ලේලි - 5
ගෙදර එද්දී හොඳ ගණන්. වෑන් එක නැති එකේ රඟේ තේරුණේ බස් එකේ එද්දී. එහෙන් මෙහෙන් තෙරපිලා සාරි පොටත් බෙල්ල වටේ දාගෙන බෑග් එල්ලගෙන බස් එකට නැගලා ඇවිත් ඒකෙන් බහිද්දී කෝකටත් සාරි පොටෙන් පිට වහගත්තා. නැත්නම් අ.. රූ බහින්න ආධාර දෙන්න පුළුවන් නේ පිටට අත තියලා.
ගෙදර ඇවිත් ටිකක් ඉඳලා නාලා කාලා ඇඳේ හාන්සි වුණේ ෆෝන් එකත් අතේ අරන්.
ෆේස් බුක් එකේ අරයා ඉන්නවද කියලා ඇහැ දාලා බැලුවා. ඔන් ලයින් නෑ වගේ. වැඩ වෙන්න ඇතී. එයැයිගේ ප්‍රොෆයිල් එකේ උඩ පහළ ගියා ටිකක්. ලස්සන පින්තූරයක් වත් දාලද බලන්න. ම්හු.... පරණ ඒවම තමයි. ටික වෙලාවක් ඒ මූණ දිහා බලන් හිටියා. එයා එක්ක කතා කරන්න තියේ නම් හොඳයි කියලා හිතුණා. මොකක්ද පාලුවක් වගේ හැඟීමක් හිතට එන්න ගත්තා.
ඒ දවස් වල කැම්පස් එකේදී සංඛ එක්ක කතා කරන්න හිතුණෙත් මේ විදියට නේද කියලා හිතුණා. කොහෙද සංඛට මට වැඩිය රශ්මි හොඳ වුණා නේ... මං නව දැළි හේනේ වැඳිරි වගේ පේන්න ඇති ඒ රූප රැජින දැක්කම. ඒකි පහළ බැච් එකට ආවත් හරි මගේ ප්‍රේමේ පරඬලා පතක් බවට පත් වෙලා මහවැලි ගඟ දිගේ මූදටම ඔහේ ගහගෙන ගියා. මං වැඩකට නැති එකියක් කියලා හීනමානයකුත් හීනියට හිතට ඇවිත් එදා මං නාන කාමරයට ගිහින් ටිකක් ඇඬුවා. එදා සමන්ත ඇහුව වෙලේ මං සංඛ ගැන කිව්වේ නෑ නේද කියලා හිතුණා. ඒත් නූපන් ප්‍රේමයක් ගැන මොනවා කියන්නද? යන්තම් කළල රූපෙම ගබ්සා වුණ එකනෙ වුණේ. ඇහැට කඳුළකුත් නැඟුණේ මං ආරාධනා කරලා නෙවේ. සංඛ දැන් කොහේ ඇතිද? එතකොට සංඛ ද මගේ ප්‍රථම ප්‍රේමේ?
අතීතය ඕන නෑ. මං අද ඒ සේරම යකඩ පෙට්ටියකට දාලා ඇණ ගහනවා කියලා හිතා ගත්තා.
දන්නෙම නැතුව මට නින්දකුත් ගිහින් ඇහැරුණා. බස් එකේ ආපු මහන්සිය වෙන්න ඇති. ඒත් එක්කම ෆෝන් එක නද දුන්නා.
'සමන්ත සපරමාදු' තිරයේ නම. ළඟදිම ආදරබර නමකට එඩිට් පාරක් දාන්න වෙයි.
"හෙලෝ සුරංගී"
මං එයාට කොහොමද අමතන්නේ... මිස්ට සමන්ත... සමන්ත....මොකවත් හිතාගන්න බැරි වුණා. කොහොමත් සුවාමිපුරුෂයට/පෙම්වතාට අයියා බ.. යියා... එතකොට සුදාත්ති වගේ ඇමතුම් මට අප්පිරිය දේවල් නේ.... අපේ අම්මා නම් දැන් කියන්නේ සුදු මැණිකෙලයි තාත්තා. ඉස්සර සනත් කිව්වලු. දැන් ගෞරවේ වැඩි වෙලා ඉඳහිට තමයි එහෙම කියන්නේ.
"හෙලෝ භාවනා කරනවද?" කියලා ආයෙමත් ඇහුවම අන්තිමේ මට හෙලෝ විතරයි කියවුණේ.
