Sunday, June 28, 2020

බෝනිකි ගෙවල් 8 - සරස්වතිගේ මගුල් ගෙදර













 













ඔන්න බෝනිකි නෝනලට ආයෙත් හරිම busy කාලයක් උදාවුණා. ඒ මොකද කියනවා නම් ඒකට හේතුභූත වූ කාරණාව අනිකක් නොව වැලිගම  ලොකු අම්මගේ දුවගේ මගුල් ගෙදරට ආරාධනා ලැබීමයි. එදා ලොකු අම්මයි, ලොකු තාත්තයි කඩි මුඩියේ පරණ ෆෝර්ඩ් කාර් එකෙන් ඇවිල්ල බුලත් දීල මගුලට ආරාධනා කරලා ගියා පවුල් හතරටම. වැලිගම  ජෝඩුව ඒ තරම් ළඟ ආශ්‍රයක් මේ කාත් එක්කවත් ලොකුවට තිබ්බේ නැහැ. මරණෙට මගුලට විතරයි ඉතින්. මේ ගැන බෝනිකි සංගමේ කතාවක් ගියා. හැබැයි ලොකු අය, නෝනලා ටික විතරයි මේ කතාවට සහභාගී වුණේ. මේ බෝනිකි නෝනලා මහත්තයල දරුවෝ ඉස්සරහ නෑදැයෝ,ගුරුවරු, වැඩිහිටියෝ විවේචනය කළේ නැහැ. ඒක දරුවන්ට නරක ආදර්ශයක් බව ඒ ගොල්ලෝ තේරුම් අරන් හිටියේ. 

සුජාතා -ඔක්කොමත් හොඳයි වැලිගම ලොකුඅම්මගෙ  පුරාජේරුව තමයි ඉවසන්න බැරි එයාගේ දරුවෝ                         දෙන්න ලොකුවට ඉගෙන ගෙන කියල. එහෙම උනත් ඒ තරම් ලොකුවට ගන්න දෙයක් තියෙනවයි                     ...නේද විශාකා ?
විශාකා - අනේ ද කියන්නේ ...ඔය ලොකු නගා සරස්වතී යන්තම් SSC පාස් වෙලානේ රස්සාවට ගියේ.
සුජාතා - අපිව මගුලට ගෙන්න ගන්නෙත් අළුත් නෑදෑයන්ට පේන්න වෙන්න ඇති. 
රෝස්  - නැතුව....ඉංජිනේරුවෝ දොස්තරලා ඉන්නවා කියල පෙන්නන්න එපයි. හැබැයි නංගිලා දෙන්න නම්                  හරිම ගුණ යහපත් ....
සුජාතා - අනේ ඔව් ..ඒ නංගිලට හොඳක්ම වෙන්න ඕන. DRO කෙනෙක් නේද සරස්වතී  බඳිනවා කියන්නේ. 
චම්පිකා - ඔව් ..සුගත් අඳුරනවා කිව්වා. ඒ ගොල්ලත් එක්ක පේරාදෙණියේ හිටියලු. පහළ බැච් එකක. කුමුදුමති                   නම් දත් දොස්තරෙක් වෙන්න නේ යන්නේ. කෙල්ල බැචෙක් එක්ක යාලුයි කියල මට ආරංචි වුණා.
රෝස් -   ඒක හොඳයි ....කුමුදු හොඳ කෙල්ල  
සුජාතා - ලොකු තාත්තාත් හරිම අහිංසකයි නේද ?
විශාකා - නැතුව ..මහ අම්මණ්ඩිත් එක්ක ලේසි පුතයෙකුට ඉන්න පුළුවන් ද ?
විශාකා - ඒක නෙවෙයි දැන් ඇඳුම් එහෙම කොහොම ද සුජා ?
සුජාතා - කරන එකක් ඉක්මනට බාර දීපල්ලා ..අන්තිමට නැට්ට ගිනි ගන්නකම් ඉන්නේ නැතුව.
රෝස් -  සාරිත් දැන් ඒ තරම් නැහැනේ..මොනවා අඳින්න ද මන්ද ?
සුජාතා - හරි හරි ...කොහොම වුණත් අලුතෙන් ගන්න වෙනවනේ ?
විශාකා - ලොකු වියදමක් යයි ...අපිට විතරක් යැ ..මහත්වරුන්ට ළමයින්ට ...

