Friday, June 19, 2020

බෝනිකි ගෙවල් 7 - පොල්පිතිගම චාරිකාව

                     සපත්තු මෝටර් රථයේ නැගී ගමනක් යන බෝනිකි පවුලක් 



මේ බෝනිකි පවුල් හතර සංචාරයට රුසියෝ. දරු මල්ලොත් අරන් වාහන වල නැගල බෝනිකි නෝනා මහත්තුරු රට පුරා සංචාරය කෙරුවා. මෙදා විස්තර කරන්න යන්නේ පොල්පිතිගම නැන්දම්මලයි ගෙදර ගිය ගමන. ගමනේ කතාව ආරම්භ වෙන්නේ පරණවිතාන පවුලේ වන කතා බහකින්.

චම්පිකා - සුගත් මට එන සුමානේ නිවාඩු ගන්න පුළුවන් ...අපි ඇවිදින්න ගියොත් නරකද ? මේ ගොල්ලන්ටත් නිවාඩු නේ. ...
සුගත් - කොහෙද අපි මේ පාර යන්නේ ....
චම්පිකා - මං හිතුවේ සුගත් පොල්පිතිගම නැන්දම්මලගේ ගෙදර යන්න ...ඒ ගොල්ලෝ හැම දේ ටම නිතරම එනවා. අපි කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑනේ. 
සුගත් - අපිට වැඩිය නෑකම තියෙන්නේ විශාකලට නේ ....චම්පි 
චම්පිකා - ඒ ගොල්ලෝ ඔක්කොමත් එක්ක තමයි අපි යන්නේ. අපි කවදද තනියම ගමන් ගියේ.
සුගත් - එහෙනම් ඔයාම ගමන කට්ටිය එක්ක කතා කර ගන්නකො. ඊට පස්සේ නැන්දම්මට පොස්ට් කාඩ් එකක් දාන්න.
චම්පිකා - ඔව් මං අදම කතා කර ගන්නම්. අපිට දඹුල්ලේ,අනුරාධපුරේ  එහෙමත් ඇවිදින්න යන්න පුළුවන්. ළමයින්ටත් බලන්න දේවල් තියෙනවනේ.

ඇත්තටම පොල්පිතිගම කොහේ තියෙනවද කියල අක්කල මල්ලි හරියට දැනන් හිටියෙත් නෑ. ඒ වුණාට ඒ නැන්දම්මා හරිම ආදරණීය කෙනෙක් මේ බෝනිකි පවුල්වල. 

ඔන්න එදා හවස සංගමේ රැස්වීම වගේ. ගෙවල් හතරේ නෝනලයි ළමයි ටිකයි එකතු වෙලා ගමන ගැන කතාව.

පිණී - ඔන්න අම්ම මේ සැරේ නම් දවස් තුනක් වත් නවතින්න ඕන
සඳුණි - ඔව් ඔව් ආන්ටි ...ඒක නම් ඕනෑමයි. නාන්න, කන්න, ඇවිදින්න නැත්නම් වෙලාව මදි වෙනවා. 
ගෝරා - මං ලොකු උනහම තනියෙන් ලෝකෙ වටේම යනවා..... 
පිණී - අනේ බක පණ්ඩිත යනවා යනවා ...ඉතින් මේ සැරේ අපිත් එක්ක යන්නත් ඕන නෑ ..ලෝකෙ වටේ යන එක්කෙනාට මේ පොඩි ගමන් ඕන නැහැනේ 
අතුල - අනේ ගෝරෝ වැඩක් ඇති දෙයක් කතා කරනවද ? මැද්දට පැනල අවුල් කරන්නේ නැතුව.
ගෝරා - හරි හරි .....ඕගොල්ලෝ ඔක්කොම arrange කරන්නකෝ...හැබැයි මට හොඳට කන්න නම් ඕන 

