Wednesday, June 3, 2020

බෝනිකි ගෙවල් 6 - පිණිගේ කොටහළු මගුල



                                                                  පිණි දිය නෑවීමෙන් පසු 

බෝනිකි පවුල්වල දරුවො ලොකු වීමක් හෝ බෝනිකි නෝනා මහත්තුරු වයසට යාමක් නොවුණත් එක සැරයක් ඉද්දමල්ගොඩ පවුලේ උත්සවයක් තිබුණා. ඒක තියන්න තීරණය කළේ අක්කල තුන් දෙනා. මල්ලිට මේවා ගැන කිසිම තේරුමක් ඒ කාලේ තිබුණෙ නැහැ. ඔන්න මෙහෙමයි ඒ කාරිය සිද්ද වුණේ. එක දවසක් උදේ විශාකා දැනගත්තා පිණී ලොකු ළමයෙක් වෙලා කියලා. ඉතින් විශාකා ටිකක් කලබල වෙලා නදුන්ට ඒ ගැන කියල ආශික්කි පිණි ගෙ තනියට තියල ඉක්මණින්ම සුජාතාගේ ගෙදර ගියා. අද වගේ ෆෝන් පණිවිඩ දෙන්න විදියක් නැහැනේ 
සුජාතා - ( පාර දිහා බලමින් ) විශාකා කලබලෙන් දුවන් එනවා. මොකද දන්නෙ නෑ චන්දන 
චන්දන - ඇත්තම නේන්නම්.
විශාකා ගෙට ගොඩ වෙමින් - සුජා මට ලොකු උදව්වක් ඕන. අපේ පිණී ....
සුජාතා - ආ ..ඇත්තද ? මං ඒත් හිතුව කෙල්ල ටිකක් ලස්සන වෙලා ඉන්නකොට. දැන් මොකද අපි කරන්න ඕන විශාකා ?
විශාකා - මට ජේන් ගෙන්නලා දෙන්න. ආශික්කි තනියට තියල ආවේ. ඒ කෙල්ලට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැනේ. 
සුජාතා - ආ ..ජේන් දැන් මෙහෙ ඉන්නවා. ඔයාගේ වෙලාව හොඳයි. ජේන් ...ජේන්...කෝ මේ ගෑණි ?
ජේන් - මේ එනවා නෝනා. 
සුජාතා - මෙන්න මේ විශාකා නෝනත් එක්ක යන්න. මං ලෑස්ති වෙලා එන්නම්. වෙලාව බලන්න ඕන නේද ?
විශාකා - ඔව්, ඒ විතරක් යැ ..රෙදි නැන්දට පණිවිඩේ යවන්නත් ඕන. 
සුජාතා - ඒක ජේන්ගෙ අක්කට කියල කරව ගන්න ඇහැකි. 

ඔන්න දැන් විශාකයි සුජාතයි ජේන් පිණිගේ තනියට නවත්තල චන්දන එක්ක වාහනෙන් සාස්තර ගෙදර ගියා. මේ වැඩේට වේලාපත්කඩ ඕන නැහැ. සාස්තර ගෙදර අප්පුහාමි තත්කාලය බලල කිව්වා හොඳ වාසනාවන්ත වෙලාවක සිද්දිය වෙලා තියෙන්නේ කියල. කාටත් සුබයි දරුවා හොඳින් ඉගෙන ගන්නවා කියල. සතියකට පස්සේ නැකත් හදල දුන්න නාවන්න. 