මේ සාකච්ඡාවෙන් පස්සේ සේරම සැලසුම් කරලා ලැයිස්තු හැදුවා. ඊළඟට ගාලු ගිහින් හැම දේම ගේන්න  දවස් දෙක තුනක් වැය වුණා. සුජාතා මැගීත් උදව් කරගෙන ඇඳුම් මහල ලෑස්ති කළා. මහත්තුරුන්ගේ හා කොල්ලන්ගේ ඇඳුම් මහන එක ටේලර්ට බර දුන්න. කෙල්ලන්ගේ ඇඳුම්, නෝනලාගේ හැට්ට එහෙම තමයි සුජාතට මහන්න වුණේ. ඒ අස්සේ නෝනලාගේ අම්මලත් පොස්ට් කාඩ් එවල තිබුණ ඒ ගොල්ලන්ගේ ඇඳුම් ලෑස්ති කරන්න කියල. නුවර මාමණ්ඩි නේ ඕනෑම මගුල් ගේක පෝරුවේ චාරිත්‍ර ඉෂ්ඨ කළේ. 

ඔයින් මෙයින් අනික් සේරම වැඩ කටයුතු අස්සෙම මගුල් ගෙදර යන වැඩෙත් වදෙන් පොරෙන් ලෑස්ති වුණා. පෝරුවේ චාරිත්‍ර යෙදිලා තිබුණේ උදේ නමයකුත් ගානට නිසා උදෙන්ම ලෑස්ති වෙන්න වුණා. නෝනලාගේ කොණ්ඩ මෝස්තර එහෙම දාන්න සෑහෙන වෙලාවක් ගියා. සුජාතා යාළුවො කීප දෙනෙක්ම අඬ ගහ ගත්ත නිසා හොඳට ගියා. ළමයි ටික හරිම අසාවෙන් මේ වගේ ගමන් යන්න ලෑස්ති වෙන්නේ. 

'තාත්තේ මේ බෝ එක නම් මහ වදයක් ' ගෝරිං චන්දනට කන් කෙඳිරි ගෑවා.
'යනකම් වත් තියා ගන්න පුතා ..අම්ම මටයි බනින්නේ ' චන්දන කිව්වා.
ගෑනු දරුවෝ ටික නම් සුරංගනාවියෝ වගේ කැන් කැන් දාපු ගවුම් පිම්බෙන්න ඇඳලා බැලරිනා සපත්තු දාල ආඩම්බරෙන් හිටියා.

පුංචි තුල්සි කෙල්ල නම් ටිකක් මුණ බුකව ගෙන හිටියා නිදි මතේ ද කොහෙද ..
වැලිගමට එනකොට උදේ අටයි හතළිස් පහ පහු වුණා. ලොකු අම්මලාගේ ගෙදර පාර අයිනේ නිසා කරදරයක් නැතුව වෙලාවට ආවා. මගුල් ගෙදර ජය පහට සරසල ලෑස්ති කරලා තිබුණා. මොකද event planners 👩👸👧👨ල ටික දිවා රෑ නැතුව මල් කඩල, සරසල, පෝරු හදල, සේරම කරලා තිබුණා. ඇත්ත අම්මලයි කාලේ මගුල් ගෙවල් හරි ලොකුවට දවස් ගානක් තියෙනවලු. ඉස්සෙල්ලම සාංඝික දානේ දෙනවා. ඊළඟට කලින් දවස් තුනක් විතර ගමේ හැමෝටම ඇස්ටෝම් දානවලු. At home  කියන එකට මිනිස්සු කිව්වේ එහෙමලු. මගුල් මඩු හදල,සරසල්,කෑම මේස දාල මගුල් දෙනවලු. හිටගෙන ඉඳන් ලු  අනුභව කරන්නේ. ඊට පස්සේ තෑගි දීල, ආපු අය යනවලු. ලඟම වැදගත් නෑයෝ විතරක් ලු පෝරුවේ උත්සවේට එන්නේ. 