ළමයි මෙහෙම කතා බහ කරන අතරෙ අම්මල ටික ගමන සැළසුම් කළා.
සුජාතා - මෙහෙමයි වැඩේ කෙරෙන්නේ. ඔන්න උදේ පාන්දර හයට පිටත් වෙනවා. උදේ කෑමට සැන්ඩ්විච් මං හදනවා. ගෙනියන්න දේවල් ඔයාල ලෑස්ති කරන්න. මොනවාද හොඳ රෝස් ?
රෝස් - නැන්දම්මට කැවිලි නම් වැඩක් නැහැ. අපි ගෙදරට ඕන කරන බඩු ටිකක් ගෙනියමු. මං කේක් එකක් දාන්නම්. 
විශාකා - මං හිතුවෙත් නැන්දම්මට සාරියක්, මාමණ්ඩිට සූට් එකකට රෙදි අරන් යන්න. අපේ පිණිගේ වෙලාවෙත් හුඟක් මහන්සි වුණා ඒ දෙන්න. 
සුජාතා - ඔව් ...මං චන්දනට කියන්නම් ගෙනියන සිල්ලර බඩු ටිකක් ගේන්න කියල. ඒක නෙමේ මාළු ඇඹුල් තියල් එකක් හදමු නේද ? එහෙත් අළුත් මාළු නැහැනේ ....
විශාකා - ඔව් සුජා තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනව 

ඔයින් මෙයින් තවත් කලබල දවස් ටිකක් ගෙවුණා . බෝනිකි නෝනලා හරි හරියට වැඩ. ඒ කියන්නේ event planners ලට හරිම අවිවේකයි. ඇඳුම් පැළඳුම්,කෑම බීම, ගෙනියන දේවල් ඔක්කොම ලෑස්ති කළා. ඒ අතරේ පොල්පිතිගම නැන්දම්මලයි ගෙදරත් අමුත්තෝ පිළිගන්න යමරෙට ලෑස්තිය. කිරි පැණි,දෝසි ජාති ,වටලප්පම් 
කැවිලි පෙවිළි නැතුව බැහැනේ. නැන්දම්මයි මාමණ්ඩියි එකතු වෙලා පොඩි එවුන් ආසා කරන හැම දේම ලෑස්ති කළා.

බඩු මුට්ටු කෑම බීම වාහන වල පටවන වැඩේ කවදත් බාර පිරිමි පරාණ ටිකටනේ. ඒකත් ඉවර වෙලා කට්ටිය නිදාගත්තේ පහුවදා යන ගමන ගැන හීන මව මව. උදේ පාන්දර ලෑස්තිවෙලා කට්ටියම තම තමන්ගේ වාහන වලට නැග ගත්ත. මේ වාහන ලොකු අයගේ පරණ සපත්තු කියල මතක ඇතිනේ. දැන් අක්කලයි මල්ලියි මේ වාහන ඇදන් කඳු ගැට ,තේ වතු ,රබර් වතු දිගේ යනවා. පොල්පිතිගම බලා .... ටිකක් මෙහෙම ගිහින් කට්ටිය වාහන වලින් බැහැල අවට සිරි නරඹනවා. උදේ කෑම ගන්නවා. ආපහු වාහන වලින් පොල්පිති ගමටත් ආව දවල් එක දෙක වෙද්දී. 
නැන්දම්මා මාමණ්ඩිත් එක්ක මග බලන් හිටියා. කට්ටිය වාහන වලින් බැහැල තෑගි බෝග උස්සගෙන ගෙට ගිහින් ඒවා දීලා සතුටු සාමීචි කතා කළා .
පොල්පිතිගම නැන්දම්මා - විශාකා පුතේ ..දරුවන්ගේ අත් හෝදලා කන්න දෙන්න. බඩගිණි ඇති හොඳටෝම.
ගෝරිං - අනේ ඔව් අත්තම්මා මට නම් හරිම බඩගිනියි. උදේ කාපුවා දිරවලත් ඉවරයි.
පොල්පිතිගම නැන්දම්මා - නැතුව ..හැදෙන වයසනේ.. මගේ පුතාට මං රසට උයල ඇති.
සුජාතා - හා..දැන් කට්ටියම ලිඳ ලඟට යන් ...අත් හෝදන් එන්න.