ඒකත් ලියව ගෙන කට්ටිය ආපහු ගෙදර ආව. ඊළඟට ජේන්ගේ අක්කගේ ඒ කියන්නේ මැගී ගෙ උපදෙස් අනුව සියඹලා, දුරු තුනපහ දාල කායම් හොද්ද හදල පිණිට දවල් කැකුළු හාලේ බත් දුන්න. පිණී රහ නෑ කියල නහයෙන් අඬ අඬා ටිකක් කෑවා. 
'නෝනා පුංචි නෝනට තෙල් බැදුම් කිසිම දෙයක් දෙනවා නෙවෙයි ..මාස තුනක් යනකම්.' මැගී විශාකාට උපදෙස් දුන්නේ මහදැන මුත්තියක් වගේ. 
'මං කෝකටත් අපේ අම්මට හෙට ලියුමක් දාල ගෙන්න ගන්න ඕන. මාම්පිටියේ පුංචි අම්මටත් කියනවා ඇවිත් නවතින්න කියල. ඒ ගොල්ලොනේ මේ චාරිත්‍ර හරියට දන්නේ.' විශාකා කිව්වා. 
   
හවස් වෙද්දී රෙදි නැන්ද ආව. උණු වතුර හට්ටියක් උණු කරවල ඒකට ඖෂධ කොළ එහෙමත් දාල පිණිව සේදෙව්වා රෙදි නැන්දා. ඒක කළේ ගෙයි පිටුපස අයිනේ. රෙදි උණු බත් ගුලියක් අරන් රෙදි පාන්කඩයක පොට්ටනියක් වගේ බැඳලා ඒකෙන් පිණිගේ බඩ තුනටිය පැත්ත එහෙම තවල සුදු රෙද්දකින් වහගෙන කාමරයට එක්ක ආව. ඒ පාර පිරුවට ඇන්දෙව්වා. ඒවා ගේන්නේ රෙදි නැන්දා. පිණී ඇඳන් හිටි ඇඳුම්, කරාබු දෙක එහෙම රෙදි නැන්දා ගත්තා. තව රෙදි නැන්දට හාල්, පොල් පහේ බඩු මල්ලකුත් සල්ලිත්  දුන්න. 

එදා ඉඳන් පිණීට ඉන්න වුණේ ගෙයි ඇතුළු කාමරයක. පිණිගේ අම්ම විශාකා එච්චරම සම්ප්‍රදායික ගැහැනියක් නෙවේ. ඒක හින්ද පිණීට සාලෙට එහෙම එන්න ඒ තරම් තහංචි තිබුණෙ නෑ. 
සඳුනිත් සැරින් සැරේ ඇවිත් පිණිගේ පාළු මැකුවා. විශාකා, ටිකක් ගැහැණු ළමයෙක් වැඩි වියට පත්වෙනවා කියන්නේ මොකක්ද කියන එක, ඒ දිනවලට  සුදානම් වෙන්නේ කොහොමද කියන එක , පිණීට ටික ටික කියල දීල තිබුණ. ඉතින් කෙල්ලෝ දෙන්න ඔය ගැන කතා කර කර කාලෙ ගෙව්වා. 

ඔන්න දවස් තුනකින් ලියුම් ලැබිල ආත්තම්මලට ...නදුන් ගේ අම්මයි විශාකාගේ අම්මයි, මාම්පිටියේ අත්තම්මයි ඔක්කොමල ආවා. දැන් ඉතින් අවවාද කෝටියයි. මේවා කන්න හොඳ නෑ අරව කන්න හොඳ නෑ ...මෙහෙම කරන්න හොඳ නෑ  අරම තමයි කරන්න ඕනේ ....ඉතින් පිණී කෙඳිරි ගගා තැම්බුම් හොදි බිව්වා. මස් මාළු, බැදුම් දුන්නේ නැහැ. ඒත් විශාකා හැමදාම පිණිට බිත්තරයක් තම්බල දුන්නා .

'මේ හැදෙන වයසට පෝෂණය ඕන ..අම්මා' විශාකා මාතර  හාමිනේට ඒ කියන්නේ නදුන් ගේ අම්මට  කිව්වා.

