ලේලි - 6
දැන් ඉතින් ඉස්කෝලේ ජරමරයි මාස්ටර් එකේ වැඩයි මදිවට මඟුල් සක්වලක වැඩත් පැටවුණා නේ. ඒකත් ඔළුව උඩ කළු ගලක් තියලා වගේ බරක්. තව කොහොම තියෙයිද මඟුල කෙරුණම. බලමු... බලමු මේ සුරංගි ඕන එකකට ඔට්ටුයි.
පහුවදා රෑ සමන්තට මං පළවෙනි වීඩියෝ කෝල් එක ගත්තා. ඊට කලින් කොණ්ඩේ එහෙම පීර ගත්තා. මේක් අප් දැම්මේ නෑ. යකාගේ විදියට නේ විමානේ තියෙන්න ඕන. නැත්නම් පහු පහු වෙද්දී කොහු කොහු වෙන්න පුළුවන්.
"හායි බබා..."
එහා පැත්තෙන් එක පාරටම මනමාල පාට මූණ මතු වුණා.
මං ඉතින් හලෝ විතරයි. බබා වත් මොකක් වත් නෑ.
"ඉතින්"
"කිතුල්"
"කිතුල් නෙවෙයි දැන් ඉතින් අපේ දිහා එන්න කදමළු බඳිනවා ඇති නේ?"
"කදමළු ගේන්න තව කල් තියෙනවා නේ"
"ඒකත් ඇත්ත. හැබැයි මට නම් මොනවත් ඕන නෑ"
" මොනවත්?"
"ඔව් මං කිව්වේ බඩු... සල්ලි වගේ ඒවා. දෑවැද්ද දෑවැද්ද"
"මේ බඩුව ආවම ඇති නේ?"
"ඇති ඇති ඉහටත් උඩින් ඇති"
" කෝ මට ආන්ටිට කතා කරන්න ඕන"
"දැන්? "
" නැතුව... තව දවස් පහයි නේ තියෙන්නේ. මං එන නිසා එයාට වැඩ වැඩිවෙයි නේ"
ඉන්න බලන්න..." අම්මා අම්මා..". අම්මෝ ඒ සද්දේ. අපේ ගෙදරට දෙවෙනි නෑ වගේ.
" ඇයි පුතා? "
" මෙන්න ඔයාගේ ලේලි... ආ... වැරදුනා දූ පොඩ්ඩ ඔයාට කතා කරන්න ඕන කියලා කියනවා. "
" මේ එනවා... ඔළුව වත් පීරලා නෑ. "
කියාගෙන නැන්දම්මා තිරයට ප්රාදුර්භූත වුණා.
" දුවේ! " ආදරේ බේරෙන මූණ.
"ආන්ටි"
" ඉතින් ඔයාට කොහොමද?"
"හොඳයි ආන්ටි... ඔයාට කොහොමද?"
" හොඳයි. ඉතින් ගෙදර වැඩ... දන්නවනේ මේ පුතණ්ඩියලා හිටියට තේ එකක් වත් හදාගන්න දන්නේ නෑ නේ. සුමනා හිටියත් මටත් මගේ පිළිවෙලට වැඩ නැතුවම බෑ ඉතිම්"
හැබැයි නැන්දම්මා ඔයාට ඕන විදියටම හැම දේම බෑ මං ඔය ගෙදරට අඩිය තිබ්බට පස්සේ හොඳේ. ඒ වචන මගේ උගුරේ හිර කරගෙන
"එහෙමද? මං ඕවා මෙයාට උගන්නලා ගන්නම්කෝ ආන්ටි..." කියලා මං කිව්වා.
" තේ හදන වැඩද? "
" ඔව් ගෙදර වැඩ පල"
" ඒක හොඳයි. .. එහෙමවත් හැදෙන්න එපායැ."
"ආන්ටි මාත් එනවා ඉරිදට."
