්නට ලැබුණි. අඳුර වහ වහා බිමට පහත් වෙමින් පැවතියේය. සුසාන භුමිය වටා ඇති උස ගස්වල සෙවනැලි මහා දිගට බිම දිගේ වැතිරෙමින් තිබුණේ අද පස්වලට යට වූවන්ට සෙවන සලසන අයුරක් කියා පාමිනි. රථය නවතා එයින් බැස ඇවිද ගොස් චාරුකාගේ සිරුර තැන්පත් කළ තැනට ඇදුනෙමි. ඇගේ නම සහිත බැනරය නිසා එය හඳුනා ගැනීම පහසු විය. සැරසිලි වශයෙන් තිබුණේ ගොක් රැහැන් කිහිපයක් පමණි. සෙවනැලි අතරෙන් පෙරී ආ රන්වන් හිරු කිරණ අලුතෙන් ගොඩ ගැසූ පස් කැට මත ඇතිරී තිබුණේ දෛවය කියා දෙයක් ඇත්නම් එය විසින් චාරුකාට උරුම කර දී තිබූ එදිනෙන් ඇරඹෙන ඇගේ අවසන් නින්දට සුබ පතන්නාක් මෙනි. සියල්ලෝ එතනින් ඉවත්ව ගොස් ඇති බව තහවුරු වූ පසු ආපසු රථය වෙත පැමිණ සුදු රෝසමල් පොකුර ගෙන නැවත සොහොනට ගොස් උස්කර සකස් කර ඉටිපන්දම් දෙකක් දල්වා තිබුණු සොහොන මත මල් පොකුර තැන්පත් කළෙමි.

"චාරු මෙන්න ඔයා අසාවෙන් ඔය දෑතට ගන්න බලා හිටිය ලස්සන් පොඩි සුදු රෝස මල් පොකුර"

මම හැකි ඉක්මණින් රථය කරා පැමිණ එය පණ ගන්වා එතැනින් පිට වුණෙමි. තවත් පැය භාගයක් ඇතුළත මම දකුණු අධි වේගී මාර්ගයේ දකුණට ගමන් කරමින් මගේ අරමුණක් නැති නොනවතින ජීවිත ගමන යළි ආරම්භ කරමින් සිටියෙමි.

Image from Pexels free images

©malinieganewatta2024

  

4 comments:

  1. කණගාටුවක් දැනුනත් ඔහු තුළ වරදකාරී හැඟීමක් ඇති වීමට හේතුවක් නැහැ සදාකාලික බැඳීමකට අවශ්‍ය මානසික සූදානම ඔහු තුළ නොතිබුන නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් . ඒත් දෙයක් සදහටම නැතිවී ගියවිට සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්.

      Delete
  2. ඔක්කොම කියෙව්වේ අද තමයි
    දුකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එක්තරා සත්‍ය යයි සඳහන් කරන ලද සිධියක් තමයි plot එක විදියට ගත්තේ. ඒ අනුව චරිත මා විසින් ගොඩ නැගුවා.

      Delete