දැන් මේ බෝනිකි කාන්ඩේ ආවේ පෝරුව දවසේ. මගුල් ගෙදර දැම්මේ ඇත්ත ගෙදර දිග කාමරේ. මනමාලි සරස්වතී  ලස්සනට අන්දලා ඉන්දවල හිටියා කාමරේ. වේල් එකක් දාල, බටහිර පන්නයට ගවුමක් ඇඳලයි හිටියේ. සුදු රෝස මල් හිස පළඳනාව මුණට එළියක් ගෙනාව. දෙවෙනි මනමාලියෝ දෙන්නත් රෝස පාට ගවුම් ඇඳලා හිටියා. එක දෙවෙනි මනමාලියෙක් සරස්වතී ගේ නංගි කුමුදුමති.  මල් කුමරියොත් ඒ වගේම රෝස පාට දිග මැක්සි ඇඳලා හිටියා. මල් කුමරුවෝ බෙයිජ් පාට කමිස ඇඳලා, රෝස පාට බෝ තියල,  කළු කලිසම් සුට් දාල හිටිය. කට්ටිය බෙලි දික් කර කර බලන් හිටියේ මනමාලයා ඇතුළු නෑදෑ සනුහරේ පිළිගන්න. නැට්ටුවෝ, බෙර කාරයෝ  පෙළ ගැහිලා බලන් හිටිය. අත්තම්මල කීප දෙනෙක් පොල්කටු පත්තු කරලා රබන් රත් කරමින් මිදුලේ හිටියා. 

ඔන්න  මනාලයා සහ පිරිස ආව . බෙර කාරයෝ බෙර ගැහුවා. නැට්ටුවෝ ඒ තාලෙට නැටුවා. මල් වෙඩි පත්තු වුණා. රබන් වැයුනා.  පැමිණි පසු මනාලයාගේ පා සේදීම බාරව තිබුණේ නුවර පොඩි මල්ලිට. ඒකා මුද්ද ගන්න කාලයක් තිස්සේ බලන් හිටියලු.  ඒ  රත්රන් මුද්දත් වතුර බේසමට වැටුණ . පොඩි මලය ඒක අරන් හනික වම් අතේ වෙදගිල්ලට දා ගත්ත.    මනාලයා සහ පැමිණි පිරිස පිලිගැනීමට ආරාධනා ගීතයක් ගායනා කළා, දැරිවියෝ වගයක්. ලොකු අම්මගේ ඉස්කෝලෙන් වෙන්න ඇති කියල විශාකා හිතුව. මනාලයාගේ පාර්ශවයෙන් මනාලියගේ පියාට බුලත් හුරුල්ලක් පිරිනැමුවා.  ඒ අතර එහි ඇති බුලත් කොළ ගණනින් මනාලයාගේ පාර්ශවයෙන් පැමිණි සංඛයාඕව තීරණය වෙනවා කියල ඇත්ත අම්ම කිව් බව මතකයි. 