මං ගහෙන් ගෙඩි එන්න වගේ කෙලින්ම කිව්වේ නැන්දම්මා ගේ ප්රතිචාරය මොකක් වේදෝ කියලා ලොකුවට හිතන් නැතුව. කොහොමටත් මං මේ ටීචිං කරන මාස ගණනට මිනිස්සු එක්ක හැසිරෙන විදිය ගැන මිසිස් ගුණවර්ධන ගෙන් බොහොම දේවල් ඉගෙන ගනිමින් හිටියේ. මං සැරින් සැරේ කියන්නම් කෝ ඒවා.
ඒ අනුව අපිට දෙයක් කරන්න ඕන නම් ඒක හොඳ දෙයක් නම් ඒක සිද්ධ වෙන තැනට වැඩේ වෙන්න ඕන. ඒ නිසා එක එක්කෙනා ගෙන් ඉල්ලීම් කරන්න ඕන ඒකට අදාළ කලාවට ලතාවට බව මං ක්රමයෙන් ඉගෙන ගත්තා. . මං ඉස්කෝලේ විෂය සමගාමී විදියට කරපු පරිසර සංගමයේ ළමයි කණ්ඩායම පන්ති වෙලාවේ වැඩවලට ගන්නේ හරිම අඩුවෙන්. නොකරම බැරි වෙලාවට. සාමාන්යයෙන් ඒ කටයුතු කරන්නේ බදාදා හවස නැවතිලා. ළමයි ටියුෂන් යන එක නතර කරගත්තා කටේ බලේට. ඔය අතරේ දවසක් උදේ වැඩකට මට ළමයි ගන්න වෙලා වයිසා ගෑනිගේ ආඩම්බර බලන්න වුණා.
"එහෙම බෑ... ප්රින්සිපල් අවසර දුන්නොත් විතරයි බ්ලා බ්ලා" එයාගේ තනතුරේ රස්නේ පෙන්නන්න පහත් තැනක් හොයන්න ඇති. මං අහුවෙයි ඒවට.
මං එදායින් පස්සේ කෙලින්ම පිනා ගේ අවසර ලියුම ශිෂ්ය නායකයෙක් අතේ එයාට යවනවා මිසක් මං යන්නේ නෑ එයාගේ දෙපතුල ළඟට. . පිනාට වුණත් කියන්නේ "සර් මෙන්න මේකට මං යනවා. පර්මිෂන් දෙන්න. "කියලා විතරයි. වැඳ වැටි වැටී අවසරගන්න මේවා අපේ පුද්ගලික වැඩ නෙවේ නේ. ඒ පුරුද්දට තමයි මං එදා නැන්දම්මාට කෙළින්ම කතා කළෙත් තෙපර බබා ඉන්නේ නැතුව.
"ඒක හොඳයි. මගේ යාළුවෙක්ගේ පුතාට කතා කළ ළමයත් ආවා ගේ දොර බලන්න. මොකද ඒ දරුවට හිතට හරි යන්නේ නැති තැනකට එන්න බෑ නේ. ඔය පරණ සිරිත්ම කර ගහගෙන යන්න ඕන නෑ නේ දුව? "
මරු නැන්දම්මෙක් නේ. පොසිටිව් ම උත්තරයක් දුන්නේ හිතපු නැති විදියට. ළඟ හිටියා නම් බෙල්ල බදාගෙන උම්මා එකක් දෙන්න තිබුණා.
"තැන්ක් යූ ආන්ටි.... මෙයා නම් බය වෙලා හිටියේ ඕක ආන්ටිගෙන් අහන්න" මං කියනවත් එක්ක එයා ෆෝන් එකට පැනලා
" නෑ අම්මා... මෙයාගේ බොරු" කියලා මට විරිත්තුවා.
" මේ මේක අපි දෙන්නගේ කතාව... නේද ආන්ටී? "
මං කියනවත් එක්කම නැන්දම්මා එයාගෙන් ෆෝන් එක උදුරලා ගත්තා. මටම හරියන නැන්දම්මෙක් නේ.
"ඔන්න ඔය දරුවා මගේ නම්බර් එකට ගන්න කෝ ඕන වෙලාවක."
