Sunday, September 13, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 06 Road Trip – Day 03

 













පසුවදා එනම් ඔක්තෝබර් 10 වෙනිදා අපි ගියේ Great Smoky Mountains National Park එකට. එය උතුරු කැරොලයිනා සහ ටෙන්නසි අතර බෝඩරයේ පිහිටා තිබෙනවා. මෙය අපලන්චියන් කඳු වලම උප කොටසක්. මෙහි සරුවට වැඩී තිබෙන වනාන්තර වසර පුරාම වන මල් වලින් පිරී පවතිනවා. දිය ඇළි ,ගංගා දිය පාරවල් ගමන් මග දෙපස අලංකාර කරනවා.

මේ උද්‍යානය 1934 දී විවෘත කර ඇති අතර වසරකට සංචාරකයන් මිලියන 11කට වඩා පැමිණෙන මෙය එක්සත් ජනපදයේ වඩාත් සංචාරකයන් පැමිණෙන ජාතික උද්‍යානය ලෙස ප්‍රචලිත වෙනවා. මෙය අන්තර්ජාතික ජෛව ගෝල රක්ෂිතයක්. ඒ වගේම UNESCO ලෝක උරුමයක් ද වෙනවා. මිසිසිපි ගඟට නැගෙනහිරින් පිහිටි විශාලතම නොඉඳුල් වනාන්තර ලෙස සැලකෙන හෙක්ටයාර 76000ක පමණ භුමි ප්‍රදේශයක් මෙයට අයත් වෙනවා. මෙහි සපුෂ්ප ශාක විශේෂ 1600ක් ඇති අතර එයින් 100කට වඩා දේශික ශාක තවත් 100ක් පමණ ඒක දේශික පඳුරු ශාකද  වනවා. එමෙන්ම දිලීර හා අපුෂ්ප ශාක දහස් ගණනක් වනවා. සත්ව ගහන අතර ක්ෂීරපායි , උරග, උභයජීවී, පක්ෂී හා මත්ස් වර්ග අධික සංඛ්යාවක් වනවා. නැගෙනහිර එක්සත් ජනපදයේ කළු වලස් ගහනය හා සැලමැන්ඩර් ගහනය වැඩිම වන්නේත් මෙහි වීම විශේෂත්වයක්.















මේ වටිනා සම්පත් රැක ගන්නා ගමන්ම ඒවා දෙස් විදෙස් සංචාරකයන් දැක බලා ගන්න වගේම අවශ් අධ්යනයන්හි යෙදෙන්න මේ රට ගෙන ඇති ක්රියාමාර්ග ගැන දුටු විට අපේ රටේ වන සම්පත් දේශපාලන රැකවරණ ලබන කැළෑ පාළුවන් විසින් දිනෙන් දින විනාශ කර දමන හැටි මතක්වී හිතට ඇතිවුණේ දැඩි කණගාටුවක්. 

Smoky නම ඇතිවීමට හේතුව ප්‍රදේශය නිතරම දුමාරයකින් වැසි පවතින නිසා. දුමාරය ඇතිවීමට හේතුව ශාක වලින් පිටවන වාෂ්පශීලී කාබනික ද්‍රව්‍ය බව කියවෙනවා.Great Smoky Mountains ඊසාන දිගින් පිජන් ගඟේ සිට ගිනිකොණ දිග පුංචි ටෙන්නසි ගඟ දක්වා විහිද යනවා. ගංගාවල් කිහිපයකටම ආරම්භය දෙන්නේ මේ කඳු පන්තියි. මෙහි ඇති උසම කඳු ශිකරය  Clingmans  Dome  නම් වෙනවා. එය අඩි 6643ක් උසයි. මෙය ටෙන්නසි වල උසම කන්දයි. මෙහි අධික වාර්ෂික වර්ෂණ ප්‍රතිශතයක් තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනය අඟල් 50-80 දක්වා වෙන අතර ශීත ඍතුවේ විශේෂයෙන්ම උස් කඳු බෑවුම් වල අධික හිම පතනයක් ඇති වෙනවා. වැඩිම උෂ්ණත්වය   10-13 පරාසයේ ඇති අතර අඩුම උෂ්ණත්වය 3-6 අතර වෙනවා. අවුරුද්දට කිහිප වතාවක් හානිකර සැර සුළං ද හමා යනවා.

බොහෝ සංචාරකයන් Great Smoky Mountain  වලට යන්නේ ටෙන්නසි,ගැල්ටින්බර්ග් හරහා උද්‍යානයේ උතුරින් Sugarland’s පිවිසුමෙන්.  ගිනිකොණ දිග නොක්ස්විල්හි US 441 මාවතේ පැයක ධාවනයෙන් මේ පිවිසුමට ලඟා වෙන්න පුළුවන්. ගැල්ටින්බර්ග් නැගෙනහිර ටෙන්නසි වල පිහිටි සංචාරක වශයෙන් ඉතාම කලබලකාරී කඳු නගරයක්. සංචාරකයන්ට අවශ්‍ය නවාතැන්, ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා මෙහි නොඅඩුව තිබෙනවා. මෙහි සිට සැතපුම් දෙකක පමණ කේබල් රථයකින් ‘Smokies’  කඳු මුදුනට යන්න පුළුවන්. ඕනෑම වයසක කෙනෙකුට කිසිම කරදරයක් නැතිව කන්ද තරණය කරන්න පුළුවන් මේ පහසුකම් නිසා. අපි ඒ ආශ්වාද ජනක ගමන ගියා.


















කේබල් කාර් ගමනේදී ගැල්ටින්බර්ග් පෙනෙන හැටි 










උද්‍යානයේ ගහකොළ ශරත් සමයට සැරසිලයි තිබුණේ.  Clingmans Dome හි නිරීක්ෂණ කුළුණට නැග බැලූ විට අවට මනස්කාන්ත දර්ශනය ඇස ගැටෙනවා. ඒ මොහොතේත් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එහි දකින්න ලැබුණා.

ඒ සුන්දර ගමන අවසානයේ අපි රාත්‍රී නවාතැනට පැමිණියා.


No comments:

Post a Comment