විවාහ මංගල්‍යයක වැදගත්ම අවස්ථාව, පෝරුවේ චාරිත්‍රය තමයි ඊළඟට තිබුණේ. නැගෙණහිර දෙසට මුහුණ ලා හදල තිබුණ  පෝරුවේ ඇති වේදිකාව මත කලාලයක් එලා ඒ මතපොල් ගෙඩියක්, හාල් සේරු දෙකක් තබා කාසි විසුරුවා තිබුණා.. සතර කෙළවර පහන් දැල්වීමට පුන් කලස් හතරක් තබා තිබුණා. නුවර මාමණ්ඩි අෂ්ඨක  ගාථා ගායනාව පටන් ගත්තා. මනමාලි පෝරුවට නැග්ගුවේ  එයාගේ  මාමා කෙනෙක් වෙච්චි චම්පිකාගේ තාත්තා.  මනාලයා එයාගේ තාත්තා  විසින්  පෝරුවට නැග්ගවෙව්ව.  නුවර මාමණ්ඩිගේ කටහඬ දසත පැතිරෙන්න වුණා. කවුරුත් වගේ බෙලි දික් කරන් පෝරුව දිහා බලන් හිටියා.

” උතුම් බෝසත් උපන් මෙකපට කිඹුල්වත්පුර මංගලම්
පැතුම් බලයෙන් වරින්වර දුන් ඇසින් මස් ලේ දන් බෙලෙන්
දෙතුන් විඩයක් පොළව මිහිකත දෙස් තියා වෙව්ලූ බලෙන්
උතුම් තෙරුවන් බලෙන් වේවා යුවතිපතිහට මංගලම්…”

ඊට පස්සේ අත පැන් වත් කිරීම, තැලී පිළි ඇන්දවීම, කිරි කච්චි පිරිනැමීම වගේ එකී නොකී චාරිත්‍ර ඉටු වෙන අතරේ සමහරු පුටුවල ඉඳ ගත්තේ කකුල් කඩුත්තුව නිසා. බුලත් දෙන කොට වැඩිහිටියෝ ඒකට ඉස්සරහට ගියා. 

තාමත් නුවර මාමණ්ඩි කියවනවා පත්මාවති අෂ්ඨකය  ' පත්මාවති නම් බිසව් ...දෙව් මිනිස් සැප කෙළවර පෙර කරපු අකුසලින් බරණැසෙහි  දන සිටහු හට .....දාසියකව උපන්නාය ....එකල ඒ දාසි තොමෝ කෙත රකින කලට .....එහි පැමිණි පක්ෂීන් ශබ්ද කර පන්නමින් ....එකඟිල්ලකට කිරි එරී එකිරි බිබී වැඩෙන කුමාරිකාවෝ..... Event planner ලොකු අක්කට මේ ගාථා කටපාඩම්.  ඊළඟට ගැහැණු ළමයි ළමා සාරි ඇඳලා ලස්සනට ජය මංගල ගාථා ගායනා කළා. මනමාලයා ඒ ගොල්ලන්ට තෑගි දුන්න. 

පෝරුවෙන් බැස්සවීම ඊ ලඟට ....බහින කොටම මාම කෙනෙක් පොල් ගෙඩියක් බින්දා. ඒක හරියට බිඳුණ ද කියල මාතර අත්තම්මා බෙල්ල දික් කරන් බලනවා පිණී දැක්කා.

ගෝරිං ට නම් දැන් හොඳ ගණන්. බඩේ පණුවෝ බොක්සිං ගහනවා දැනුණා. උදේ තේ බොද්දීත් කැවුමක් විතරනේ කෑවේ. පොඩි අයට මේ මගුල් ගෙවල් මහා හිරිහැර නේ. හැබැයි මේ ළමයි වැඩිය අම්මලට කරදර කරන්නේ නැහැ. ඔහේ විඳගෙන ඉන්නවා. 

පෝරුවෙන් බැහැපු ජෝඩුව පහන පත්තු කරලා, ඊ ලඟට කේක් කැපුවා.

ඊළඟට විවාහේ ලියා පදිංචිය තිබුණේ. මනමාලයාගේ පැත්තෙන් එයාගේ ලොක්ක අත්සන් කළා. මනමාලිගේ පැත්තෙන් නීල්ට ආරාධනා ලැබුණා.  