" ඔව් ආන්ටි අපට එතකොට මෙයාගේ අගේ බලන්න ඕන නෑනේ"
ඔහොම කතාව ටිකක් දිගට ගිහින් නැන්දම්මා සීන් එකෙන් අයින් වුණා..කතාව නම් ටිකක් නයි ඇරිල්ලක් එක්ක තමයි. හොඳයි මං එනවා නේ ඉරිදට. එතකම් ඔය නයින්ට නිදාගන්න අරින්න අම්මයි පුතයි හොඳේ.
එයා ෆෝන් එක අරන් " බබා" ගෑවා ආයේ.
එයාට මං බබා. මට හොඳ අදහසක් ආවා.
"මේ මං ඔයාට කොහොමද කතා කරන්නේ අනේ? සැමී කියන්නද? සැමියා බිරිඳගෙ දෙවියාය නේ. අනික සමන්ත කෙටි කරහම සැමී වෙනවනේ? "
" ඒකත් නරක නෑ. ම්... මං ඔයාට සුරා... කියන්නම්. සුරංගී කෙටියෙන් සුරා. මං කොහොමත් සුරා මේරය මජ්ජ පමා නේ?"
හරිම බඩුවක් තමයි මෙයා. මටම ගැළපෙන මිනිහා.
" මේ ඔයා බොනවද සැමී? "
" ඔව්"
" ඒ.... හුඟක්? "
" ඔව් හුඟක්"
" මොනවද වර්ගය? "
" වතුර"
" හොරා... මට බොරු නම් කරන්න එපා පුතෝ"
" පොඩ්ඩක් ඉඳහිට ඔෆිස් පාටිවලදී තමයි. නැත්නම් අම්මගෙන් ඉඳලා හමාරයි. තාත්තා නම් ටිකක් බොනවා. ඒත් පාටියකදී විතරයි."
අම්මට තියෙන බයත් වෙලාවකට නරක නෑ කියලා මගේ අන්තර් ඥාණයට වැටහුණා. ඒත් සැමී මං ඔයාට නීති දාන්න එන්නේ නෑ හොඳේ. මං ඒ ටික කිව්වෙ නම් නෑ. ඒවා පස්සට. දැනට බය තිබුණා වේ.
" අපේ තාත්තා නම් බොන්නෙම නැති තරම්. බිව්වත් බියර් වයින් වගේ විතරයි."
"ඒ දෙන්නා දැන් හොඳට සෙට්... කලිනුත් ටිකක් දැනගෙන ඉඳලා තියෙනවා."
" ඔව් අපේ තාත්තා ඔයාලා ගැන සේරම දන්නවා. "
" ඩිටෙක්ටිව් දාලද බලල තියන්නේ
" ඒක මං දන්නේ නෑ. නිකම්ම පුළුවනෑ එකම දොණියැන්ද දෙන්න?"
"නැතුව නැතුව එසේ මෙසේ දූ පොඩ්ඩක් යැ. ඉතින් මං හොඳයි ලු ද?"
"කාටද?"
"තාත්තට?"
"තාත්තට ද හොඳ වෙන්න ඕන?"
"එහෙනම් දුවට හොඳද?"
"නරක නෑ"
"හෙර"
"මං මොනවද හොරකම් කළේ?"
"මගේ හිත....බබෝ. කාටවත් බැරි වෙච්ච මගේ හිත. ඉක්මනට මට ඔයා තනියම හම්බ වෙන්න ඕන"
"ඒ මොනවටද?"
තෑග්ගක් දෙන්න. .. ම්...
" ඒවට කල් තියෙනවා"
" බලමු..."
කතාව අන්තිම කළේ පියාඹන ඒ ජාතියේ තෑග්ගකින්.... මුළු හිතම පිරිලා ගියා.