ඔන්න දිවා ආහාරයත් අරන් ඇඳුම් මාරු කරලා කට්ටිය විවේක ගත්ත. ඊළඟ දවසේ තමයි දඹුල්ලේ යන්නේ.
එදා දවස ගෙදර අවට වටපිටාවේ  ඇවිදලා, නාන පොකුණෙන් නාලා කට්ටිය සැහැල්ලුවෙන් විනෝදෙන් ගත කළා. රෑ කට්ටිය එකතුවෙලා සින්දු කිව්වා. ගිටාර් ,තබ්ලා එහෙම ඒවාට ප්‍රවීණ කාන්ඩේ ගමන් යද්දී අමතක කරන්නේ නැහැනේ. 

පහුවදා උදෙන්ම ඇවිදින්න යන්න පිටත් වුණා . උදේ කෑමට නැන්දම්මා ඉඳිආප්ප සීනි සම්බල් හා පොල් මැල්ලුම් එක්ක කෙසෙල් කොළවල මුල් බැඳ ලෑස්ති කරලා තිබුණා. නැන්දම්මට ඒ වැඩ වලට උදවු කරන්න අතවැසියෝ අඩු පාඩුවක් නැතුව ඉන්නවනේ. මාළු හොද්දකුත් වෙනම ලොකු බූලියක දාල ඩිකියට දැම්මා. දවල් කෑම පිටින් කන්නයි සැලසුම් කරලා තිබුණේ .
 
ගෝරිං , උදන්, පිණී ,දමිත් වගේ දැනුම් තේරුම් තියෙන දරුවෝ ගමන ගැන හරිම උනන්දුයි. ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන දේවල් බලා ගන්න වෙන්නේ මේ වගේ ගමනකදී තමයි. මොකෝ අද වගේ රූප පෙට්ටිවත් කොම්පියුටර වත් තිබුණය මේ දරුවන්ට ? පොත පතකින් පත්තරයකින් තමයි පින්තුරයක් හරි දැක ගන්නේ. ඒවත් කළු සුදු පින්තූර. අද වගේ ඇස් කඩල යන ඔෆ්ෆ්සෙට් මුද්‍රණ තිබුණේ නැහැනේ. 
කට්ටිය දඹුල්ල ලෙන් විහාරෙට ලඟා වෙද්දී උදේ අට පහු වුණා විතරයි. තෙල්, මල් පූජා කරලා හුඟක් වෙලා බිතු සිතුවම් නැරඹුවා. සුගත් පරණවිතාන නමටම ගැලපෙන විදියට පුරා වස්තු වලට පුදුම ඇල්මක් දැක්වුව. ඒවා ගැන පින්තූර එකතු කළා .සටහන් තියා ගත්ත. 

දැන් මේ අක්කලයි මල්ලියි බෝනිකි පවුල් දඹුල්ලේ යනව කියල ගෙනියන්නේ කන්ද උඩ ගල් තලාවකට. එතනින් පිටත් වෙලා  ඒ කියන්නේ දඹුල්ලෙන් පිටත් වෙලා,   ආයේ ගමන ඇරඹුවා. අතරමග බැස්සේ  උදේ කෑම ගන්න. වතුර එහෙම තියෙන තැනක. හැමෝම හරිම බඩගින්නෙන් හිටිය නිසා ඉඳි ආප්ප ටික කොහෙන් ගියද කියල නෑ. ගෝරිං මුල් දෙකක්ම කෑව. තව මුං ගුලි, තල කැරලි,කෙසෙල් එහෙමත් අරන් ඇවිත් තිබුණ. සුජාතා ඒවා පස්සේ පොඩි බඩගිණි වලට කන්න අරන් තිබ්බ. 
ඊළඟට ගියේ සීගිරියට. 