මේ වෙලාවේ තේ මේසය ලෑස්ති වෙලා ඉවරයි. මනාල යුවලට තේ වලට ආරාධනා කරාට පස්සේ මනමාලයාගේ පැත්තේ නෑයන්ට ආරාධනා කළා. ඊට පස්සේ අනික් අයට ආරාධනා කළා. කවුරුත් තේ බොන්න මේසයට ගියා. ගෝරිං, සඳුනි ,උදන්,පිණී, ආශික්කි, දමිත්,නිල්මිණි,අතුල මේ වෙලාව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. සුමුදු අම්මගේ ඇඟේ එල්ලිලා හිටියා.
'මේ ළමය නිසා සාරියත් ඉරෙනවා'  විශාකා කන් කෙඳිරි ගෑව.

සනත් තාත්තගේ සුලැගිල්ලේ එල්ලිලා හිටියා. තුල්සි හිටියේ නීල් ගේ කරේ. කාල බීල ඉවර වුණාට පස්සේ ළමයි මිදුලේ සෙල්ලම් කළා. ලොකු අය මිදුලේ, ගේ ඇතුළේ මේස වලට ඉඳගෙන සතුටු සාමීචියේ යෙදුණ . සංගීත කණ්ඩායමක් සින්දු කිව්වා. දැන් තරම් කන් බෙර පුපුරණ තරම් සද්ද නැහැ. සුගත් හා  දමිත් ඒ කණ්ඩායමට එකතු වුණා. ඒ ගොල්ලොත් සංගීත කාරයෝ නේ. 

ඒ අතරෙ ඊ ළඟ සීන් එක වුණේ පොටෝ ගන්න studio එකට යන එක. දැන් වගේ උදේ පාන්දර තැන තැන shoot කිරිල්ලක් තිබුණෙ නැහැ. කැමරා මහත්තයෙක් පොටෝ ගත්ත තමයි පෝරුවේ වැඩ එහෙම. ඒ වුණාට ජෝඩු පොටෝ එක gruop පොටෝ එක එහෙම ගන්න ගාල්ලේ ප්‍රසිද්ධ....Western Studio එක. 

මනාල ජෝඩුව ඇතුළු පිරිස කාර් වල නැගිලා ඒ කටයුත්තට ගියා. සුජාතයි චන්දනයි උදව්වට ගියා. සුජාතට මේ දේවල් තේරෙනවනේ. ඉතින් පොටෝ ගන්න ගිහින් හරි අකරතැබ්බක් වෙලා තියෙන්නේ. මල් කුමාරිට හිටි එක දැරිවියක් , පොඩි එකෙක් ඇඳුම් ගලවල විසි කරලා පොටෝ ගැනිල්ල ප්‍රතික්ෂේප කරල. ඇයි දෙයියනේ මේ දරුවට  අර බාජ්ජු ගවුම් ඇඳන් ඉඳල එපා වෙලා වෙන්න ඇති. කොච්චර යාප්පු වුණත් දරුවා වැඩේ එක හෙළා ප්‍රතික්ෂේප කරලා. 

ඒ පාර එතනට ආපු වෙනත් දැරිවියක් , ඒත් වෙන මගුලක මල් කුමරියක් ලබා දෙන්න ඒ දෙමව්පියෝ කැමති වෙලා. ඉතින් අර ඇඳුම් අන්දලා ඒ දරුවා තමයි පොටෝ එකට තියල තියෙන්නේ. ඔන්න ඉතින් පොටෝ අරන් කාන්ඩේ ආපහු වැලි ගමටත් ආව. 

වැලිගම ලොකු අම්මා ගිණි කිකිළි වගේ බෙල්ල උඩටම උස්ස ගෙන එහා මෙහා ගිය. උන්දැට දහසකුත් එකක් වගකීම් නේ. දවල් කෑමට ආරාධනා කරන්න කට්ටියට වතුර දෙන්න තිබුණා. 