ඒත් පිණීට  තෙල් කෑම තහනම ක්‍රියාත්මක උනා. ඒකේ බුද්ධි අංශ සේවාව බාරව හිටියේ මාතර ආත්තම්මා. නීතිය ක්‍රියාත්මක කරන්න බාරව හිටියේ මැගී. හිර ගෙදරට තහනම් ද්‍රව්‍ය සැපයුම  නොතිබුණා ම නෙවෙයි. කොහොම හරි ආරක්ෂක අංශ වල ඇස් වහල චූටි දේවල් හුවමාරු වුණා .    

විශාකා ඉතින් කවුරුත් බැලන්ස් කරගෙන 2වෙනිදා උත්සවයට කළමනා ලෑස්ති කළා . හොඳ වෙලාවට නිවාඩු කාලෙ . කාටත් ලේසියි. පිණිගේ ගවුම මහන්න කියල තිබුණෙ රෝස පාටෙන්. ඉතින් විශාකයි සුජායි දෙන්න එක්ක කාරෙකෙන් ගාල්ලට ගියා රෙදි ගෙන්න. විශාකා වැඩියම තනියෙන් ඩ්‍රයිව්  කරන් යන්නේ නෑ. එදා ගියා වැඩ කීපයක්ම කරගන්න තිබුණු නිසා. ලස්සන ඕගන්දී රෙද්දක්,ලේස්,ගවුම පිම්බෙන්න හදන්න කැන් කැන් ,නූල්,බොත්තම්. ලස්සන බැලරිනා සපත්තුදෙකක් එහෙම ගත්තා. මේ ඔක්කොම කලේ සුජාතගේ උපදෙස් අනුව. රත්තරන් බඩු ගන්න කිත්තන් ගෙට ගියා කළුවැල්ලේ. චුටි ලස්සන කරාබු දෙකකුයි, පවුමක රන් දම්වැලකුයි, වළලු ජෝඩුවකුයි ගත්ත. දැන් ඒ වැඩ ටික හරි. සුජාතා ගවුම මහන එක බාර ගත්ත නිසා හිත නිදහස්. 
ජේනුයි මැගියි එකතුවෙලා කැවිලි පෙවිලි හැදුවා. කැවුම්,කොකිස්,  මුං අතිරහ, කිරි ටොෆි එහෙම මුට්ටි පිටින් දුමේ තැන්පත් වුණා. ඊට කලින් බටපොතු වට්ටිවල තෙල් බේරෙන්න අතුරල තියෙද්දී වේවා එක දෙක අතුරුදහන් වෙනවා කියල මැගියට තේරුණේ නැහැ. ඒවා හැංගුණේ  සුමුදුගෙයි සනත්ගෙයි සාක්කු වල. තුල්සිගෙයි නිල්මිණිගෙයි කටවලුත් හෙල්ලුනේ නැත්තෙ නෑ. 

සුජාතට හරියට වැඩ තිබුණා. පිණිගේ මිනුම් අරගෙන ලස්සනට මැක්සි ගවුමක්  මැහුවා. කැන් කැන් එක දාල පිම්බෙන්න සාය ලස්සනට හැදුව. ලේස් වැඩ දාල, මැසින් එම්බ්‍රොයිඩර් කරලා බලන්න ලස්සන ගවුමක්. මේවා මෙහෙම වෙනකොට සඳුනිට පොඩි ඉරිසියාවකුත් හිතට ආවේ නැත්තේ නැහැ. ඒත් ගෑණි දන්නවා ළඟදීම අම්මට තමන් වෙනුවෙනුත් ලස්සන ගවුමක් මහන්න වෙන බව.    