"අද ඉස්කෝලෙ වැඩ කොහොමද?"
"හොඳයි."
"ඇයි තනි වචනෙන්?"
"හොඳයි කියන එක තනි වචනයක් තමයි."
"අපේ තාත්තත් ඔහොමයි... උසාවි කතා... හහ් හහ් හා"
"අපේ තාත්තගේ දූ නේ මාත්"
"බයි ද වේ... මොනවත් සතුටු ආරංචි නැද්ද?"
"ඒ කිව්වේ.... මටද. ඔයාට?"
"අපි දෙන්නටම"
"තාත්තා කිව්වා......." මට වචන එන්නේ නෑ වගේ දැනුණා.
"මොකක්ද... මොකක්ද තාත්තා කිව්වේ... ඔයා ඔය තරම් ස්ට්‍රෙස් වෙලා ඇයි? " මිනිහත් එහෙන් ස්ට්‍රෙස් වෙලා.
"ඔයාලගේ ගෙදර එන්න දවසක් දාගන්න ඕන කියලා" මං ගෑනු ගතිය හොඳට අඹරලා පෙරලා අරන් උත්තරය දී ගත්තා.
" ඔය ඇත්තම ද? "
" ඔව්... බොරු කියන්නේ තෑගි ගන්නයැ
"තෑග්ගක් දෙනවා ළඟ හිටියා නම්"
මං රත් වුණා. ඒ වක්‍රෝත්තියෙන් කිව්ව තෑග්ග ගන්න මං ලෑස්ති ද?
"ඕන නැති ඒවා කියන්න එපා!"
"ඕන නෑ..." ඒ හිනාව නම්..... ඇඟත් හිරි වැට්ටුවා.
" එතකොට බලමු."
" හොඳ කෙල්ල... එහෙනම් ඔයා තාත්තට හා කිව්වා ද?"
" තාත්තාට ද හා කියන්න ඕන? "
" එහෙම නේ හැදිච්ච ළමයි."
මං හිනා වුණා.......
" මං හැදිච්ච ළමයෙක් ද? "
"ලස්සන හිනාව..... මට හිතෙන්නේ එහෙම. ඔයා හරිම හොඳ කෙල්ලක්."
"ඒ නම් බටර් නේද? ඔයා කොහොම කෙනෙක් කියලද මං හිතන්න ඕන?"
"ඔයාට ආදරේ කරන අවංක කොල්ලෙක් විදියට"
අමුතු හිනාවක් ආයේ ඒ පැත්තෙන්....
" අනේ අනේ... ඔය ටිකට ආදරෙත් හිතිල? "
" එක දැක්මෙන් ආදරේ හිතුණා සුරංගී"
"හැබෑට?"
"වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් ද ප්ලීස්? "
" අද බෑ"
" හා ඔයාට පුළුවන් දවසක කරන්න. කවදද ඉතින් තාත්තා එනවා කිව්වේ? "
" ඔයාගේ තාත්තට කියාවි. ඒක නෙවේ මාත් එනවා එදාට."
"ඔයත්?"
"ඔව්... ඇයි පුදුමයෙන්? "
"අම්මගෙන් අහන්න ඕන? "
මෙයා සම්ප්‍රදායික පුරුෂ රත්නයක් ද එතකොට?
අම්මා අම්මා.... හැම එකටම අම්මා. අම්මට බයද මෙයා..... ඕවා නම් හදාගන්න වෙයි පුතෝ...
" මං ආන්ටිගෙන් අහන්න ද? "
" මේ අපේ අම්මගෙන්? "ඒ අහපු ඇහිල්ලට ඇත්තටම මිනිහගෙ මූණ කොහොම ඇතිද කියලා මං හිතේ මවා ගත්තා. කරත්තෙට ආහුවුණු කජු ලෙල්ල වගේ මූණක්...
වීඩියෝ කෝල් එකක හිටියා නම් මරු කියලා හිතුණා.
" නැතුව වෙන ආන්ටිලත් ඉන්නවද අහන්න?"
"ඒකත් ඇත්ත."
"එයා සැරයිද?"
"ම්.... නෑ... ළමයින්ට නම් සැරයි ටිකක්"
ඔව් ඉතින් අවුරුදු තිහක් පරණ ටීවර් කිව්ව නේ. ඔය සැරයි කියන ටීටලගේ සැරත් බස්සපු කෙල්ලක් තමයි ඉතින් මේ සුරංගී. කියන්න ඕන වුණත් ඒ ටික උගුරෙම තියෙන්න ඇරියා.