වතුර වීදුරුව පීරිසියක තියල අරන් යද්දී පය පැටලිලා ලොකු අම්මා බිම පත බෑව. කට්ටිය ඉක්මනට උස්සල අරන් පුටුවක ඉන්දෙව්වා.

'කොහොමද ලොකු අම්මා ..කොතනද වැදුණේ ? ඔළුව වැදුණේ නෑ නේද ? ' චම්පිකා දොස්තර නෝනා ඉදිරිපත් වුණා. 
'නෑ දුවේ අමාරුවක් නෑ... මෙන්න මේ වළලු කර පොඩ්ඩක් ....අතගාන්න පුතේ " ලොකු අම්ම කිව්වා. චම්පිකා හෑන්ඩ් බෑග් එකෙන් ක්‍රීම් එකක් අරන් ගාල අත ගෑවා.
' අනේ ..දොස්තර දූ හිටිය එක කොච්චර දෙයක් ද ?' ලොකු අම්මගේ අමාරු ඔක්කොම හොඳ වුණා.
'අපේ අක්කගේ දුවත් කොළඹ ලොකු දොස්තර කෙනෙක් ..' අලුත් නෑයන් අතරින් පම්පෝරියක්  ඇහුණා.
'අද ආවෙ නැද්ද?'
"නෑ....එයාට බාරව අද ලොකු ඔපරේෂන් එකක්. ලොකු දොස්තරලට එහෙම නිවාඩු ගන්න බෑනේ" ඒ බවලතා තවත් උඩඟු බව පෙන්නුවා.
"අපේ කෙල්ලත් ලොකුම දොස්තර නොනෙක් තමයි....ඒත් මගේ දේකට නෑවිත් ඉන්නේ නෑ' ලොකු අම්මත් අත ඇරියේ නෑ.
මැගී අළුත් වතුර වීදුරුවක් ගෙනත් දුන්නා. ලොකු අම්මා කතාව නවත්තල දිවා භෝජනේ ට ආරාධනා කරන්න හෙමින් හෙමින් ගිය. චම්පිකත් පස්සෙන් ගිය. 

මනාල යුවල ඒ වෙනකනුත් නෑදෑයෝ අබිමුවට ගිහින් වෙහෙස වෙලා හිටියෙ. වඳින්න පහත් වෙලා සරස්වතීට කොන්දේ අමාරුව.ගෑනිත් ටිකක් මහතයිනේ. මුලින්ම අලුත් යුවල කෑම මේසෙට වාඩි වුණා. කාගෙවත් විරෝධයක් අකරතැබ්බක් වුණේ නැතුව කවුරුත් මගුල් මඩුවේ මේස වල ඉඳ ගත්තා. කවුරුත් සම තත්වේ ගැළපෙන විදියට නැත්නම් කෑම මේස ප්‍රතික්ෂේප කරන සිරිතක් ඒ කාලෙ තිබුණ කියල ඇත්ත අම්ම කිව්වා. ඒකනේ ගම් පෙරළියේ  මාතර හාමිනේ 'උන්ට කවුද හිර දෙන්නේ කියල ' මුලින්ම පියල් ප්‍රතික්ෂේප කළේ. කොග්ගල තියෙන්නෙත් වැලිගමට කිට්ටුව නේ. 

වෙඩින් කේක් බෙදිල්ල කළේ දෙවෙනි මනමාලියෝ. පිණියි සඳුනියි ඒ දෙන්නට උදව් වුණා. වෙඩින් කේක් ලස්සනට රත්රන් පාට දිළිසෙන කඩදාසි වල ඔතල, මල්වලින්  සරසපු කුඩ වල දාල තිබුණ.  