ගෝරිං, උදන් දෙන්න මේ සිද්ධිය මොකක්ද කියල දන්නවා. හැබැයි දමිත්, අතුල දෙන්නට මේක ප්‍රශ්නයක්. ඒ ගොල්ලෝ හිතුවේ පිණිගේ උපන්දිනය කියල. ඇත්තටම උපන් දිනයත් ඒ දවස් වලට ලංවෙලා තිබුණෙ. විශාකා ලඟම නෑයො දෙතුන් දෙනෙකුට විතරයි උත්සවයට ආරාධනා කරලා ලියුම් දැම්මේ. නුවර නන්දම්මයි,මාමණ්ඩියි, පොල්පිතිගම ජෝඩුවයි, හපුගල ජෝඩුවයි, මේ පවුල් හතරෙ අයයි විතරයි. 
උත්සවයට කලින් දවසේ චන්දනයි, නදුනුයි ගිහින් මාළු ,එළවලු , පහේ අරන් ආවා. උයන වැඩේට ජේන් හා මැගිට අමතරව ලීලා අක්කටත් එන්න කිව්වා. කිරිපැණි ගේන්න පොල්පිතිගම මාමණ්ඩිට ලියුමෙන්ම දන්වලයි තිබුණෙ. නුවර ජෝඩුව කලින් දවසෙම ආවා. 

ඔන්න ඒ දවස උදා වුණා. උදේ එළිය වැටෙන්න කලින් රෙදි නැන්දා පිරුවට අරන් ආවා. බෙහෙත් ඖෂධ දාල උණු වතුර උණු කරලා ලොකු මුට්ටි වලට දාල, පොල් අතුවලින් අහුරපු  මඩුවක් ඇතුළේ ලෑස්ති කරලා තිබුණේ. ඒ පිණී නාවන්න. මේ event එක මුළුමනින්ම අක්කල තුන්දෙනා තමයි ඇද්දේ. මොකද මල්ලිට මේවායේ තේරුමක් නැහැනේ. එයා ඉතින් වැඩ වලට උදව් වුණා. වාහන ඇද ඇවිද්දා. 

රෙදි නැන්දා පිණිව සුදු රෙද්දකින් වහල එළියට එක්ක ගිහින් නාවල පිරුවට අන්දලා, එක්ක ඇවිත් ඒ ළඟ කිරි ගහෙන් කපන් ඇවිත් තිබුණු අත්තට මන්නෙන් කොටලා කිරි එනවා බැලුවා. ඊට පස්සේ ගෙට ගොඩවෙන්න තිබුණු නැකතට උතුර බලා ගෙට ගොඩවෙන කොටම නුවර මාමණ්ඩි පොල් ගෙඩියක් බින්දා. ඒක හොඳට බිඳුනය  කියල මාතර ආත්තම්මා සතුටු උනා.  බෝනිකි නෝනලයි බෝනිකි ගැහැණු ළමයි ටිකයි එකතුවෙලා ජය මංගල ගාථා කිව්වා .
'බාහුං සහස්ස මභිනිම් මිත සායු දන්තන් .....' ඒ ගාථා කාටත් කට පාඩමෙන් පුළුවන් . සුදුරෙද්දෙන් වහල පිණිව මැදි කරගෙන  විශාකයි රෙදි නැන්දයි කාමරයට ගියා. ගිහින් අලුත් ඇඳුම් අන්දලා, කන් පෙති වලට කරාබු දාල, ගෙලට රන් දම්වැල දාල, අත්දෙකට වළලු දාල, තාම වතුර බේරෙන දිග  කොණ්ඩේ පීරලා ඇලිස් බෑන්ඩ් එකක් දාල, සපත්තු දාල පුංචි කුමාරියෙක් වගේ සාලෙට එක්ක ආව. බුලත් අත් ලෑස්ති කරලා ඉලත්තට්ටුව උඩ තියල තිබුණා .  පිණි වැඩිහිටියන්ට බුලත් දීල වඳින්න ඕන නේ.  මුලින්ම නදුන්ට බුලත් දීල වැන්දා. දැන් ඉතින් මං වඩාත් වගකිව යුතු තාත්තෙක් කියන බැරෑරුම් පෙනුම නදුන්ගේ මූණේ ඇඳිලා තිබුණ. නදුන් තමන්ගේ දුවට හාදුවක් දීල සුබ පැතුවා. ඊළඟට වැඩිහිටි ආත්තම්මල, මුත්තන්ඩිලට වැන්දා.ඒ ගොල්ලෝ මුදල් තෑගි කවරවල දාල පිණීට දුන්නා.  නුවර මාමණ්ඩි වටින රත්රන් පාට අත් ඔරලෝසුවක් පිණිගේ අතේ බැන්ද. පොල්පිතිගම ආත්තම්මා බංගලි වළලු දෙකක්, නුවර ආත්තම්මා කරාබු දෙකක් තෑගි දුන්න. සුජාතාත් කරාබු දෙකක් දුන්න. චම්පිකයි රෝසුයි ඔරලෝසු දෙකක් දුන්න. 