"ඒකට කමක් නෑ. මං ආන්ටිට කැමතී. "
" එයාගේ පුතාට කැමති නෑ ද බබෝ ?" අම්මේ පැණි බේරෙන කතාව. මෙයා මගේ කටින් අල්ල ගන්න හදන්නේ.
"අම්මා හදපු පුතානේ. මට හිතා ගත්තෑකි "
" ඒක නෙමේ කවදටද ඔයා අම්මට කතා කරන්නේ? " පුතණ්ඩිය බය වෙලා වගේ. හිටපන්කෝ මං දෙන්න වැඩේ.
"තාත්තා දවසක් දාගත්තම"
"හා ඒකත් හොඳයි."
" ඔව් ලේලි පොඩිත්ත වෙන්න ඉන්න කෙනා නේ මං. අනික ආන්ටිට ඕන දුවෙක් කීවනේ."
"අම්මා නම් එදා ආ වෙලේ ඉඳන් ඔයා ගැන කියවනවා "
" මොනවද මං ගැන කියන්නේ. නැට්ටිචියක් කියනවද?"
" අපෝ නෑ... හොඳ කෙලි පෑංචියක් කියනවා"
"මං සූකිරි බෝලයක් තමයි ඉතින්"
" නැතුව.... ළඟ සිටියා නම් සූකිරි බෝලේ..."
" සූප්පු කරනවද? "
" ආස ඇති.... මං දැන් ගෙදර යන ගමන්.... රෑට කතා කරන්නම්... බායි"
හිතට සතුටක් ආවා. මටත් දැන් ආදරය කරන කෙනෙක් ඉන්නවා එතකොට. මං එයාට ආදරේ ද?
මට හිතා ගන්න අමාරුයි. ඒත් මං එයාට කැමතියි.
" මොකෝ අද නිදා ගත්තේ? මහන්සියි නේ සුදෝ.. කෙල්ලට බස් ගමන හුරු නෑනේ "
අම්මා තේ එකත් අරන් කාමරයට ඇවිත්.
" අනේ ඔව් අම්මා.... එපා වුණා. ටිකක් හිටියා නම් පැය බාගයක් විතර හිර වෙන්නේ නැතුව එන්න තිබුණා." මං තේ එක තොලගාන ගමන් කිව්වා.
" හෙට ඉඳලා වෑන් එක එනවනේ? "
" ඔව්. සුමිත් මට කෝල් කළා. හෙට එනවා." සුමිත් තමයි වෑන් එකේ අයිතිකරු හා රියැදුරු.
" අම්මා " මං අම්මට තොදොල් පාරක් දැම්මා. මගේ කට හඬින්ම අම්මා දැන ගත්තා. අපේ අම්මා පුදුම සහගත සෙන්සර් එකක්. තාම නවීන තාක්ෂණයෙන් වත් එච්චර එකක් හොයාගෙන නැතුව ඇති.
" මොකෝ.... ඒ පාර ප්‍රශ්නේ?
"නෑ අම්මා අම්මා මොකද අරය ගැන හිතන්නේ?"
"අරයා?" අම්මගේ මූණ මටත් වඩා කෝල වෙලා නේ. බෑණන්ඩියා ගැන කිව්වා විතරයි මූණෙ පිනි ජම්බු මල් පිපිලා.
"ඔව් අනේ! අර සමන්තයා "
" එහෙමද තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයා ගැන කතා කරන්නේ? " හිනාව අතරෙන්ම අම්මා ඇහුවේ තරහින් නම් නෙවේ.
"ඔව්... මං එයාට කැමති වගේ."
" ඇති යන්තම්.... තාත්තා ආවම කියන්න."
"අම්ම කියන්න. මට නිකම් ලැජ්ජයි වගේ."
"එහෙනම් අපි ඊළඟ ඉරිදා එහේ යනවා සුදු මැණිකේ.. " තාත්තා ගෙට ගොඩවෙනවත් එක්ක කියපි.
අම්මටත් තිවිල තියන්නේ එසේ මෙසේ අස්ස කුලප්පුවක් නෙවේ. මං සමන්තට කැමති කිව්ව එක තාත්තට ඒ මොහොතෙම සන්නිවේදනය කරලා. තාත්තා සමන්තගේ තාත්තට කතා කරලා දිනත් දාගෙන.