'තාත්තේ මට තව සීගිරි කාශ්‍යප රජ්ජුරුවෝ ගැන කියා දෙන්න' කියල  දමිත් තාත්ත වන පරණවිතාන මහත්තයට කිව්වා. ඉතින් සුගත් පරණවිතාන කට්ටියම වටේට රවුමකට තියල ධාතුසේන රජ්ජුරුවෝ කලා වැව හදපු තැන ඉඳල විස්තර කරා. පොඩි පැටවූ ටික ඒ කියන්නේ සනත්,තුල්සි,සුමුදු ඔහේ කටවල් ඇරන් බලන් හිටිය. මේ ගොල්ලන්ට තාම ඔය කතා බර වැඩියිනේ ..

සීගිරියේ සිංහ පාද අතරින් පඩි පෙළ නැගලා උඩට යද්දී හරිම හුළඟ. ලොකු අය ළමයි පරෙස්සම් කර ගත්ත. සීගිරි චිත්‍ර වලට ගෝරිං හා පිණිගේ හිත ඇදුනා. සුගත් ඒවායේ වටිනාකම දරුවන්ට කියා දුන්න. ඔය කිසිම තැනක් ඒ වෙද්දී ලෝක උරුම භූමි, ජෛව ගෝල රක්ෂිත වගේ ලොකු ලොකු වටින නම් දැරුවේ නැහැ. සීගිරි ගල උඩ ඉඳන් පහළ ජල උද්‍යානය දිහා බලන කොට කට්ටියට පුදුම හිතුණා. 

'මේවා ඉස්සර හරිම ලස්සනට තියෙන්න ඇතිනේ සුගත් මාමා ' පිණී කිව්වා. 
'ඒ රාජධානිය කාලේ ලස්සනට තියෙන්න ඇති. නමුත් පස්සේ රාජධානිය බිඳ වැටිලා මේවා සම්පුර්ණයෙන්ම කැලෑවට යට වෙලා තිබිල තියෙන්නේ.'
'ඒ කියන්නේ කවුරුවත් මේවා බලන්න ඇවිත් නැද්ද?' පිණිට ප්‍රශ්න කෝටියයි 
'තියෙන බව වත් දන්නේ නැතුව කවුරු එන්නද ? අනික පාරවල් තිබුණය?' සුජාතා උත්තර දුන්න ප්‍රශ්න වලින්ම උත්තර දුන්න 
'1897 දී පුරාවිද්‍යා කොමසාරිස් වුණු H. C . P බෙල් මහත්තය තමයි මේ නටඹුන් සොයා ගත්තේ.' සුගත් පරණවිතාන පැහැදිළි කර  දුන්න. 
'ඒ කාලේ ගවනර් කවුද තාත්තේ? ' දමිත් කතාවට එකතු වුණා.
'1890 ඉඳන් ආණ්ඩුකාර තනතුරේ හිටියේ Sir Arthur Gordon' එතුමා තමයි බෙල් ඒ තනතුරට පත්කරේ.' ඒ සුගත්.
'එතකොට මාමේ පරණවිතාන පුරා විද්‍යා කොමසාරිස් තුමා ?' පිණිට තවත් ප්‍රශ්න..... 
'1931 වෙනකම්ම හිටියේ සුදු ජාතිකයෝ...1931 දී පරණවිතාන මහත්තය වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස් වුණා. 1934 වෙනකම් ඒ විදියට හිටිය.'
මං අහල තියෙන්නේ එතුමා පුරව්ද්‍යා කොමසාරිස් වෙලා හිටිය කියල.' ගෝරිං සාකච්ඡාවට එකතු වුණා.
'ඉන්න ..කතාව ඉවර නෑ ..1934 ඉඳන් 39 වෙනකම් ආපහු A.H. Longhurst කියල සුදු මහත්තයෙක් ඒ තනතුරට පත් වුණා. 1940 ඉඳන් 1956 වෙනකම් කොමසාරිස් තනතුර දැරුවෙ සෙනරත් පරණවිතාන මහත්තය. අපිට නෑදෑයොත් වෙනවා.' සුගත් කිව්වා. 
'ඇත්තද තාත්තේ ?' දමිත් ගේ මුණ එළිය වැටුණ. 