මේ වෙනකොට ජේන්, මැගී හා සුජාතා එකතුවෙලා කිරිබත් හදල ලොකු පලන්ගානමක වඩවල කිරිබත් හැඩයට කපල, කට්ට සම්බල් හදල, කැවිලි පෙවිලි දීසි වල දාල කෑම මේසෙ ලෑස්ති කරල තිබුණෙ. ඒ නිසා කවුරුත් උදේ ආහාර වේල රසවින්ද. උණු තේ කෝප්පෙකත් රස බලල ඉවර වෙනකොට උදේ අට පහු උනා. ඉන් පස්සේ ළමයි විනෝදෙන් කාලෙ ගත කළා. වැඩිහිටි නෑදැයෝ කතා බහේ යෙදෙමින් හිටිය. නුවර මාමණ්ඩි  බුලත් වංගෙඩියේ දාල,දුම්කොළ නොදා හුණු ,පුවක්,බුලත් කියන කළමණා දාල  විට කොටලා අනික් අයටත් දුන්නා. කෙල ගහන්න පඩික්කම තිබ්බා. 

ඊළඟට රෙදි නැන්දගේ පඩුරු පාක්කුඩම් දීල ඒ ණය ගෙවන්න ඕන. මිටි පුටුවේ ඉඳන් රෙදි නැන්ද තමන්ට ලැබුණු කළමණා පොදි බැඳ ගත්ත. හැලි වළන් ,හාල් ,පොල්, පහේ ඔක්කොම මේ කළමණා වලට අයිතියි. සල්ලිත් දෙනවා. ඊ ලඟට සංග්‍රහයත් බුක්ති විඳලා, කැවුම් කෙසෙල් පාර්සලෙත් අරන් ඔක්කොම ලොකු රෙද්දක දාල ගැට ගහ ගෙන එක උරයක එල්ලගෙන ' නෝනා එහෙනම් මං යන්නම්. පුංචි නෝනා මාස තුනක් පරිස්සම් කර ගන්න' කියල විශාකාට කියාගෙන  රෙදි නැන්ද යන්න ගියා.   

මේ කාලේ ගම්වල කොටහළු මගුල් මහා ජයට ගන්න තැන් තිබුණ. හුඟක්ම ඒවා කළේ පහළ පන්තියේ පවුල් වල. ඇත්ත ආත්තම්මා කිව්වේ 'ඕකුන් ඉතින් කන්නේ ඕක විතරනේ මගුලකට. මොකෝ පෝරුවල නගින්න ඉන්නවයි. හඳපානේ යනවා මිසක්කා.' 