අම්මා තාත්තාට තේ හදන් ආව නිසා අපි තුන්දෙනාම සාලේ සෝෆාවේ ඉඳන් කතාව දිගින් දිගටම අරන් ගියා.
" මාත් එන බව කිව්වද තාත්තා ? "
" නෑ මං එහෙම කිව්වෙ නෑ සුදු මැණිකේ"
" මමම එයාට කියන්නම් තාත්තා"
" හොඳයි එහෙනම් ඒ ගැන ඔයාල කතා කරගන්න කෝ"
ඔන්න මට චාන්ස් එක. නැන්දම්මා ගැන දැන ගන්න. හණමිටි උස්සගෙන යනවද? නැත්නම් වෙනස්වෙන ලෝකෙට හරි යන්න වෙනස් වෙනවද කියලා. එහෙම උස්සගෙන ඉන්නවා නම් ඒවා බිම තියන්න වෙයි නැන්දම්මා හොඳද? මේ ඔයාගේ ගෙදරට හා පුරා කියලා හත්දා මඟුල් කාලා සම්ප්‍රාප්ත වෙන්න හදන්නේ දුවෙක්.... ලේලියෙක් නෙවේ. ඔයාටත් ඕන කිව්වේ එහෙමනේ?
"මොකද මේ සුදා...... ගැඹුරු කල්පනාවක" අම්මත් මට වෙනදට වඩා ලීලේ පාන්නේ.... මඟුල හරිගිය සතුටටද මන්දා. නැත්නම් මං යන එකේ දුකටද? සොනාලි මගේ නැන්දගේ දූ බැන්ද දවසේ නැන්දා නම් කිව්වා එයාගේ ඇඟේ කෑල්ලක් ගියා වගේ කියලා. ඇත්තටද බොරුවටටද දන්නේ නෑ. හැබැයි ඒ දෙන්නා මායි අම්මයි වගේ නයි මුකටි නම් නෙවේ.
"නෑ අම්මා......මං ලොකු දෙයක් හිතුවේ නෑ"
කියලා අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියා ගත්තා. අම්මා ගේ සිනිඳු අතැඟිලි මගේ කෙස් අතරින් ඇදෙන එකට මං කවදත් ආසා කළා.
"හැබැයි දුවේ... පොඩ්ඩක් ගේ දොර වැඩ කරලා පුරුදු වෙන එක හොඳයි" ඔන්න අම්මා දේශනාව පටන් ගත්තේ මගේ ඉවසීම ප්‍රගුණ කරන්න වෙන්න ඕන.
" මං ඒ ගෙදර වැඩකාරකමට ද යන්නේ?"
"ඔන්න කිව්වා. ඒ ගෙදරට වැඩට මනුස්සයෙක් ඉන්නවා කිව්වා. ඔයා ඒ හැම දේම කරන්න ඕන නෑ.
" ඒක මිසක්.... මට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ අම්මා. මං තැනේ හැටියට ඇණේ ගහන්නම් කෝ "මං කේන්ති නැතුවම කිව්වා.
ගෙදර වැඩ මට බැරුව යැ මං එක දිගටම නොකළට.
තාත්තා හිනා වෙවී තේ බිව්වා.
" ඔව් ඉතින් තාත්තගෙ දූ පොඩිත්ති නේ"
"අනේ මේ අම්මට මං අවුස්සා ගන්නැතුව නින්ද යන්නේ නෑ නේ...." ඒකත් මං කිව්වේ තරහක් නැතුව. ඒ දවස අමුතුම ප්රබෝධයකින් ගෙවුණා. සමන්ත රෑත් කතා කළා. අපේ කතාව ටික ටික රොමැන්ටිකරණය වෙමින් යන්නේ හරියට ශේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් වගේ කියලා හිතුණා. එයත් සතුටින් බව කතාවෙන් දැනුණා. හැබැයි මට ඒ වෙද්දිත් ආමන්ත්‍රණයක් නෑ. එයා නම් 'බබා බබෝ සුරංගී' කියනවා කිසිම පැකිලීමක් නැතුව....
©මාලිනීගනේවත්ත
මනස තුළ ඇතිවන පෙරළිය හොඳින් ලියවිලා තියනවා.
ReplyDeleteස්තුතියි Litseeker මේ දිරිමත් කිරීමට. විනෝදාස්වාදය සමග පණිවිඩයක් දීමටයි බලාපොරොත්තුව.
Delete