ළමයින්ගේ උනන්දුව ගැන විශාකට සතුටු හිතුණා. දරුවෝ වුණහම තමන්ගේ ඉතිහාසය දැන ගන්න ඕන කියන අදහස ඇගේ හිතේ කවදත් තිබුණ.

දැන් දැන් පොඩි බඩගින්නට තිබුණු දේවලුත් ඉවර වෙලා බඩගින්න ලොකු එකක් වෙලයි තිබුණේ. අන්තිම ඔරේන්ජ් බාර්ලි උගුරට දමිත් හා ගෝරිං පොර කෑව.
කට්ටිය ආපහු වාහන වලට නැග ගත්තා.  සීගිරියේ ඉඳන් අනුරාධපුර යන්න තමයි සුගත් ගේ ප්ලෑන. ඒ අතරේ අතරමග හෝටලයකින් දවල් කෑම කෑවා. ඒක නීල් කලින්ම ලෑස්ති කරලා තිබුණ. එයාට පොලිස් සම්බන්ධතා තිබුණනේ ..සවස් වෙද්දී අනුරාධපුරයේ තාවකාලික නවාතැනකට ආව. ඒකත් නීල් තමයි සුදානම් කරලා තිබුණේ. උදව්වට පොලිස් පොඩ්ඩොත් එවල තිබුණ. ඉතින් හවස වැවට ගිහින් කට්ටියම නෑව. 
අක්කල බෝනිකි පවුල් වලට නාන්න ඇත්ත නාන පොකුණ ට උඩින් අර රබර් වත්ත පහළ වලවල් හාරල වැවක් හදල තිබුණා. නාල ඉවරවෙලා කට්ටියම සුදු ඇඳුම් ඇඳ ගත්තේ සුජාතාගේ උපදෙස් අනුව. ඊළඟ ගමන අටමස්ථානය. 
'අපිට අද ඇවිදලා ඉවර වෙන්න බැරි වුනොත් නැවතිලා හෙට ඉතුරු ටික ඇවිදින්න පුළුවන්' නීල් කිව්වා.
'අනේ ශෝක් අපි නවතිමු තාත්තේ ' අතුල සතුටෙන් කෑ ගැහුවා.
'ඉතින් නැන්දම්මා බලන් ඉඳියි නේ ' රෝස් කිව්වා.
'මං නැන්දම්මට කියල ආවේ...සමහර විට අපි නවතිනවා කියල.' විශාකත් සහභාගී වුණා.
'අනේ අනේ මේගොල්ලෝ ඔක්කොම ප්ලෑන් කරලා. අපි දන්නෙත් නැහැ.' සුජාතා නෝක්කාඩු කිව්වා.  
'වැඩේ හොඳට යනවා නම් එච්චරයිනෙ' සුගත් ඌන  පූරණය කළා. 
'එහෙනම් අපි ඉස්සෙල්ලම ශ්‍රී මහා බෝධියට යමු. එතනින් රුවන් වැලි සෑයට ගිහින්  ඊට පස්සේ ලෝවා මහා පාය ...මිරිස වැටිය ...ඉතුරු ටික හෙට' නීල් පිළිවෙලක් ඉදිරිපත් කළා. 
'ඔව් එහෙම හොඳයි මාමේ ...මට සමාධි පිළිමය හොඳට බලාගන්න ඕන' ගෝරිං කිව්වා.