ඒ වගේම මේ වගේ දෙයක් ආරංචි වුණහම අහළ පහළ ගෙවල්වලින් ආරාධනා නැතුවම එන සිරිතක් තියෙනවා. ඉතින් ඒ එන එන අයට සංග්‍රහ කරන්න විශාකා සැලසුම් කළා. දවල් කෑමට හිටියේ නම් පවුල්වල කාන්ඩේ විතරයි. දුන්තෙල් බත් හදල, තෝර මාළු පෙති බැදලා, පරිප්පු හින්දවල,අල හොදි හදල තිබුණ. එළවලු සලාදේ බීට්, කැරට්, පිපිඤඤ පෙති කපල රවුමට අහුරලා සලාද කොළ වටේට තියල ලොකු පලන්ගානමක ලෑස්ති කරල තිබුණ.   ගම්  බිත්තර  තම්බල රවුමට කපල සලාදේ සැරසුව. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු උඩින් ඉස්සා. ලිල අක්ක කට්ලට් හදන් ආව. 'ඔන්න  නෝනා කට්ලිස් ටික නම් හොඳ රසට හැදුව' කියල විශාකාට කිව්වේ හොඳ අහන්න ගෑණි හරි කැමති නිසා .
'ලිලක්කට මං වැඩක් බාර දෙන්නේ ඒ විස්වාසේ නිසානේ 'කියල විශාකත් බටර් පාරක් ගෑවා. 

අතුරුපසට කිරි පැණි, හා පළතුරු සලාදේ හා අයිස් ක්‍රීම් තිබුණා. හැමෝම හරිම සතුටෙන් දවල් කෑම ගත්තා. තුල්සිටයි සනත්ටයි සුමුදුටයි බත් බඩ ගින්න නැතුව අයිස් ක්‍රීම් බඩගින්නක් හැදිලා ජල්ලියක් ඇල්ලුවා. ඒත් අම්මල ටික එකතුවෙලා ඒ ගොල්ලන්ට බත් කටක් දෙකක් වදෙන් පොරෙන් කැව්වා. ඊට පස්සේ ඒ ළමයි ටික හිතේ හැටියට අයිස් ක්‍රීම් කෑවා. 

හවස එන අයට ආයෙමත් තේ මේසේ ඇරලා සුදුරෙද්දෙන් වහල තිබ්බ. ඒක ලේසියි නේ. කවුරුහරි ආ හැටියේ තේ මේසෙට එක්ක එනවා. මැගී තේ හදන්න රෙඩි වෙලා හිටිය. හවසත් කීප දෙනෙක් ආව. 

රෑ තමයි වැඩිපුර කට්ටිය ආවේ. විශාකාගෙ ඉස්කෝලේ ගුරුමණ්ඩලයේ යාළුවෝ ආව. තව නදුන්ගේ යාළු පවුල් දෙක තුනකුත් ආව.පැට්‍රෝ මැක්ස් ලාම්පු දෙකක්ම පත්තු කරපු නිසා හොඳට එළිය තිබුණ. තව චිමිනි ලාම්පු තැන තැන තිබුණ.  ඔක්කොටම රෑ කහබත්, ඉඳි ආප්ප, කිරිහොදි, මාළු ඇඹුල්තියල්, බෝංචි ව්‍යන්ජනේ, ඉස්සෝ මුරුංග කොළ දාල කිරට උයල, සලාදේ , කට්ලට් හා පරිප්පු හින්දල කෑම ලෑස්ති කරලා තිබුණ. අතුරුපසට කැරමල් පුඩින් එකක් රෝස් හදල තිබුණ. දැන් වගේ broken glass  ජෙලි පුඩිං හදන සිරිතක් තිබුණෙ නැහැ. 

පිණිගේ තෑගී ගොඩ වැඩි වුණා. අම්මගේ ඉස්කෝලේ නැන්දලා මාමල පවුමක චේන් පොටක් දීල තිබුණ. තාත්තගේ යාළුවන්ගෙන් ඔරලෝසු, වටින ශබ්ද කෝෂයක් එහෙම ලැබුණ. ගමේ උදවියගෙන් ලැබුණ ගවුම් රෙදි, සබන්, පව්ඩර්, සුවඳ විලවුන් එහෙමත් තෑගි අතර තිබුණ. 

රෑ කෑමෙන් පස්සේ කට්ටිය සින්දුවක් දෙකක් කියල සතුටු වුණා.
'සාන්ත මේ රෑ යාමේ දේ කුමුදු මලේ සිරියා ....'
'ඕලු පිපිලා වෙල ලෙල දෙනවා .....'
තුල්සි 'කොන්ද නමාගෙන ..' සින්දුව කිව්වා හුරතලේ බැරුව ගියා. 
පරණවිතාන පවුලේ සංගීත කාරයෝ බොහොමයි. දමිත් ගිටාරය වාදනය කළා. සුගත් තබ්ලාව ගැහැව්වා. 

ඔයින් මෙයින් ටිකෙන් ටික රෑ වෙලා ඒ උත්සවයත් ඉවර වුණා. බොහොම චාම් ප්‍රීතිමත් උත්සවයක්. කවුරුත් ගියාට පස්සේ පිණී තෑගි ඇරල බැලුව. ඒ වෙනකොටත් යාළු පවුල් හතරේ අය හිටිය. පහුවදා තෑගි අස් කරන්න හිතල ඔක්කොම ඇඳක් උඩම දැම්ම. අද කෙල්ලට හරි මහන්සියි. වැඩි හිටියන්ට වැඳලා දනිස් රිදෙනවා. ඊළඟට සුජාතාගේ ගෙදර තමයි මේ වගේ දෙයක් වෙන්න තියෙන්නේ. කට්ටිය සඳුනිට විහිළු කළා . සඳුනි ඒ විහිළුවට කැමති වුණත් බොරුවට 'අනේ මේ ඕවට එන්න එපා' කියල  මුණ පුම්බා ගත්ත බොරුවට. එහෙම තමයි කෙල්ලෝ.  

 

  





 

4 comments:

  1. සටහනට ස්තූතියි... ළමයෙක් හොදට කාලා බීලා සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන කාලේ කාමරයක් අස්සට දාලා තැම්බුම් හොදි පොව පොවා ඉන්න එකට නම් මගේ මනාපයක් නැහැ... පරම්පරාවෙන් ආපු චාරිත්‍රයක් වුනත් පලක් නැත්නම් අතහරින්න මැලි වෙන්න හොද නැහැ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිථිල කොමෙන්ටුවට ...මං මේ ලිව්වේ එකල තිබු දේවල් මිසක් ඒවා අනුමත කිරීමක් නෙවෙයි. බෝනිකි ගෙවල් පාලනය වුණේ එකල තිබූ සමාජ වටපිටාව, පරිසරය අනුව. දැන් අපි මේ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මෙහෙම ගෙවල් ඇතුළේ ඉඳීම් හා ඇතැම් චාරිත්‍ර දැන් නැහැ.

      Delete
  2. 'බෝනික්කන්ගේ සෙල්ලම් ගෙවල්' ඉදිරිපත්කිරීමේ මාධ්‍යයක් වශයෙන් ගෙන සාමාන්‍යයෙන් විස්තර අඩුවෙන් කියන ස්වාභාවික සිද්ධියක් ඉතාමත් හොඳට ගලපා තිබෙනවා. මේ බොහෝ සම්ප්‍රදායන් දැනට භාවිතයෙන් ගිලිහි යමින් තිබෙන නිසා අලුත් පරම්පරාවලටත් දන ගැනීම සඳහා ඔබ ගෙන ඇති ප්‍රයත්නය සාර්ථක බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් කොමෙන්ටුවට ...මේ චාරිත්‍ර දැන් බොහෝ දුරට වෙනස් වෙලා. ඇත්තෙන්ම ස්වභාවික සංසිද්ධියක් ලෙස සැලකීම ප්‍රමාණවත්. නමුත් දරුවන්ගේ ආරක්ෂාව ගැන නම් පෙරට වඩා සැළකිලිමත් විය යුතු යුගයක්.....

      Delete