ඉතින්, හරිම ගාම්භීර විදියට සුදු රෙද්දෙන් වහල තිබුණු කෑම මේසේ ලොකු තාත්තා ඇරිය. ඒ කියන්නේ සුදු රෙද්ද ඉවත් කළා. දැන් වගේ  buffet වගේ දේවල් නැහැ. කෑම බෙදන්න සේවක පිරිසකුත් හිටිය. සමහර තැන්වල මේ ගොල්ලෝ අමුත්තෝ හොදි වලින් නාවපු අවස්ථාත් තිබුණ. ඒත් එදා නම් හැම දේම ලස්සනට වුණා. ළමයි හොඳට කෑව, බිව්වා. කුකුල් මස්, මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ (වැලිගම මේවා වකාරෙට නෙ ) එළවළු සලාද , දුන් තෙල් බත්, බිරියානි බත්, බිත්තර සැරසිලි මෙකි නොකී දේවල් ගෝරිං බොහොම සතුටින් අනුභව කළා. අතුරුපස, පලතුරු සලාද, වටලපන්, අයිස් ක්‍රීම්, කිරි පැණි පුරවල තිබුණ.

 'අපරාදෙ කියන්න බැහැ වැලිගම ජෝඩුව කිසිම ලෝබ කමක් නම් නැහැ ' රෝස් හෙමින් සුජාතාගේ කනට කරලා කිව්වා.
'අපොයි ඔව් ..ලොකු අම්ම අපි ආව දවසකත් හොඳට සංග්‍රහ කළා' සුජාත කිව්වා. 

කට්ටිය ටිකෙන් ටික දෙක විතර වෙනකම් කෑම ගත්ත. ඉන් පස්සේ ආයෙත් සතුටු සාමීචි  ගලාගෙන ගියා. ටිකක් කටේ වැටුණු පිරිමි වැඩි වැඩියෙන් කතා කළා. එක්කෙනා දෙන්න ලියුම් කවර මිටිය තිබුණු තැනට ගිහින් හැංගි වගේ ඒකට සල්ලි කොළ දාල කෙල පොඩ්ඩක් ගාල කවරේ ඇලෙව්වා. පෑන අරන් පිට පැත්තේ නම් ලිව්වා. ඊළඟට ලොකු අම්මගේ අතට තෑගී දුන්න. ටිකෙන් ටික මේ පිරිස වැඩි වුණා. ඒ අතරේ මංගල සභාව ලෑස්ති වුණා. කුස්සියේ කිරිකෝපි හා කේක් ලෑස්ති වුණා. මංගල සබාවේ කතා පටන් ගත්ත. ළමයින්ට මේවා දිරවන්නේ නැති නිසා විශාකා ළමයි එක්ක පාර පැනල මුහුද පැත්තට ගියා. තනියම යන්න එපා ළමයි එක්ක කියල සුගත්තුත් ඒ ගොල්ලන්ගේ පස්සෙන් ගියා.

මංගල සභාවේ මනමාලිගේ පැත්තේ කතාව සාර සුබාවට කළේ නුවර මාමණ්ඩි. පවුල් පට්ටන්තරේ කියවල සරස්වතී දාහෙන් හොයා ගන්න බැරි චරිතවත් ගැහැණු දරුවෙක් බව කිව්වා. " සරස්වතී ඒ කාලේ සරත් කියල කොල්ලෙක් යාළු කරන් රවුන් ගහ ගහ හිටිය" කියල සුජාත රහසෙන් රෝස්ට කිව්වා. රෝස් ලේන්සුවෙන් කට වහං හිනා වුණා. මනමාලයාගේ පැත්තේ කතාව කළේ ඒ ගොල්ලන්ගේ නෑදෑයෙක් වෙන පරණ ලොකු ඉස්කෝලේ මහත්තයෙක්. ශ්ලෝක එහෙම දාල කරපු කතාව වැඩි දෙනෙකුට ඇල්ලුවේ නැති බව එතන ඇති වුණු කසු කුසුවෙන් තේරුණා. 