ඔන්න කට්ටිය මුලින්ම ශ්‍රී මහා බෝධියට ගිහින් මල් පහන් පුජ කරලා බෝ සෙවනේ සිසිල විඳලා ( වත්තේ ලොකු කොස් ගහක් යට ..තමයි බෝධිය ) ඊ ලඟට රුවන් වැලි සෑයට ගියා. මල්ලි මැටි වලින් කලින්ම වෙහෙරක් හදල තිබුණා, රුවන් වැලි සෑයට. ඔන්න එතනත් කට්ටිය ටික වෙලාවක් ගත කරලා අනිකුත් තැන් වලටත් සැලසුම් කළ විදියට ගියා. ඊට පස්සේ නවාතැනට ඇවිත් රෑ කෑම අරන් විවේක ගත්තා. සුගත් අටමස්ථානය ගැන දරුවන්ට කරුණු කියා දුන්න. 

පහුවදා අභයගිරිය,  ථුපාරාමය, ඉසුරුමුණිය වගේ තැන වලට ගියා. පොත්වල තිබුණු දේවල් බල බල අක්කලයි, මල්ලියි වත්ත  පුරා සපත්තු කාර් වල බෝනිකි පවුල් දාගෙන ඔහේ ඇවිද්දා.  

ඊට පස්සේ කට්ටියම අයෙත් පොල්පිතිගම නන්දම්මලයි ගෙදර ගියා. නැන්දම්මා ගජ රාමෙට කෑම ලෑස්ති කරලා තිබුණ. කාල ,බීල ,නාල එදා හවසත් විනෝදෙන් හිටිය. 

පහුවදා මින්නේරි ගිහින් අලිත් බලල ඒ ගමන්ම ගෙදර යන්නයි සැලසුම. සෆාරි ලෑස්ති කරලා තියන්න නීල් පොලිස් පණිවිඩ දීලයි තිබුණේ. දැන් වගේ ඔන් ලයින් බූක් කිරිලි ඒ කාලේ නැහැ. ඒ කාලේ මින්නේරිය ජාතික වනෝද්‍යානයක් කියන තත්වයේ තිබුණෙත් නැහැ. අභය භූමියක් විදියට තිබුණේ. ජාතික වනෝද්‍යානයක් වුණේ 1997දී. 

ඔන්න කට්ටිය පහුවද උදේ සෆාරි යන්න ලෑස්ති වුණා. නැන්දම්මා කවදත් විදියටම කෑම මුල් බැඳලා, වතුර බෝතල් පුරවල, ඔරේන්ජ් බාර්ලි බෝතල්,අඹ කපල බෝතලයක දාල ...එකී නොකී දේවල් ලෑස්ති කරලා දුන්න. 

බෝනිකි අම්මලා සේරම අස් පරස් කරලා ඇඳ රෙදි අයින් කරලා අතු පතු ගාල නැන්දම්මට වැඩ පහසු වෙන විදියට එකලස් කළා. අන්තිමේ නැන්දම්මට හා මාමණ්ඩිට වැඳලා කට්ටිය යන්න පිටත් වෙන්න සුදානම් වුණා. 
'අනේ පුතේ අපිට හරිම සතුටුයි පුතාල ආවට , යනවට නම් දුකයි...එන අවුරුද්දෙත් එන්න' ජෝඩුවම කිව්වා.
ඔව්, ආත්තම්මා අපි එනවා....එනවාමයි. ලොකු උනහම මං තනියෙන් එනවා ' ගෝරිං කට දැම්මා.
' මගේ පුතා ගැන මං නොදන්නවයි. තෙරුවන් සරණයි පුතා ' ආත්තම්මා ගෝරිංගේ ඔළුව අත ගෑවා. 
දැන් ඉතින් ගමන පිටත් වුණා. මින්නේරිය සෆාරි එක හරිම විනෝදයි. අලි ඇත්තු රංචු පිටින් මින්නේරිය වැව අසල හිටිය. දැන් වගේ මහා ගොඩක් සංචාරකයෝ නැහැ. ඒ නිසා සතුන්ට කරදරත් අඩුයි. ඒ සතුටු දායක ගමනෙන් බෝනිකි පොල්පිතිගම චාරිකාවත් අවසානයකට ලඟා වුණා .
 



 

 
 

No comments:

Post a Comment