ඊළඟට ඉරිදාට යෙදෙන ගමන තමයි ඔළුවේ වැඩ කරන්න ගත්තේ. සඳා තමයි කිව්වේ ඔය හැම මඟුලටම යාර හය පටලවන් යන්න ඕන නෑ හොඳ චාම් ගවුමක් අඳින්න කියලා. එදා ඉස්කෝලෙ ඇරිලා අපි ෂොපිං කළා. හොඳයි කියන තැන්වල වුණත් හිතට හරියන ගවුම් තිබුණෙ නෑ. රෙද්ද හොඳ වෙද්දී ගවුම අජූතෙට මහලා. ගවුම හොඳට මහලා තියෙද්දි රෙද්ද කමකට නෑ. අන්තිමේ මිමෝසා එකෙන් ටිකක් හිතට අල්ලන එකක් හොයා ගත්තා. ඒක වාටියේ හරියේ මල් වැටුණු ළා නිල් පාට එකක්. ඒකට හරියන සිම්පල් ටසල් කරාබු දෙකක් විතරක් සඳා තෝරලා දුන්නා. හීල්ස් එක්ක ෂූස් ජෝඩුවකුත් ගත්තා. එයා අඩි හයක් උස නිසා මට හයි හීල්ස් දාන්න පුළුවන්. මං අඩි පහයි අඟල් හතනේ.
"උඹලා දෙන්නා රූපයෙන් නම් නියමෙට මැච්"
සඳා හැමදාම කියූ දෙයක්.
"රූපෙ විතරක් හරිගිහින් බෑ බං"
"ඒක හරි.... ඒත් ඒකත් ලොකු දෙයක්. දැන් උඹ කොහොමද ඔය හැමදේම හරිද කියලා දැන ගන්නේ?"
"ඒක මං ඒ ඒ වෙලාවට බලාගන්නම් කෝ!"
"උඹ ඉතින් පණ්ඩිත රාළ නේ"
කොහොමහරි අපි දෙන්නා හැමදාම ෂොපින් කරද්දී වගේම අන්තිමට අතින් කටින් බෑග් එල්ලගෙන බස්වල එන්න බෑනේ. සල්ලි කියලා බලන්නේ නැතුව ඌබර් එකක් දාගත්තා. ඒ නිසා ගෙදර එද්දී ඒ තරම් මහන්සියක් නෑ.
සාරි පටලවන් යන්න කිය කිය හිටියට මං ගත්තු ගවුම තව දුරටත් සටනකින් තොරවම අම්මගේ හිතට ඇල්ලුවා.
ලස්සනයි සුදු මැණිකේ ගවුම නම්.... හොඳ වටින පෙනුමක් තියෙනවා. "
" ඒකනේ අම්මා.... හැම එකටම සාරිම ඕන නෑ "
" හ්ම්" බස්සියෙක් වගේ හ්ම් ගෑවේ නම් හොඳකට නොවන බව මට තේරුණා.
මඟුලට ඕන ඇඳුම් ගනිද්දී මොන මොන අඩව් අල්ලයි ද දන්නේ නෑ. මිසිස් ගුණවර්ධන නම් කියන්නේ මඟුල් දවස අයිති මනමාලිට කියලා. එයා මනමාලිට ඇඳගත්තේ තනියමලු. සේරම වුණේ එයාට ප්රමුඛතාව දීලලු. මටත් පිස්සු තාම මඟුලක් ළඟක ඇතෑ.... මිනිහා අඳුනගෙන ඉන්න එපායැ.
අපි මොනවද එහේ අරගෙන යන්නේ කියලා තමයි ඊළඟට ගෙදර සාකච්ඡා වුණේ.
" ඔය සාමාන්ය ගෙදරකට ඕන දේවල් ටිකක් අරන් යමු" ඒ තාත්තා.
සිංහල කම දෝරෙ ගලන තරමට නේ අම්මගේ සමහර වැඩ.
"අපේ කමට කැවිලි පෙවිලි ටිකක් සුමනට කියලා හදා ගමු " අම්මා අදහස් දැම්මා. මට ඒ එකක්වත් හිතට ඇල්ලුවේ නෑ.
මං මිසිස් ගුණවර්ධන ගෙන් ඇහුවම කිව්වා පළතුරු කූඩයකුයි හොඳ කේක් එකකුයි ඇති කියලා. කප් රුකෙන් පළතුරු කූඩේ ඕඩර් කළා. කේක් එක ස්පොන්ජ් එකෙන් කේක් එක ඕඩර් කළා.
©

බලමු ගියාට පස්සේ මොකද වෙන්නෙ කියලා!
ReplyDelete