ඔන්න කේක් ට්‍රේ එන්න පටන් ගත්ත. දවල් කාපුවත් තාම උගුර ළඟ වගේ වුණත් කට්ටිය කේක් කෑල්ල අත ඇරියෙ නෑ. විශාකලත් මේ වෙන කොට ආපහු ඇවිත් හිටිය. කිරි කෝපිත් සප්පායම් වෙලා ඉවර වුණා. 
සරස්වතී ලස්සන රෝස පාට going away එකකින් සැරසිලා රෝස මල් පොකුරක් අරන් පෙනී හිටියා.  ජෝඩුව හනිමුන් යන්න පිටත් වෙන නැකත ලං වුණා. අම්මල තාත්තලට සමු දෙන මොහොතේ සරස්වතී වැළහින්නක් වගේ අඬන්න ගත්තා.

'ඇයි අම්මා සරසි අක්ක අඬන්නේ?' කියල  පිණී ඇහුව. නෑකමට නැන්ද වුණාට මේගොල්ලෝ සරස්වතීට කිව්වේ අක්ක කියල 
'අම්මල දාල යනකොට දුකයිනේ'  විශාකා උත්තර දුන්නා .
'අම්මත් මගුල් දවසෙ ඇඬුවද? ' පිණිට කවදත් ප්‍රශ්න නේ .......
'මේ කෙල්ල අහන ඒවා' විශාකා පිණිගේ කම්මුල ඉම්බා.

කුමුදුමතිත් අක්ක බදාගෙන අඬන්න ගත්ත. ලොකු තාත්තත් ඇස් පොඩි කරනවා කවුරුත් දැක්ක. 

'දැන් නැකත හරි ' නුවර මාමණ්ඩි දැනුම් දුන්න. ජෝඩුව දොරකඩින් පිටවෙන කොට මල් වෙඩිල්ල පත්තුවෙලා රන් රිදී කෑලි වලින් දෙන්න නෑ වුණා. ලොකු අම්ම සුදු මලක් දාපු වතුර වීදුරුව අරන් ඉස්සරහට ආව. ජෝඩුවට වතුර උගුර බැගින් පෙව්වා.
'මගේ දරුවන්ට තුනුරුවන්ගේ, සියළු දෙවියන්ගේ  පිහිටයි' කියල උන්දැ බිඳුණු ස්වරයෙන් කිව්වා. දෙන්න අම්ම තාත්තට වැඳලා සරසල තිබුණු කාර් එකට නැග්ග. කවුරුත් අත් වනල සමු දුන්න. කාර් එක ඉස්සරහට හෙමින් ගිහින් දකුණට හරවල පීත්ත පටියක් වගේ ඇදුණු ගාලු පාර දිගේ ඉස්සරහට වේගෙන් ඇදිල ගියා🚗🚙. නුවර මාමණ්ඩි ,නැන්දම්මා, මල්ලි ඒ ගොල්ලන්ගේ කාර් එකෙන් ආරක්ෂාවට පස්සෙන් ගියා. නුවර හෝටලේක ජෝඩුව නවතින්න ලෑස්ති කරලා තිබුනේ. මේ ඔක්කොම කළේ ඇත්ත ගෙදරට යන පාර දිගේ.

'දැන් ඉතින් මගේ ඇඟේ කෑල්ලක් ගියා වගේ.' ලොකු අම්ම කිව්වා. 

'හිත හදාගන්න ලොකු අම්මා..නංගිට හොඳ මහත්තයෙක් ලැබුණ නේ  ' චම්පිකා ලොකු අම්මව බදාගෙන කිව්වේ ඇත්තම ආදරෙන්. 

ඒ මගුලත් ඉවර වුණා. හැම දෙනාම විසිර ගිය. දෙවෙනි ගමන දවස් තුනකට පස්සේ කළුතර මනමාලයාගේ ගෙදර තියෙන නිසා එදාට එන්න හිතන් බෝනිකි පවුල් ගම්බිම් බලා එන්න පිටත් වුණා   
   . 

 

4 comments: