රතු මකරා
සරුංගලය සෑදීමට අවශ්‍ය උණ ගස තාත්තා කැපුවේ අගෝස්තු මාසය එළඹීමට මාස කීපයකට පෙරයි. ඒ වතාවේ තාත්තා රතු සරුංගලයක් සෑදුවේය. සවස් යාමයේ රතු සරුංගලය අඳුර වැටෙන නිල්-දම් පැහැති අහසේ ඉහළට නැඟුණ අතර සත් හැවිරිදි පුංචි ලියෝ ඔහුගේ කුඩා දෑතින්ම සරුංගල් නූල තදින් අල්ලාගෙන සිටියේ, සුළඟ එය ඇදගෙන ඈතට ඈතට යන දෙස බලාගෙන සිනාසෙමිනි. එය ඔහු සහ සුළඟ අතර වූ සෙල්ලක්කාර සටනක් විය. ඔහු අසල උද්‍යාන බංකුවේ අසුන් ගෙන සිටි ඔහුගේ පියා, ජීවිතය ගැන යම් තරමකින් හෝ ලියෝට වැටහෙන්නට පටන් ගත් පසුගිය පස් අවුරුදු ජීවිතය පුරාම නිතරම දක්නට ලැබුණු විඩාබර නමුත් කිසිදා මැකී නොගිය සිනහව මුව රඳවාගෙන සිනාසුනේය.
" තාත්තේ.... දැක්කද තාත්තේ?" ලියෝ සුළඟට උඩින් කෑ ගැසුවේය.
"මේ රතු මකරෙක් තාත්තේ!"
ඔහුගේ පියා වහාම පිළිතුරු දුන්නේ නැත. ඔහු පසු වූවේ, සිය දෙනෙත් සරුංගලයේ සුළඟ සමග වූ රංගනය දෙස යොමු කරමින් නමුත්, වර්තමාන මොහොත සහ තවත් දහසක් සිතුවිලි වෙනත් තැනක තබාගෙන සිටින්නාක් මෙනි.
"ඒක ඇත්තටම එහෙමයි," ඔහු අවසානයේ කීවේය, ඔහුගේ කටහඬ සුපුරුදු තද බවට වඩා තරමක් මෘදු විය.
"ගොඩක් නිර්භීත මකරෙක්."
සරුංගලය කුඩා, සෙලවෙන විරාම ලකුණක් මෙන් අඳුරට එරෙහිව පෙනෙන තෙක්ම, හිරුගේ අවසාන ආලෝකය අහසින් බැස යන තෙක්ම ඔවුහූ එහිම සිටියහ. පියාගේ අතේ එල්ලී ගෙදර යන විට ලියෝට එහි හුරුපුරුදු උණුසුම වඩ වඩාත් දැනුණි, එය ඔහුට නිතරම තමාගේ ලෝකයේ ශක්තිමත්ම දෙය ලෙස හැඟුණු කිසිවකින් විස්ථාපනය කළ නොහැකි උණුසුමකි.
ඊළඟ දවසේ උදේ, නිවෙස වෙනස් ආකාරයක නිශ්ශබ්දතාවයකින් පිරී තිබුණි. එය පහත් ස්වරයෙන් කතා කරන හා හිමින් අඩි තියන නිශ්ශබ්දතාවයකි. එය කුඩා නිවසකට තරම් නොවන ලොකු නිශ්ශබ්දතාවයක් විය. ලියෝ ඔහුගේ මව සොයා ගත්තේ විසිත්ත කාමරයේදීය. ඇගේ මුහුණ සුදුමැලි වී, ඇගේ ඇස් රතු වී තිබුණි.
"තාත්තා කොහෙද?" ඔහු නව, දැවැන්ත නිශ්ශබ්දතාවය ඉරා දමන්නට සමත් නොවන තරමේ ඔහුගේ සිහින් හඬින් ඇසුවේය.
ඔහුගේ මව දණින් වාඩි වී, ඔහුගේ උරහිස් මෘදු ලෙස අල්ලා ගත්තාය. "පුතේ," ඇය කීවාය. ඇගේ කටහඬ සිහින් ළා දල්ලක් සුළඟට සෙල වෙන්නාක් මෙන් වෙවුලුම් කෑවේය.
"තාත්තා ගියා හොඳ තැනකට."
පංචේන්ද්‍රියන්ට හුරු සිදුවීම්වලට අදාළ වචන පමණක් තේරුම් යන වයසේ වූ ලියෝගේ මනස මෙය තේරුම් ගැනීමට උත්සාහ කළේය. ඔහු දීප්තිමත් වර්ණ සහ උස ගස් ඇති, ඔහුගේ තාත්තාට තමන්ගේම සරුංගලයක් පියාසර කළ හැකි ස්ථානයක් ගැන සිතුවේය. නමුත් වචන සමඟ කිසිම සම්බන්ධයක් නැති ස්ථිර බවකින්, නිවසේ යමක් බිඳී ගොස් ඇති බව ඔහු දැන සිටියේය.
ඔහු හැඬුවේ නැත. සියල්ල නිමාවී දින කීපයක් ගතවිය. ඔහු ඔහුගේ කාමරයට ගොස් බිත්තියේ එල්ලා තිබූ රතු සරුංගලය දෙස බැලුවේය. එය තවදුරටත් නිර්භීත මකරෙක් නොවීය. එය හුදෙක් වස්තුවක් පමණක් විය, උදෑසන ආලෝකය තුළ එහි වර්ණ වියැකී ගොස් තිබුණි. දැන් එය ඔහුගේ පියා සමඟ කිසිදා පියාසර නොකරන දෙයක් බව ලියෝට වැටහී ගියේ ය.
සති මාස බවට හැරුණු අතර, ලියෝ ගේ ලෝකය සෙමින් එහි වර්ණය නැවත ලබා ගත්තේය, නමුත් පෙරට වඩා ටිකක් අඳුරු ගතියක් එහි විය. පළමු නිශ්ශබ්දතාවයට වඩා වෙනස් නව නිශ්ශබ්දතාවයක් එහි ගැබ්ව තිබුණි.
එය ඔහුගේ පියාගේ සිනහවේ දෝංකාරය සහ ඔහුගේ අතේ ඇති උණුසුම් මායාමය හැඟීම සම්මිශ්‍රණය වූ නිශ්ශබ්දතාවයකි. සමහර විට, ලියෝ පිටුපස මිදුලේ බංකුව මත හුදකලාව ඉඳගෙන, ඉහළ අහස දෙස බලා, ඔහුගේ පියා "හොඳ තැනක" සරුංගලයක් පියාසර කරනවා විය හැකි බව සිතුවේය. ඔවුන් දෙදෙනා එක්ව පියාසර කළ සරුංගලයට වඩා එය ඉහළට යනවා විය හැකිය.
එක් දිනක් ඔහු බිත්තියෙන් රතු සරුංගලය ගත්තේය. ඔහු උද්‍යානයට, හරියටම එම ස්ථානයටම ගොස් එය දිග හැරියේය. ඔහු සුළං රැල්ලක් එනතුරු බලා සිටියේය, එය පැමිණි විට, ඔහු සරුංගලය යන්නට හැරියේය. එය මුලදී ඉහළට නැගුනේ නිර්භීත මකරෙකු ලෙස නොව, හුදෙක් ඔහේ පාවෙන සරුංගලයක් ලෙසයි.
නිමක් නැති නිල් අහසට නැඟී යමින් සිටි සරුංගලය ලියෝ ගේ සිතේ නව බලාපොරොත්තුවක් ඇති කළේය. සරුංගලය නිර්භීත මකරෙකු බවට හැරෙණු ඔහුට පෙනුණේය. ඉතා දිගු කලකට පසු පළමු වතාවට, ලියෝ සිනාසුණේය. ඔහුගේ තාත්තා ඔහු දෙස බලා සිටින බවත්, ඔහු කොතැනක සිටියත්, ඔහුද සිනාසෙන බවත් ලියෝ දැන සිටියේය. ජීවිතයට නිර්භීත මකරෙකු මෙන් මුහුණ දිය යුතු බව ඔහුට හැඟී ගියේ ය.
මාලිනී ගනේවත්ත
ReplyDelete++++++++++++
Thank you or the comment
Delete